සමාගම් දහස් ගනන් නෙරපා හැරීම් නිවේදනය කරද්දී එක්සත් ජනපද ආර්ථිකය මන්දගාමී වේ

US economy slows as companies announce thousands of layoffs

අන්ද්‍රෙ ඩේමන් විසිනි, 2014 මාර්තු 01

බෙස්ට් බයි, බෝයිං, වෙල්ස් ෆාගෝ, සහ ජේපී මෝර්ගන් චේස් ඇතුලු ප‍්‍රධාන සමාගම් ගනනාවක් දහස් ගනනක රැකියා නෙරපීම් මේ සතියේ නිවේදනය කරන අතරතුර පෙබරවාරි 28දා වානිජ දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිය වසරේ අවසාන කාර්තුවේදී එක්සත් ජනපද (එජ) ආර්ථික වර්ධනය සැලකියයුතු මට්ටමකින් මන්දගාමී වූ බවයි.

ජනවාරි අගදී ආර්ථික විශ්ලේෂන බියුරෝව නිකුත් කල වාර්තාවක, 2013 හතරවන කාර්තුවේ එජ සමස්ත ආර්ථික වර්ධනය පිලිබඳ තම පලමු තක්සේරුව සියයට 3.2 සිට සියයට 2.4 දක්වා පහත හෙලූ බව සඳහන් වේ. ආර්ථික විශේෂඥයින් අනාවැකි පලකර තිබුනේ යම්තම් සියයට 2.5 ක් ලෙසය.

පහතට ගෙන යන ප‍්‍රතිශෝධනය, සියයට 3.3 සිට සියයට 2.6 දක්වා කපා හැරුනු පාරිභෝගික වියදම් වර්ධන තක්සේරුවේ සීඝ‍්‍ර පහල යෑමෙන් සැලකියයුතු ලෙස පේ‍්‍රරනය විය. වැටුප් කඩාවැටීම් සහ දැවැන්ත නය බරෙන්, පැතිරෙන මහාජන විරැකියාවෙන්, සහ දිලිඳුකම පිටුදැකීමේ මූලික වැඩසටහන්වලට මූල්‍යාධාර කපාහැරීම් තුලින් මිරිකෙන පාරිභෝගිකයන්ගේ බහුතරය මුහුනදෙන විනාශකාරී ආර්ථික ස්වභාවයන් මෙම සංඛ්‍යාලේඛන පිලිබිඹු කරයි.

සියයට 2.4 ක ආර්ථික වර්ධන අනුපාතය, එජ ආර්ථිකය සියයට 4.1 ක අනුපාතයකින් වර්ධනය වුන තෙවන කාර්තුවෙන් සැලකිය යුතු අඩුවීමකි. 2014 පලමු කාර්තුව සඳහා සියයට 2 ක වර්ධන අනුපාතයක් තක්සේරු කරන ආර්ථික විශේෂඥයෝ ආර්ථිකය මන්දගාමී වීම දිගටම පවතිනු ඇති බවට බලාපොරොත්තු වෙති. ආර්බීඑස් සෙක්‍යූරිටීස් හි ආර්ථික විශේෂඥ ගයි බර්ගර් නිව් යෝක් ටයිම්ස් වෙත මෙසේ පැවසුවේය. “මුලින්ම, හතරවන කාර්තුව සඳහා අපට සැබැවින්ම දීප්තිමත් බලාපොරොත්තු තිබුන නමුත්, ඒවා කෙමෙන් කෙමෙන් ඇදගෙන වැටුනා.”

ආර්ථික වර්ධනයේ දුර්වල සංඛ්‍යා ලේඛන පසුගිය මාස දෙක සඳහා බලාපොරොත්තු වූවාට වඩා නරක අතට හැරුනු රැකියා සංඛ්‍යාවන් සමග එකතු වේ. කම්කරු දෙපාර්තමේන්තුවේ මෑතකාලීන රැකියා වාර්තාවට අනුව, ආර්ථික විශේෂඥයන් අනාවැකි පැවසූ රැකියා 189,000 ට වඩා ඉතා අඩු එනම් රැකියා 113,000 ක් ජනවාරියේදී එජ ආර්ථිකය විසින් නිපදවනු ලැබින. රැකියා 75,000 ක් පමනක් එකතු කල දෙසැම්බරයේ වාර්තාව වඩාත් නරක් විය.

දෙසැම්බරයේ සහ ජනවාරියේ රැකියා වර්ධනය 2010 න් මෙපිට කිසියම් මාස දෙකක කාල සීමාවක් සඳහා වඩාත් නරක් වූ අතර ගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් තෙක් පැවති දැනටමත් ඇල්මැරුන 160,000 ක මාසික සාමාන්‍යයට වඩා ඉතා පහල විය.

කෙසේවුවද, තුන්වන කාර්තුවේ සියයට 1.5 ක වැඩිවීම හා සසඳන කල හතරවන කාර්තුවේ සියයට 12.8 ක තියුනු වැටීමක් පෙන්නුම් කල රජයේ වියදම් තුලින් විශාලතම අඩුවීම සිදුවිය. ඔක්තෝබරයේ සිදුවූ ආන්ඩුව ඇන හිටීමේ සහ අයවැය කපාහැරීමේ ද ඒ සමානවම නොවැම්බරයේ ක‍්‍රියාත්මක කෙරුනු ආහාර මුද්දරවල සැලකිය යුතු කප්පාදුවේත් බලපෑම මෙයින් පෙන්නුම් කෙරින.

ෆෙඩරල් මහ බැංකුව අඩු පොලී අනුපාත සහ ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම් ඇතුලත් තම සැහැල්ලු මූල්‍ය ප‍්‍රතිපත්ති දිගු කාල පරාසයක් සඳහා, දිගටම පවත්වා ගෙන යාමේ සම්භාවිතාව, දුර්වල රැකියා සංඛ්‍යාලේඛන තුලින් ඉහල නගිනු ඇති බවට කොටස් වෙලඳුන් විශ්වාස කල බැවින්, කොටස් මිල ගනන් වඩාත් ධනාත්මකව ප‍්‍රතිචාර දැක්වීය. පසුගිය වසරේ 47 ත් වන වාර්තාගත අවසානයේදී එස්ඇන්ඩ්පී 500 දර්ශකය ඒකක 5.16 කින් හෝ සියයට 0.28 කින් අවසන් කෙරින. ගිය මාසය තුලදී දර්ශකය සියයට 4.5 කට වැඩියෙන් ඉහල ගොස් තිබේ.

නෙරපීම් නිවේදන වැලක් සමගින් සෘනාත්මක ආර්ථික සංඛ්‍යා ප‍්‍රකාශ විය.

* මාධ්‍ය වාර්තාවලට අනුව, සේවකයන් 15,000 ක් දොට්ට දැමීම ඇතුලත් සැලසුම් කර ඇති නෙරපාහැරීම් මාලාවක් අයිබීඑම් සමාගම මේ සතියේ පටන් ගත්තේය. මෙය පසුගිය වසරේ සිදුකල නෙරපීම් වලදී නැති කෙරුනු රැකියා 3,000ට අමතරවය.

* ඊලඟ මාස දෙක පුරා ටෙක්සාස්හි සන් අන්තෝනියෝ කම්හලේ ශ‍්‍රම බලකායෙන් 600 ක් දොට්ට දමන බව ගුවන් යානා නිෂ්පාදක බොයිං සමාගම 28දා පැවසීය.

* ආරෝග්‍යශාලා පහකින් සමන්විත පෙනිසිල්වේනියාවේ ක්‍රෝසර්-කීස්ටෝන් සෞඛ්‍ය සේවය සේවකයන් 250 ක් නෙරපන බව 27දා පැවසීය. ප‍්‍රාදේශීය පුවත්පතක් වාර්තා කලේ: “රෝහලට ඇතුලත්වීම්වල අඩුවක්, රාජ්‍ය හා ෆෙඩරල් අරමුදල් අඩුවීම, ප‍්‍රතිපූරන කපාහැරීම් සහ රක්ෂන හෝ සෞඛ්‍ය ආධාර කාඩ්පත නොමැති රෝගීන් සංඛ්‍යාව ඉහලයෑම වැනි සාධකවලට සමාගම දොස් පැවරූ බවයි.”

* තම උකස් අංශයේ කම්කරුවන් 700 ක් නෙරපන බව වෙල්ස් ෆාගෝ සහ සමාගම බදාදා නිවේදනය කලේය. “2014 පලමු කාර්තුවේදී උකස් කිරීමේ පරිමාව අඩු වෙන බවක් අපි බලාපොරොත්තු වෙමු.” යයි සඳහන් කරමින් උකස් සඳහා පවතින අවම ඉල්ලුම කප්පාදුවට හේතු වූ බව සමාගම පැවසීය.

* විකිනුම් සියයට 2.6 කින් පහල ගිය දුර්භාග්‍යසම්පන්න උත්සව සාප්පු සමයකින් පසු, සේවකයන් 2,000 ක් නෙරපන්නට බෙස්ට් බයි සැලසුම් කරන බව එදිනම නිව්යෝක් පෝස්ට් වාර්තා කලේය.

* තම පාරිභෝගික සහ ප‍්‍රජා බැංකු දෙපාර්තමේන්තුවේ, නිවාස නය අංශයෙහි, රැකියා 8,000 ක් ඉවත් කරන්නට තමන් සැලසුම් කරන බව ජේපී මෝර්ගන් 25දා පැවසුවේය. උකස් සහ ප‍්‍රති මූල්‍ය සැපයුම සඳහා වන ඉල්ලුමෙහි ඇදවැටීම මෙම තත්වයට මග පෑදු බව සමාගම පැවසීය.

පසුගිය වසර අගදී කොන්ග‍්‍රසය සහ ධවල මන්දිරය දශ ලක්ෂ 1.3 ක ජනතාවකගේ හදිසි ෆෙඩරල් විරැකියා ප‍්‍රතිලාභ කපාහැරීම නිසා ආර්ථික සහ රැකියා තත්වයන්ගේ පිරිහීම සිදුවෙයි. ප‍්‍රතිලාභ ප‍්‍රතික්ෂේප කෙරුන ජන සංඛ්‍යාව 576,000 කින් ඉහල යමින් සමස්ත ජන සංඛ්‍යාව දශ ලක්ෂ 2 කට ආසන්න විය. ඔවුන්ගේ නිවස්වල සාමාජිකයන් ගනන යමෙක් ගනන් බැලුවහොත්, බලපෑමට ලක්ව සිටින සංඛ්‍යාව දශ ලක්ෂ 6 ක් තරම් ඉහල යා හැක.

නොවැම්බරයේ කප්පාදුව අමතරව, ආහාර මුද්දර වැඩසටහනෙන් තවත් ඩොලර් බිලියන 8.7 ක් කපාහරින්නට, එනම් සමස්ත එකතුව ඩොලර් බිලියන 11 ක් වන, පනතකට මෙම මස මුලදී ඔබාමා අත්සන් කලේය.

Share this article: