රාජපක්ෂ ආන්ඩුව තුන්නාන පොලිස් ප‍්‍රහාරයෙන් පසු නිවැසියන්ට එරෙහි මර්දනය තීව‍්‍ර කරයි

පානිනී විජේසිරිවර්දන සහ ආර්.එම්.දයානන්ද විසිනි, 2014 මාර්තු 22

පසු ගිය 16 වන ඉරිදා උදෑසන, හංවැල්ල තුන්නානේ පිහිටි, හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හල ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටි ප‍්‍රදේශවාසීන්ට පොලීසිය විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරයෙන් පසු රාජපක්ෂ ආන්ඩුව විසින් තුන්නාන නිවැසියන්ට එරෙහි පොලිස් මර්දනය දැඩි කොට ඇත. කම්හල් භූමිය අවට සහ ඇතුලත සියයකට ආසන්න සන්නද්ධ හමුදා භටයන් යොදවා ඇති අතර නිරන්තරව කෙරෙන පොලිස් සංචාරයන් මගින් සහ ප‍්‍රශ්න කිරීම් වලින් ප‍්‍රදේශවාසීන් ත‍්‍රස්ත කෙරෙමින් පවතී. විරෝධතාවයේ දී, කපා හෙලූ ගසකට යටවී මිය ගිය පොලිස් නිලධාරියෙකුගේ මරනය දඩමීමා කර ගනිමින් තවත් කීප දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය සැරසෙයි. යොදවා ඇති භට සංඛ්‍යාව ද මර්දනයේ පරිමාව ද සැලකිල්ලට ගත් කල මෙය ආන්ඩුව විසින් දැනුවත්ව ගනු ලැබූ පියවරක් බව පැහැදිලිය.

දිවයිනේ ප‍්‍රධාන සංගතයක් වන හේලීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගම යටතේ පාලනය වන එච්ආර්පී කම්හලෙන් පිට කෙරෙන අපජලය හේතුවෙන් ප‍්‍රදේශයේ භූගත ජලය අපවිත‍්‍රව ඇති බවටත් ඉන් මහජන සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවටත් චෝදනා කරමින්, කම්හල වසා දමන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසීන් ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස මෙම විරෝධතාව පැවතින. ප‍්‍රහාරයෙන් ගම්මුන් කීප දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබූ අතර, ස්තී‍්‍රන් කුඩා දරුවන් ඇතුලු පනස් දෙනෙකු පමන අත් අඩංගුවට ගැනින.

පහලොස්වන දා උදෑසන ආරම්භ වූ විරෝධතාවට සිය ගනනක් සහභාගිව සිටි අතර, 16 දා අලුයම හිටිහැටියේ පැමිනි 150 කට ආසන්න පොලිස් භට පිරිසක් නිරායුද විරෝධතාකරුවන්ට ඉවක් බවක් නොමැතිව පහර දී ඔවුන් අත් අඩංගුවට ගත්හ. පහර කන්නවුන්ගේ විලාපයන් ඇසී සැනින් කම්හල දෙසට ඇදී ආ සිය ගනනක් ප‍්‍රදේශවාසීන්ට බැටන් සහ රයිෆල් තුවක්කු වලින් පහර දුන් පොලිස් භටයෝ ප‍්‍රහාරයෙන් මිදෙනු වස් පලා ගිය ස්තී‍්‍රන් හා කුඩා ලමුන් පවා හඹා යමින් නැවත නැවතත් පහර දුන්හ. නිවෙස් වලට පවා ඇතුලු වී නිවැසියන්ට පහර දුන් පොලීසිය තුන්නාන විහාරස්ථානය තුලට කඩා වැදී එහි බුදු මැදුරෙහි දොර ද කඩා දමා එහි සිටි අයට පහර දුන්හ.

අත් අඩංගුවට ගැනුන විරෝධතාකරුවන් පාදුක්ක, හංවැල්ල සහ හෝමාගම පොලිස් ස්ථානයන්ට රැගෙන ගිය අතර කෝපයට පත් ගම්වාසීහු ගස් කපා දමමින් කොලඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කලහ. පැය තුනකට ආසන්න කාලයක් එහි ගමනාගමනය නතරව තිබුනි. මෙම තතු යටතේ දැඩි ලෙස සන්නද්ධ වූ 1500 කට ආසන්න දැවැන්ත පොලිස් භටකායක් ආන්ඩුව විසින් කැඳවනු ලැබින. කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර යොදා ගනිමින් 16 දා සවස් වන තෙක් ප‍්‍රහාරය දියත් කෙරින.

ලඟ එන පලාත් සභා මැතිවරනය ද ප‍්‍රහාරයට එරෙහිව වැඩෙන මහජන විරෝධය ද සැලකිල්ලට ගත් ආන්ඩුව අත් අඩංගුවට ගත්තවුන් එදින ම මුදා හල ද ඔවුනට එරෙහි නීතිමය පියවර කි‍්‍රයාත්මක වෙමින් පවතී. පොලිස් බුද්ධි අංශ නිලධාරීන් තුන්නාන පිරිමදිමින් හා නිවැසියන් බිය වද්දමින් ඊනියා සාක්ෂි සහ තොරතුරු එකතු කිරීමේ ව්‍යායාමයක යෙදී සිටී. ලබන සතියේ මැතිවරනය අවසන් වූ සැනින් මර්දනය වඩාත් ඉහල තලයකට නැංවීම ආන්ඩුවේ අරමුනයි.

ආන්ඩුවට එරෙහි තම කෝපය ප‍්‍රකාශ කරමින් තුන්නානේ ගෘහනියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ ප‍්‍රකාශ කලාය: “අපි 2006 ඉඳල ආන්ඩුවට කියන්නෙ මේ ෆැක්ටරියෙන් කෙරෙන පරිසර දූෂනය නතර කරල දෙන්න කියල. නැත්නම් වහල දාන්න කියල. ඒත් ආන්ඩුව නෙවෙයි ගානකටවත් ගත්තෙ. මාත් මේ අපිරිසිදු ජලයෙන් පීඩා වින්ද, ඒ නිසා බරපතලව රෝගාතුර වුන කෙනෙක්. මට වැලඳුනු රෝගයට හේතුව අපිරිසිදු ජලය කියල අවිස්සාවේල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා මට කීවා. කොහොම හරි සෑහෙන්න වියදම් කරල දැන් යම් දුරකට සුවය ලබල ඉන්නෙ. ඒත් අපි දැන් ලිං වතුර පාවිච්චි කරන්නෙම නෑ. නොමිලෙ නාපු බීපු වතුර වෙනුවට ජල මන්ඩලයෙ වතුර සල්ලි දීල ගන්නව.”

කම්හලෙන් සිදු කෙරෙන පරිසර දූෂනය වැලැක්වීම සඳහා ආන්ඩුව විසින් නිසි පියවරක් නොගන්නා තතු තුල විරෝධතාවට සහභාගි වීම හැර අන් විකල්පයක් නොතිබූ බැව් පැවසූ ඇය තව දුරටත් මෙසේ පැවසුවාය. “අපි පාරට බැස්සම ආන්ඩුව සැලකුවෙ බැටන් පොලු වලින්, තුවක්කු කඳන් වලින් සහ කඳුලු ගෑස් වලින්. දැන් මේ නියෝග දීපු කෙනෙක් නෑ. ඉහලින් ආපු නියෝගයක්ලු. ඒ ඉහල කෙනා පොලිස් නිලධාරියෙක් නම් ඇයි නම හංගන්නෙ. පහරදීම නිත්‍යනුකූලනම් නම කියන්න පුලුවන් නෙ.”

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් තවත් කම්හලක් වන ගම්පහ වැලිවේරියේ රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කම්හලට එරෙහිව මෙවැනිම උද්ඝෝෂනයක නිරතව සිටි වැලිවේරිය ප‍්‍රදේශවාසීන්ට එරෙහිව පසුගිය අගෝස්තු 1 දා එල්ල කල මිලිටරි ප‍්‍රහාරයෙන් තරුනයන් තිදෙනෙකු මරා දැමුනු අතර තවත් දුසිම් ගනනකට තුවාල සිදු කෙරින. එම මිලිටරි ප‍්‍රහාරයට වග කිවයුත්තන්ද මෙතෙක් නිල වශයෙන් හෙලි කෙරී නැත.

වෙනිග්‍රොස් කම්හලෙන් පිට කෙරෙන අපජලයෙන් පරිසරය දූෂනය වී ඇත්දැයි පරීක්ෂා කිරීමට අධිකරනය දුන් නියෝගය මත මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මන්ඩලය හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වාර්තාවන් සපයා ඇති නමුත් ඒවා බොහොමයක් කම්හලේ පරිපාලනයට පක්ෂපාතී සීමිත වාර්තාවන් ය. මේ අතර, මිලිටරි ඝාතන හමු වේ පැන නැගි මහජන විරෝධය තුනී කරනු වස්, “වහාම” පරීක්ෂනයක් කොට වාර්තාවක් සපයන ලෙස රජයට අයත් කාර්මික තාක්ෂන ආයතනයට ජනාධිපති රාජපක්ෂ විසින් නියෝග කල ද එවන් වාර්තාවක් මෙතෙක් ප‍්‍රසිද්ධ කෙරී නොමැත.

මෙම තතු යටතේ වෙනිග්‍රොස් කම්හලෙන් සිදු කෙරී ඇති පරිසර දූෂනය හා මිලිටරි ප‍්‍රහාරයට පිලිබඳ කරුනු අනාවරනය කර ගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නායකත්වය යටතේ ආරම්භ කර ඇති “වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයේ” අදාලත්වය පිලිබඳව ලෝසවෙඅ වාර්තාකරුවෝ තුන්නාන නිවැසියන්ට පැහැදිලි කලහ.

එක් ගෘහනියක් මෙසේ ප‍්‍රතිචාර දැක් වූවාය: “ඇත්තටම එවැනි පරීක්ෂනයක් හරි වැදගත්. මොකද අපිට ආන්ඩුවෙන් කරන පරීක්ෂන ගැන විශ්වාසයක් තියන්න බෑ. ඇත්තටම හරියමන් පරීක්ෂනයක් වෙන්නෙත් නෑ. මෙහේ ලිංවල පීඑච් අගය 3.5 කියල කියනව. ඒත් අපේ ලිඳ කවදාවත් පරීක්ෂා කරල නෑ. පිට කරන වතුර ගැන එක එක ආයතනය කියන්නෙ එක එක කතා”.

සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසු ගිය දා පැවති රැස්වීමක දී කොලඹ දිස්ති‍්‍රක් රබර් පර්යේෂන නිලධාරියා පවසා ඇත්තේ කම්හලේ නිශ්පාදන ධාරිතාවට සාපේක්ෂව පවත්නා ප‍්‍රතිකාරක පද්ධතිය කිසිසේත් නොසෑහෙන බවයි. එහෙත් පරිසර අධිකාරිය පවසන්නේ අපජලයේ ප‍්‍රශ්නයක් නොමැති බවයි.

එච්ආර්පී කම්හලේ සේවයේ නියුතු කම්කරුවෙකු සාකච්ඡාවට අවතීර්න වූයේ කම්හල වෙනුවෙන් යම් ක්ෂමාලාපී ආකාරයකටය. කම්හල වසා දැමුවහොත් තම රැකියාව අහිමි වෙතැයි යන උත්සුකය ඔහුගෙන් ප‍්‍රකාශ විය: “ඇත්තෙන්ම ෆැක්ටරියෙ වතුර පිරිසිදු කිරීම හොඳටම කෙරෙනව කියල තමයි මහත්තුරු කියන්නෙ. මේ උද්ඝෝෂනය නිසා ෆැක්ටරිය හම්බන්තොටට එහෙම ගෙනිච්චොත් අපිට මේ ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න බෑ.” සමාගමේ ස්ථිර සේවකයකු බැවින් අතිකාල දීමනා ඇතුලු සියලු දීමනා සමග රුපියල් 25,000 ක් උපරිම වශයෙන් මාසිකව උපයා ගත හැකි බව ඔහු පැවසීය. නවක විවාහක යුවලක් ලෙස දෙමාපියන්ගේ නිවසේ වාසය කරන බැවින් එම ආදායමෙන් යන්තමින් ජීවත් විය හැකි මුත් ඉදිරියේ දී දරුවන් ද ලැබ කුලී නිවසක ජීවත් වීමට සිදු වුවහොත් එම ආදායම කිසිසේත් ප‍්‍රමානවත් නොවන බව ඔහුගේ භාර්යාව පැවසුවාය.

කම්හලේ සේවකයන් 500 කට වැඩි පිරිසක් සේවයේ යෙදී සිටින නමුත් ඉන් අඩකට වැඩි පිරිසක් සමාගමේ සේවකයන් නොවන අතර ඔවුන් සපයා ඇත්තේ වෙනත් “මිනිස් බල” සමාගමකිනි. ඔවුන් ඕනෑම මොහොතක සේවයෙන් ඉවත් කල හැකි වන අතර ස්ථිර සේවකයන්ට ලැබෙන සීමිත වරප‍්‍රසාද හෝ ඔවුනට අහිමිය. උද්ඝෝෂනය හේතුවෙන් පසු ගිය අගෝස්තු 1 දා සිට නිශ්පාදන නවතා දමා ඇති වෙනිග්‍රොස් කම්හලේ සේවයේ යෙදී සිටි සිය ගනනක් වූ සහෝදර “මිනිස් බල”කම්කරුවන්ට එදා සිට කවර හෝ දීමනාවක් ලබා නොදෙන බැව් ලෝසවෙඅ පැහැදිලි කල විට “ඇත්තටම වෘත්තීය සමිතිය අපට මේව කියලවත් නෑ” යනුවෙන් පාලකයන්ට සහ වෘත්තීය සමිති නිලධරයට එරෙහි තම විරුද්ධත්වය පල කලේය.

රජයේ ආතනයක සේවයේ යෙදී සිටින කම්කරුවෙකු සාකච්ඡාවට එකතු වෙමින් ප‍්‍රකාශ කලේ ඔහු ද විරෝධතාවයට සහභාගිවීම හේතුවෙන් අත් අඩංගුවට ගැනුන බවයි. “අපි කිසිම ප‍්‍රචන්ඩ කි‍්‍රයාවක යෙදුනෙ නෑ. අපි හිටියෙ නිරායුදව. අපේ පරිසරය රැක ගැනීම අප සතු අයිතියක්. ඒ සඳහා උද්ඝෝෂනය කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක්. ඒ අයිතිය අපිට මේ ආන්ඩුව යටතෙ නෑ. පඩි මදි කියල උද්ඝෝෂනය කලත් ආන්ඩුව දෙන්නෙ මේ උත්තරේ ම තමයි” යනුවෙන් ඔහු පැවසීය.

තවත් ගෘහනියක් සාකච්ඡාවට සහභාගි වෙමින් ආන්ඩුව, පොලීසිය සහ මාධ්‍යයන් එක්ව සත්‍යය වසන් කරන අයුරු පැහැදිලි කලාය: “ආන්ඩුවයි, පොලීසියයි, මාධ්‍යයයි ඔක්කොම කියන්නෙ අපි ගස් කපල ඒවට යට කරල හිතා මතාම පොලීසියෙ කෙනෙක් මැරුව කියල. ඇත්තටම දාහකට වැඩි පොලිස් පිරිසක් ඇවිල්ල අපිට කරපු පහරදීම හමුවෙ ඒකෙන් ගැලවෙන්න සමහර අය ගස් කපල දාන්න ඇති. ආරක්ෂාවට කවුරු වුනත් එහෙම කරනව. ඒත් මේ පොලිස් නිලධාරිය මැරුනෙ කපල දාපු ගහක අතු රිකිලි පොලීසියෙ අයම පාහින අතරෙ ගහේ කඳ යටින් රිංගන්න ගිහිල්ල. එක පැත්තක අතු පාහිනවත් එක්කම කඳ පහත් වෙලා එයා පොලවයි කඳයි අතරට හිර වුනා. මේ බොරු එලි කරන්න අපේම පරීක්ෂන අවශ්‍යයි කියන එක මට පැහැදිලියි.”

කෙසේ නමුත් අගෝස්තු මිලිටරි ප‍්‍රහාරය සාධාරනීකරනය කරන රාජපක්ෂ ආන්ඩුව තුන්නාන ප‍්‍රහාරයේ වරද මහජනතාව මත පටවයි. ආන්ඩුව දිගින් දිගටම ආරක්ෂා කරන්නේ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමයි. නැතහොත් එය අයත් සංගතය වන හේලීස් සමූහ ව්‍යාපාරයයි. රතුපස්වලදී සිදු වූ ජීවිත හානි සහ පරිසර හානි සම්බන්ධයෙන් අත සෝදා ගෙන, බියගමින් ලබා දුන් ඉඩමක කම්හල යලි ස්ථානගත කිරීමට ආන්ඩුව සමාගමට ඉඩ සලසා දී තිබේ.

වැලිවේරියේ සහ තුන්නානේ මහජන විරෝධතා සම්බන්ධයෙන් පාලක පන්තියේ උත්සුකය මාධ්‍ය හරහා ප‍්‍රකාශයට පත් වෙමින් පවතී. මාර්තු 21 දා ලංකාදීප පුවත්පතේ “තුන්තානේ භීතිකාව” යන හිසින් පල වූ ලිපියක මෙසේ සඳහන් වෙයි. “එසේනම් විදේශ ප‍්‍රාග්ධනය රට තුලට කැඳවා ගනිමින් ආකර්ශනීය ආයෝජනයක් සඳහා පහසුකම් සැපයීමේ සාර්ථක වැඩපිලිවෙලක් අප සතුව තිබිය යුතුය. ඊට කම්හල්වලට එරෙහිව මතුවන ප‍්‍රාදේශීය කැරලි කිසිසේත්ම වැඩදායක වන්නේ නැත.” පරිසර නීති උල්ලංඝනය කරමින් තම ලාභය සඳහා පමනක් උත්සුක වන ආයෝජකයන් ආරක්ෂා කරමින් රාජපක්ෂ ආන්ඩුව විසින් වැලිවේරියේ දී සහ තුන්තානේ දී එල්ල කරන ලද ප‍්‍රහාරයන් පිටුපසින් පවතින්නේ මේ උත්සුකයයි.

Share this article: