වැලිවේරිය ජල දූෂනය පිලිබඳ කම්කරු පරීක්ෂනයේ වාර්තා ප‍්‍රකාශයට පත්කරන රැස්වීමට සහභාගී වන්න!

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ ප‍්‍රකාශයකි , 2014 ජූනි 21

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ වාර්තා සහ නිගමන ප‍්‍රකාශයට පත්කෙරෙන ප‍්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා පරිසර දූෂනයට එරෙහි සියලු දෙනාගෙන් අපි ඉල්ලමු. මෙම කම්කරු පරීක්ෂන කමිටුව පිහිටුවන ලද්දේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසිනි.

වැලිවේරිය රතුපස්වල පිහිටි, ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගමට අයිති වෙනිග්‍රොස් කම්හලෙන් පිටවන අප-ජලයෙන් ප‍්‍රදේශයේ භූගත ජලය දූෂනය වීම නිසා තමන් බරපතල සෞඛ්‍ය ප‍්‍රශ්නවලට මුහුන දී ඇතැයි විරෝධය පලකරමින් ප‍්‍රදේශයේ ජනයා ගෙනගිය බරපතල උද්ඝෝෂනයක් මධ්‍යයේ මෙම කමිටුව පිහිටුවන ලද්දේ ගිය නොවැම්බර් මාසයේ දී ය. පසුගිය අගෝස්තු 1දා දැවැන්ත උද්ඝෝෂනයක යෙදුනු ජනයා මැඩීමට ආන්ඩුව යෙදවූ හමුදාව වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු හා තරුන කම්කරුවෙකු ඝාතනයවූ අතර තවත් ගනනාවක් ම තුවාල ලැබූහ. කමිටුව පිහිටුවමින් සසප එහි පරීක්ෂන විෂය පථයන් මෙලෙස ප‍්‍රකාශයට පත් කලේ යඃ

• වෙනිග්‍රොස් සමාගම ප‍්‍රදේශයේ ජල සැපයුම දූෂනය කිරීම හා ගම්වාසීන්ගේ හා කම්කරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි ඉන් මතු කෙරෙන තර්ජනය

• කම්හලේ වැඩකරන කම්කරුවන් මුහුනපා සිටින සූරාකෑමේ සේවා කොන්දේසි

• අගෝස්තු 01දා ඝාතනවලට වගකිවයුත්තෝ කවරහු ද?

•ප‍්‍රදේශවාසින්ගේ මෙන්ම කම්කරුවන්ගේ ද සෞඛ්‍යයට තර්ජනයක්ව ඇති කාර්මික දූෂනයේ පීඩාවට විසඳුම කුමක් ද?

කම්හල බියගමට ගෙනයාම නිවේදනයවූ කල ඉන් ප‍්‍රශ්නය නොවිසඳෙන බවත් තවත් ප‍්‍රදේශයක පරිසර දූෂනයට කොන්දේසි හැදෙන බව සහ කම්කරුවන්ගේ රැකියාවලට තර්ජනය එල්ල වන බවත් සසප හා කම්කරු පරීක්ෂන කමිටුව අවධාරනය කලේ ය.

ගතවූ මාස ගනනාවේ ඇතිවූ සියලු වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව සහ සසප අවධාරනය කල කරුනු සනාථ වීමකි. වෙනිග්‍රොස් කම්හල අයිති ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව සිටින ආන්ඩුව එය ජල දූෂනයේ වගකීමෙන් මුදා හැර ඇති අතර සමාගම කම්හලේ සහ අනුබද්ධ සමාගම්වල සේවය කල ස්ථිර හා තාවකාලික කම්කරුවන් සිය ගනනකගේ රැකියා විනාශ කර දමා ඇත.

හමුදා ප‍්‍රහාරයෙන් පසු, ආන්ඩුවත් සමාගමත් තමන්ගේ විසඳුම ලෙස පොරොන්දු වූයේ කම්හල බියගම නිදහස් වෙලඳ කලාපය තුලට මාරු කරන බව යි. බියගම කම්හලක් අරඹා එහි වැඩ පටන් ගෙන ඇත. එහෙත් පරිසර සංවිධානයක් කොලඹ අභියාචනාධිකරනයේ පවරා තිබූ නඩුවක් විභාග කිරීමක දී සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කම්හල ප‍්‍රදේශයෙන් ඉවත් නොකරන බවත් වෙනත් සමාගමක් සමග ඒකාබද්ධව ඉදිරියේදී නිෂ්පාදන කටයුතු කරගෙන යන බවත් ප‍්‍රකාශ කර ඇත. ඔහු එසේ පවසා ඇත්තේ කම්හල වෙනත් තැනක පිහිටුවා ඇති නිසා නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස එය පවරා ඇති පරිසර සංවිධානයෙන් රජයේ නීතිඥයා ඉල්ලා සිටි අවස්ථාවේ ය.

සමාගමේත් රජයේත් නීතිඥයන්ගේ පරස්පර විරෝධී ප‍්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන්නේ සමාගම හා ආන්ඩුව මහජනයාට දුන් පොරොන්දු ද පරිසර දූෂනයෙන් ඔවුන්ට සිදුවී ඇති හානි ද තුට්ටුවකට මායිම් නොකරන බවත් ය. රතුපස්වල වෙනිග්‍රොස් කම්හල සම්බන්ධයෙන් සමාගම කරන්නට යන්නේ කුමක් දැයි පැහැදිලි නැතත් තමන්ගේ ලාභ පොදි තරකර ගැනීමේ සැලසුමක යෙදී සිටින බව නම් සහතික ය. ප‍්‍රදේශයේ ජනයාට නොමිලේ නල ජලය ලබා දෙන බව ආන්ඩුව පොරොන්දු වුවත් එලෙස ජලය ලබා දී ඇත්තේ කොටසකට පමනි. පොරොන්දු දීම් කලේ බස්නාහිර පලාත් සභා ඡන්දය අවසන් වන තෙක් ය.

ස්වාධීන කම්කරු පරීක්ෂනයේ අනතුරු ඇඟවීම් තව දුරටත් සනාථ වී ඇත්තේ කම්කරුවන්ගේ රැකියා හා වැටුප්වලට කෙටීමට සමාගම මානා ඇති ප‍්‍රහාරයෙනි. බියගම පිහිටවූ නව කර්මාන්ත ශාලාවට වැලිවේරිය කම්හලේ සේවය කල කම්කරුවන් 60න් 33ක් ඇතුලූ කල නමුත් දැන් ඔවුන් ද රැකියාවෙන් ඉවත් කිරීමට මාන බලන බව ස්ථිර සේවයේ සිටින කම්කරුවෙක් ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවට දැනුම් දුන්නේ ය. ඔහු පැවසුවේ අලුත් කම්හලේ වැඩ පටන් ගන්නා තෙක් "කම්කරුවන්ට සම්පුර්න වැටුප් ගෙව්වා. ඒ අපව නිහඬ කර තබා ගැනීමට යි. මම අවුරුදු 18ක් සේවය කර තිබෙනවා".

"දැන් අපිට තෝරා ගැනීම් තුනක් ඉදිරිපත් කරනවා. එකක් අලුත් සේවකයන් ලෙස රු 9,000ක වැටුපට සේවය කිරීම, දෙවැන්න වෙනත් ඩිප් ප්‍රොඩක්ට් කර්මාන්ත ශලාවක සේවය කිරීම හා තුන්වැන්න ස්වේච්ඡාවෙන් රැකියාවෙන් ඉල්ලා අස්වීම."

වෙනිග්‍රොස් කම්හලේ වැඩකල ස්ථිර 60ට අමතරව එම කම්හලේ ද අනෙක් අනුබද්ධ කම්හල් තුනක ද 600 ආසන්න තාවකාලික කම්කරුවන් සංඛ්‍යාවක් සේවය කලෝ ය. මෙම තාවකාලික කම්කරුවන් ගෙන් වැඩි දෙනෙකුට රැකියා අහිමි කර ඇත. කම්කරුවන් ගනනාවකගේ නම් කපා දමා ඇත්තේ ඔවුන් කම්හලෙන් සිදුවන පරිසර දූෂනයට එරෙහි උද්ඝෝෂනවල නියැලීම පිලිබඳව සමාගමේ කලමනාකරනය එකතුකර ගත් තොරතුරු අනුව බව පැවසේ. කම්හලේ පාලකයන් උද්ඝෝෂනයේ යෙදුන මහජනයාට එරෙහිව කම්කරුවන්ගේ පෙලපාලි සංවිධානය කල අතර දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය ප‍්‍රදේශයේ ජනයා කම්කරුවන්ට එරෙහි උද්ඝෝෂනවලට මෙහෙය වූයේ ය.

සමාගම එක අතකින් ප‍්‍රදේශයේ ජනයාගේ අයිතීන් පැහැර ගන්නා අතර අනෙක් අතින් කම්කරුවන්ගේ අයිතීන් පැහැර ගැනීමේ ද රුදුරු ලෙස යෙදී සිටින සැටි එලිදරව් වී ඇත්තේ මෙසේ ය. එය ඉඳුරාම උනන්දු වන්නේ ලාභ පොදිය තරකර ගැනීම පිලිබඳව ය. කම්හල ප‍්‍රතිව්‍යුහකරනයකින් කම්කරුවන්ගේ පඩි ද රැකියා ද කප්පාදුවක් අරඹා ඇත.

සමාගම නිකුත් කල පුවත්පත් ප‍්‍රකාශයකට අනුව කලින් වසරේ විකුනුම් රුපියල් බිලියන 14.7 වූ නමුත් පසුගිය වසරේ එය බිලියන 13.4ට වැටී ඇත. බදු ගෙවීමට පෙර ලාභය ද සියයට 29 කින් පහල වැටී ඇති අතර අත්වැසුම් අංශයේ ලාභය වැටීම සියයට 32කි. මේ වැටීමට තුඩු දී ඇත්තේ රතුපස්වල නිෂ්පාදනය ඇනහිටීමෙන් බව පැවසේ. මේ ලාභ වැටීම කම්කරුවන් මත පටවා සූරාකෑම උග‍්‍ර කිරීම සමාගමේ සැලැස්ම යි.

ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගමටම අයත් තුන්නානේ හංවැල්ල රබර් නිෂ්පාදන කම්හලේ (එච්ආර්පී) අප-ජලය හා විෂකාරක දුම නිසා එම ප‍්‍රදේශයේ ජනයාට ඇතිව තිබෙන සෞඛ්‍ය ගැටලු ස්වාධීන කම්කරු පරීක්ෂනයක අවශ්‍යතාව ඉහලින්ම සනාථ කර ඇත. විසඳුමක් ඉල්ලා තුන්නානේ ජනයා කරන උද්ඝෝෂනය සමාගම විසින් මැඩලනු ලැබ ඇත්තේ ආන්ඩුවේ ද ආධාරය ඇතිව උසිගන්වා ඇති පොලිස් මර්දනයකිනි. එහි ජනයා මාර්තු 16 දා උද්ඝෝෂනයට පොලිස් ප‍්‍රහාරයක් එල්ල කල ආන්ඩුව දුසිම් ගනනක් අත් අඩංගුවට ගෙන දැන් දෙදෙනෙකු ව්‍යාජ මිනීමැරුම් චෝදනාවකට සැක යයි රිමාන්ඩ්භාරයේ රඳවාගෙන අධිකරනයේ දී ඔවුනට එරෙහිව මිනීමැරුම් චෝදනාව ඉදිරිපත් කිරීමට යත්න දරයි.

ප‍්‍රදේශයේ ජනයාගේ උද්ඝෝෂනය පැතිරෙද්දී ධනපති එක්සත් ජාතික පක්ෂය ද එය සමග පෙරමුනක මාට්ටුවී සිටින නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) කම්හල ප‍්‍රදේශයෙන් ඉවත් කිරීම එකම විසඳුම බව ප‍්‍රකාශ කලෝ ය. නසසප හා එසප ක‍්‍රියා කලේ මහජන විරෝධය එජාපය යටතට පත් කිරීමට යි. ප‍්‍රදේශයෙන් කම්හල ඉවත් කිරීම පිලිබඳ ඉල්ලීම අන්ත පටු ඉල්ලීමකි. ඉන් සිදුවූයේ කම්හල හිමි සමාගමට වැලිවේරියේ සිදුවූ පරිසර දූෂනය හා හානිය පිලිබඳ වගකීමෙන් අත සෝදා ගැනීමට ඉඩ සැලසීම හා තවත් ප‍්‍රදේශයක එම හානිය කිරීමට ඉඩ දීම යි. ජනතා විමුක්ති පෙරමුන ද එවැනිම ක‍්‍රියා කලාපයක යෙදී ගත්තේ ය. මේ සංවිධාන අද වැලිවේරිය ගැන නිහඬ ය. වැඩ කරන ජනතාව මුහුන දෙන කිසිදු ප‍්‍රශ්නයක් මේ පක්ෂ විසින් බැරෑරුම්ව නොගනී.

ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව පසුගිය මාස ගනනාව තිස්සේ සමාගමත් ආන්ඩුවත් කරුනු යට ගැසීමට සහ වැලිවේරිය හා තුනානේ ජනයා බියගැන්වීමට ක‍්‍රියා කරන තතු යටතේ දුෂ්කර කොන්දේසි තුල සිය පරීක්ෂන කටයුතු ගෙන ගියේ ය. මහජනයා හා කම්කරුවන් නොතකා සමාගම ක‍්‍රියා කරන සැටි සහ පරිසර දූෂනයට එහි වගකීම පිලිබඳවත් අතිශය වැදගත් තොරතුරැ අනාවරනය කර ගැනීමට පරීක්ෂන කමිටුව සමත්ව සිටියි.

ලාභයම තකා නිෂ්පාදනයේ යෙදෙන ධනපති සමාගම් වෙසෙසින්ම අඩු දියුනු රටවල පරිසර දූෂනයේ යෙදෙමින් ක‍්‍රියා කරති. ධනවාදී අර්බුදය තවත් කඩා වැටීමක් කරා ගමන් කර ඇති මේ වකවානුවේ සෑම රටකම එලෙස ධනපති සමාගම් ක‍්‍රියා කිරීම ඉවබව නැතිව සිදු වේ. මිනිස් අවශ්‍යතා සඳහා තාර්කිකව නිෂ්පාදනය කෙරන කොන්දේසි තුල, එනම් සමාජවාදී ක‍්‍රමයක් තුල පමනක් ම මේ ප‍්‍රශ්නය විසඳා ගත හැකි ය.

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය:

පරීක්ෂන වාර්තා හා නිගමන ඉදිරිපත් කිරීම

ජූනි 29 සවස 2

වැලිවේරිය විලා ගයා උත්සව ශාලාව

Share this article: