ශ‍්‍රී ලංකා ආන්ඩුව ත‍්‍රස්ත-විරෝධී නීතිය යටතේ මානව හිමිකම් ක‍්‍රියාකාරීන් රඳවා ගනී

Sri Lankan government detains human rights activists under anti-terror law

අදියන් සිල්වා හා එස්. ජයන්ත් විසිනි, 2014 මාර්තු 19

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි ආන්ඩුවේ යුද්ධය අවසන්වූ 2009 මැයි මාසයේ සිට මිලිටරි අත්අඩංගුවේ රඳවාගෙන සිටින තරුනයන් නිදහස් කරන ලෙස බලකරමින් උද්ඝෝෂනය කල මානව හිමිකම් පිලිබඳ සාමාජිකයින් කීප දෙනෙක් පසු ගිය සතියේ දී, පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඩ

මෙම අත්අඩංගුවට ගැනීම්, එල්ටීටීඊ කටයුතු යලි ආරම්භවී ඇති බවට ගොතනු ලබන ප‍්‍රකාශ අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධ හා මානව හිමිකම් අපචාර හෙලිකරන අයට එරෙහිව නව ප‍්‍රහාරයක් දියත්කර ඇති බව ඇඟවුම් කරයි.

* පසු ගිය සතියේ දී පොලීසිය, දෙමල වැන්දඹුවක වන බාලේන්ද්‍රන් ජෙයකුමාරි හා ඇගේ දියනිය වන 13හැවිරිදි විභූෂිකා, උතුරු කිලිනොච්චියේ ධර්මපුරම් ග‍්‍රාමයේ දී අත්අඩංගුවට ගත්තේ “හිටපු එල්ටීටීඊ සාමාජිකෙයෙකුට නවාතැන් සැපයීම” සම්බන්ධව ගොතන ලද චෝදනා මත ය. යුද හමුදා සොල්දාදුවන් සිය ගනනක් හා පොලීසිය ඇගේ නිවස අවට ප‍්‍රදේශය වට කලේ ඔවුන් “ත‍්‍රස්තවාදියෙකු” සොයන බව පවසමිනි.

පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන අංශය රාත‍්‍රිය පුරා මව හා දුවගෙන් ප‍්‍රශ්න කිරීමෙහි යෙදුනු අතර ත‍්‍රස්තවාදය පිටුදැකීමේ කුරිරු පනත යටතේ ආන්ඩුව ජෙයකුමාරි බූස්ස සිරකඳවුරේ රැඳ වූ අතර ඇගේ දියනිය ලමා ආරක්ෂක කාර්යාංශය යටතේ තබන ලදී එය ද රඳවා තැබීමකි.

නඩු විභාගයකින් තොර ව පුද්ගලයෙකු දින 18ක් රඳවා ගැනීම සඳහා ත‍්‍රස්තවාදය පිටුදැකීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්ට අවසර ලැබේ. රැඳවියාගෙන් බලෙන් ලබා ගැනුනු ඕනෑ ම “පාපොච්චාරනයක්” ඔහුට එරෙහිව යොදා ගත හැක. දෙමල දේශපාලන සිරකරුවන් සිය ගනනක් “එල්ටීටීඊ සැකකරුවන්” ලෙස බූස්සේ රඳවා ගෙන ඇත්තේ චෝදනා හෝ නඩුවිභාග නොමැතිව ය.

ජෙයකුමාරි සිදුකල එක ම “අපරාධය” නම් ඇගේ 15ස් වියේ පුත‍්‍රයා නිදහස් කර ගැනීම සඳහා උද්ඝෝෂනය කිරීම යි. ඔහු 2009 මැයි මාසයේ දී හමුදාවට භාර විය.

* “පසු ගිය ඉරිදා සවස් භාගයේ දී, ත‍්‍රස්තවාදී විමර්ශන අංශය, ඉන්ෆෝම් නමැති මානව හිමිකම් කන්ඩායමක රුකී ප‍්‍රනාන්දු හා කිලිනොච්චියේ සාමය හා සංහිඳියා කේන්ද්‍රයේ කතෝලික පියනමක් වන ප‍්‍රවීන් මහේසන් අත්අඩංගුවට ගත්තේ ය. ඔවුන් ජෙයකුමාරි හා ඇගේ දියනිය අත්අඩංගුවට ගැනීමේ පසුබිම සොයා බැලීමට උත්සාහ කර ඇත.

පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහන මෙසේ පැවසී ය: “සැකකරුවන් දෙදෙනා ත‍්‍රස්තවාදය පිටුදැකීමේ පනතේ ප‍්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගන්නා ලද්දේ, වාර්ගික අසමගිය හා කැලඹීම් ඇති කිරීමට උත්සාහ කිරීම හේතුකොටගෙනය.” ජෙයකුමාරි හා ඇගේ දියනිය අත්අඩංගුවට ගැනීම පිලිබඳව සොයා බැලීම “වාර්ගික අසමගිය හා කැලඹීම්වලට” හේතුවන්නේ කෙසේ දැ යි ඔහු පැහදිලි කලේ නැත

යුද්ධය අවසන් වීමෙන් පසුව වව්නියාව රැඳවුම් කඳවුරක සිට පලා ගිය ගෝබි නමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු, උතුරු ප‍්‍රදේශයේ අත්පත‍්‍රිකාවක් බෙදාහැරීමට සම්බන්ධ බවට පවතින සැකය මත ඔහු සෙවීමට ත‍්‍රස්තවාදී විමර්ෂන අංශයේ පරීක්ෂන සිදුවන බව පොලීසිය කියයි. ගෝබි ජෙයකුමාරිගේ නිවසේ සැඟවී සිට පලා යන අවස්ථාවේ පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කල විට නම් නොකල පොලිස් භටයෙකුට වෙඩි තැබූ බවට පොලිසිය චෝදනා කරයි.

නිවසේ තිබී ලෝහ අනාවරකයක් (ඩිටෙක්ටර්) සොයා ගෙන ඇති බව ද මිලිටරිය පැවසුවේ ය. හිටපු එල්ටීටීඊ සාමාජිකයා ඇල්ලීමට බව කියා සිටිමින් පොලිස් හා හමුදා භටයන් සිය ගනනක් ප‍්‍රදේශය වැටලූ නමුත් ඔහු සොයා ගැනුනේ නැත. මිලිටරි, පොලිස් හා ඔත්තුසේවා නිලධාරීන් හැම අස්සක් මුල්ලක් ම සෝදිසි කරමින් සිටිය දී එවැනි පලායෑමක් සිදුවූයේ කෙසේ දැ යි පොලිස් හා හමුදා ප‍්‍රකාශකයෝ පැහදිලි නො කලහ.

ඒ ආකාරයෙන් ම මිලිටරිය ප‍්‍රකාශ කරන්නේ හුදකලා හා කටුකම්බිවලින් වට කෙරුනු, දැඩි මුරකාවල් සහිතව මිලිටරිය විසින් පාලනය කරන රැඳවුම් කඳවුරකින් වසර පහකට පෙර “ගෝබී” පැන ගිය බව යි. අවසානයේ දී කිසිදු මූලික පහසුකමක් නොමැති ව “නැවත පදිංචි කරවීමට” පෙර දෙමල පුද්ගලයන් සිය දහස් ගනනක් වසර ගනනාවක් එහි රඳවා ගබා ගන්නා ලදී.

මුළු කතාව ම දිගහැරෙන්නේ මිලිටරිය විසින් වේදිකා ගත කරන ලද නාට්‍යයක් ලෙසය. ජෙයකුමාරිගේ නීතිඥයා පොලිස් ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කලේ ය. ඒ ආකාරයේ අත්අඩංගුවට ගැනීම් කීපයක් ම උතුරෙන් හා නැගෙනහිරින් වාර්තාවී ඇත.

“ත‍්‍රස්තවාදීන්” ලෙස නම් කරමින් වැඩකරන ජනතාව හා දේශපාලන විරුද්ධවාදීන් මත කඩාපැනීමේ කඩතුරාවක් සඳහා එවැනි චෝදනා ගෙතීම ආන්ඩුව හා ආරක්ෂක සංස්ථාපිතය සම්බන්ධයෙන් ගත් විට සුපුරුදු චරියාවකි. උතුරේ දී ආන්ඩුව එවැනි සිද්ධි යොදා ගන්නේ කලාපයේ පවතින මිලිටරි වාඩිලාගැනීම කෙරෙහි පල වන විරුද්ධතා මර්දනය කිරීමට ය.

යුද්ධය අවධියේ පාසැල ඇරී නිවස බලා එමින් සිටිය දී ජෙයකුමාරිගේ වැඩිමහල් පුතා වෙඩි තබා මරා දමන ලදී. මුල දී එල්ටීටීඊය බලහත්කාරයෙන් බඳවා ගෙන සිටි ඇගේ තුන්වැනි පුතා හමුදාවට යටත් විය. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා අතුරුදහන්වූවන් පිලිබඳ තොරතුරු ඉල්ලමින් පැවැත්වූ බොහෝ විරෝධතා ව්‍යාපාරයන්ට ඈ සහභාගී වී ඇත.

යුද්ධයේ අවසාන මාස අතරතුර දී ආන්ඩුව හා මිලිටරිය විසින් කරන ලද ඝාතන, යුද අපරාධ හා අනෙකුත් අපචාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ලත් යෝජනාවකට ආන්ඩුව මුහුනපා සිටින අතර තුර නව මර්දනය ආරම්භවී ඇත. එක්සත් ජාතීන්ගේ විශේෂඥ කන්ඩායමක් ඇස්තමේන්තු කර ඇත්තේ අවසාන මිලිටරි ප‍්‍රහාරය අතරතුර දී සිවිල් වැසියන් 40,000ක් පමන මරා දමන ලද බව යි.

එල්ටීටීඊයේ ශේෂයන් තවමත් උතුරේ ක‍්‍රියාත්මක බව ප‍්‍රදර්ශනය කිරීම සඳහා, සැකකටයුතු “ත‍්‍රස්තවාදීන්” අත්අඩංගුවට ගැනීමේ රැල්ලක් සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පිලිතුරු දීමට රාජපක්ෂ ආන්ඩුව උත්සාහ කරයි. සිය යුද අපරාධ හෙලිකිරීම හෝ කප්පාදු පියවරවලට හා මූලික ප‍්‍රජාත්ත‍්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප‍්‍රහාරයන්ට විරුද්ධවීම හෝ ඉවසන්නේ නැති බවට ආන්ඩුව කම්කරු පන්තිය වෙත ද පනිවුඩයක් නිකුත් කරයි.

ඒ අතර එක්සත් ජනපදය සිය සහචරයන්ගේ ද සහයෝගය ඇතිව තම යෝජනාව සූදානම් කරන්නේ, දෙමල ජනතාව හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට හෝ නො වේ. වොෂින්ටනය රාජපක්ෂ මත පීඩනය දැඩි කරන්නේ ඔහුගේ තන්ත‍්‍රය චීනයෙන් ඈත් කිරීමට ය. මෙය චීනය රාජ්‍යතාන්ත‍්‍රිකව හුදකලා කිරීම හා මිලිටරිමය වශයෙන් වැටලීම අරමුනු කර ගත් ඔබාමා පරිපාලනයේ වඩා පුළුල් “ආසියාවට හැරීමේ” ව්‍යාපාරයේ කොටසකි.

ඒ ආකාරයෙන් ම, දෙමල ධනේශ්වර ප‍්‍රභූව නියෝජනය කරන දෙමල ජාතික සන්ධානය, උතුර හා නැගෙනහිරට බලය බෙදීමක් සඳහා වන එහි තල්ලුවට සහාය ලබාගැනීම පිනිස එක්සත් ජනපදයට හා එහි සහචරයන්ට ආයාචනා කිරීම සඳහා මෑත ම අත්අඩංගුවට ගැනීම් ගසාකමින් සිටියි. ශ‍්‍රී ලංකාව තුල ඔවුන්ගේ ම ප‍්‍රතිගාමී බලය බෙදාගැනීමේ අරමුනු ඉටුකර ගැනීම සඳහා වොෂින්ටනයේ මූලෝපායික උත්සුකයන්ට සහාය දීමට සූදානම පෙන්වමින් ටීඑන්ඒ නායකයින් කීප දෙනෙක් දැන් ජිනීවා නුවරට ගොස් එක්සත් ජනපදය අනුග‍්‍රහ දක්වන යෝජනාවට සහයෝගය ඉල්ලා සිටිති.

රාජපක්ෂ ආන්ඩුවේ මර්දනය දෙමල ජනයාට පමනක් සීමා නො වේ. පරිහානියට පත් වන ආර්ථික තත්වය මධ්‍යයේ ආන්ඩුව ඒ ආකාරයේම මිලිටරි පොලිස් කඩාපැනීමක් දකුනේ කම්කරු පන්තිය මත ද ක‍්‍රියාත්මක කරමින් සිටී. සැබවින් ම, ආන්ඩුව කම්කරු පන්ති අරගලයන්ට එරෙහිව ප‍්‍රයෝජනයට ගනිමින් සිටින්නේ අවුරුදු 26ක සිවිල් යුද්ධය තුල දී ගොඩ නැගූ පොලිස්-රාජ්‍ය මෙවලම ය. මෑත ම සිදුවීම වන්නේ, කොලඹ දිස්ත‍්‍රික්කයේ හංවැල්ල රබර් අත්වැසුම් කම්හලකින් භූගත ජලය දූෂනය වීමට එරෙහිව ගම්මුන් සිය ගනනක් පෙලපාලි දැක් වූ අවස්ථාවේ දී පසු ගිය 16දා පොලීසිය ම්ලේච්ඡ ලෙස පහර දුන් අතර පුද්ගලයන් 60දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ය.

Share this article: