රාජපක්ෂ ආන්ඩුව මහරගම නගරයෙන් ද දුගී නිවැසියන් පලවා හැරීමට සැරසේ

ආර්.එම්. දයානන්ද සහ දේහින් වසන්ත විසිනි, 2014 ජූනි 7

මහරගම නාවින්න දේවානන්ද පාරේ දුම්රිය මාර්ගයට යාබද පිහිටි පැල්පත් නිවාස 31 කට අධික සංඛ්‍යාවක නිවැසියන් බලහත්කාරයෙන් ඉවත් කොට මහ මඟට ඇද දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය සැරසේ.

මෙම ඉඩම් දුම්රිය අධිකාරිය සතුබව පවසන එහි අධිකාරී ටී. ආරියරත්න, මැයි 27 දිනට පෙර ඉවත් වන ලෙස එම නිවැසියන්ට ලිපියකින් දැනුම් දී තිබුනි. කෙසේ නමුත් නිවැසියන්ගේ දැඩි විරෝධය හමුවේ ආරියරත්න පුවත්පත්වලට ප‍්‍රකාශ කොට ඇත්තේ “ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියක ඉල්ලීම මත, විකල්ප නැවත පදිංචි කිරීමේ විසඳුමක් ලබා දෙන තෙක් අධිකරන කි‍්‍රයාදාමයන් කල් දැමීමට සිදුව ඇති” බවයි. මෙය නිවැසියන් පලවා හැරීමට කල් ගැනීමක් පමනි.

කොලඹ නගරය වානිජ කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් ගෙන ඇති පියවර මාලාවේ කොටසක් ලෙස දුගී ජනතාව වෙසෙන කොලඹ නගරය තුල පමනක් 75,000 ත් 135,000 ත් අතර දුගී පවුල් ප‍්‍රමානයක් ඉවත් කිරීමේ වැඩ ආරම්භ කර ඇත. ඒ යටතේ කොලඹ නගරය තුල අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සහ පැල්පත් 2010 සිට හමුදාව යොදවා බලහත්කාරයෙන් ඉවත් කල අතර වසර හතරක් ගතව ඇතත් බොහෝ අයට ස්ථිර නිවාස තවමත් ලැබී නැත.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ආන්ඩුව කි‍්‍රයාත්මක කරන ඊනියා නගර සංවර්ධන වැඩපිලිවෙල යටතේ මහරගම ඇතුලු ලංකාව පුරා තවත් නගර ගනනාවක දුගී ජනතාව පලවා හැර ඔවුන් පදිංචිව සිටි ඉඩම් ආයෝජකයන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලබා දීමට දැනටමත් වැඩ ආරම්භ කර ඇත. නගර අලංකරනයේ නාමයෙන් ආන්ඩුව සිදු කරන්නේ ආයෝජකයන්ට අවශ්‍ය තට්ටු නිවාස සහ ඔවුන්ට අවශ්‍ය වෙලඳ මධ්‍යස්ථාන හා යටි තල පහසුකම් ඉදිකිරීම ය.

නාවින්න දුගී නිවාස ඉවත් කරන්නේ පලාතේ ස්ථිර පදිංචිකරුවන්ගේ පැමිනිලි නිසා යැයි පවසතත් සත්‍යය නම් පලාතේ ස්ථිර පදිංචිකරුවන් ඉල්ලා සිටින්නේ සනීපාරක්ෂාව සහිතව ජීවත් වීමේ වාතාවරනයක් සලසන ලෙසය. 1984 දී එවකට මහරගම පාර්ලිමේන්තු මන්තී‍්‍රව සිටි දිනේශ් ගුනවර්ධන ඡන්ද ගසා කෑමේ අරමුනින් නාවින්න පැල්පත් වාසීන්ට පහසුකම් සහිත නිවාස දෙන බවට පොරොන්දු දී මෙම පැල්පත් වාසීන්ගේ ඡන්ද මංකොල්ලයක යෙදුනු නමුත් පසුව එම පොරොන්දු පැහැර හැර ඇත. මේ තත්වය තුඩු දී ඇත්තේ පලාතේ ස්ථිර පදිංචිකරුවන් හා දුගීන් අතර ගැටුම් අවුලුවා ලීමටය.

දැන් මෙම ගැටුම පාවිච්චියට ගනිමින් පැල්පත්වාසීන් ඉවත් කිරීමට සූදානම් වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ස්ථිර පදිංචිකරුවන් විසින් අනවසරයෙන් පදිංචිව ඇති පැල්පත්වාසීන් පිලිබඳව පැමිනිලි ඉදිරිපත් කර ඇති බවයි.

ජීවත් වීමට වාසස්ථානයක් නොමැති බැවින්, දුම්රිය පාර අද්දර අනාරක්ෂිත සහ සනීපාරක්ෂාවක් නොමැති පැල්පත්වල වසර 30කට වැඩිකාලයක් ජීවත් වන මෙම දුගීන් රෝග පතුරුවන්නේයයි ද මත්ද්‍රව්‍ය පාවිච්චියට ගනිමින් නොහොබිනා ලෙස ජීවත්වන්නේ යයිද චෝදනා නැගේ. ධනපති ආන්ඩු මගින් මෙම ජනතාවගේ නිවාස ප‍්‍රශ්නය නොවිසඳීම හේතුවෙන් ඔවුන් ශෝචනීය තත්වයන්ට ඇද දමා ඇති අතර කොලඹදී මෙන්ම අනෙකුත් නගර වලදී ද මෙම චෝදනාව ඉදිරිපත් කරනු ලබන්නේ ඔවුන් නගරවලින් පලවා හැරීම සඳහා ය.

ආන්ඩුවේ හෙංචයියන් සහ මාධ්‍යයන් විසින් දුගීන්ට එරෙහිව මෙම ප‍්‍රචාර ගෙනයන නමුත් ස්ථිර පදිංචිකරුවන් විසින් ගොඩ නගාගෙන ඇති ”නාවින්න දුම්රිය මාවත ප‍්‍රජාවගේ සංවර්ධන සුභසාධක සමිතියේ” ප‍්‍රධාන සංවිධායක ගාමිනී මුනසිංහ මැයි 18 ද නේශන් පුවත්පතට කියා සිටියේ මෙම පැල්පත් වාසීන් සහ ඔවුන් අතර ගැටුමක් නොමැති බවයි. “ඡන්ද ගරා ගැනීම සඳහා දෙකොටසටම බොරු පොරොන්දු දී ස්ථිර පදිංචිකරුවන් සහ ‘අනවසර පදිංචිකරුවන්’ අතර ඝර්ෂනය නිර්මානය කර ඇත්තේ දේශපාලනඥයන් විසින්” බව ඔහු පවසයි. තවත් ස්ථිර පදිංචිකරුවකු වන ආරියසේන ද නේෂන් පුවත්පතට පවසා ඇත්තේ ඉතා දුගී ජීවන කොන්දේසි යටතේ දිවි ගෙවන මෙම නිවැසියන්ට මූලික සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති බැවින් දෙකොටසටම සෞඛ්‍ය ගැටලු වලට මුහුන දීමට සිදුව ඇති බවයි.

කොලඹ-අවිස්සාවේල්ල දුම්රිය මාර්ගයේ පිහිටි මෙම පැල්පත් නිවාසයක භූමි ප‍්‍රමානය වර්ග අඩි 150 ක් පමන වේ. එකතු කර ගන්නා ලද ටකරන්, තහඩු, ලෑලි වැනි දෑ වලින් මෙම පැල්පත් සකසා ඇත. එක් පසකින් දුම්රිය මාර්ගයට ද අනෙක් පසින් වාහන ගමන් කරන අතුරු මාර්ගයට ද කොටුවී ඉතා අනතුරුදායක තත්වයක ඔවුහු ජීවත් වෙති. වාහන හා දුම්රිය මගින් පිටවන දුම් සහ දූවිලි වලින් මෙම නිවාස නිරතුරුව දූෂනය වෙයි. මෙම නිවැසියන් නිරන්තර අනතුරුවලට මුහුන දෙන අතර ඇතැමෙකු මරනයට ද පත් වී ඇත.

“අපි අවුරුදු 35ක කාලයක ඉඳලා මෙතන ඉන්නේ කැමැත්තකින් වත් ආසාවකින්වත් නෙමෙයි. පර්චස් 2 ක වත් ඉඩම් කැබැල්ලක් දෙනවා නම් මොහොතක් වත් මෙතන ඉන්නේ නැහැ.” මෙසේ ප‍්‍රකාශ කලේ මැදි වියෙහි කාන්තාවකි. ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර වැඩිමහලු පුත‍්‍රයා අවුරදු 21ක් වයසැති රැකියා විරහිත තරුනයෙකි. අනෙක් දරුවන් මෙතෙකුදු පාසැල් යන වියේ පසුවන අතර ඇගේ ස්වාමි පුරුෂයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇය අතහැර ගොස් ඇත. එදා වේල සොයා ගැනීම සඳහා විශාල පරිශ‍්‍රමයක් දැරීමට සිදුවන බව ඇය පැවසුවාය.

පලවා හැරීමේ තර්ජනයට මුහුන දී සිටින සෝමවතී දාබරේ මෙසේ ප‍්‍රකාශ කලාය: “මගේ නිවසට ලයිට් බිල වරිපනම් බදු ගෙවන්න ඕනි. වතුර ටිකක් සොයා ගන්න සෑම තැනම ඇවිදින්න වෙනවා. වැසිකිලි වලක් හාරන්න තැනක් නැහැ. ඒක හාරලා තියෙන්නේ මේ ගේ ඇතුලේ. දිනේෂ් ගුනවර්ධන ඇමති කීවා අපට පදිංචියට වෙන තැනක් දෙන්නම් කියා. තාමත් ඒක ලැබුනෙ නැහැ. දේශපාලනඥයො කවුරුවත් එන්නෙත් නැහැ.”

අවුරුදු 75 ක් පමන වයසැති ඇගේ දරුවන් විවාහ වී නිවසින් පිටව ගොස් ඇති බැවින් ඇයට ජීවත් වීමට සිදුව ඇත්තේ රු. 1000 ක රාජ්‍ය දීමනාවෙනි. විවිධ අසනීපවලින් පෙලෙන නමුත් ප‍්‍රතිකාර ලබා ගැනීමට මුදල් නොමැති බැවින් අසරනව සිටින බව ඇය ප‍්‍රකාශ කලාය.

ඩබ්ලිව්. එස්. කුමාර අවුරුදු 34 විවාහක තරුනයෙකි. ඔහුට පාසල් යන දරුවන් තිදෙනෙකු සිටී. ගල් වලක වැඩ කරමින් සිටියදී එක් ඇසක් අහිමි වී ඇති අතර එම රැකියාව අතහැර මෙම ස්ථානයේ පදිංචියට මීට අවුරුදු 4 කට පෙර පැමින ඇත.

ඔහු මෙසේ පැවසීය: “මම දැන් කරන්නේ මාලු වෙලඳාම දවසකට රුපියල් 800.00 ක් පමන සොයා ගන්නවා. සමහර දවස් වලට රු. 150.00 ක් වත් ලැබෙන්නේ නැහැ. පසුගිය පලාත් සභා මැතිවරනයේදී ඡන්දය දුන්නේ පොදු පෙරමුනෙන් ඉදිරිපත් වුන කොඩිකාරට. එයා ඡන්ද කාලයේදී කීවා මේ නිවාස කැඩුවොත් වෙනත් තැනක් දෙනවා කියා. දැන් හමුවෙන්න ගියහම අපට කියනවා අවට ගෙවල්වලින් පෙත්සම් එවලා තියෙනවා ඔය අයගෙන් කරදර කියා. එහෙම වටපිටාවේ අයට කරදර කරලා ගෙවල් ඉවත් කලොත් මට කරන්න දෙයක් නැහැ කියා.”

සනීපාරක්ෂාව සහිත යහපත් නිවසක ජීවත්වීම සමාජ අයිතියක් බවත්, ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කරදීම සඳහා කැපවී සිටින රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ධනේශ්වර ආන්ඩු යටතේ එම අයිතීන් සාක්ෂාත් කර ගත නොහැකි බවත් සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෝ මෙම නිවැසියන්ට පෙන්වා දුන්හ. මෙම අයිතිය තහවුරු කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු‐ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනක් බවත් ඒ සඳහා ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් ද පැල්පත්වාසීන් ද එක්ව සටන් වැදිය යුතු බවත් පැහැදිලි කරමින් කල සාකච්ඡාවන්ට නිවැසියෝ උද්යෝගයෙන් සහභාගි වූහ.

Share this article: