ශ‍්‍රී ලංකා මිලිටරිය විසින් යටත් වෙමින් සිටි එල්ටීටීඊ නායකයන් මරා දැමීම පිලිබඳ කරුනු නව වාර්තාවෙන් ගොනු කෙරේ

New report documents Sri Lankan military’s killing of surrendering LTTE leaders

වසන්ත රූපසිංහ විසිනි, 2014 මාර්තු 4

ඕස්ටේ‍්‍රලියාව පදනම් කරගත් ඉන්ටර්නැෂනල් ක‍්‍රයිම්ස් එවිඩන්ස් ප්‍රොජෙක්ට් (අයිසීඊපී) විසින් නිකුත් කල අපරාධවලට දඩුවම් නොමැති දිවයින නම් වූ වාර්තාවක්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙනගිය මිලිටරි ප‍්‍රහාරයේ අවසන් මාසවල ශ‍්‍රී ලංකා ආන්ඩුවේ යුද අපරාධ පිලිබඳ නව සාක්ෂි සම්පාදනය කර තිබේ.

ජිනීවාහි පැවත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසියට පූර්වයෙන් පසුගිය මාසය මුලදී පිටු 253කින් යුත් වාර්තාව නිකුත් කෙරින. ජිනීවාහි මානව හිමිකම් සැසියේදී ඇමෙරිකානු පාලානාධිකාරිය පිටපිට තුන් වන වරටත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ ශ‍්‍රී ලංකාව ගැන යෝජනාවක් ඉදිරිපත් කරන බවට කියා ඇත.

යටත්වීමට පැමිනි එල්ටීටීඊ නායකයින් ඝාතනය කිරීම පිලිබඳ බලගතු සාක්ෂි වාර්තාවේ අන්තර්ගත ය. එහෙත් ඔබාමා පාලන තන්ත‍්‍රය සිය අවශ්‍යතා වෙනුවෙන්, විශේෂයෙන් ම, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවට මිලිටරි ආයුධ, නය හා ආධාර සඳහා ප‍්‍රධාන සැපයුම්කරුවා බවට පත්ව පත්ව තිබෙන චීනය සමග වන එහි සම්බන්ධතා සිඳ දමන ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් දැමීම සඳහා මෙම ප‍්‍රශ්නය ගසා කෑමට දරන වංචනික ප‍්‍රයන්තනයන්ට වලංගුතාවක් ලබා නොදිය යුතු ය.

"ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තා, ඡායාරූප හා වීඩියෝපට ඇතුලු නව සාක්ෂිමය ද්‍රව්‍ය" මත පදනම් වන අයිසීඊපී වාර්තාව, එල්ටීටීඊ දේශපාලන අංශ නායකයන්වූ බාලසිංහම් මහෙන්ද්‍රන් (නඩේසන්) හා සවීරත්නම් පුලිදේවන් (පුලිදේවන්), එල්ටීටීඊ මිලිටරි කොමාන්ඩර් කර්නල් තම්බිරාසා තුරෙයිරාසිංහම් (රමේෂ්), එල්ටීටීඊ රූපවාහිනියක පුවත් කියවන්නියක්ව සිටි ඉසිපි‍්‍රයා හා එල්ටීටීඊ නායක වී.ප‍්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුතාවූ බාලචන්ද්‍රන් ඝාතනය කිරීම පිලිබඳ වැඩිදුර කරුනු අනාවරනය කරයි.

පැරැනි යුගෝස්ලාවියාව සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ නඩු විභාගයේ හිටපු පරීක්ෂන ප‍්‍රධානී ජෝන් රල්ස්ටොන්, සියාරා ලියෝන්හි සත්‍ය හා ප‍්‍රතිසංන්ධාන කොමිසමේ සාමාජික මහාචාර්ය විලියම් ෂබාස්, කර්නල් ඩෙස්මන්ඩ් ට‍්‍රැවර්ස් (විශ‍්‍රාමික), හා ශ‍්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු ප‍්‍රකාශක ගෝඩ්න් වීස් යන අයගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ විද්වත් "නිපුනයන්ගේ කමිටුවක" සහාය අයිසීඊපී වාර්තාව ලබා ගත්තේ ය.

ප‍්‍රමානවත් හේතු දැක්වීමකින් තොරවම, කිසිදු යුද අපරාධයක් සිදුව නැතැයි රාජපක්ෂ ආන්ඩුව යලි යලිත් කියන දෑ අනුයමින් ශී‍්‍ර ලංකා යුද හමුදාව වාර්තාව ප‍්‍රතික්ෂේප කලේ එය "පදනම් රහිත" බව පවසමිනි. යුද හමුදා ප‍්‍රකාශක රුවන් වනිගසූරිය මාධ්‍යයට මෙසේ පැවසීය: "වාර්තාවේ කිසිදු අලුත් දෙයක් නැත. ඒවා දැනටමත් පලවෙලා තියෙන පරන චෝදනාවන්ම යි."

නඩේසන් හා පුලිදේවන්ගේ ඝාතන පිලිබඳ අයිසීඊපී වාර්තාව, 2009 යුද අපරාධ සම්බන්ධයෙන් 2011 වසරේ පලවූ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්තාව වෙත අවධානය යොමු කරවයි. අවසන් ප‍්‍රහාරවලදී ශ‍්‍රී ලංකා හමුදා විසින් අඩු ගානේ මිනිසුන් 40,000වත් ඝාතනය කරන්නට ඇතැයි එජා වාර්තාව ඇස්තමේන්තු කර තිබින. එමෙන්ම එය තහවුරු කර තිබුනේ, රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරු ආරක්ෂක ලේකම්ගේ සහතික කිරීම් යටතේ නඩේසන් හා පුලිදේවන් මිලිටරියට යටත්වූ බව යි.

එල්ටීටීඊ නායකයින් දෙදෙනාගේ යටත්වීමට ඇති සූදානම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හා නෝර්වේ, එක්සත් රාජ්‍යය හා එක්සත් ජනපදයේ ආන්ඩුවලට දන්වා තිබූ බව එජා වාර්තාව සඳහන් කලේ ය. පසුව වාර්තා වූයේ, එම නායකයින් දෙදෙනාම ශ‍්‍රී ලංකා මිලිටරිය විසින් වෙඩි තබා මරා දමා ඇති බව යි.

මෙම යටත්වීම පිලිබඳ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ නව සාක්ෂි අයිසීඊපී වාර්තාව එකතු කර තිබේ. එක් සාක්ෂිකරුවෙකු පවසා ඇත්තේ, "දේශපාලන නායකයින් යටත් වීමට සූදානම් බව, 2009 මැයි 16 හෝ 17 යන දිනයක සන්ධ්‍යාවක එල්ටීටීඊ නායකයින්ගෙන් සමන්විත කන්ඩායමකට පුලිදේවන් කියා සිටි බව" යි. එල්ටීටීඊ දේශපාලන නායකයන්, කොලඹ සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත විජේ නම්බියාර් හා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතර මැදිහත්කාරිය වසයෙන් ක‍්‍රියාකල බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදිනියකවූ මාරි කොල්වින් විසින් "ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳව සහතිකවූ" බව පුලිදේවන් සඳහන් කොට ඇත.

අනෙක් ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, මැයි 18දා "නඩේසන් විසින් සිවිල් ඇදුම් ඇඳගත් පුද්ගලයින් 12කගෙන් සමන්විත කන්ඩායමක් හතර දෙනා බැගින් අයත් වන කුඩා කන්ඩායම් තුනකට බෙදුවා...සුදු කොඩි අත රැගත් නඩේසන් හා පුලිදේවන් අයත්වුනේ එයින් පලවෙනි කන්ඩායමට." තවත් සාක්ෂිකරුවෙක්, "නඩේසන්, පුලිදේවන් හා නඩේසන්ගේ බිරිඳ ඇතුලු හතර දෙනෙක් ඒ-35 පාර දිගේ සෙමෙන් ඇවිද යන" අයුරු සහ "යටත්වීමට පැමිනෙන කන්ඩායම හමුවීමට බි‍්‍රගේඩියර් [ශවේන්ද්‍ර] සිල්වා ඇතුලු එස්එෆ් (ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ) කල්ලියක් ඇවිද එන" අයුරු දැක ඇත.

තවත් සාක්ෂිකරුවෙක් සිහිපත් කලේ, "දේශපාලන අංශයේ සියලුම අය යටත්වූ බවත් ඔවුන්ට තේ වලින් සංග‍්‍රහ කල බවත් කොමාන්ඩෝ භටයෙක් ඔහුට පැවසූ බව යි. අනතුරුව ඔවුන්ට පහර දුන්නා. ඔවුන් යටත් වෙලා ඉන්න නිසා පහර නොදෙන ලෙස නඩේසන්ගේ බිරිඳ කෑ ගැහුවා. ඒත් ඔවුන් සියලු දෙනාම හමුදාවේ කොමාන්ඩෝ භටයන් විසින් වෙඩි තබා මරා දැම්මා."

වෙනත් කන්ඩායමක් සමග යටත්වීමට පැමිනි රමේෂ්ගේ ඝාතනය පිලිබඳව ද අයිසීඊපී වාර්තාව කරුනු ගොනු කරයි. ඔහු මරා දැමුනේ සන්නද්ධ ගැටුමකදී ය යන මිලිටරියේ කතාන්දරයට ප‍්‍රතිපක්ෂව නව ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ තොරතුරු සහතික කරන්නේ, රමේෂ් "සන්නද්ධව නොසිටි බවත්.. සිවිල් ඇඳුමෙන් සිටි" බවත් ය. "ඡායාරූප හා වීඩියෝ වාර්තා සටහන් කරන්නේ රමේෂ් ඝාතනය කර ඇත්තේ ප‍්‍රශ්න කරන ස්ථානයක බවත් විනාඩි 8ක් ඇතුලත එම ස්ථානයෙන් ඔහුගේ මල සිරුර නුදුරු ස්ථානයකට ගෙනගොස් පුලුස්සා දමා ඇති බවත්" වාර්තාව සටහන් කරයි. තුන්වන සිදුවීම වන්නේ ඉසිප‍්‍රියාගේ ඝාතනය යි. බි‍්‍රතාන්‍ය චැනල් 4 ජාලය විසින් විකාශය කල වීඩියෝවකින් පෙන්වා තිබුනේ සිවිල් ඇඳුමෙන් සැරසුන ඇය ආරක්ෂක හමුදා විසින් ප‍්‍රශ්න කරන ආකාරය යි. "ඡායාරූප හා වීඩියෝ පට සටහන් කරන්නේ, ඇගේ මරනය සිදුවන අවස්ථාව වන විට ඇයව අඩ නිරුවතින් සිටි බව යි. බොහෝවිට ඇගේ දෑත් පිටුපසට කොට බැඳ තිබුනා වීමට ඉඩ තිබේ. දෑස් වසා බැඳ තිබූ තවත් අයට පූර්වයෙන් හා සාපරාධී ලෙස වධ දෙන ස්ථානයක් වසයෙන් සැලකිය හැකි තැනක ඇය මරා දමා තිබේ" යැයි වාර්තාව නිගමනය කලේ ය.

වාර්තාව ප‍්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ගේ මරනය පිලිබඳව ද කරුනු ගොනු කර තිබේ. මීට පෙර චැනල් 4 නාලිකාව මෙම ලමයා ශ‍්‍රී ලංකා මිලිටරියේ හමුදා බංකරයක් තුල වාඩිවී සිටින පින්තූර හා අනතුරුව ඔහුගේ පපුව මත වෙඩි සලකුනු සහිතව බිම හොවා සිටි බාලචන්ද්‍රන්ගේ මල සිරුරේ පින්තූර පල කලේ ය. මෙම පින්තූර විභාග කල වොහාරික විච්ඡේදක මහාචාර්ය ඩෙරික් පවුන්ඩර් මෙසේ සටහන් කලේ ය. "ආයුධයේ උන්ඩ මුදා හැරෙන ස්ථානය ලමයාගේ පපුවට අඩි දෙකක් හෝ තුනක් හෝ ඊටත් අඩු දුරකින් තිබූ බවට, ඇතුලට කාවැදුන තුවාලයේ රැලිගැසීම සාක්ෂි දරයි. ඔහුට තම දෑත් දිගු කොට තමා මරා දැමූ තුවක්කුව අල්ලා ගත හැකිව තිබෙන්නට ඇත."

"එදිරිවාදිකම්වලට සහභාගී නොවූ සිවිල් වැසියකු ලෙස ශ‍්‍රී ලංකා මිලිටරිය යටතේ අත්අඩංගුවේ සිටි බාලචන්ද්‍රන් ඝාතනය කිරීමෙන් මිලිටරියේ එක් භටයෙක් හෝ කීපදෙනෙක් ඝාතනය කිරීමේ යුද අපරාධ සිදුකල ඇති බවට සැලකිය යුතු සාධක පවතින බව" වාර්තාව නිගමනය කරයි.

අනෙකුත් අපරාධ පිලිබඳ සවිස්තරව කරුනු ගෙන එන අයිසීඊපී වාර්තාව සඳහන් කරන්නේ, ශී‍්‍ර ලංකාවේ "ඇතැම් අපරාධවලට වගකිව යුතු මෙහෙයුම් සහ පාලන ව්‍යුහයන් මැනැවින් පැහැදිලි වී ඇති තතු යටතේ නඩු විභාගයක් මාර්ගයෙන් මෙම අපරාධ ඔප්පුවුවහොත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ශ‍්‍රී ලංකා ආන්ඩුවේ නිලධාරීන් මෙන්ම එල්ටීටීඊයේ දැනට ඉතිරිව ඇති ජ්‍යෙෂ්ට සාමාජිකයන් වරදකරුවන් වනු ඇති" බව යි. "සිදුව ඇතැයි කියන මෙම ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ස්වාධීන හා පූර්න ජාත්‍යන්තර පරීක්ෂනයක් අවශ්‍ය" බව වාර්තාව සඳහන් කරයි.

කෙසේනමුත්, එවැනි "ජාත්‍යන්තර පරීක්ෂනයක්" සඳහා එක්සත් ජනපදය හා යුරෝපීය සගයන් කෙරෙන එවන් ඉල්ලීමක් යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳ කවර හෝ උත්සුකයකින් සිදු කෙරෙන්නක් නොවේ. රාජපක්ෂ ආන්ඩුව 2006 වසරේදී, එල්ටීටීඊය සමග පැවැති සටන් විරාම ගිවිසුම ඉරා දමා යුද්ධය යලි අරඹන විට වොෂිංටනය එයට සම්පූර්න සහය දුන්නේ ය. එය අත්‍යවශ්‍ය මිලිටරි සහාය ශ‍්‍රී ලංකා මිලිටරියට ලබා දුන් අතර එහි අපරාධයන් පිලිබඳ කඳුගැසෙන සාක්ෂි මධ්‍යයේ මුනිවත රැක්කේ ය.

වොෂිංටනය දැන් නරුම ලෙස ශ‍්‍රී ලංකාවේ අපරාධ යොදා ගනිමින් තිබෙන්නේ කොලඹ ආන්ඩුව බීජීනය සමග පවත්වාගෙන යන සබඳතා අත්හැර චීනයට එරෙහි වොෂිංටනයේ යුද සූදානම සමග හවුල්වෙන ලෙස ආන්ඩුවට බලපෑම් දැමීමට ය. පූර්වයෙන් එල්ටීටීඊයේ පාර්ලිමේන්තු හොරනෑව ලෙස ක‍්‍රියාත්මකවූ දෙමල ජාතික සන්ධානය එක්සත් ජනපදය පිටුපස ගාල්වෙමින් ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයකට පිටුබලය දෙමින් සිටින අතර රටේ දෙමල ප‍්‍රභූවේ වරප‍්‍රසාද ආරක්ෂා කරගැනීමට හැකිවන බලය බෙදීමේ පැකේජයක් සඳහා වොෂිංටනයේ සහය පෙරලා අපේක්ෂා කරයි.

අයිසීඊපී වාර්තාව කොලඹ යුද අපරාධ පිලිබඳ තවදුරටත් සනාථ කෙරෙන සාක්ෂි ගෙනහැර දක්වයි. එහෙත් එක්සත් ජනපදය හා එහි සහකරුවන් මෙම අපරාධවලට සෘජුවම වගකිව යුතු අතර දැන් ඒවා හුදෙක්ම ඔවුන්ගේ භූ-මූලෝපායික අරමුනු වෙනුවෙන් ගසා කයි.

කතුවරයා පහත ලිපියද නිර්දේශ කරයි:

Sri Lanka’s war crimes and the US “human rights” charade
[20 February 2014]

Share this article: