ගේබ්රියල් ගාර්සියා මාකේස්: ඇමරිකාවන් දෙකේම සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙක්

Gabriel García Márquez: A giant in the literature of the Americas

රෆායෙල් අසූල් විසිනි, 2014 මැයි 21

පෘථුල වසයෙන් පිලිගැනීමට පාත‍්‍රක වූ One Hundred Years of Solitude, (හුදකලාවේ සියවසරක් -1967) හා Love in the Time of Cholera, (කොලරා කාලයේ පේ‍්‍රමය - 1985) යන නවකතා හේතුවෙන් ප‍්‍රසිද්ධියට පත් කොලොම්බියානු රචක ගේබ්රියල් ගාර්සියා මාකේස්, 1961 සිට වාසය කල මෙක්සිකෝ නගරයේ දී 87 හැවිරිදි වියේ පසුවෙද්දී අපේ‍්‍රල් 17 දා මිය ගියේ ය. ගාර්ෂියා මාකේස් 1982 දී සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ය. සිය දීර්ඝ වෘත්තීය ජීවිතයේ දී නවකතා රචකයෙකු ලෙස පමනක් නොව පුවත්පත් කලාවේදියෙක්, පිටපත් රචකයෙක්, චිත‍්‍රපටකරුවෙක් හා කෙටිකතා රචකයෙක් ලෙස ද හෙතෙම තම සලකුන තබා ඇත.

ගේබ්රියල් ගාර්සියා මාකේස් 2002 දී

මරනයෙන් පසුදින මෙක්සිකෝ නගරයේ පැවති පෞද්ගලික අවමගුල් උත්සවයකින් පසුව ගාර්සියා මාකේස්ගේ සිරුර ආදාහනය කරනු ලැබීය. ආදරනීය රචකයාගේ සමුගැනීමට ආචාර දැක්වීම සඳහා දහස් ගනන් මෙක්සිකානුවන් පෙලගැසී සිටි ලලිතකලා මාලිගයට ඔහුගේ අලු අඩංගු භෂ්මාවශේෂ බඳුනක් පසුව ගෙන එන ලදී. ඉතා වැදගත් පුද්ගලයන් සහ මෙක්සිකෝවේ හා කොලොම්බියාවේ ජනාධිපතිවරුන් සහභාගි වූ නිල උත්සවයෙන් වෙන් කරන ලද එම ජනතාව දැඩි සෝදිසි කිරීමට භාජනය කලේය.

කතුවරයාට ගෞරව දැක්වීමට පැමින සිටි අය අතරින් 19 හැවිරිදි ශිෂ්‍ය මාරියෝ ගෝමස් මෙක්සිකානු දිනපතා පුවත්පතක් වන ලා හෝර්නාදා වෙත මෙසේ කීවේ ය: “ඔහුගේ කෘති හා ලියවිලි හරහා ගුරුවරයෙක් මෙන් මගේ සිහින ඔස්සේ ගමන් කිරීමට මග පෙන්වන ගේබ්රියල් ගාර්සියා මාකේස් මගේ මග පෙන්වන්නා ය. මා ඉදිරියේදී ද ඔහුගේ කෘති කියවනු ඇති නමුත් ඔහුගේ මරනය මා වේදනාවට පත් කරන අතර ඔහුගේ වෙන් වීම ඉතා ශෝඛ ජනකයි.”

1960 ගනන්වල ලතින් ඇමරිකානු සාහිත්‍යය නැගී ආ කාලයේ ඉදිරිපෙලේ චරිතයක්ව සිටි ගාර්සියා මාකේස් කොලොම්බියාවේ මැග්ඩලේනා ප‍්‍රදේශයේ එම නමින් ම හැඳින්වෙන ගංගාවක් අසබඩ අරකතාකා නගරයේ 1927 මාර්තු 6 දා උපත ලැබීය.

සිය පවුල හා මිත‍්‍රයින් විසින් ආදරයට “ගේබෝ” නමින් හැඳින්වූ ඔහු නීතිය හැදෑරීම අත්හැර දමා ජනමාධ්‍යවේදියෙක් ලෙස වැඩ කිරීමට 1950 දී කොලොම්බියාවේ කැරීබියන් වෙරලේ බරන්කිය්යා වෙත පදිංචියට පැමිනියේ ය.

එම තීරනය, නිසැකව ම ඒ සමයේ කොලොම්බියාවේ සිදු වෙමින් පැවති සමාජ අරගලවල බලපෑමට ලක් විය. දස වසරකට වැඩි කාලයක සිවිල් යුද්ධයක ආරම්භය සනිටුහන් කල බොගොතාසෝ නමින් හැඳින්වෙන මහජන කැරැල්ලක් අවුලුවාලමින් 1948 අපේ‍්‍රල් මාසයේ දී කොලොම්බියානු ලිබරල් නායක ජෝර්ජ් එලීසර් ගයිතන් ඝාතනය කරනු ලබද්දී ගාර්ෂියා මාකේස් බොගෝටාහි සිටියේ ය. කතිපයාධිකාරයට හා කතෝලික පල්ලියට එරෙහි සටනකට දහස් ගනන් ශිෂ්‍යයන්, නාගරික හා ග‍්‍රාමීය කම්කරුවන් සහ ගොවීන් ඇද ගන්නා ලදී.

Living to Tell the Tale කතාව කීමට ජීවත් වෙමි - (විවිර් පාරා කොන්තාර්ලා, 2002) නමැති සිය වාර්තා සටහන්වල දී මර්දනයට විරෝධය දැක්වීම සඳහා පූර්න නිශ්ශබ්දතාවෙන් ගයිතන්ගේ නායකත්වය යටතේ පෙලපාලි ගිය 100,000ක් ජනයා සහභාගි වූ 1948 පෙබරවාරියේ “නිශ්ශබ්දතාවේ පෙලපාලිය” ගැන මෙන් ම ගයිතන්ගේ ඝාතනය සහ ඉන්පසුව පැනනැගුනු සමාජ පිපිරීම ගැන ද ගාර්සියා මාකේස් විස්තර කලේ ය.

“මගේ ඇස්වලට කඳුලු ගෙන ආවේ ජනතාව පියවර තැබීමේදී දැක්වූ ප‍්‍රවේසම හා හුස්මගැනීමේදී පවා පල කල අස්වාභාවික නිශ්ශබ්දතාව යි. මා එයට ඇදී ආවේ දේශපාලනික ඒත්තුගැනීමකින් නොව නිශ්ශබ්දතාවේ කුතුහලය නිසා ඇතිවූ ආකර්ෂනය නිසා ය. මගේ උගුරේ කඳුලු ගැටයක් හිර වී තිබුනේ ය. ප්ලාසා බොලිවාර් චතුරස‍්‍රයේ නාගරික ගොඩනැගිල්ලක බැල්කනියක සිට කල ගයිතන්ගේ කතාව අවමංගල කතාවක් විය. එහි භාවමය බලපෑම ප‍්‍රබල විය. ඔහුගේ ම පක්ෂයේ දුෂ්ට අපේක්ෂාවන්ට විරුද්ධ වෙමින් කල කතාවට කිසිවෙක් අත්පුඩි නො ගැසීම මගින් පෙන්නුම් කලේ පෙලපාලියේ බෙහෙවින් නිහඬ ස්වභාවය” යයි ඔහු ලීවේ ය.

එක්සත් පලතුරු සමාගමේ උපදෙස් යටතේ කි‍්‍රයාත්මක වූ කොලොම්බියානු හමුදාව විසින් සියෙනාගා නගරයේ වැඩවර්ජිත කෙසෙල් කම්කරුවන්ගේ සාමකාමී උද්ඝෝෂනයකට එරෙහිව 1928 දෙසැම්බරයේ එල්ල කරන ලද ප‍්‍රහාරය හෙලා දකිමින් ගයිතන් සිය ප‍්‍රසිද්ධ වෘත්තීය ජීවිතය ආරම්භ කලේ ය. ඔහුගේ ප‍්‍රතිපත්ති ගරුක ආස්ථානය කොලොම්බියානු ජනතාව අතරින් මහජන සහයෝගයක් දිනාගත් අතර කුමන්ත‍්‍රනය කොට සැලසුම් සහගතව ඔහු මරා දැමූ රටේ පාලක පන්තියේ කෝපය අවුලුවාලීමට එය හේතු විය.

ගාර්සියා මාකේස්ගේ උසස් ම කෘතිය ලෙස බොහෝ දෙනකු විසින් සලකන Cien años de soledad, (One Hundred Years of Solitude - හුදකලාවේ සියවසරක්) තුල එන ප‍්‍රබන්ධමය මැකොන්දෝ නගරය සංහාරයේ මධ්‍යස්ථානය ලෙස තෝරාගෙන තිබුනි. මිලිටරිය උද්ඝෝෂකයන් පන්දහසක් වටලා ඔවුන් මරා දැමීමට පියවර ගත්තේ කෙසේදැයි ඔහු විස්තර කරයි. “නාස්ති වුනු කෙසෙල් ගෙඩි, මෙන් සාගරයට විසි කිරීම සඳහා ගෙනයන මල මිනීවලින් පිරුනු දුම්රියක් තුල, නව කතාවේ එන ජෝස් අර්කාදියෝ සෙගුන්දෝ නම් චරිතය තුවාල ලබා සිහි නැතිව සිට අවදිවෙයි.

කෙසේ වෙතත් ගාර්සියා මාකේස්, එක්සත් ජනපද කම්කරුවන්ගේ හා වර්ජකයන්ට වෙඩි තැබීම ප‍්‍රතික්ෂේප කල බොහෝ සොල්දාදුවන්ගේ සහයෝගය දිනාගත් කොලොම්බියානු ඉතිහාසයේ එන ඒ ග‍්‍රාමීය කම්කරුවන්ගේ අරගලය කිසි සේත්ම පරිපූර්නව ගවේෂනය නොකලේය.

මාකේස් හවානාවේ

කොලොම්බියාව තුල “ප‍්‍රචන්ඩත්වය” නමින් හැඳින්වෙන ගයිතන්ගේ ඝාතනය මගින් අවුලුවාලූ පන්ති යුද්ධය, වරෙක විවෘතව හා වරෙක සැඟවීගෙන ගේබ්රියල් ගාර්සියා මාකේස්ගේ කෘතියේ තේමාව බවට පත් විය.

ලතින් ඇමරිකානු සමාජ අරගලයේ, මර්දනයේ හා කුරිරු පාලනයේ අත්දැකීම් සිය සාහිත්‍යයේ කෘතිවල විෂයය බවට පත්කර ගැනීම මාකේස්ට පමනක් සීමා නො වීය. ප‍්‍රන්සයේ පිටුවහලේ සිටි ගුවාතමාලාවේ ලේඛක මිගෙල් ආන්හෙල් අස්තුරියස් විසින් ලියන ලද El Señor Presidente (Mister President - ජනාධිපති මහතා ,1946) දී මෙක්සිකෝව තුල ප‍්‍රකාශයට පත් කෙරුනි. නම් නො කල මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක නම් නො කල ඒකාධිපතියෙකු විසින් නියම කරන ලද පරපීඩක කෲරත්වයේ පිරිද්දුම් පේලි ගුනය නවකතාව තුල විස්තර කරනු ලැබේ. අධිතාත්විකත්වයේ හා ස්වභාවිකත්වයේ සංයෝගයක් වූ මෙම නවකතාව, පසුව මහාද්වීපයේ සාහිත්‍යමය නැගීම සංලක්ෂනය කල ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නමැති නව පන්නයක් හඳුන්වා දුන්නේ ය. ගාර්සියා මාකේස් එම පන්නයේ ප‍්‍රවීනයන්ගෙන් කෙනෙකු බවට පත් විය.

අස්තුරියස්, ගාර්සියා මාකේස් හා අනෙකුත් රචකයෝ සිය ආඛ්‍යාන තුලට මනඃකල්පිතය හා ඉන්ද්‍රජාලය අඩංගු කිරීම මගින් මානව විඥානයේ යථාර්ථය ද ඇතුලු යථාර්ථය එහි සියලු අංශයන් හා සංකීර්නත්වයන් සමගින් ඉදිරිපත් කිරීමට වෑයම් කලහ. ස්මරනයන්, දේශීය මිථ්‍යා කතා හා මනඃකල්පිත චරිත යන සියල්ල කතා තුලට අනුකලනය කරනු ලැබීය. කාලය දිගේ ආපස්සට හා ඉදිරියට යන චරිතවල අතීතය පිලිබඳ මතකයන් වර්තමානය තුල කි‍්‍රයාකාරී බවට පත් වේ. ජීවත් වන්නන්ගේ ජීවිත තුලට මියගිය ඇත්තෝ මැදිහත් වෙති. මේ සියල්ල කරන්නේ යථාර්ථයෙන් පලායාමට හෝ එය ආවරනය කිරීමට නොව එය විනිවිදීමේ විධික‍්‍රමයක් ලෙස යි.

හුදකලාවේ සියවසරක් කෘතිය තුල මිථ්‍යාවන්, ඉන්ද්‍රජාලයන් හා අවතාර භාවිතා කරනු ලබන්නේ, අනවශ්‍යව දෑ විසිකොට විශිෂ්ට පොහොසත් බවක් ගෙන ඒමේ ප්‍රෝත්සාහයක් තුල ය. සංචාරයේ යෙදෙන අහිකුන්ඨික කන්ඩායමක් විසින් මැකොන්දෝ නගරයට කාන්දම් හඳුන්වා දීම විස්තර කරන පලමු පරිච්ෙඡ්දය තුල එන පරිදි “ඉන්ද්‍රජාලය” නිතර ම සැහැල්ලු ය.

1961 දී පලකල කෙටි නවකතාවක් වන El coronel no tiene quien le escriba (Nobody Writes to the Colonel - කිසිවෙක් කර්නල්ට නො ලියයි) තුල මෙන් ම ගාර්සියා මාකේස්ගේ කෘතියේ අනික් තැන්වල දී ඉන්ද්‍රජාලික මූලිකාංගය තික්ත පැනිරසයෙන් යුක්ත ය. විශ‍්‍රාම ගිය නිලධාරීන් විසින් අමතක කරන ලද දිලිඳු විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක්, තමන්ට හා තම බිරිඳට පෙර තම පොර කුකුලාට කෑම දීම මගින් තවත් එක් වරක් වාසනාව ලඟා කරගත හැකියයි බලාපොරොත්තු වෙයි.

කියුබානු විප්ලවයෙන් පසුව 1960 දී ගාර්සියා මාකේස්, ප්‍රෙකන්සා ලතිනා මාධ්‍ය ඒජන්සියේ වැඩ කරමින් ජීවත් වීම සඳහා හවානාවට ගියේ ය. කියුබාවේ සිටින අතරතුර ඔහු ෆිදෙල් කස්ත්‍රෝ සමග මිත‍්‍ර විය.

නවකතාකරුවා කියුබාවේ සිටීමිව් කස්ත්‍රෝ සමග පැවැත්වූ මිත‍්‍රත්වය, ඔහුගේ මරනයෙන් පසුව කල්තබා අපේක්ෂා කල හැකි පරිදිම, ඇමරිකානු මාධ්‍යයේ දක්ෂිනාංශික ප‍්‍රහාර වලට තුඩු දුන්නේය. උදාහරනයක් ලෙස වොෂින්ටන් පෝස්ට් (2014 අපේ‍්‍රල් 23) පුවත්පතේ චාර්ල්ස් ලේන් “ගාර්සියා මාකේස්ගේ දීර්ඝ වෘත්තීය ජීවිතය සංලක්ෂනය කල සාහිත්‍යමය දීප්තියේ හා දේශපාලනික කුනු වීමේ අද්භූත සංයෝගය” ගැන සඳහන් කලේ ය. මෙම ආස්ථානය ගනු ලැබෙන්නේ, ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල දැවැන්ත යුද අපරාධ සහ එක්සත් ජනපද මිලිටරියේ හා සීඅයිඒ සංවිධානයේ සෑම මිනීමරු කටයුත්තක් ම සාධාරනීකරනය කොට ඇති ප‍්‍රකාශනයකිනි!

කියුබාවේ නැවතී සිටීමෙන් පසුව කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු යයි චෝදනා ලද ගාර්සියා මාකේස්ට එක්සත් ජනපදයට ඇතුල් වීම වාරනය කරන ලද අතර ඔහු මෙක්සිකෝවේ පදිංචි විය.

ඒ අතරතුර, “හුදකලාවේ සියවසරක්” කෘතිය සාහිත්‍ය ලෝකය තුල මෙන්ම ඉන් ඔබ්බෙහිත් පිලිගැනුනේ පී‍්‍රති ඝෝෂාවකිනි. 1960 ගනන් පසු භාගයේ දේශපාලන කැලඹිලි සමයේ වැඩිවියට පත් මිලියන ගනන් තරුනයින් මත එය ප‍්‍රගාඪ බලපෑමක් ඇති කලේ ය. එක් අවස්ථාවක දී සතියකට එහි පිටපත් 8,000ක් විකිනෙමින් තිබුනි.

1955 La hojarasca (Leaf Storm- ශාඛ පත‍්‍ර කුනාටුව) හා 2010 අතර කාලයේ ගාර්සියා මාකේස්, (ඔහුගේ ජීවිතයේ විවිධ අවධිවල දී ලියන ලද රචනාවල එකතුවක් වන Yo no vengo a decir un discurso (I Didn’t Come to Give a Speech -මා කතාවක් කිරීමට පැමිනියේ නැත) ඇතුලු කෘති හතලිහකට වැඩි ගනනක් රචනා කලේ ය. ඒවා අතර, විචාරකයින්ගේ ප‍්‍රසාදයට පාත‍්‍ර වූ “කිසිවෙක් කර්නල්ට නො ලියයි”, Los funerales de la Mamá Grande - (Big Mama’s Funeral -ලොකු අම්මාගේ අවමගුල, 1962), Crónica de una muerte anunciada (Chronicle of a Death Foretold - අනාවැකි පල කල මරනයක පුරාවෘත්තය, 1981) හා Amor en los tiempos de la cólera (Love in the Time of Cholera - කොලරා කාලේ පේ‍්‍රමය, 1985) විය.

ලතින් ඇමරිකාවේ කෲර පාලකයන් හා ආඥාදායකයන් පිලිබඳව රචිත ප‍්‍රබන්ධ කතාවල දිගු ලැයිස්තුවට කල තවත් එකතු කිරීමකි බාසිලෝනාවේ සිටියදී ලියන ලද El otoño del patriarca (The Autumn of the Patriarch - කුල දෙටුවාගේ ශරත් සමය, 1975). එම ලැයිස්තුව විසිවන ශතවර්ෂය හා ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට පූර්ව කාලය කැටිකර දක්වයි.

වඩා මෑත කතාවලට, අස්තුරියාස්ගේ කලින් සඳහන් කල නවකතාව, අලේහෝ කාපෙන්තියෙර්ගේ El recurso del método (Reasons of State - රාජ්‍යයේ හේතුප‍්‍රත්‍යයෝ, 1974), ඔගස්ටෝ රෝ බස්තෝස්ගේ Yo, el Supremo (I, the Supreme - මම ශ්‍රේෂ්ඨයා, 1974), මාරියෝ වර්ගාස් ලෝසාගේ La fiesta del chivo (The Feast of the Goat - එලුවාගේ භෝජන සංග‍්‍රහය, 2000), හා බියෙටි‍්‍රස් බ‍්‍රචෙර්ගේ Não falei (I Did Not Speak - මම කතා නො කලෙමි, 2004) අයත් වේ.

මෙම නවකතා ගනනාවකින්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ලතින් ඇමරිකානු ආඥාදායකත්වයන්ගේ නැගීම හා වැටීම අතර සම්බන්ධතා ගවේෂනය කරයි. සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝනයකින් බලන කල, ඒවායේ පවතින පොදු දුර්වලතාව වන්නේ, හුදකලාවේ සියවසරක් තුල සියෙනාගා කෙසෙල් කම්කරුවන් හඳුන්වා දුන් ආකාරයටම, කම්කරු පන්තිය සකී‍්‍රය විප්ලවවාදී විෂයය නිශි‍්‍රත පුද්ගලයන් ලෙස සලකනවා වෙනුවට, බොහෝ විට සූරාකෑමේ ගොදුරක් ලෙස ඉදිරිපත් කිරීම යි.

සහ එක්සත් ජනපද ධනවාදය සමග ලතින් ඇමරිකාවේ දීර්ඝ හා ලේවැකි ගැටුම සහ පසුව බිහිවූ කෲර මිලිටරි ආඥාදායකත්වයන්, 1982 නොබෙල් ත්‍යාගය පිලිගැනීමේ දී ගාර්සියා මාකේස් කල හද සසල කරන කතාවේ කේන්ද්‍රීය තේමාවක් විය.

1971 දී චිලී ජාතික කිවියා වූ පැබ්ලෝ නෙරුඩාට නොබෙල් ත්‍යාගය ලැබුනු තැන් පටන් යුද්ධ පහක් හා මිලිටරි කුමන්ත‍්‍රන දාහතක් සිදු ව ඇති බව කතුවරයා පෙන්වා දුන්නේ ය. “ලතින් ඇමරිකාව තුල දෙවියන්ගේ නාමයෙන් අපගේ යුගයේ පලමු වාර්ගික ඝාතනය සිදු කරන කුරිරු ආඥාදායකයෙක් ඉස්මතු වුනා. ඒ අතර 1970 පටන් යුරෝපයේ උපන් ප‍්‍රමානය ද පරයා යමින්, ලතින් ඇමරිකානු දරුවන් මිලියන විස්සක් වයස අවුරුද්ද සම්පූර්න වීමට පෙර මියගියේය. මර්දනය හේතුවෙන් අතුරුදන් වූවන් ගනන ආසන්න වසයෙන් එක්ලක්ෂ විසිදාහක් විය. උප්සලාහි සියලු වැසියන් පිලිබඳව කිසිවෙකුට ගනන් හිලව් නොමැති වූවාක් මෙනි. අත්අඩංගුවට ගන්නා ලද ගර්භනී කාන්තාවන් විශාල ගනනක් ආජන්ටිනාවේ සිර ගෙවල් තුල දරුවන් බිහිකර ඇත. මිලිටරි අධිකාරීන්ගේ නියෝග මත, රහසේ හදා ගැනීමට හෝ අනාථාගාරවලට යවන ලද සිය දරුවන්ගේ තොරතුරු ඔවුන් කිසිවෙක් දන්නේ නැත. දේවල්වල මෙම ස්වභාවය වෙනස් කිරීමට උත්සාහ දැරීම නිසා මහාද්වීපය පුරා මිනිසුන් හා ගැහැනුන් දෙලක්ෂයක් මරා දමා ඇති අතර මධ්‍යම ඇමරිකාවේ කුඩා හා අවාසනාවන්ත රටවල් තුනක් වන නිකරගුවාව, එල් සැල්වදෝරය හා ගුවාතමාලාව තුල තවත් ලක්ෂයකට වැඩි දෙනෙකුට ජීවිත අහිමි වී ඇත. මෙය සිදුවූයේ එක්සත් ජනපදයේ නම් ප‍්‍රචන්ඩ ලෙස මරනයට පත් අනුරූපී පුද්ගල සංඛ්‍යාව ම වසර හතරක් තුල දාසය ලක්ෂයක් වනු ඇත.

“ආගන්තුක සත්කාර පිලිබඳ සම්ප‍්‍රදායක් සහිත චිලී රටේ ජනගහනයෙන් සියයට දහයක් හෙවත් දසලක්ෂයක් දෙනා එරට හැර ගොස් තිබෙනවා. තමන් මහාද්වීපයේ වඩාත් ම ශිෂ්ට රට ලෙස සලකා ගත්තාවූ මිලියන දෙකහමාරක ජනගහනයක් සහිත කුඩා ජාතියක් වන උරුගුවේ රාජ්‍යයේ, සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පිටුවහලට ගොස් රටට අහිමිවී තිබෙනවා. 1979 පටන් එල් සැල්වදෝරයේ සිවිල් යුද්ධය, සෑම මිනිත්තු විස්සකට ම එක් සරනාගතයෙයක් බිහිකර තිබෙනවා. ලතින් ඇමරිකාවේ සියලු පිටුවහලුන් හා සංක‍්‍රමනය වීමට බලකෙරුනු අය එකතුකර රටක් හැදුවොත් එහි නෝර්වේ රාජ්‍යයේ ජනගහනයට වැඩි ජනගහනයක් සිටිනු ඇත.

“ස්වීඩන සාහිත්‍ය ඇකඩමියේ අවධානයට ලක්විය යුත්තේ, මෙම යෝධ යථාර්ථය බවත් හුදෙක් එහි සාහිත්‍යමය ප‍්‍රකාශනය නො වන බවත් මම නිර්භයව සිතන බව පවසමි. කඩදාසිවලට පමනක් සීමා නොවන, අප තුල ජීවත් වෙමින්, අපගේ ගනන් නැති දෛනික මරනවල සෑම ක්ෂනයක් ම නීර්නය කරන යථාර්ථයකි එය. වික්ෂෝපයෙන් හා අලංකාරයෙන් අනූන, අතෘප්තිකර නිර්මානශීලීත්වයේ මූලාශ‍්‍රයක් පෝෂනය කරන මෙම වැදගැම්මකට නැති දඩාවතේ යන කොලොම්බියානුවා, වාසනාව විසින් තෝරා එවන ලද එක් නැත්තෙක් පමනක් වේ.”

මෙම අවසාන ඡේදය, ගාර්ෂියා මාකේස්ගේ “ඉන්ද්‍රජාලික යථාර්ථවාදය” එය ඉස්මතු වූ සමාජ යථාර්ථයෙන් වියුක්ත කොට හුදෙක් සාහිත්‍යමය ප‍්‍රයෝගයක් හා “ආඛ්‍යානයේ” තවත් ප‍්‍රභේදයක් බවට සිඳවීමට යත්න දරන මහාචාර්යවරුන්ට හා විචාරකයන්ට අභියෝගයක් ලෙස නැගී සිටී.

“රචකයාගේ විප්ලවීය රාජකාරිය වන්නේ හොඳින් ලිවීම” යයි ප‍්‍රකට ලෙස ප‍්‍රකාශ කරමින් ගාර්සියා මාකේස්, ඍජු දේශපාලන භූමිකාව මගහැරියේය. එහෙත් ඔහුගේ ලෝක පරිමාන ප‍්‍රසිද්ධිය හා “වමේ මිනිසකු” ලෙස ඔහුගේ ආයාමය හේතුවෙන් ඔහු අනිවාර්යයෙන්ම යම් වර්ගයක දේශපාලනයකට සම්බන්ධ විය.

නොබෙල් ත්‍යාගය ලැබීමෙන් දශකයකට මඳක් වැඩි කාලයකට පසුව වොෂින්ටනය, ගේබ්රියල් ගාර්සියා මාකේස්ගේ සංචාර තහනම ඉවත් කල අතර රචකයා 1995 දී මැසචුසෙට්ස්හි මාතාගේ වයින් උද්‍යානයේ දී ජනාධිපති බිල් ක්ලින්ටන් හමු විය.

විචාරකයන් කල්පනා කලේ, 1995 සංචාරයේ අරමුන එක්සත් ජනපද-කියුබා සංක‍්‍රමන ගිවිසුමක් ගැන සාකච්ඡා කිරීම බව යි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා සමග ඔහුගේ හමුව සිදු වූයේ, හයිටි ජනාධිපති ෂෝන්-බර්ට‍්‍රන්ඞ් අරිස්ටයිඞ් යලි බලයේ පිහිටුවීම සඳහා ක්ලින්ටන්ගේ නියෝගය යටතේ එරට ආක‍්‍රමනය කල ඇමරිකානු සොල්දාදුවන් 20,000ක් එරට ජනතාව ත‍්‍රස්ත කරමින් සිටිද්දී ය. එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ලත් කුමන්ත‍්‍රනයකින් අරිස්ටයිඞ්ව 1991 දී බලයෙන් පහ කරනු ලැබ තිබුනි. මෙවර ඔහු බලයට පත් කෙරුනේ වොෂින්ටනයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින රූකඩයෙක් ලෙසය.

ඉන්පසුව කිහිප වරක් ම ගාර්සියා මාකේස් ධවල මන්දිරය තුල ක්ලින්ටන්ගේ ආරාධිතයෙක් වූ අතර කොලොම්බියානු ආන්ඩුව හා කොලොම්බියානු විප්ලවවාදී සන්නද්ධ හමුදා අතර සාකච්ඡුාමය විසඳුමකට ඇමරිකානු පිටුබලය ලබා ගැනීමට අවසානයේ ඔහු අසාර්ථක උත්සාහයක යෙදුනේය.

ක්ලින්ටන් සමග ගාර්සියා මාකේස්ගේ සබඳතාව, ලතින් ඇමරිකානු විද්වතුන් සැලකිය යුතු පිරිසක් මෙන් ම ෆිදෙල් කස්ත්‍රෝ ද අනුගමනය කල ඉදිරිදර්ශනය සමග ගැලපුනි. මෙම ඉදිරිදර්ශනය මුල් බැස තිබුනේ, ලතින් ඇමරිකාවේ දුගී රටවල් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීම, සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී අරගලයක් තුලින් නොව, එජ අධිරාජ්‍යවාදය සමග සම්මුතියකින් අත්කර ගත හැකිය යන හාස්‍යජනක හා නිෂ්පල ආස්ථානය තුලය.

කස්ත්‍රෝට මෙන් ම ගාර්සියා මාකේස්ට ද එක්සත් ජනපද කම්කරු පන්තියේ විප්ලවවාදී මැදිහත් වීමක් අපේක්ෂා කල නො හැකි විය. අපේක්ෂා කල හැකි හොඳ ම දෙය වූයේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩා ලිබරල් හා “විද්වත්” නියෝජිතයන් සමග එකඟතාවකි.

ගාර්සියා මාකේස්ගේ කලාත්මක නියෝජනයන්හි දී ඔහු, කොලොම්බියාවේ (හා ලතින් ඇමරිකාවේ) සංකීර්න හා පරස්පරවිරෝධී සමාජ පර්යාය පිලිබඳව අවංකව කථා කරයි. තවමත් බිහිසුනු ප‍්‍රචන්ඩත්වයේ බලපෑමට හසුවන කොලොම්බියාව, එක් පසෙකින් සූරාකන ජාතික ධනේශ්වරය, නො නැසුනු වැඩවසම් කතිපයාධිකාරය හා අධිරාජ්‍යවාදය ද අනෙක් පසින්, ග‍්‍රාමීය පීඩිත ජනතාව ද වර්ධනය වන සටන්කාමී කම්කරු පන්තිය ද අතර අරගලයේ දඬුඅඬුවට හසුව තිබේ.

එලෙස ම ගාර්සියා මාකේස්ගේ කතා හා නවකතා, ලතින් ඇමරිකාවෙන් මෙන් ම හුදකලාවේ සියවසරක්හි ප‍්‍රබන්ධමය මැකොන්දෝ නගරයෙන් ද ඔබ්බට යන විශ්වීය තේමාවන් සහ සබඳතා ගවේෂනය කරයි. ඔහුගේ කෘති භාෂා දුසිම් ගනනකට පරිවර්තනය කෙරී පාඨකයින් දහස් ගනනින් ආකර්ෂනය කරගෙන ඇති අතර සමාජය අවබෝධ කරගෙන එය පරිවර්තනය කිරීමේ අරගලයට පිවිසෙන නව පරම්පරාවකට දිගට ම දැක්ම හා ආවේෂය සම්පාදනය කරනු ඇත.

Share this article: