හිටපු ජර්ම්න් චාන්සලර් ගෙර්හාඩ් ෂ්රූඩර් හා ජාත්‍යන්තර නීතිය

Ex-German chancellor Gerhard Schröder and international law

ජොහැනස් ස්ටර්න් විසිනි, 2014 මාර්තු 14

පසුගිය 09දා ඩි සෙයිට් ප්‍රවෘත්ති සඟරාව ජර්මනියේ හැම්බර්ග් නුවර සංවිධානය කල වේදිකා සාකච්ඡාවකදී හිටපු සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ චාන්සලර් ගෙර්හාඩ් ෂ්රූඩර් මෙසේ පැවසීය.“සැබවින්ම ක්‍රිමියාවේ සිදුවන දේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි.” රුසියාව ක්‍රිමියාව තුල ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන්නේය යයි කියාපාමින්, යුක්‍රේන අර්බුදය තුල සිය ආක්‍රමනික කටයුතු යුක්තිසහගත කිරීමට කටයුතු කරන ජර්මානු ආන්ඩුව හා එහි ජාත්‍යන්තර අනුචරයින් වෙත ඉන්පසුව ඔහු සිය පූර්න සහාය පල කලේය.

කෙසේ වෙතත් ඒ සමගම ෂ්රූඩර් සිය මිතුරා වන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හෙලා නොදැක්කේය. හිටපු චාන්සලර් වරයා, තමන් ද ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමට ක්‍රියාකර ඇති බව පිලිගත්තේය. “අප සර්බියාව වෙත අපගේ යුද ගුවන් යානා යවමින් නේටෝව සමග එක්ව ස්වෛරී රාජ්‍යයකට පහර දුන්නේ, ආරක්ෂක මන්ඬලයේ යෝජනාවක් නොමැතිව”යි ෂ්රූඩර් පැවසීය. මෙය හිටපු ජර්මානු චාන්සලර් වරයා විසින් කල සැලකිය යුතු ප්‍රකාශයකි. සිය මූලෝපායික හා දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම පිනිස අධිරාජ්‍යවාදී බලවතුන් ගෙන ගිය දෙපිටකාට්ටුකම් හා සාපරාධීත්වයේ තරම ඉන් පෙන්නුම් කරයි. ඔවුන් ක්‍රියාකර ඇත්තේ තම ආදර්ශ පාඨයන්ට අනුකූලවය. “අපගේ අවශ්‍යතාවන්ට ගැලපෙන දේ නීත්‍යානුකූලය, ඔවුන්ගේ මග හරස්කරන කවරෙක් හෝ නීති විරෝධීය.”

ෂ්රූඩර් සඳහන් කරන්නේ, ඒ වන විටත් සර්බියාව හා මොන්ටිනීග්‍රෝ ප්‍රදේශ වලින් සමන්විතව තිබුනු යුගෝස්ලාවියානු සමූහාන්ඩුවට බෝම්බ හෙලූ නේටෝවේ ආක්‍රමනය ගැනය. ක්‍රොඒෂියා, ස්ලොවේනියා, බොස්නියා හා මැසඩෝනියාව ජර්මානු ආන්ඩුවේ ක්‍රියාත්මක සහයෝගය ඇතිව ලේ වැකි ගැටුම් හරහා ඊට පෙර යුගෝස්ලාවියාවෙන් වෙන්වී තිබුනි.

1999 මාර්තු හා ජූනි අතර කාලයේ නේටෝව, ප්‍රහාරක යානා 1000ට වැඩි සංඛ්‍යාවක් යොදා ගනිමින් සිය විශාලතම ගුවන් යුද මෙහෙයුම දියත්කරන ලදී. මේ ක්‍රියාවලිය තුලදී සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවරට බොම්බ හෙලනු ලැබිනි. දැන් ෂ්රූඩර් පිලිගන්නා පරිදි, එම යුද්ධය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කල අතර එහි ප්‍රතිපල වශයෙන් එය යුද අපරාධයකි. රුසියාව ආරක්ෂක මන්ඬලයේදී නිෂේධ බලය පාවිච්චි කරමින් විරුද්ධ වීම නිසා එය ගෙන ගියේ එක්සත් ජාතින්ගේ අනුමැතියකින් තොරවය.

ජර්මනිය යුගෝස්ලාවියාවට එරෙහි යුද්ධයට අවතීර්න වූයේ ෂ්රූඩර්ගේ මූලිකත්වයෙනි. ඒ වන විට ඔහු චාන්සලර් ලෙස ද ඔහුගේ අනුචර හරිත පක්ෂයේ ජොෂ්කා ෆිෂර් විදේශ ඇමති ලෙස ද කටයුතු කලේය. දෙවන ලෝක සංග්‍රාමයේදී හිට්ලර් ලත් පරාජයෙන් පසුව ජර්මන් හමුදාව විසින් සිදුකරන ලද පලමු විදේශ මිලිටරි මැදිහත්වීම එය විය.

යුගෝස්ලාවියාව සමග යුද්ධයට නිමිත්ත වූයේ සර්බියානුවන් කොසෝවෝ ඇල්බේනියානුවන් ඝාතනය කල බවට නඟන ලද චෝදනාවයි. එවකදී කොසෝවෝ, ජාත්‍යන්තර නීතිය අනුව පැහැදිලිවම සර්බියාවට අයත් ස්වාධීන ප්‍රාන්තයක් විය. සැබවින්ම දිගු කාලයක් තිස්සේ නේටෝව සහයෝගය දුන් කොසෝවෝ විමුක්ති හමුදාව (යූකේකේ) සංවිධිත අපරාධයන්ට සමීපව බැඳී තිබුනු ජාතිකවාදී සන්නද්ධ සංවිධානයක් විය. 1998 ජනවාරියේ සිට යූකේකේ, යුගෝස්ලාවියානු හමුදාවට එරෙහිව සන්නද්ධ අරගලයක් මෙහෙයවූ අතර එහිදී දෙපාර්ශවයම බිහිසුනු ප්‍රචන්ඩ ක්‍රියා සිදු කර තිබේ.

පලමුව එක්සත් ජාතීන් යටතේ වූ වැයික්කියක් ලෙසත් 2008 පටන් නිදහස් රටක් ලෙසත් කොසෝවේ වෙන්වීම, නේටෝව ප්‍රායෝගිකවම බල ගැන්වීය.

ජර්මන් ආන්ඩුව හා එහි සහචරයින්, දැන් යුක්‍රේනය තුල ද සෘජුවම ක්‍රියාවට නඟා ඇත්තේ මෙම නීති විරෝධී ප්‍රතිපත්තිය ය යන කාරනය පිලිබඳව ෂ්රූඩර් නිහඬව සිටියි. යුක්‍රේනයේදී ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇත්තේ රුසියාව නොව, බටහිර බලවතුන්ය. මාස ගනනාවක් තිස්සේ සිය අවශ්‍යතා ක්‍රියාත්මක කිරීම පිනිස ඔවුහු රටේ ජාතික පරමාධිපත්‍යට ආක්‍රමනාකාරී ලෙස වල කැපූහ.

පසුගිය නොවැම්බරයේදී යුරෝපීය සංඟමය සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීම, යුක්‍රේනයේ පත්කරගත් ජනාධිපති වික්ටර් යනුකොවිච් විසින් අතහැර දැමූ කල වොෂින්ටනය හා බර්ලිනය, පෙබරවාරි 22දා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රනයකින් බලයට පත්වූ ජාතිකවාදී හා ෆැසිස්ට් වාදී බලවේග බලමුලු ගැන්වූහ. දැන් ඔවුහු, රුසියාව හුදෙකලා කර, යුරෝපා සංඟමයේ හා නේටෝවේ අනුහස තවත් නැඟෙනහිර දෙසට පැතිරවීම පිනිස යුක්‍රේනයේ දක්ෂිනාංශික තන්ත්‍රය ශක්තිමත් කරති.

පාලක පැලැන්තියේ ප්‍රතිපත්ති විරහිත නියෝජිතයෙකු ලෙස ෂ්රූඩර්, පැහැදිලි ලෙස හෙලිදරව් කරන්නේ, දේශපාලඥයින් හා මාධ්‍ය ජාලයන් මානව අයිතීන් හා ජාත්‍යන්තර නීතිය පිලිබඳව පවත්වන කතා පිටුපස සැඟවී ඇත්තේ කුමක් ද යන්නයි. ජාත්‍යන්තර නීතිය මුලුමනින්ම වල දමන යුද්ධයේ පිලිවෙතක්!

Share this article: