මොසුල් නගරයේ වැටීම හා අධිරාජ්‍යවාදයේ අපරාධ

The fall of Mosul and the crimes of imperialism

2014 ජූනි 12

ඉරාකයේ දෙවන විශාලම නගරය වන මොසුල්, ආන්තික ප්‍රචන්ඩත්වය හා නිකායික අන්තවාදය නිසා, අල් කයිඩාව පවා බිඳී වෙන්වුන, ඉරාකයේ හා කලාපයේම (Levant) ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින කන්ඬායමක් වන අයිඑස්අයිඑස් අතට පත්වීම, ඉරාකය හා මැද පෙරදිග පුරා එජ අධිරාජයවාදය විසින් කරන ලද අපරාධ පිලිබඳ දැවෙන චෝදනාවකි.

10දා මොසුල් යටත්කර ගැනීමෙන් පසුව, සදාම් හුසේන්ගේ උපන් බිම වන ටික්රිට් හා බැග්ඩෑඩයෙන් සැතපුම් 75ක් තරම් නුදුරින් පිහිටි සමාරා හා උතුරට වන්නට පිහිටි කර්කුක්හි කොටස් ද ඔවුන් අතට පත් විය. ඩොලර් බිලියන 20ක් තරම් වැයකර එජ විසින් නිර්මානය කරන ලද ඉරාක හමුදා නායකයෝ, සිය නිල ඇඳුම් ගලවා දමා, අවි බිම තබා පලමුවත්, හමුදා භටයෝ ඉන් පසුවත් පලාගියහ.

11දා ගෙවී යත්ම වාර්තා වූයේ, ඉරාක ආන්ඩුවේ විශේෂ කාර්ය බලකායේ හමුදා භටයින්, බැග්ඩෑඩ් අගනුවරට ප්‍රහාර එල්ලවනු ඇතයි යන අපේක්ෂාවෙන් සැතපුම් 20ක් උතුරට වන්නට ආරක්ෂක වැටක් ඉදිකරන බවය.

“මෑත මතකයට අනුව ලෝකයේ දැවැන්තම හා ඉක්මන්ම ජන සංක්‍රමනය,” ලෙස එක් සහන ආයතනයක් විස්තර කල, ලක්ෂ පහක් ජනතාව මොසුල් සටනින් බේරීමට පලා ගියහ.

ඉරාකයේ අවශේෂ ප්‍රදේශ මෙන්ම මෙම නගරයත්, 2003 ආරම්භවූ එජ ආක්‍රමනයෙන් හා වාඩිලෑමෙන් විනාශයට පත් විය. යටිතල ව්‍යුහය විනාශවූ අතර ප්‍රතිනිර්මානය කිරීමට දැරූ කුමන හෝ උත්සාහයක්, දූෂනය හා දුෂ් කලමනාකරනය හේතුවෙන් ජනතාවගේ දුක් ගැහැට අවසන් කිරීමට අසමත් විය. වෛද්‍යවරුන්, ගුරුවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන්, මාධ්‍යවේදීන් හා විද්‍යාඥයින් වැනි නඟරයේ වෘත්තිකයන් එක්කෝ මරුමුවට පත්වී නැතිනම් දිවි ගලවාගැනීම සඳහා පලාගොසින්ය.

එජ යටත් කිරීමේ බෙදා අල්ලා ගැනීමේ මූලෝපාය මගින් ගිනි ඇවිලවූ නිකායික සිවිල් යුද්ධය තුල ක්‍රියාත්මකවූ “වාර්ගික පවිත්‍රකරනයේ” ලේවැකි ව්‍යායාමය හමුවේ, සුන්නි, ෂියා, කුර්දි, අසිරියානු හා අනෙකුත් ජනයා, ඔවුන් සුලුතරයක් වූ ප්‍රදේශ තුලින් පලවා හරින ලදී.

ඇමරිකානු වාඩිලෑම යටතේ බලයට පත්කරන ලද ෂියා ආගමික පදනමක් සහිත දේශපාලන පක්ෂයක නායකයා වන අගමැති නූරි අල් මලිකි තන්ත්‍රය යටතේ ද මෙම නිකායික ප්‍රතිපත්තිය අඛන්ඩව ක්‍රියාත්මක විය. ප්‍රමුඛ සුන්නි දේශපාලඥයින් සිරගත කිරීම, පිටුවහල් කිරීම හා මරා දැමීම ද සුන්නි ජනතාව අතරින් තම පාලනය කෙරෙහි පලවූ කුමන හෝ විරුද්ධත්වයක් “ත්‍රස්තවාදය” ලෙස හංවඩු ගසමින් මලිකි, අයිඑස්අයිඑස් වැනි කන්ඬායම්වලට සහයෝගිතා පදනමක් නිර්මානය කල ප්‍රධානකොටම සුන්නි බහුතරයකින් සමන්විත ඇන්බා ප්‍රාන්තයේ ජනතාව අතර වෛරය වැපිරවීය.

ඉරාකයේ ඇතිව තිබෙන දරුනු අර්බුදයෙන් කලබලයට පත්ව සිටින කොටස් අතර ප්‍රමුඛ වන මාධ්‍යය තුල 4500ක් සෙබලුන්ගේ ජීවිත විනාශවී, දස දහස් ගනනක් තුවාල ලබා, ඩොලර් ට්‍රිලියන ගනනක වියදම් දැරීම ආදී කැපකිරීම් වලින් පසුව මෙවැන්නක් සිදුවූයේ කෙසේ ද යන ප්‍රශ්න මතුවී ඇත.

මොනතරම් කුහකත්වයක් ද? ඉරාකය තුල දිගහැරෙන ව්‍යසනය, මැදපෙරදිග හා එහි දැවැන්ත බලශක්ති සංචිත මත සිය අධිකාරය තහවුරු කරගැනීමට එජ අධිරාජ්‍යවාදය දැරූ උත්සාහයේදී අතීතයේ මෙන්ම දැන් ද සිදුකල හා සිදුකරන අපරාධයන්ගේ සෘජු නිෂ්පාදනයකි.

2003දී එජ ඉරාකය ආක්‍රමනය කලේ, සදාම් හුසේන් තන්ත්‍රය “ජන ඝාතක අවි” නිපදවන බවටත් අල් කයිඩාව සමග සබඳකම් ගොඩනඟන බවටත්, එය න්‍යෂ්ඨික සැප්තැම්බර් 11ක තර්ජනය මතුකරන බව පෙනෙන්නට ඇති බවටත් බොරු කඩතුරාවක් ගෙන එමිනි.

සමස්ත ලෝකයම දැන් දන්නා පරිදි, මෙම කඩතුරාව හිසේ සිට දෙපතුලටම මුසාවකි. කුමන අපරාධ සිදුකලේවී නමුත් සදාම් තන්ත්‍රය සතුව ජනඝාතක අවි නොතිබුනු බවත්, එක්සත් ජනපදය විසින් ආක්‍රමනය කර එරට විනාශ කිරීමට පෙරාතුව එහි නොසිටි අල්කයිඩාවට සතුරු හා අනාගමික රටක් බවත් දැන් නොරහසකි.

සමස්ත සමාජයක්ම වනසා දැමීමටත්, මිලියනයකට වැඩි ඉරාක වැසියන්ගේ ජීවිත විනාශයටත් තුඩු දුන් අපරාධ බුෂ් යටතේ සිදු විය. ඔබාමා පාලනාධිකාරයේ අය ද එය අනුගමනය කරමින්, ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස්කිරීමේ යුද්ධ සඳහා, සුන්නි ඉස්ලාම්වාදීන් හා අල් කයිඩා බැඳීම් සහිත කොටස් මත පදනම්වූ කුලී හමුදා ගොඩනැඟීමට පියවර ගත්තේය. මෙහි එක් ප්‍රතිපලයක් වශයෙන් කලාපය පුරාම මෙම බලවේග දැවැන්ත ලෙස ශක්තිමත් විය.

මෙම යුද්ධ පාදක කර ගත් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යන ව්‍යාඛ්‍යානය, බුෂ් පාලනය විසින් මෙන්ම ඔබාමාගේ ධවල මන්ඳිරය විසින් ද ගෝලීය මිලිටරිවාදය යුක්තිසහගත කිරීම පිනිස මේ දක්වාම යොදාගනිමින් තිබේ. යුද්ධ දියත් කරනු ලැබුවේ, එජ තුලට ඇතුලුවී ගුවන් යානා පැහැරගැනීමට ඉඩ සැලසූ 15ක්ම සවුදි ජාතිකයින් වූ පුද්ගලයින් 19 දෙනෙකු එල්ලකල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි. එය දැන්, බටහිරෙන් ඉරාක සිරියානු දේශසීමාවේ හා ඇලෙප්පෝ ප්‍රදේශයෙහි සිට මධ්‍යධරනී මුහුද ආසන්නයටත් නැඟෙනහිරෙන් ඉරාන දේශසීමාව කරාත් විහිද යන තත්වාකාර අල් කයිඩා රාජ්‍යයක් නිර්මානය කිරීමට තුඩුදී ඇත.

ඔබාමා පාලනය එජ ප්‍රතිපත්තියේ ප්‍රධාන බාධකයක් වන ඩැමස්කස්හි අසාද් තන්ත්‍රය පෙරලා දැමීමට වැඩ කරයි. එරට තුල පවතින ඉමහත් මහජන විරෝධය ද ප්‍රතිපත්ති සම්පාදකයින් අතර අභ්‍යන්තර බෙදීම් ද සිය ප්‍රධාන අධිරාජ්‍යවාදී අනුචරයා වන බ්‍රිතාන්‍යයේ සහාය මඳ කම ද නිසා සිරියාවට එජ ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම අකුලා ගන්නට බලකෙරුනු පසුගිය වසරේදී ඔවුහු නින්දිත පසුබෑමකට මුහුන දුන්හ. ඒ වෙනුවට එජට, රුසියාව කපුකම් කල සිරියාවේ රසායනික නිරායුධකරනයකට හා අසාද් තන්ත්‍රය හා ඊනියා “කැලිකරුවන්” අතර සාකච්ඡා ආරම්භ කිරීමේ වැඩසටහන පිලිගැනීමට බලකෙරුනි.

එහි ප්‍රතිපලය වශයෙන් අයිඑස්අයිඑස් ද ඇතුලු සුන්නි මිලිෂියාවන් විසින් අධිකාරය ඉසිලූ සිරියාවේ එජ පිටුබලය දෙන “කැරලිකරුවන්ට” මූලෝපායික සපුබෑම් මාලාවකට මුහුන පෑමට සිදුවිය. පවතින තත්වය වෙනස් කිරීමට වොෂින්ටනය මංමුලාසහගතව සිටියි.

“කැරලිකරුවන් සන්නද්ධ කිරීම පිලිබඳව පාලක කවයන් තුල එන්ට එන්ටම උනුසුම්වන විවාදයක් හටගෙන ඇත. ඉස්ලාමීය මිලිෂියාවන් අතර සිටින “මධ්‍යස්ථ” කොටස්වලට මෝටාර්, රොකට් හා ගුවනේ සිට විදින මිසයිල් පහසුකම් ලබාදෙන ලෙස සිරියාවේ හිටපු එජ තානාපති රොබට් ෆෝර්ඩ් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ තීරුවක් ලියමින් ඉල්ලා සිටයේය. එසේම ඔවුන් කෙලින්ම එජ ගෙවීම් ලේඛනයට ඇතුල් කරන ලෙස ද ඉල්ලා ඇත. ෆෝර්ඩ් වැනි ආනකුත් එජ නිලධාරීන් ද කියාසිටින්නේ කිසිවිටෙකත් නම්කර නැති සංවිධානවල, “මධ්‍යස්ථ” කොටස් වලට දෙන එවන් ආධාර මගින් අල් කයිඩාවට බැඳුනු කොටස් හුදෙකලා වනු ඇති බවය. කෙසේ වෙතත් මෙම තර්කයේ අර්ථය හුදෙක්, එම කොටස් ද තීරනාත්මක ක්‍රියාකලිපයක් ඉටුකරන එජ මෙහෙයුම්වල සැබෑ සාපරාධී කම වසං කිරීමයි.

මොසුල් වැටීම සම්බන්ධයෙන් නිල වොෂින්ටනය ප්‍රසිද්ධියේම සිය දෑත් අඹරවාගන්නා අතර මෙම සිද්ධිය සිරියාවේ එජ කුලීකාර යුද්ධය මත සිදුකර ඇති බලපැම, එජ මිලිටරි හා ඔත්තු සේවා යාන්ත්‍රනයේ කොටස් සාදරයෙන් පිලි නොගන්නවා ද නොවේ.

එජ පිටුබලය සහිත සිවිල් යුද්ධය ආරම්භවූ තැන් පටන්, සිරියානු ආන්ඩුව පෙරලා දැමීමට මාන බලන අයිඑස්අයිඑස් අතට ඉරාක මිලිටරියේ අවි තොග පත්වීම මගින් එහි අවි බලය ඉමහත් ලෙස වැඩිකරනු ඇත. සන්නද්ධ රථ සිය ගනනක් අල්ලාගෙන ඇත. එක් ආරංචියකට අනුව ඒවා සම්පූර්න සේනාංකයක්ම සන්නද්ධ කිරීමට තරම් වේ. අයිඑස්අයිඑස් මොසුල් ගුවන් තොටුපල ද අත්පත් කරගෙන ඇති අතර මිලිටරි හෙලිකොප්ටර් හා ගුවන් යානා සියතට ගැනීමේ හැකියාව ලබාගෙන ඇත. අවි හා වෙඩි උන්ඩ විශාල තොගයක් අල්ලාගෙන ඇත. ඒ සියල්ල සිරියානු දේශසීමා හරහා එරටට යවනු ලැබේ. ඉස්ලාමීය සිරකරුවන් දහස් ගනනක් එහි ගොස් සටන් කිරීම පිනිස සිරගෙවල් වලින් නිදහස්කොට තිබේ.

එජ අවි ‘කැරලිකරුවන්' වෙත සැපයීමට කෙරෙන ඉල්ලීම්, භාවිතයේදී මොසුල්හි වර්ධනයන්ට අනුපාත වනු ඇත. ප්‍රතිපලය වනු ඇත්තේ, සිරියාවේ රුධිර ස්නානය තවත් දුරදිග යාමය.

එජ අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ඉටුකර ගැනීම හා ඇමරිකානු ධනවාදයේ ආර්ථික පරිහානිය වලක්වාගැනිම සඳහා මිලිටරිවාදය උපයෝගීකර ගැනීමේ උත්සාහය හමුවේ දුක් විඳින්නේ ජනතාවයි. ඉරාකයේ නව වසරකට ආසන්න යුද්ධය හා වාඩිලෑම මගින් මියගිය හා සරනාගතයන් බවට පත්වූ මිලියන ගනනකගේ සිට සිරියාවේ ජනතාව මත පටවා ඇති ව්‍යසනය හා දැන් මොසුල්හි අඩ මිලියනයක් දුගී ජනතාව ඉන්ට හිටින්ට නැති සරනාගතයන් බවට හැරවීම දක්වා මෙය දිව යයි.

විවාද රහිතව යුද අපරාධ වන මෙම කටයුතු වෙනුවෙන් කිසිවෙකුටත් වගකිම පවරා නැත. මෙයට වගකිව යුත්තේ හිටපු පාලනයේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඩික් චේනි, ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් හා අනෙකුත් අය පමනක් නොවේ. පසුගිය දශක දෙක හමාර තුල, දේශීයව මෙන්ම විදේශීයව ද එජ ප්‍රතිපත්තිය පතුරුවා හල ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ද මාධ්‍ය ද මහා සමාගම් හා සෑම ඇමරිකානු ආයතනයක්ම ද වගකීමට බැඳී සිටියි. ආක්‍රමනික යුද්ධ, වධ බන්ධන යන බුෂ් යටතේවූ සියලු සාපරාධී ප්‍රතිපත්ති ඔබාමා පාලනය විසින් ද අඛන්ඩව ඉදිරියට ගෙන යමින් ගැඹුරු කර තිබේ. ආසියාවට “හැරීම” හා යුක්‍රේන කුමන්ත්‍රනය සමගින් එය, රුසියාව හා චීනය සමග මිලිටරි ගැටුම සූදානම් කරන අතර න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයේ පසුබිම සකස් කරයි.

බිල් වෑන් ඕකන්

Share this article: