"ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්” වෙබ් අඩවියෙහි පලවූ යුකේ‍්‍රනය පිලිබඳ ප‍්‍රකාශනයේ දේශපාලන වංචාව

The political fraud of International Viewpoint’s statement on Ukraine

2014 මාර්තු 03,හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසිනි

කලින් පැවති එක්සත් ලේකම් මන්ඩලයේ කුනුකන්දල් ද අන්තර්ගත කරගත් ව්‍යාජ වාම සංවිධානවල ප‍්‍රකාශන පල කිරීමේ යෙදී සිටින, "ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්” වෙබ් අඩවිය, යුකේ‍්‍රනය තුල සිදුවීම් පිලිබඳව අධිරාජ්‍යවාදයට ගැතිකම් දක්වන ප‍්‍රකාශයක් මාර්තු 02දා පලකොට තිබේ. මෙම ප‍්‍රකාශය "හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් ද අනුමත කර” තිබෙන බව එය කියා සිටියි.

මෙම ප‍්‍රකාශය ජාත්‍යන්තර කමිටුවට බැර කිරීම, ට්‍රොට්ස්කිවාදය නව පැබ්ලෝවාදී සංවිධානවල දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති සමග බද්ධ කිරීම මගින් එය අපකීර්තියට පත් කිරීම සිය කටයුත්ත බවට පත්කරගෙන සිටින අයගේ දේශපාලන ප‍්‍රකෝපකරනයකි. මෙම අධිරාජ්‍යවාදී බුද්ධි අංශ තුල ප‍්‍රකටව ඇති "ෆෝල්ස් ෆ්ලෑග්” (සදොස් කොඩිය) ක‍්‍රියාන්විතය පිලිබඳ නිදසුනකි.

මෙම ප‍්‍රකාශනය ගෙනහැර දක්වන දේශපාලන පිලිවෙත, හජාජාක අනුගමනය කරන ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන් හා සමාජවාදී දේශපාලනය සමග කිසිදු පොදු භාවයක් සපුරාම ඇත්තේ නැත. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා සීඅයිඒ සංවිධානයේ පාලන තන්ත‍්‍ර වෙනස් කිරීමේ ක‍්‍රියාන්විතයන් යුක්තිසහගත කිරීම අරමුනු කර ගත් නරුම හා රැවටිලිකාරී තර්ක මෙම ප‍්‍රතිගාමී ප‍්‍රකාශනය විසින් උපයෝගී කරගෙන තිබේ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිය ප‍්‍රකාශන පල කරන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුලයි. ලෝසවෙඅ පාඨකයින්ට හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන මග පෙන්වීම අපේක්ෂා කරන අයට අපි මෙසේ අනතුරු අඟවමු: ජාත්‍යන්තර කමිටුවේ ලියැවිල්ලක් ලෙස ඇඟවෙන, නමුත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මගින් පලකොට ප‍්‍රසිද්ධියට පත් කර නොමැති කිසිදු ප‍්‍රකාශයක් දැකිය යුත්තේ දේශපාලන වංචාවක් ලෙසිනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි දේශපාලන ඉතිහාසය, ප‍්‍රකට හා මුලුමනින්ම ලේඛනගත දෙයකි. එවකදී මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දෙන ලද සංශෝධනවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග ඇතිවූ භේදයේ ප‍්‍රතිඵලයක් ලෙස, 1953 නොවැම්බරයේ හජාජාක පිහිටුවන ලදී. පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග බැඳී සිටි සංවිධාන, දස වසරක ඇවෑමෙන් එක්සත් ලේකම් මන්ඩලය ලෙස යලි සංවිධානය විය.

පැබ්ලෝවාදී සංවිධාන හා හජාජාක අතර දේශපාලන බෙදීම් පැහැදිලිව ඇඳ තිබුනු අතර එය, ඓතිහාසික වාර්තාව පිලිබඳ කාරනාවකි.

පැබ්ලෝවාදී ව්‍යාපාරය තුල සිදුවූ නිමක් නැති දේශපාලන භේදයන්ගෙන් පසුව 2003 ආරම්භයේදී, කිසිදු පැහැදිලි කිරීමකින් තොරව, ජාත්‍යන්තර කමිටුවේ කතෘ නාමය යටතේ ”ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්” නමින් ප‍්‍රකාශන පලකිරීමට පටන් ගත්තේය.

විප්ලවවාදී සමාජවාදී පිලිවෙත් මත පාදක වන හතරවන ජාත්‍යන්තරයේ එකම සංවිධානයේ නම නීති විරෝධී ලෙස භාවිතා කිරීමට හේතු දෙකක් තිබේ. පලමුවැන්න, දශක ගනනාවක සීමාන්තික අවස්ථාවාදය හේතුවෙන් එක්සත් ලේකම් මන්ඩලයේ නාමය තරයේම අපකීර්තියට පත්ව තිබීමයි. රාජ්‍ය ඔත්තු සේවාවන්ගේ දුර්ගන්ධය විහිදුවන මෙම මෙහෙයුම් බොහොමයක්, සමාජවාදී දේශපාලනය නියෝජනය කරන සියලු දෙයින් මුලුමනින්ම පිටස්තර ය. දෙවැන්න, 1998 පෙබරවාරියේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කල තැන් පටන් සිය අනුහස වේගයෙන් වර්ධනය කරගත් ජාත්‍යන්තර කමිටුව අපකීර්තියට පත්කිරීමට පැබ්ලෝවාදී සංවිධානය කල්යල් බලමින් සිටි බවයි.

යුකේ‍්‍රනය පිලිබඳව එය නිකුත්කර තිබෙන ප‍්‍රකාශනය, කියෙව්හි කුමන්ත‍්‍රනයට අධිරාජ්‍යවාදය දුන් පිටුබලය යුක්තිසහගත කිරීම අරමුනු කර ගත්තේය. "යුකේ‍්‍රනයේ [ප‍්‍රධාන විපක්ෂ ව්‍යාපාරය තුල] ”සංවිධිත ප‍්‍රමුඛ දේශපාලන බලවේග අද දින දක්ෂිනාංශික හෝ අන්ත දක්ෂිනාංශික බව” පිලිගන්නා අතරම ඔවුන්ගේ ප‍්‍රකාශය කියා සිටින්නේ "එම ව්‍යාපාරය තුල වාම විපක්ෂයක් ගොඩනැගීමට උත්සාහ දරන සමාජ හා දේශපාලන බලවේග වලට අපි සහයෝගය දෙන්නෙමු.” යනුවෙනි.

එය මෙසේ ද කියයි. නව තන්ත‍්‍රයෙහි, "කම්කරු ව්‍යාපාරයක අඩුව පවතින අතර ප‍්‍රජාතන්ත‍්‍රීය, ජාතික හා සමාජ ප‍්‍රශ්න පිලිබඳ ප‍්‍රගතිශීලී ක‍්‍රියාමාර්ගයක් ඇත්තේ නැත. මෙම ප‍්‍රකාශනයේ කතුවරුන් සිය සහයෝගිතාවය හා තමන් වැඩ කිරීම සඳහා සූදානම්ව සිටින බව කියා සිටින්නේ හරියටම, ෆැසිස්ට්වාදීන් අධිකාරය දරන මෙම ව්‍යාපාරය සමගයි.

"ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්” හි දේශපාලන පිලිවෙත හා සැකකටයුතු මෙහෙයුම් වලට, ට්‍රොට්ස්කිවාදය, හතරවන ජාත්‍යන්තරය හෝ සමාජවාදය සමග කවර හෝ සම්බන්ධයක් ඇත්තේ නැත. ජාත්‍යන්තර කමිටුවේ නම වංචනික ලෙස යොදාගැනීම, ජාත්‍යන්තර සමාජවාදය හා කම්කරු පන්තියට එරෙහිව එල්ල කල දේශපාලන ප‍්‍රකෝපකාරිත්වයකි.

Share this article: