බටහිර පිටුබලය ලබන යුක්‍රේනියානු පාලන තන්ත්‍රය කම්කරුවන් වෙනුවෙන් සැලසුම් කරන්නේ කුමක් ද

What the Western-backed regime is planning for Ukrainian workers

2014 මාර්තු 15

වසර පහක් තුල ග්‍රීක ආර්ථිකය සියයට 25න් පමන හකුලුවා දැමීමට ද විරැකියාව හා දුප්පත්කම ඉමහත් ලෙස වැඩිකිරීමට ද තුඩුදුන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපිය සංඟමය හා යුරෝපීය මහ බැංකුව විසින් එරට තුල ක්‍රියාත්මක කල රුදුරු කප්පාදුවේ වැඩසටහන වන “ග්‍රීක මොඩලය” ලෙස, සකස් කරන සැලසුම් විවෘතව හඳුන්වනු ලබයි.

කෙසේ වෙතත් යුක්‍රේනය සම්බන්ධයෙන් සලකන කල, මෙම සමාජ ව්‍යසනය ඇතිකිරීමට නියමිතව ඇත්තේ දැනටමත් ධනපති පුනස්ථාපනයෙන් දැවීගිය මිහිකත ආර්ථිකයක් පවතින රටක් තුලය. මෑත සිදුවීම්වලට පෙරාතුව පවා, ඉරාකය, ටොන්ගා හා බොස්නියා හර්සගොවිනා යන රටවලට පිටුපසින් යුක්‍රේනය පැවතුනේ, දල දේශීය නිෂ්පාදිතයේ අගයට අනුව ගනන් බැලූ ඒක ජනක ආදායම අතින් ලෝකයේ දුප්පත්ම 80වන රට ලෙසය.

එරට ජනගහනයෙන් හතරෙන් එකක්, එනම් මිලියන 11 පමන මිනිසුන් ජීවත් වන්නේ, මසකට ඇමරිකානු ඩොලර් 127ක් හෙවත් යුක්‍රේනයේ මුදල් 1176ක් ලෙස දැක්වෙන, නිල දුගී රේඛාවෙන් පහතිනි. කෙසේ වෙතත් සැබෑ තත්වය නිල සංඛ්‍යාවලින් පෙන්වනවාට වඩා බෙහෙවින් නරකය. සාමාන්‍ය මාසික වැටුප, එරට මුදල් 1218ක් හෙවත් ඩොලර් 131 නැතිනම් පැයකට ඩොලර් ශත 79ක් පමනක් ලබන මිලියන ගනනක් ජිවත් වන්නේ යැපුම් මට්ටමට යාන්තම් ඉහලින්ය.

නිල විරැකියා අනුපාතය වන සියයට 7.5 සකස්කර ඇත්තේ, ලියාපදිංචි නොවූ හා අර්ධකාලීන ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් බැහැර කරමිනි. තවදුරටත් එය, රැකියා සොයාගෙන රට හැර ගිය ලක්ෂ ගනනක් වන සංක්‍රමනිකයින් නිසා ද පහල අගයක් පෙන්වයි. ලෝකයේ විශාලතම විදේශගතවූවන් සහිත රටක් බවට පත්කරමින් එරට ජනගහනයෙන් සියයට 15ක් පමන රට හැර ගොස් ඇත. සෝවියට් සංඟමය විසුරුවා හල 1991හා 2010 අතර කාලයේ යුක්‍රේනයේ ජනගහනය, මිලියන 51.7 සිට මිලියන 45.9 දක්වා පහත වැටී තිබේ.

විගමනය පසෙකින්, ලෝකයේ පහලම උපත් අනුපාතයක් පවතින රටක් වීමේ තත්වය තුල, යුක්‍රේනයේ ජනගහනය හැකිලී ඇත. ඛේදජනක ලෙස රටේ මාතෘ මරන අනුපාතය, යුරෝපයේ ඉහලම අගයක් ගන්නා අතර සෞඛ්‍ය අර්බුදයේ කොටසක් ලෙස, 2012 වසර තුල දිනකට එච්අයිවී/ඒඩ්ස් රෝගීන් 57 බැගින් සොයාගෙන ඇති අතර එය වසංගත තත්වයකට ලඟාවී තිබේ.

දැනටමත් ආර්ථික අවපාත තත්වයක පවතින, කලින් බෙහෙවින් කාර්මිකකරනයවී පැවති රටේ දකුනු හා නැඟෙනහිර පලාත්වල විශේෂයෙන්ම එච්අයිවී/ඒඩ්ස් බහුලව පැතිර තිබෙන අතර දුප්පත්කම ඒ සඳහා දායක වන්නේ සුලුපටු අයුරකින් නොවේ.

මත් ද්‍රව්‍ය, මත්පැන් හා ගනිකා වෘත්තිය වැනි පුපුරන සුලු සමාජ ප්‍රශ්න සෑම එකක්ම දුප්පත්කම සමග බැඳී ඇත. ගනිකාවන් හයදෙනෙකුගෙන් එක් අයෙක් බාලවයස් කාරියකි. බැලමෙහෙවරකම් හා ලිංඟික සූරාකැම යන අරමුනු සඳහා කෙරෙන මිනිස් වෙලඳාමේ මධ්‍යස්ථානයක් බවට යුක්‍රේනය පත්ව තිබෙන තත්වය තුල එය පවා අඩු තක්සේරුවකි.

සෝවියට් සංඟමය විනාශ කර ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් කුලුගැන්වුන ස්ටැලින්වාදී නිලධරය විසින් 1917 ඔක්තෝබර් විප්ලවය පාවාදීමේ ප්‍රතිවිප්ලවවාදී භූමිකාවෙහි සෘජු ප්‍රතිවිපාකය මෙම තත්වයයි.

එහි ප්‍රතිපල වශයෙන්, රුසියාව පිලිබඳ එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදී සැලසුම්වල ඉත්තෙක් බවට යුක්‍රේනය පත්ව තිබේ. සිවිල් යුද්ධයක හා ගෝලීය මිලිටරි ගිනිමැලයක අන්තරායන්ට අමතරව, පලමුව 2004 ඊනියා “තැඹිලිපැහැ විප්ලවයෙන්” ඉක්බිතිව හා පසුව 2008 ගෝලීය ධනපති බිඳ වැටීම හමුවේ, යුක්‍රේනය රුසියාවෙන් ඉවකර ගැනීමෙ බටහිර පිටුබලය සහිත උත්සාහයන්, ජනතාවට පෙර නොවූ විරූ මට්ටමේ සමාජ කාලකන්නි කමක් උරුමකරදී ඇත.

නිදසුනක් ලෙස 2008 හා 09 වසරවල යුක්‍රේනයේ දදේනි සියයට 15.1න් පහත වැටුනු අතර විරැකියාව සියයට 9.4 දක්වා තුන්ගුනයකින් ඉහල නැඟුනි. කලින් පැවති රාජ්‍ය දේපොල සොරකමෙන් මඩි තරකරගත් හිටපු ස්ටැලින්වාදී නිලධාරීන් හා මාෆියා කතිපයාධිකාරීන් මේ අතරතුර තම පෞද්ගලික වාසනාව වැඩිකර ගැනීමට රාජ්‍ය දේපොල කොල්ලය අඛන්ඩව ගෙනගොස් තිබේ.

එලඹීමට නියමිතව ඇත්තේ වඩාත් නරක තත්වයකි. ගනන් බලා ඇති ආකාරයට දැන් යුක්‍රේනයේ සමස්ත නය ප්‍රමානය ඩොලර් බිලියන 80ක් පමන වේ. වසර ආරම්භයේ පටන් එරට මුදල සියයට 20න් අවප්‍රමානයවී ඇති තතු තුල, මූල්‍ය අරමුදල් වියැකී ප්‍රාග්ධනය ඉවතට ගලාගොස් ඇත. යුක්‍රේනයේ නයගැතිකම ඉක්මනින්ම තවත් ඉහල නඟිනු ඇත.

ජාමූඅ හා යුරෝ සංඟමය, බිලියන 15ක “ගලවාගැනීමේ” පැකේජයක් සැලසුම් කරමින් සිටින බව පවසයි. මින් වැඩිම කොටසක් බටහිර බැංකු වලට ගෙවීමට ඇති නය වෙනුවෙන් හිලව් කරනවා පමනක් නොව, විශ්‍රාමික ගෙවීම් හා ඉන්ධන සහනාධාර තියුනු ලෙස කපා හැරීමක් ද එයට ඇතුලත් වේ. 1998 වසාරේ පටන් යුක්‍රේනය, ජාමූඅ විවිධ “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” වැඩසටහන් සමග සම්බන්ධවී සිටියේය. ඒවායේ ප්‍රතිවිපාක සමාජ පිපිරීමකට තුඩු දෙනු ඇති බවට බිය පලවීමෙන් පසුව ඒවා සියල්ල අතහැර දැමීමට සිදු විය.

පසුගිය වසරේ නොවැම්බර් 20දා, යුරෝ සංඟමය-යුක්‍රේන සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීම අවලංඟු කිරීමේ ආන්ඩුවෙහි තීරනයට මුල්වූ, ජාමූඅ අලුතෙන් ඉදිරිපත් කල නය පැකේජය, හිටපු අගමැති විසින් විස්තර කලේ “අතිශයින්ම දරුනු තත්වයන්” ලෙසය. අනෙක් අතට එම තීරනය, එජ හා යුරෝ සංඟමයේ අනුග්‍රහය යටතේ සිදුවූ කුමන්ත්‍රනයට තුඩුදුන් විරෝධතාවන්ට මුල් විය.

බටහිර බලවතතු එතරම්ම සමීප ලෙස සූදානම් කල එම අවස්ථාව දැන් අල්ලා ගැනීමට අදහස් කරති. යුක්‍රේන ආන්ඩුවේ හිටපු උපදේශකයෙකු වන ඇන්ඩර්ස් ඇස්ලුන්ඩ් පෙබරවාරියේදී ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයෙහි ලියමින්, කප්පාදු පැටවීම සඳහා බටහිර පිටුබලය ලත් කුමන්ත්‍රනය අවස්ථාවක් කරගැනීමේ හැකියාව ගැන සඳහන් කලේය. යුක්‍රේන අර්බුදයේ අර්ථය වන්නේ, “අතීතයේ මේ හා සමාන අර්බුදයන්ට මුහුනපෑ බොහෝ රටවලට වඩා පෙරලිකාරී ප්‍රතිසංස්කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම එහිදී වඩා පහසුවීමය.”

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හොරනෑවක් වන නිව් යෝර්ක් ටයිම්ස්, “යුක්‍රේන ආර්ථිකය හැඩගැස්වීම-වැරදියට මෙහෙයවූ බලශක්ති හා හුවමාරු අනුපාතික ප්‍රතිපත්ති රටේ නායකයින් විසින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය” යන හිසින් යුත් කතුවැකියක මෙම මතය යලි ඉදිරිපත් කරයි. කතුවැකිය, “නාස්තිකාරී බලශක්ති සහනාධාර” හෙලා දකිමින්, බටහිර බලවතුන් විසින් අටවන ලද රූකඩ ආන්ඩුව “බොහෝ පාරිභෝගිකයන්ට බලපාන සිල්ලර ඉන්ධන මිල වැඩිකිරීමට” කටයුතු කල යුතු බව කියා සිටියි.

පසුගිය දෙසතිය පුරාම ජාමූඅ නියෝජිතයෝ එරට තුල ක්‍රියාත්මක වෙමින් සිටිති. ඔවුහු, බලශක්ති හා ගල්අඟුරු ඇමති හා යුක්‍රේන ජාතික බැංකුවේ නියෝජිතයින් ද ඉන්ධන බෙදාහැරීමේ නියෝජිතයා වන නැෆ්ටොගෑස් ප්‍රධානියා ද හමුවුහ. තමන්ගේ වැඩකිරීමේ “ප්‍රගතිය හොඳින් සිදුවන” බවත් නව ආන්ඩුවේ නියෝජිතයින් “ආර්ථික ප්‍රතිසංස්කරන“ පිලිබඳව කැපවී සිටින බවත් එය වාර්තා කලේය.

මුදල තවදුරටත් අවප්‍රමානය කිරීම, මහජන වියදම් හා විශ්‍රාමික ගෙවීම් තියුනු ලෙස කැපීම හා විශේෂයෙන්ම උෂ්නත්වය රින අංශක 20 තරම් පහත වැටෙන රටක ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් වන රජයේ ඉන්ධන සහනාධාරය ඉවත් කිරීම මෙම “ප්‍රතිසංස්කරයන්ට” ඇතුලත් වේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් මෙසේ වාර්තා කරයි. “සිය යුක්‍රේනියානු සහකරුවන්ගේ ප්‍රතිරූපය යලි හැඩගැස්වීම අරමුනු කරගත්, ඊනියා දෙබිඩි ගිවිසුම් පිලිබඳ කටයුතු, යුරෝ සංඟමයේ රටවල විවිධ රාජ්‍ය ආයතන හැටක් විසින් දැනටමත් අවසන් කර ඇත.”

දදේනි සියයට 10ක වැටීම ගැන අර්ථශාස්ත්‍රඥයෝ ප්‍රසිද්ධියේ කථා කරති. බලයෙන් පහ කල ජනාධිපති වික්ටර් යනුකොවිච් වෙනුවට වොෂින්ටනය විසින් තෝරාගෙන තිබෙන අගමැති ආසනී යැට්සෙන්යුක්, “මගේ රටෙහි ඉතිහාසය තුල බෙහෙවින්ම අප්‍රසාදයට පත්වන අගමැති” තමා වනු ඇතැයි කෙලින්ම පවසා ඇත.

ඩොන්බාස් ප්‍රදේශයේ ආන්ඩුකාරයා ලෙස මෑතදී පත්කරන ලද කතිපයාධිකාරයෙක් වන සර්ගේ ටරූටා, මෙම පියවරයන් ක්‍රියාත්මක කරන කාල වකවානු ගැන ඇඟවුම් කලේය. “ප්‍රති අර්බුද කලමනාකරුවෙක්” ලෙස තෙමේම හඳුන්වාගත් ඔහු, තමා තනතුරු බාරගත්තේ හය මසකට හෝ වසරකට පමනක්“ බව සඳහන් කලේය. “ඒ කාලය තුල, ප්‍රබල පුද්ගලයින් ආන්ඩුවට ඇතුල්විම මට අවශ්‍ය කෙරෙන අතර ඉන් පසුව වැඩේ ඔවුන්ට බාරදී මට අයින් විය හැකිය.” යනුවෙන් ද පැවසිය.

ආන්ඩුව ෆැසිස්ට්වාදීන්ගෙන් හා අන්තවාදී දක්ෂිනාංශික පැරාමිලිටරි පුද්ගලයන්ගෙන් පුරවාලීමට එජ හා යුරෝපා සංඟමය එතරම් උන්න්දු වූයේ මන් ද යන්න පිලිබඳව ඔහුගේ ප්‍රකාශයෙන් එලියක් විහිදුවයි. යුක්‍රේන පාර්ලිමේන්තුව 14දා, රුසියානු විරෝධී “ක්‍රියාකාරීන්ගෙන්” හා මිලිටරි ඇකඩමියෙන් ජාතික ආරක්ෂකයින් ලෙස 60000ක් බඳවා ගැනීම සදහා ඡන්දය පාවිච්චි කලේය.

1990 ගනන් මුල හරියේ, යුක්‍රේනයෙහි නව-නාසි සමාජ-ජාතික පක්ෂය පිහිටුවන ලද ඇන්ඩ්‍රි පරූබි, නව ආරක්ෂක ප්‍රධානියා ලෙස මෙම හමුදාව බාරව කටයුතු කරනු ඇත. ඔහුගේ දෙවැනියා වන ඩ්‍රිමිත්‍රි නරෝෂ්, පැරාමිලිටරි දක්ෂින නිකායේ නායකයාය. එය හිට්ලර්ගේ ප්‍රහාරක බලඇනියට සමාන එකකි.

මොස්කෝවට එරෙහි බටහිර ප්‍රකෝපකරනයන්ට සහාය දිමට අමතරව මෙම කොටස්වල ප්‍රධාන වගකිම වනු ඇත්තේ, ජත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් යුක්‍රේන කම්කරු පන්තියට එරෙහිව සමාජ ප්‍රහාර එල්ල කිරීමයි.

ජූලී හයිලන්ඩ්

Share this article: