යෝජිත බීජ පනත කෘෂි සමාගම්වල ඒකාධිකාරය ආරක්ෂා කිරීමේ පනතක්

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2014 ජූනි 23

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් කෙටුම්පත් කර පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂිත බීජ සහ රෝපන ද්‍රව්‍ය පනත බීජ නිෂ්පාදනය කරන හා ආනයනය කරන දේශීය සහ විදේශීය සමාගම්වල ඒකාධිකාරය ශක්තිමත් කිරීමේ පනතකි. පසු ගිය වසරේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කල මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීති ගත කිරීමට ආන්ඩුව බලාපොරොත්තු වු නමුත් ගොවි ජනතාවගෙන් සහ ගොවිජන සංවිධාන වලින් නැගුන විරෝධය නිසා එය නීති ගත කිරීම තාවකාලිකව අත් හිටුවා තිබේ.

මෙබඳු පනතක් 2011 ද රාජපක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීමට උත්සාහ කල නමුත් ගොවි ජනතාව ගේ විරෝධය නිසා එය අකුලා ගැනීමට සිදුවිය. එහෙත් යෝජිත නව පනත "මහ ජනතාවගේ හා සංවිධානවල අදහස් සැලකිල්ලට" ගෙන "සංශෝධන සහිතව" නීති ගත කිරීමට ආන්ඩුව අපේක්ෂා කරයි.

නව පනතක් නීති ගත කිරීමට රාජපක්ෂ ආන්ඩුව තීන්දු කර ඇත්තේ කෘෂි සමාගම්වල ලාබ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව 2003 ක්‍රියාවට දැමු බීජ පනතින් තහවුරු කල කොන්දේසි තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුන ඇතිවය.

පනතේ ප්‍රකාශිත අරමුන ලෙස සඳහන් කර ඇත්තේ බීජ හා රෝපන ද්‍රව්‍යවල ගුනාත්මකභාවය ආරාක්ෂා කිරීම, බීජ හා රෝපන ද්‍රව්‍ය භාවිතා කරන්නන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා හසුරුවන්නන් ගේ ක්‍රියාකාරකම් විධිමත් කිරීම හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, බීජ හා රෝපන ද්‍රව්‍ය කර්මාන්තයේ සංවර්ධනය, කෘෂිකර්මාන්තයට වැදගත් වන්නා වූ දේශීය බීජ නිෂ්පාදනය හා රෝපන ද්‍රව්‍යවල ජාන සම්පත් සුරක්ෂිත කිරීම" ය.

එහෙත් පනතේ 10 (2) වගන්තියට අනුව "පුද්ගලික බීජ සහ රෝපන ද්‍රව්‍ය කර්මාන්තයේ වර්ධනය උදෙසා රාජ්‍ය අංශයේ ආයතන සමග සම්බන්ධීකරනය කිරීම" පනත යටතේ පිහිටුවන ජාතික බීජ හා රෝපන ද්‍රව්‍ය උපදේශක කවුන්සිලයේ වගකීම වන්නේය.

පනතේ බලතල ක්‍රියාවට දැමීමේ නිසි බලධරයා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ය. පනතේ වගන්ති ආකාරයෙන් බීජ නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, ප්‍රවාහනය ආදිය සම්බන්ධයෙන් හදිසි වැටලීම් කිරීමේ හා නීතිමය පියවර ගැනීමේ බලය, ඔහුට, ඔහුගේ සහකාර රෙජිස්ට්‍රාර් වරුන්ට හා ඔහු විසින් බලය පවරන වෙනත් නිලධාරීන්ට පනත මගින් හිමිකර දී ඇත. අපරාධ නඩු විධිවිධාන පනත යටතේ පොලීසියට හිමිවන වරද කරුවන් අත්අඩංගුවට ගැනීමේ හා නඩු පැවරීමේ බලතල ද අධ්‍යක්ෂ ජනරාල්ට සහ ඔහුගේ සහායක නිලධාරීන්ට ලැබෙයි.

පනතේ කොන්දේසි කඩකරන්නවුන්ට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියක නඩු පැවරීමෙන් අනතුරුව රුපියල් 50,000 දඩයකට සහ මාස හයකට නො වැඩි සිර දඬුවමකට ඔවුන් යටත් කල හැකිය. දෙවන හා තුන්වන අවස්ථාවලදී පනතේ කොන්දේසි කඩකරනු ලැබූ විට දඩය පිලිවෙලින් දෙගුනයක් හා තුන්ගුනයක් වන්නේය.

බීජ නිෂ්පාදනය කිරීමේ හා අලෙවි කිරීමේ සීමිත අයිතියක් 2003 පනත යටතේ ගොවියාට තිබුනි. නව පනතින් එය මුලුමනින් ම අහෝසි කෙරෙයි.

පනතේ සැබෑ අරමුන බීජ නිෂ්පාදනය, ආනයනය හා බෙදා හැරීම වානිජකරනය කර කෘෂි සමාගම්වල ලාබ උත්පාදක ව්‍යාපාරයක් බවට පත් කිරීම මිස ගොවියා ආරක්ෂා කිරීම නොවේ. තමන්ගේ ම බීජ නිෂ්පාදනය කිරීමේ හා ව්‍යාප්ත කිරීමේ අයිතිය නව පනත යටතේ ගොවියාට ක්‍රමානුකුලව අහිමි කෙරෙයි. සම්ප්‍රදායිකව ගොවීන් අතර කෙරෙන බීජ හුවමාරුවට පනත "බල නොපාන" බව සඳහන් කෙරෙතත් බීජ නිෂ්පාදනයේ සුලු ගොවීන්ට පනතේ කොන්දේසිවලට අනුකූලව ලියාපදිංචි වීමකින් තොරව බීජ හෝ රෝපන ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම කල නොහැකිය. නව නීතියට අනුව බීජ නිෂ්පාදනය කරන සමාගම් හෝ ගොවීන් "අනිවාර්යයෙන් ලියා පදිංචි " විය යුතු අතර සියලුම බීජ සහ රෝපන ද්‍රව්‍ය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන බීජ සහතික කිරීමේ සේවා මධ්‍යස්ථානයකින් සහතිකයක් ලබා ගත යුතු ය. එමෙන් ම අදාල කොන්දේසි යටතේ ලියාපදිංචි වුව ද කෘෂි සමාගම් සමග තරග කල නොහැකි තතු යටතේ ඔවුන් මුලුමනින් ම බීජ හා රෝපන ද්‍රව්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයෙන් ඉවතට තල්ලු වනු ඇත.

සම්ප්‍රදායික බීජ සංරක්ෂනයේ තනි අයිතිය අධ්‍යක්ෂ ජනරාල් යටතට පත්වීම හා "පුද්ගලික අංශයේ බීජ සහ රෝපන ද්‍රව්‍ය සංවර්ධනය" කිරීම යටතේ ඒවා කෘෂි සමාගම් අතට පත්වීමත් සමග ගොවීන් අතින් සම්ප්‍රධායික බීජවල අයිතිය උදුරා ගනිමින් ඒවා හුදෙක් ම කෘෂි සමාගම්වල ලාබ ඉපයීමේ වානිජමය නිෂ්පාදන බවට පරිවර්තනය කෙරෙනු ඇත. එමෙන් ම බීජ ජාන විකරනය කිරීමේ පහසුකම් කෘෂි සමාගම්වලට ලබා දීමට පනත මගින් ඉඩ සලසා ඇති අතර එසේ ජාන විකරනය මගින් නිපදවන නව බීජ වල පේටන්ට් අයිතිය ද හිමිවන්නේ එම සමාගම්වලට ය.

ලාබය පදනම් කරගෙන කෙරෙන මෙම ක්‍රියාවලිය තුල දී රටේ පවතින ජෛව විවිධත්වය ට ද බරපතල හානි සිදුවිය හැකි බවට පරිසර විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා ඇත.

ලෝක බැංකුවේ සහ ලෝක වෙලඳ සංවිධානයේ බල පෑම යටතේ හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය ලාබ අවශ්‍යතා සඳහා පසුගිය දශක දෙක තුල ලෝකයේ හැම රටක් තුල ම බීජ නිෂ්පාදන හා අලෙවි කිරීමේ අයිතිය ගොවියාගෙන් උදුරා ගැනීමේ අන පනත් ක්‍රියාවට දැමුනි. ශ්‍රී ලංකාව තුල ක්‍රියාවට දැමීමට යෝජිත නව බීජ පනත ද එහි ප්‍රතිපලයකි.

බීජ නිෂ්පාදනය ඇතුලු කෘෂි කර්මාන්තය පුද්ගලිකරනය යටතේ අනුරාධපුර මල්වානගම, හිඟුරක්ගොඩ සහ දඹුල්ල පැල්වෙහෙර රජයේ ගොවිපලවල් පිලිවෙලින් 1991, 1998 සහ 2000 වසර වල දී සීඅයිසී කෘෂි සමාගමට පවරා දෙනු ලැබීය. ඔපෙක්ෂ් හෝල්ඩින්ග් සහ හෙලිෂ් කෘෂි බීජ නිෂ්පාදනයේ, ආනයනයන කිරීමේ හා අලෙවි කිරීමේ යෙදෙන තවත් ප්‍රධාන සමාගම් දෙකකි. වී, ඒලවලු, පලතුරු බීජ හා අනෙකුත් රෝපන ද්‍රව්‍ය වල ඒකාධිකාරය පවතින්නේ මෙම සමාගම් අතේ ය. යුද්ධයෙන් පසුව බලහත් කාරයෙන් පවරා ගෙන තිබෙන උතුරු නැගෙනහිර ඉඩමුත් ඇතුලුව තවත් අක්කර දසදහස් ගනන් කෘෂි සමාගම් වලටපවරා දීමට රාජපක්ෂ ආන්ඩුව පියවර ගෙන ඇත.

බීජ නිෂ්පාදන අයිතිය පුද්ගලික සමාගම් වලට පැවරීමෙන් පසුව පසුගිය වසර කිහිපය තුල බීජ මිල සියයට සියයකින් හෝ ඊටත් වැඩි ප්‍රමානයකින් ඉහල ගොස් ඇති බව ගොවීහු කියති. බීජ වර්ග කිහිපයක වර්තමාන මිල ගනන් මෙසේය: බීජ වී කිලෝ 20 ක් රුපියල් 1300 ද අල කිලෝ පනහක් 12000-13000,ද ලීක්ස් බීජ ග්‍රෑම් 100 ක් 1200 ද බෝංචි ඇට කිලෝවක් 1200 බීට් ඇට ග්‍රෑම් 100 ක් 450 ද ගෝවා ඇට ග්‍රෑම් 20 ක් 900-950 ද වට්ටක්ක ඇට ග්‍රෑම් 25 ක් 670 හා පැපොල් ඇට කිලෝවක් රුපියල් 189,000 ද බව ඔවුහු කීහ.

බීජ මිල මේ මට්ටමට ඉහල යාමත් පොහොර සහ සෙසු කටයුතු සඳහා අධික වියදමක් දැරීමට සිදු වී ඇති හෙයින් ගොවි තැනින් ලාබයක් ලැබිය නොහැකි බව ද ගොවියෝ කියති.

බීජ පනතට විරෝධය පෑම හා ගොවි අයිතීන් ආරක්ෂා කිරීම සඳහා යැයි එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජවිපෙ කරන මවා පෑම් අමු ප්‍රෝඩාවකි. කෘෂි කර්මාන්තය පුද්ගලීකරනය 1980 ගනන් වල අග භාගයේ සිට ආරම්භ කෙරුනේ එජාප ආන්ඩුව විසිනි. 2003 බීජ පනත ගෙන ආවේ ද එවකට බලයේ පැවති එජාප ආන්ඩුව ය. රාජපක්ෂ ආන්ඩුව යටතේ සෙසු අංශ මෙන් ම කෘෂි කර්මාන්තය ද පුද්ගලික අංශයේ ඒකාධිකාරයට යට කිරීම වඩා වේගවත් කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවේ ආර්ථික පිලිවෙත් සම්බන්ධයෙන් එජාපයට හෝ ජවිපෙ ට මූලික මත බේදයක් නැත. වසර දෙකක් ජනාධිපති චන්ද්‍රිකා කුමාරනතුංග ආන්ඩුවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමතිකම බාර ගෙන සිටි ජවිපෙ වත්මන් නායක අනුර කුමාර දිසානායක ගොවි ජනතාවගේ අයිතීන් රැකීම සඳහා කල දෙයක් නැත. බීජ පනතට විරුද්ධව හා ගොවි ජන අයිතීන් රැකීමේ නමින් මේ පක්ෂ දෙක විසින් කරන විරෝධතා වල එල්ලය තමන්ට එල්ල කෙරෙන් ප්‍රහාර සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි ගොවීන් තුල වර්ධනය වන විරුද්ධත්වය තම ප්‍රතිගාමී දේශපාලන අරමුනු සඳහා ගසා කෑමේ තැතකි.

ගොවි සංවිධාන පෙල ගැසී සිටින්නේ ද එක් හෝ තවත් ආකාරයකින් ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ මේ පක්ෂ හා ව්‍යාජ වාම පක්ෂ වන නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සමග ය. රාජපක්ෂ ආන්ඩුවට බල පෑම් දැමීම මගින් ගොවි අයිතීන් රැක ගත හැකිය යන මිත්‍යාව මෙම පක්ෂ සහ ගොවි සංවිධාන විසින් වගා දිගා කරති. එහෙත් පසු ගිය දශක දෙක තුල මේ පක්ෂ සහ ගොවි සංවිධාන ගොවි ජනතාවගේ කිසිදු අයිතියක් ආරකෂා කර දීමට සමත් වී නැත. ඒ වෙනුවට සිදු වී ඇත්තේ තිබුන සහනයන් ද කප්පාදු වීම සහ ගොවි ජනතාවට එරෙහි ප්‍රහාර තව තවත් තීව්‍ර වීම පමනි. දැන් නසසප හා එසප, එජාපය හා එහි නායක රනිල් වික‍්‍රමසිංහ සමග පෙල ගැසී සිටියි.

තම අයිතීන් රැක ගැනීමට නම් ගම්බද ගොවි ජනතාව මෙම ධනපති පක්ෂ හා ඒවා සමග පෙල ගැසී සිටින ව්‍යාජ වාම පක්ෂ වලින් කැඩී සිය පන්ති මිතුරා වන නාගරික කම්කරු පන්තිය සමග ඒකාබද්ධ විය යුතු ය. කම්කරු පන්තියේ අයිතීන් මෙන් ම ගොවි ජනතාවගේ අයිතීන් රැක ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ලාබ අවශ්‍යතාවයන් ආරක්ෂා කරන රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රමුඛ ධනපති පන්ති පාලනය අහෝසි කර කම්කරු පන්තියේ සහ ගොවි ජනතාව ආරක්ෂා කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් පමනි.

Share this article: