සසප සහ සසජාතශි තම අවසන් මැතිවරන රැස්වීම කොලඹ දී පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2014 මාර්තු 27

මාර්තු 29 දා පැවැත්වීමට නියමිත බස්නාහිර පලාත් සභා මැතිවරනයේ දී කොලඹ දිස්ති‍්‍රක්කයට තරග වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය 23 දා කොලඹ නව නගර ශාලාවේ දී තම අවසන් මැතිවරන රැස්වීම පැවැත්වූහ. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයට කම්කරුවන්, තරුනයන් හා අවශේෂ පීඩිතයන් කැඳවුම් කරමින්, මාස දෙකකට ආසන්න කාලයක් සසප හා සසජාතශි කොලඹ නගරයේද තදාසන්න ප‍්‍රදේශයන්හිද කම්කරු පීඩිත මහජනතාව අතර කරන ලද බලගතු උද්ඝෝෂනය කුලු ගන්වමින් පැවති මෙම රැස්වීමට කම්කරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ගෘහනීන් ඇතුලු හැත්තෑවකට ආසන්න පිරිසක් සහභාගි වූහ. දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් ගේ නායකත්වයෙන්, 43 දෙනෙකුගෙන් සමන්විත අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් සසප මෙම මැතිවරනයේ දී තරග වදියි.

රැස්වීම සඳහා කරන ලද උද්ඝෝෂනයේ දී “යුද්ධයට, කප්පාදුවට හා පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන්ට එරෙහිව සමාජවාදී කි‍්‍රයාමාර්ගය සඳහා සටන් වදිනු!” යන හිසින් සසප ඉදිරිපත් කල මැතිවරන ප‍්‍රකාශය දහස් ගනනින් බෙදා හැරින. වනාතමුල්ල, කොම්පඤ්ඤවීදිය, දෙමටගොඩ සහ මාලිගාවත්ත වැනි දුගී නිවස්නා ප‍්‍රදේශයන්හි ද දෙමල කතා කරන ජනයා බහුලව වෙසෙන කොටහේන සහ වැල්ලවත්ත ප‍්‍රදේශයන්හි ද කරන ලද උද්ඝෝෂනයන් තුලදී ඉතා බැරූරුම් දේශපාලන සාකච්ඡා අවුලුවා ගැනීමට සසප/සසජාතශි සාමාජිකයෝ සමත් වූහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපි කීපයක එකතුවක් ලෙස උද්ඝෝෂනය මධ්‍යයේ ප‍්‍රකාශයට පත් කෙරුනු “සමාජවාදී විමර්ශන” නම් වූ විශේෂ ලිපි සරනිය හා “යුකේ‍්‍රනයේ අර්බුදය” නම් වූ සඟරා පිංච කම්කරුවන් සහ තරුනයන් අතර සැලකියයුතු ආකර්ෂනයක් දිනා ගැනීමට සමත් විය. විශේෂයෙන්ම, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර කෙරුනු උද්ඝෝෂනයන්හි දී අන්තර් අධිරාජ්‍යවාදී යුද ආතතීන් තියුනු වන අයුරු හා ලෝක යුධ තර්ජනය වඩාත් ගැඹුරු වෙමින් පවත්නා අයුරු ඒත්තු ගැන්වීම සඳහා මෙම ප‍්‍රකාශන වඩාත් උපකාරී විය.

රැස්වීමේ මුලසුන දැරූ, සසප දේශපාලන මන්ඩල සාමාජික ඩබ්ලිව්.ඒ.සුනිල් රැස්වීම ආරම්භ කරමින් මෙසේ පැවසීය: “අප ජීවත් වන මෙම ආසියානු කලාපයේ වැඩෙන ආතතින් පැහැදිලි කරමින් ලෝක යුද්ධයක තර්ජනය තීව‍්‍ර වෙමින් පවත්නා ආකාරය අපි අපේ මැතිවරන ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කලා. උද්ඝෝෂනය මැද්දෙදි අපි දැක්කෙ අපේ පෙර දැක්ම සනාථ කරමින් යුක්රේනය මුල් කර ගෙන එම කලාපය තුල වැඩෙන යුද්ධයේ ගිනිදැල්. අපි කිව්ව වගේම මේ වර්ධනයන් සම්බන්ධයෙන් අනෙක් සියලුම පක්ෂ මුලුමනින්ම නිහඬයි.”

රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටින දේශපාලනික හා ආර්ථික අර්බුදයේ පරිමාව විස්තර කරමින් සුනිල් කියා සිටියේ රාජපක්ෂ වාඩිවී සිටින්නේ “ගිනි මැලයක්”මත බවයි. එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන් යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම් චෝදනා රාජපක්ෂ තන්ත‍්‍රයට එල්ල කර ඇත්තේ, ඉතා සමීප දේශපාලනික හා ආර්ථික සබඳතා ගොඩ නගා ගෙන සිටින කොලඹ හා බෙයිජින් දුරස් කිරීම සඳහා යොදන පීඩනයක් ලෙස, බව සුනිල් පැහැදිලි කලේය: “රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉදිරියේ බැගෑපත් වන රාජපක්ෂ, මෙම මැතිවරන උද්ඝෝෂනය තුල බටහිර කුමන්ත‍්‍රනයක් ගැන කියා පාමින් උන්මාදයක් මට්ටමටම අධිරාජ්‍ය විරෝධය නංවලා තියෙනව. දේශපේ‍්‍රමය අවුලල මෙම මැතිවරනය කෙසේ හෝ දිනා ගෙන පොලිස් රාජ්‍යයක් දෙසට ගමන් කරන තමාගෙ අත ශක්තිමත් කර ගන්න රාජපක්ෂ උත්සාහ කරනව.”

සසජාතශි සංවිධානයෙහි කැඳවුම්කරු කපිල ප‍්‍රනාන්දු රැස්වීම අමතමින් ප‍්‍රකාශ කලේ, 2008 න් ඇරැඹී දැන් වඩාත් ගැඹුරු වන ලෝක ධනේශ්වර බිඳ වැටීම හමුවේ වඩාත් බැට කන සමාජ කොටසක් බවට තරුනයන් හා ශිෂ්‍යයන් පත්ව ඇති බවයි: “දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ තරුන විරැකියාව ඉහලම මට්ටම් වලට නැගල. ගී‍්‍රසිය වගේ රටවල එය සියයට පනහත් ඉක්මවල. ලංකාවෙ තත්වය ඊට වෙනස් නෑ. වයස 16 ත් 24 ත් අතර ලංකාවෙ නිල විරැකියා ප‍්‍රතිශතය සියයට 22 ක මට්ටමට නැගල. ඇත්ත තත්වෙ මීටත් වඩා බරපතලයි. රාජපක්ෂගෙ ඊනියා සංවර්ධන පම්පෝරියට විපරීතව ලක්ෂ සංඛ්‍යාත තරුනයන් විරැකියා පෝලිමට එකතු වෙමින් සිටිනවා.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දමමින් සිටින අධ්‍යාපන කප්පාදු වලට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර වැඩෙමින් පවත්නා සටන්කාමිත්වය සම්බන්ධයෙන් කරුනු දැක්වූ ප‍්‍රනාන්දු කියා සිටියේ ආන්ඩුවේ දැඩි මර්දනය නොතකා ශිෂ්‍යයන් අරගලයට අවතීර්න වෙමින් සිටිය ද මෙම අරගලවලට නායකත්වය දෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ශිෂ්‍යයන් බලපෑම් දැමීමේ විරෝධතාවන්හි කොටු කොට ඔවුන් අවමංගත කරන බවයි. “පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් මෙහෙයවන අවිශිබමය ශිෂ්‍යයන්ට එරෙහි මර උගුලක්. ඔවුන් ඊනියා ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නංවමින් ශිෂ්‍යයන් කම්කරු පන්තිය දෙසට හැරීම දැනුවත්ව වලකනව. සමස්තයක් හැටියට කම්කරු පන්තියට එල්ල කෙරෙන මෙම ප‍්‍රහාරයෙන් ගැලවීම සඳහා ශිෂ්‍යයන්ට වෙන්වූ ස්වාධීන කි‍්‍රයා මාර්ගයක් නෑ. ඔවුන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලකට සටන් වැදීමෙන් පමනයි මෙම ප‍්‍රහාර පරාජය කරන්න පුලුවන්.”

විලානි පීරිස් තම කතාව ආරම්භ කලේ මැතිවරන උද්ඝෝෂනයේ අත්දැකීම් කීපයක් ඉදිරිපත් කරමිනි. සිතන මතන කොටස් ජාත්‍යන්තර වශයෙන් වැදගත් දේශපාලනික සිද්ධීන් අවබෝධ කර ගැනීමට දරන ප‍්‍රයත්නය පිලිබඳව ඇය විස්තර කලාය: “අප සමග සාකච්ඡා කල කෙනෙක් දුරකතනයෙන් අපව අමතල ඇහුවෙ යුකේ‍්‍රනයේ සිදුවන දෑ සම්බන්ධයෙන් අපේ පැහැදිලි කිරීම කුමක්ද කියල. එක්සත් ජනපදය හා ජර්මනිය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් යුකේ‍්‍රනයේ දක්ෂිනාංශික ෆැසිස්ට් කල්ලි මෙහෙයවා ගනිමින් සිදු කල කුමන්ත‍්‍රනයක් මගින් වික්ටර් යනුකොවිච් තන්ත‍්‍රය පෙරලා දැමූ බවත් එය රුසියාවට එරෙහි දැනුවත් ප‍්‍රකෝපකරනයක් බවත් ඔහුට පැහැදිලි කලාම තවදුරටත් මේ පිලිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඔහු පැවසුවා.”

කොලඹ නගරය වානිජ කේන්ද්‍රයක් බවට පත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලේ කොටසක් ලෙස දුගී පවුල් 70,000 ක් නගරයෙන් පලවා හැරීමට එරෙහිව සසප නියැලී සිටින උද්ඝෝෂනයට එම නිවැසියන්ගෙන් ලැබෙමින් පවතින සහයෝගය පිලිබඳව විස්තර කල පීරිස්, ධනේශ්වර පක්ෂ සංවිධාන සහ ඔවුනගේ කි‍්‍රයාමාර්ගයන්ගෙන් ස්වාධීන වූ කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගා ගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කලාය. මැතිවරනයේදී ඇතිවිය හැකි බලපෑම සැලකිල්ලට ගත් ආන්ඩුව මානව හිමිකම් කොමිසම ඉදිරියේ කරන ලද මවාපෑමක් මගින් නිවැසියන් පලවා හැරීම සුලු කාලයකට කල් දමා ඇති නමුදු, එය දැවැන්ත ජයග‍්‍රහනයක් ලෙස හුවා දැක්වීමට ජනතා විමුක්ති පෙරමුන දරන ප‍්‍රයත්නයට හසු නොවන ලෙසත් පීරිස් වනාතමුල්ල නිවැසියන්ට අනතුරු ඇඟවූවාය.

රැස්වීමේ අවසන් සහ ප‍්‍රධාන කතාව කලේ සසප දේශපාලන මන්ඩල සභික හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෲ මන්ඩල සාමාජික කේ.රත්නායක විසිනි. සිංහල භාෂාවෙන් කෙරුනු කතාව දෙමල භාෂාවට පරිවර්තනය කෙරින. අධිරාජ්‍යවාදී යුද සැලසුම්වලටත් රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරවලටත් එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග එක්ව සසප ගෙන යන අරගලය තනි අතින් කිරීමට සිදුවන්නක් මැතිවරන උද්ඝෝෂනය ආරම්භයේදීම සසප සටහන් කරගත් බව පවසමින් රත්නායක කතාවට අවතීර්න විය. “කම්කරු පන්තිය ඉදිරියේ පවතින්නේ ජාතික කර්තව්‍යයක් නොවේ. එය ජාත්‍යන්තර කර්තව්‍යයක්. අප සටන් වදින්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමටයි. එය ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක්.”

වැඩෙන යුද අන්තරාය සම්බන්ධයෙන් සමස්ත මාධ්‍ය සංස්ථාපිතය දක්වන දැනුවත් නිහඬභාවයට එරෙහිව, ලෝක යුද්ධයක අන්තරාය නිරන්තරව මතු කරමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලනිකව සන්නද්ධ කරලීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා ජාත්‍යන්තර කමිටුව කරගෙන යන වැඩ කටයුතු වල අර්ථභාරය පැහැදිලි කල රත්නායක කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුද කිරීම සඳහා ව්‍යාජ වාම සංවිධාන ඉටු කරන කි‍්‍රයා කලාපය පිලිබඳව අවධානය යොමු කලේය. “ඒ පිලිබඳ බලගතු උදාහරනයක් ශී‍්‍ර ලංකාව පාදක කරගත් බූන්දි නම් වූ වෙබ් අඩවිය සම්පාදනය කරනව. ව්‍යාජ වාම සංවිධානයක් වන ජාත්‍යන්තර මාක්ස්වාදී ප‍්‍රවනතාවයේ ඇලන් වුඩ්ස් විසින් යුක්රේනය පිලිබඳ ලියපු ලිපියක සිංහල පරිවර්තනය එහි පල කරල තිබෙනව. වුඩ්ස්ට අනුව පලමු ලෝක යුද්ධයට පෙර කාල වකවානුව සහ අද අතර කිසිම ඓතිහාසික සමාන්තරයක් නෑ. වෙනත් විදියකින් කියනව නම් තුන්වන ලෝක යුද්ධයක අන්තරාය මාත‍්‍රයක්වත් අද නෑ.”

අන්තර් අධිරාජ්‍යවාදී ප‍්‍රතිමල්ලවතා, නැතහොත් ලෝක යුද්ධ තත්වයන් නිර්නය වන්නේ ඒ ඒ අධිරාජ්‍යවාදී පාලකයාගේ මනසෙන් නොව ධනේශ්වර පද්ධතියේ අභ්‍යන්තර පරස්පරවිරෝධයන් තීව‍්‍රවීම මගින් බැව් පහදා දුන් රත්නායක එම පරස්පරවිරෝධයන් තියුනුම මට්ටමට ලඟා වී ඇති බවත් එයින් ජනිත කෙරී ඇති න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය පරාජය කල හැක්කේ ලෝක කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදීමෙන් පමනක්ම බවත් සඳහන් කලේය.

එල්ටීටීඊය යලි හිස එසවීමට යත්න දරන බව පවසමින් උතුරේ දෙමල ජනයාට එරෙහි මර්දනය තිව‍්‍ර කෙරෙමින් පවතින බැව් සඳහන් කල රත්නායක රාජපක්ෂ ආන්ඩුවේ පොලිස් රාජ්‍ය සැලසුම් වලට එරෙහිව ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වදින සසප සමග එක්වන ලෙස ඉල්ලමින් තම කතාව අවසන් කලේය.

අවසානයේදී මූලාසනයෙන් කරන ලද ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වමින් රැස්වීමට සහභාගිවූවන් විසින් රුපියල් පන් දහසකට අධික මුදලක් ප‍්‍රදානය කල අතර සසප සාහිත්‍ය මේසය වට රොක් වූ ඔවුන් රුපියල් හය දහසකට අධික සාහිත්‍යය මිල දී ගත්හ. ඒ අතරින් “දෛනික ජීවිතයේ ගැටලු” නම් වූ ලියොන් ට්‍රොට්ස්කි ගේ කෘතියේ අඩංගු ලිපි සහ දේශන වලින් කොටසක් අඩංගු නව සිංහල පරිවර්තනයට විශේෂ ඉල්ලුමක් තිබුනි.

රැස්වීමට සහභාගි වූ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකු අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය: “ශිෂ්‍යයන්ගේ අරගල කම්කරු පන්තියේ සමස්ත අරගල සමග ඒකාබද්ධ කරමින් ධනේශ්වර ක‍්‍රමයට එරෙහි ප‍්‍රතිප‍්‍රහාරයක් සූදානම් කරනු වෙනුවට අවිශිබමය කරන්නේ වැඩෙමින් ඇති අරගල එක් එක් විශ්ව විද්‍යාලයට පමනක් සීමා කිරීමයි. එසේ නොවේනම් එය එක් එක් අංශයන්ට සීමා කිරීමයි. ශිෂ්‍ය සටන් කියල වෙන් කර ගන්න එක වැරදියි. සසප සහ සසජාතශි කියන විදියට අධ්‍යාපනයට එල්ල කරන ප‍්‍රහාර සමස්තයක් විදියට කම්කරු පන්තියට එල්ල කරන ප‍්‍රහාරයේම කොටසක් ලෙස ගත යුතුයි. සසප ඉදිරි දර්ශනය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීම සඳහා තව දුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍යයි.”

රැස්වීම තුල සංකීර්න දේශපාලන ප‍්‍රශ්න පැහැදිලි කිරීමට ගත් උත්සාහය පිලිබඳ තම ප‍්‍රසාදය හා එකඟතාව පල කරමින් උසස් පෙල අවසන් කර සිටින තවත් තරුනයෙක් කියා සිටියේ “වාමාංශික යයි කියා ගන්නා පක්ෂ කිහිපයක රැස්වීම් කිහිපයකට සහභාගී වුනත් ඒ කිසි තැනක විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක් නම් සාකච්ඡා නොවූ” බවයි.

Share this article: