ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිගාමී දේශපේ‍්‍රමී සංදර්ශනය සහ සංවර්ධන පම්පෝරිය

ඩබ්ලිව්.ඒ. සුනිල් (බස්නාහිර පලාත් සභා මැතිවරනයේ කොලඹ දිස්ත‍්‍රික්කයට සමාජවාදී සමානතා පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයෙකි.), 2014 මාර්තු 21

ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ දිනවල බස්නාහිර සහ දකුනු පලාත් සභා සඳහා වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ (එජනිස) මැතිවරන උද්ඝෝෂනය තුල හා විවිධ රාජ්‍ය උත්සව තුල දී අධිරාජ්‍ය විරෝධී හඬ තැලීම්වල ද දේශපේ‍්‍රමී උන්මාදයක් ඇවිස්සීමේ ද යෙදීගෙන සිටියි.

අපි කම්කරු පන්තිය ට මෙසේ අනතුරු අඟවමු: ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව වර්ගවාදී හැඩිරැල පෙල ගස්වාගෙන මෙම විසකුරු ප‍්‍රචාරයේ යෙදෙන්නේ ධනපති අර්බුදයේ බර වැඩකරන ජනයා මත පැටවීමේ තවත් රුදුරු ප‍්‍රහාර මාලාවකට සුදානම් වෙමිනි.

රාජපක්ෂ සිය “අධිරාජ්‍ය විරෝධයට” නිමිත්ත කරගෙන ඇත්තේ දෙමල විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊයට) එරෙහි යුද්ධය තුල දී ශ‍්‍රී ලංකා හමුදාව විසින් යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු කල බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ (යුඑන්එච්ආර්සී) සැසියට එහි මහ කොමසාරිස් නවනීදනම් පිල්ලෙ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සහ ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එම සැසියට ඉදිරිපත් කර ඇති යෝජනාවය.

මෙම චෝදනා ඉදිරිපත් කරන්නේ “එල්ටීටීඊ ත‍්‍රස්තවාදය” පරාජය කර ලබා ගත් “සාමය” සහ ආන්ඩුවේ සංවර්ධන වැඩ පිලිවෙල නොරිස්සන “දේශීය සහ විදේශීය බලවේග” විසින් බව ඔහු කියයි. තමන් බටහිර අධිරාජ්‍යවාදයේ “ගොදුරක්” බවට පත් වී ඇති බව ද යුද්ධය අවසන් කල වරදට තමන්ව “විදුලි පුටුවට” ගෙනයාමට උත්සාහ කරන නමුත් ඒ කිසිවකට තමන් “බිය වන්නේවත්” හා අධිරාජ්‍යවාදීන්ට “යටත් වන්නේවත්” නැති බව ද රට පුරා රැස්වීම්වලදී රාජපක්ෂ කියා සිටී.

රාජපක්ෂගේ අධිරාජ්‍ය විරෝධය මවා පෑමකි. ඔහු දෙමල ජන විරෝධී යුද්ධය සඳහා අධිරාජ්‍යවාදී බලයන්ගේ සහයෝගය ලබා ගත්තේය. දී ඔස්ටේ‍්‍රලියන් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කලේ 2006 ත් 2008 ත් අතර පාවෙන යුද අවි ගබඩා වූ එල්ටීටීඊ නැව් දොලහක් විනාශ කල බවයි. “මේක කරන්න පුළුවන් වුනේ කොහොම ද? ඇමරිකානුවන් ඉතාමත් උදව්කාරී වුනා. මේ නැව් ඇති තැන් බොහොමයක් අපට කිව්වේ ඇමරිකානුවන්”. ඇමරිකාව එල්ටීටීඊය තහනම් කර, අරමුදල් සැපයීම අවහිර කර අනෙක් ප‍්‍රධාන බලයන් එම පියවරයන්ට පොලඹවා එල්ටීටීඊය පරාජය කිරීමේ තීරනාත්මක සහයෝගයක් රාජපක්ෂ ආන්ඩුවට දුන්නේ ය. රාජපක්ෂ එම සහයෝගය ලබා ගත්තේ නියම අධිරාජ්‍ය ගැත්තෙකු ලෙසයි.

ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජවාදී බලයන් අන්ඩුවේ මානව අයිතීන් උල්ලංඝනය ගැන චෝදනා එල්ල කිරීම දෙගුනයක් කුහක ය. ආන්ඩුවේ යුද අපරාධ හා අනෙකුත් මානව අයිතීන් උල්ලංඝනයට මොවුන් පිටුබලය දී ඇතිවා පමනක් නොව: ඉරාකය ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් තුල තමන් කෙලින් ම යුද අපරාධ සිදු කලේ ය.

2009 මැයි එල්ටීටීඊ පරාජයට ආසන්න මාසවල පටන් ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලයන් ලංකාවේ යුද්ධයේ දී මානව අයිතිවාසිකම් උල්ලංඝනය පිලිබඳව උත්සුකයන් මතු කලේ රාජපක්ෂ ආන්ඩුවට යුද අවි හා අරමුදල් සපයන ප‍්‍රමුඛයෙක් ලෙස චීනයේ මතු වී ඒම නිසයි. මේ වන විට චීනය රාජ්‍ය තාන්ත‍්‍රිකව හුදකලා කොට මිලිටරි වටලෑමක යෙදෙමින් එරටට එරෙහි යුද සූදානමක යෙදෙන ඇමරිකාව ලංකාවේ රාජපක්ෂ ආන්ඩුවට බලකරන්නේ බෙයිජිනය සමග සබදතා බිඳ දමා තම මුලෝපායික අවශ්‍යතාවලට සේවය කිරීමට පෙල ගැසිය යුතු බවට ය.

යුද්ධයේ අවසන් දිනවල යුද අපරාධ සිදු කෙරුන බවට සාක්ෂි කඳු ගැසෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ විශේෂඥ මංඩලයක තක්සේරුව වූයේ අවසන් මාස කිහිපය තුල පමනක් 40,000 ජනයා මරනයට පාත‍්‍ර කල බවයි. ගත වූ අවුරුදු පහ තුල උතුරේත් දකුනේත් දෙමල, සිංහල හා මුස්ලිම් ජනයාගේ අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය උග‍්‍ර වී ඇත.

ආන්ඩුවට අවශ්‍ය වී ඇත්තේ මේ යුද අපරාධ ආවරනය කරන ගමන්ම ආන්ඩුව මුහුන දී තිබෙන ගැඹුරුවන ආර්ථික-දේශපාලන අර්බුදයේ බර වැඩකරන ජනයා මතටත් පැටවීමට කොන්දේසි හදා ගැනීමයි. රාජපක්ෂගේ “අධිරාජ්‍ය විරෝධී” උන්මාදය පිටු පසින් පවතින සැබෑ හේතුව එය යි. ජීවනතත්වයන්ට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව දැවැන්ත සමාජ පිපිරීම්වල කොන්දේසි රට තුල වර්ධනය වෙයි. රාජපක්ෂ තන්ත‍්‍රය සැබවින් ම වාඩි වී සිටින්නේ ඕනෑම මොහොතක පුපුරා යා හැකි සමාජ කාල බෝම්බයක් මත ය.

2011 සහ 2012 වසරවල කටුනායක නිදහස් වෙලඳ කලාප සේවකයන්ගේ සහ හලාවත ධීවරයන්ගේ අරගලවලින් පසුව, පසුගිය අගෝස්තු මාසයේ රතුපස්වල ජනයා බීමට පිරිසිදු වතුර ඉල්ලා කල අරගලය එවන් සමාජ පිපීරීම්වල පෙර ඇඟවුම් ය. මේ සතියේ හංවැල්ල ජනයා වැලිවේරිය ජනයා මෙන්ම රබර් නිෂ්පාදන කොම්පැනියකින් ජලය දුෂනය වීමට එරෙහිව පාරට බැස උද්ඝෝෂනය කලහ. ඒවා ලේවැකි මැඩලීමකට ගොදුරු කලත් ආන්ඩුව බියපත්ව සිටී.

ආර්ථික සංවර්ධනය ගැන ආන්ඩුවේ කයිවාරු තිබිය දී ම ශ‍්‍රී ලංකාව ලෝක ආර්ථික අවපාතයේ වාසුලිය තුලට වේගයෙන් ඇදී තිබේ. රාජ්‍ය නය ගැතිකම ඉහලට තල්ලු වෙද්දී විදේශ වත්කම් සහ ආදායම පහත වැටීමට පටන් ගෙන ඇත. කම්කරුවන්ගේ වැටුප් කැටිකර තිබිය දී ජීවන වියදම ඉහල යයි. ආන්ඩුවේ උවමනාවට වෙනස් කෙරෙන බවට ප‍්‍රසිද්ධ සංඛ්‍යා ලේඛන අනුවම රටේ පොහොසත්ම සියයට 20 ජාතික ආදායමෙන් සියයට 54ක් පරිභෝජනය කරන අතර පහලම ආදායම් ලබන සියයට 20 ලැබෙන්නේ සියයට 4.5කි.

පෙබරවාරි 21 වෙනිදා කුලියාපිටියේ පැවති “දැයට කිරුල” ප‍්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ දී සංවර්ධනයේ මහිමය ගැන කතා කරමින් රාජපක්ෂ මෙසේ පැවසුවේය: “මේක අසමත් ආන්ඩුවක් නෙමෙයි: සමත් ආන්ඩුවක්.”

සංවර්ධනය ලෙස ඔහු දැක්වුයේ අධිවේගී මංමාවත්, වරාය හා ගුවන් තොටුපලවල් තැනීම හා විදේශ ආයෝජක ව්‍යාපෘතීන් ආදියයි. මේවා දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා යටිතල පහසුකම් සැලසීමේ හා විදේශීය සංචාරකයන් ආකර්ෂනය කර ගැනීමේ ව්‍යාපෘති මිස වැඩකරන ජනතාවගේ සුභසිද්ධිය තකා ක‍්‍රියාවට දැමෙන සංවර්ධන සැලසුම් නො වේ. මහජනයාට අත් විඳින්නට සිදුවී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, මහජන සහනාධාර කප්පාදුකරන ආන්ඩුව අත්‍යාවශ්‍ය බඩු මිල සහ සේවා ගාස්තු ඉහිලිය නොහැකි මට්ටමට ඉහල දැමීමයි.

නගරයේ එක පාර්ශවයකට සීමා වී තිබු පහසුකම් ගමට ගෙනගොස් “සංවර්ධන විප්ලවයක්” කර ඇති බව ද රාජපක්ෂ කියයි. ඔහු එසේ කියන්නේ කොලඹ නගරයේ පැල්පත් 77,000ක් කඩා ඒවායේ ජීවත්වන දශ ලක්ෂ සංඛ්‍යාත ජනයා නගරයෙන් පිටට තල්ලු කිරීමේ යෙදෙන ගමන් ය. කිලෝමීටර් 10-15 මෙපිට රෝහලක්, මාතෘ සායනයක්, පාසලක් නැති, විදුලිය හෝ ජල සම්පාදනයක් නැති හා ප‍්‍රවාහන පහසුකම් නැති ගම්දනව්වල ජීවත් වන දසදහස් සංඛ්‍යාත දුගී ජනයා තවමත් මෙරට තුල සිටිති. පිරිසිදු පානීය ජලය නැතිකම නිසා දසලක්ෂයකට අධික ජනයා වකුගඩු රෝගයට ගොදුරු වී ඇති අතර අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමැතිකමින් දිනකට 13 දෙනෙකු පමන වකුගඩු රෝගයෙන් මියෙති. බෙහෙත් හිඟය සහ වෛද්‍ය පර්යේෂන සඳහා අවශ්‍ය උපකරන ප‍්‍රමානවත් තරම් නැතිකම පිලිකා රෝගීන් මුහුන දෙන මූලික ගැටලුවකි. මේවා අනුප‍්‍රාප්තික ආන්ඩු ක‍්‍රියාවට දමා රාජපක්ෂ ආන්ඩුව උග‍්‍ර කර ඇති කප්පාදුවල ප‍්‍රතිවිපාකයෝ ය.

රාජපක්ෂ ආන්ඩුවේ සැබෑ න්‍යාය පත‍්‍රය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීම සහ ආයෝජකයන් සඳහා වඩා හොඳ කොන්දේසි තහවුරු කිරීම මිස වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් ඉහල දැමීම හා ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීම නො වේ.

මහජනතාවට “සාමය, නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය” නියමෙටම ලබා දුන්නේද තමන්ම බව රාජපක්ෂ කීවේය. තිස් අවුරුදු යුද්ධය අවසන් කර සිංහල, දෙමල හා මුස්ලිම් ජනයාට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා ඇති අතර “ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහටත් උඩින් තිබෙන” බව මහජනතාවට ඔලොක්කුවට මෙන් පසුගිය දිනවල පැවති රැස්වීම් ගනාවක දී ම ප‍්‍රකාශ කල ඔහු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැත්නම් “අවුරුද්දකට ඡන්ද දෙකතුනක් තියන්නේ කෙසේදැයි” ප‍්‍රශ්න කලේ ය. මේ ප‍්‍රකාශ වලින් පෙන්නුම් කෙරෙන්නේ රාජපක්ෂට වැඩකරන ජනයා ගැන පවතින අවඥාවයි.

විරුද්ධවාදීන් සුදු වෑන් වලින් පැහැර ගැනීම, මරා දැමීම හා අතුරුදහන් කිරීම, අධිකරනය තමන්ට ඕනා ලෙස හැසිරවීම, තමන්ට පක්ෂපාතී අයවලුන්ට කප්පම් දීම, හොරුන්, මැරයන් හා සමාජ විරෝධීන් රැකීම හා ඥාති සංග‍්‍රහය, උතුරු-නැගෙනහිර දෙමල ජනය මිලිටරි පාලනයකට යටත් කර ඇති බව, රාජපක්ෂ කට්ටුවක් රට පාලනය කිරීම හා ආන්ඩුවේ වියදමෙන් සියයට 45ක්ම රාජපක්ෂ සහෝදරයන් විසින් හැසිරවීම ජනාධිපති රාජපක්ෂගේ පාලනය යටතේ සිදුවන බව මේ රටේ කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට නම් රහසක් නොවේ. කොටින්ම, මේ රාජපක්ෂ ආන්ඩුව දැන් තරකරමින් යන්නේ පොලිස් රාජ්‍ය පාලනයකි.

දෙමල විරෝධී වර්ගවාදය හා දේශපේ‍්‍රමී උන්මාදය කම්කරු පන්තිය බෙදා ධනපති පාලනය රැක ගැනීමේ ප‍්‍රතිගාමී උවමනාවෙන් පැන නැගී ඇත. පසුගිය දශක හයේ ධනපති පන්ති පාලනය මේ විසකුරු අවිය යොදාගති. ඉන් කම්කරු පන්තියට හා දුගීන්ට නිර්මානය කලේ ලෝදිය හැලියකි. අද එය තවත් මුවහත් කිරීම පෙන්නුම් කරන්නේ රාජපක්ෂ ආන්ඩුවේ ගැඹුරුවන්නාවූ අර්බුදයයි. මීට කම්කරු පන්තියේ පිලිතුර සිංහල, දෙමල, මුස්ලිම් කම්කරුවන් ඒකාබද්ධවීම හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක්ව සමාජවාදය සඳහා සටන් කිරීමයි.

Share this article: