ශ්‍රී ලංකාව: ජල දූෂනයට එරෙහිව විරෝධතා දැක් වූ හංවැල්ල ගම්වාසීන්ට පොලීසිය පහර දෙයි

Sri Lanka: Police attack Hanwella villagers protesting against water pollution

අපගේ වාර්තාකරුවන් විසිනි , 2014 මාර්තු 18

හංවැල්ලේ පිහිටි හංවැල්ල රබර් නිෂ්පාදන (හරනි) කම්හල ඉදිරිපිට 16දා උදේ පැවති පෙලපාලියකට පොලීසිය එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ගම්මුන් කීප දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබූ අතර 60දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. ප්‍රදේශයේ භූගත ජල දූෂනය පිලිබඳව ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමේ අතිරේක ආයතනයක් වන මෙම කම්හලට ගම්මු දොස් පවරති. ජල දූෂනය හේතුවෙන් නොයෙකුත් චර්ම රෝග ද ශ්වසන අපහසුතා ද ඇති වී තිබෙන බව ඔවුහු කියති.

තුන්නාන ප්‍රදේශය තුල ගම්මාන ගනනාවකට ජල දූෂනය ඍජුව බලපා ඇත. 3000ට ආසන්න ගම්වාසීහු කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා පෙබරවාරී මාසයේ මැද දී පෙලපාලි දැක්වූහ. 15දා ඇරඹුන 300දෙනෙකු පමන සහභාගි වූ මෑත ම විරෝධතාව රාත්‍රිය පුරා ද හරනි කම්හල ඉදිරිපිට නොකඩවා පැවත්වුනි. 16දා උදෑසන බස් තුනකින් ගෙන ආ පොලිසියේ 150ක් පමන ද හමුදාව ද කම්හලට රැස් කරන ලදී.

අළුයම 5.30ට පමන පොලීසිය නිරායුධ ගැහනු පිරිමි හා ලමා විරෝධතාකරුවන්ට බැටන් පොලු හා රයිෆල් තුවක්කු වලින් පහර දුන්හ. එතැනින් පැනගිය ගම්වාසීන් පසු පස එලවා ගිය පොලිස් භටයෝ නිවෙස්වල දී ද ඔවුන්ට පහර දුන්හ. ආසන්නයේ බෞද්ධ විහාරස්ථානයක ආරක්ෂාව පැතූ අයට ද පහර දුන් අතර එහි ගොඩනැගිල්ලක කොටසකට ද අලාභ හානි සිදුව ඇත. ලමුන් වඩාගන සිටි කාන්තාවන්ට ද පහර දී ඇත.

එක් කාන්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පැවුසුවා ය: “මම විරෝධතාවට එකතු වුනේ 16දා උදේ පහට පමන. හදිසියේ ම බස් තුනක් අපි ඉස්සරහ නැවත්වුවා. පොලීසියේ 125දෙනෙක් පමන බැහැල ඇවිත් කිසි ම අනතුරු ඇඟවීමක් නො කර පහරදුන්නා. ඔවුන් බැටන් පොලු, රයිෆල්, කඹ පාවිච්චි කලා. සමහර අය හිටියේ කලු ඇඳුම් ඇඳගෙන. චන්ද්‍රවතීට දරුනු විදියට ගැසුවේ මා ඉදිරිපිට දී.”

“මිනිසුන් පහලොස් දෙනෙකුට විතර තුවාල උනා, සමහර අයට බරපතල යි. හැම කෙනෙක්ම බේරෙන්න පැලන ගියා. සමහරු පන්සලට ගියා එතන ආරක්ෂාව ඇති කියලා, හැබැ යි පොලීසිය පන්සලට ඇතුල්වෙලා ගැහුවා. ඒක හරිම දරුනුයි, ඒ ගොල්ලෝ කඳුලු ගෑසුත් ගැහුවා. මම දැක්කා අම්ම කෙනෙත් කඳුලු ගෑස් වලින් බේරෙන්ට එයාගේ ලමයත් තුරුල් කරගෙන දුවනවා.”

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවෝ හෝමාගම, පාදුක්ක හා හංවැල්ල පොලිස් ස්ථානවලට ගෙන යන ලද අතර ඉරිදා දවස පුරාම පහර දීම පැවතුනි. කෝපයට පත් ගම්වාසීහු ගස් කපා දමා ආසන්න වශයෙන් පැය තුනක් තිස්සේ අසල පිහිටි කොලඹ-අවිස්සාවේල්ල මහා මාර්ගය අවහිර කලහ.

ඊට පසු ආන්ඩුව දැඩි ලෙස සන්නද්ධ වූ 1500ක පමන ආරක්ෂක හමුදාවක් ප්‍රදේශයට කැඳවූ අතර ඔවුහු මුළු ප්‍රෙද්ශය ම වැටලූ අතර ජල ප්‍රහාර හා කඳුලු ගෑස් යොදාගත්හ. ගැටුම් අතරතුර තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු පසුව රෝහලේ දී මිය ගියේ ය. ජනාධිපති මහින්ද රාපක්ෂගේ ආන්ඩුව රාජ්‍ය මර්දනය තවදුරටත් දැඩි කිරීම යුක්තිසහගත කිරීම සඳහා වහා ම මෙම සිද්ධිය ඩැහගත්තේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මාධ්‍යයට පැවසුවේ පොලිස් නිලධාරියාගේ මරනය “හිතාමතා සිදු කල අපරාධයක් දැ යි ” කොලඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පරීක්ෂා කර ගෙන යන බව යි. ඔහු පැවසුවේ පෙලපාලිය “ආන්ඩුව හා පොලීසිය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්කිරීමට අවශ්‍ය විශේෂයෙන් ම සංවිධානය වූ කන්ඩායමක් හෝ කන්ඩායම් විසින් උසිගන්වන ලද හදිසි, කඩාකප්පල්කාරී හා ප්‍රකෝපකාරී ක්‍රියාවක් ...” වූ බව යි.

පසු ගිය සතියේ පෙලාපාලිය ඇරඹුනේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් උසාවිය පසු ගිය 16දා කම්හලට පක්ෂව දුන් තීන්දුවෙන් පසුව ය. දින 14ක් ඇතුලත කම්හල වසා නො දැමිය යුත්තේ ඇයි දැ යි පැහදිලි කරන ලෙස සති දෙකකට පෙර උසාවිය හරනි කලමනාකරනයට නියෝග කලේය. දහස් ගනනක් ගම්මුන් බලාපොරොත්තු වූ පරිදි කම්හල වසා දැමීමට නියෝග දෙනවා වෙනුවට උසාවිය 16දා තමන් නියම කල අවසන් කාල සීමාව නිෂ්ප්‍රභා කල අතර හරනියට පිලිතුරු ලබා දීම පිනිස තවත් කල් ලබා දුන්නේ ය.

16දා පොලිස් ප්‍රහාරය කාර්මික දූෂනයට එරෙහිව විරෝධතා දක්වන වැඩකරන ජනතාවට එරෙහිව මෑතකදී එල්ල කල දෙවනි ප්‍රහාරය යි.

පසු ගිය අගෝස්තුවේ දී, වෙනිග්‍රොස් ඩිප්ට් ප්‍රඩක්ට්ස් කර්මාන්ත ශාලාව මගින් ප්‍රදේශයේ ජල සැපයුම දූෂනය කිරීමට එරෙහිව වැලිවේරියේ දී විරෝධය දක්වමින් සිටි රතුපස්වල ගම්මුන්ට විරුද්ධව රාජපක්ෂ ආන්ඩුව මිලිටරිය බලමුලු ගැන්වී ය. ප්‍රහාරයේ දී තරුනයන් තිදෙනෙකු මරා දමන ලද අතර ගනනාවක් බරපතල තුවාල ලැබූහ. හරනි මෙන් ම වෙනිග්‍රොස් ද නිෂ්පාදනය කරන්නේ රබර් අත්වැසුම් ය.

මෑත ම පොලිස් හිංසනය අනතුරු අඟවන්නේ ඩිප්ඩ් නිෂ්පාදන කම්හල්වල දූෂනයට හා ප්‍රදේශයේ ජනතාවට දැන් බලපාන බැරෑරුම් සෞඛ්‍ය ප්‍රශ්නවලට එරෙහිව කිසි දු විරෝධතාවකට රාජපක්ෂ ආන්ඩුව ඉඩ දෙන්නේ නැති බව යි.

පසු ගිය අගෝස්තුවේ මිලිටරි ප්‍රහාරයට ආන්ඩුව දිගට ම සුදු හුනු ගාමින් සිටින අතර වෙනිග්‍රොස් කම්හල ප්‍රදේශයේ ජල සැපයුම දූෂනය කල බවට පැහදිලි සාක්ෂි තිබිය දීත් ඩිප්ට් ප්‍රොඩක්ට්ස් ආරක්ෂා කිරීමට පසුබට නොවේ.

ප්‍රදේශයේ මහජන විරෝධය නිසා වෙනිග්‍රොස් කම්හල වසා දමා ඇති අතර ජල දූෂනය පිලිබඳ කිසිදු නිල වාර්තාවක් ප්‍රසිද්ධ කෙරී නැත. ඊට අමතරව, බියගම විශේෂ ආර්ථික කලාපය තුල කම්හල නැවත ස්ථානගත කිරීමට ආන්ඩුව ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අවසර දී ඇත්තේ, දූෂනය වැලක්වීමට කිසිදු පියවර ගැනීමකින් තොරව ය.

වැඩෙන මහජන විරුද්ධත්වය පිලිබඳ ව පාලක පන්තිය තුල පවතින කනස්සල්ල 16දා ගැටුම නිසා තවත් දැඩිවී තිබේ. “සිදුවීමට ඇති විනාසය” යන ශීර්ෂ පාඨයෙන් යුත් අයිලන්ඩ් පත්‍රයේ කතුවැකිය ප්‍රකාශ කලේ මෙසේ ය: “රතුපස්වල ජල ප්‍රශ්නය පිලිබඳව ගෑටීම මගින් ආන්ඩුව පොට වරද්දා ගෙන ඇති අතර ආන්ඩුව කම්හලට පක්ෂ බව පෙනී යාම දූෂනය ගැන හරි හෝ වැරදි ලෙස දොස් නඟන පීඩාවට පත් ජනතාවගේ කෝපයට හේතුවී තිබේ. ඒ වරද ම හංවැල්ලේදී ද කර ඇති බව පෙනෙන්නට තිබේ.”

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් හා අනෙකුත් කාර්මික දූෂකයන් ආරක්ෂා කිරීමට ආන්ඩුව ඉදිරිපත්වන විට ඒ පිටුපස ඇත්තේ, ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමේ හා ගෝලීය මූල්‍ය අර්බුදය මගින් තදින් පහර වැදී ඇති ආර්ථිකය නඟා සිටුවීමේ මංමුලා සහගත උත්සාහයයි. ව්‍යාපාරික ආයෝජනය සඳහා ශ්‍රී ලංකාව “ජාත්‍යන්තරව තරඟකාරී” තැනක් බවට පත් කිරීමේ තල්ලුව හමුවේ, පලමු ගොදුර වන්නේ පිරිසිදු ජලය හා අනෙකුත් ප්‍රාථමික සෞඛ්‍ය හා ආරක්ෂක ප්‍රමිතීන්ය.

සමාජවාදී සමානතා පක්ෂය වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ව ස්වාධීන කම්කරු පරීක්ෂනයක් දියත් කර ඇති අතර ප්‍රදේශයේ හා රටේ අනෙකුත් කොටස්වල ගම්මුන්ගේ හා කම්කරුවන්ගේ සහාය දිනා ගනිමින් සිටී.

පසු ගිය අගෝස්තු ප්‍රහාරයේ සිට මාස අටකට ආසන්න වුව ද තරුනයන් තිදෙනා ඝාතනය කිරීම සඳහා වගකිවයුතු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. ජල සැපයුමට කාර්මික දූෂනය නිසා සිදුවන හානිය හා ජනතාවගේ සෞඛ්‍ය පිලිබඳව එහි බලපෑම ගැන කිසි දු ස්වාධීන පරීක්ෂනයක් ද කෙරී නැත.

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයට සහාය දෙන ලෙස අපි තරුනයන්ගෙන් හා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. 16දා හංවැල්ලේ විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරය අවධාරනය කරන්නේ මෙම පරීක්ෂනය ගොඩනැගීමේ අවශ්‍යතාව යි.

Share this article: