පොලිස් ප‍්‍රහාරයට ලක්වූ සරසවි සිසුන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

පානිනී විජේසිරිවර්දන විසිනි, 2014 මැයි 22

පසුගිය 16 වන සිකුරාදා කොලඹ පැවැත් වූ ශිෂ්‍ය උද්ඝෝෂනයකක් අවසානයේ නිවෙස් බලා යමින් සිටි සරසවි සිසුන්ට එරෙහිව දරුනු කායික ප‍්‍රහාරයක් එල්ල කල පොලීසිය, එහි දී අත් අඩංගුවට ගැනුනු සිසුන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කලහ.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව (විවිප‍්‍රකොස) ඉදිරිපිට මෙම උද්ඝෝෂනය පවත්වා ඇත්තේ, සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ අධ්‍යයන කාලය සිවු වසරක සිට තුන් වසරක් දක්වා කප්පාදු කිරීමට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍ය‐ශිෂ්‍යාවන් විසින් මාස හයකට ආසන්න කාලයක් පුරා ගෙන යන අරගලයේ කොටසක් ලෙසිනි. උද්ඝෝෂනය කැඳවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සඳහන් කරන පරිදි විවිප‍්‍රකොස සභාපතිනි ක්ෂනිකා හිරිඹුරේගම හා සමසෞඛ්‍ය විද්‍යාපීඨයන්හි අධිපතිවරුන් ඇතුලු කමිටුවක් එදින සමසෞඛ්‍ය උපාධිය පිලිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර ශිෂ්‍යයන් උද්ඝෝෂනය පවත්වා ඇත්තේ ඒ අතර වාරයේය.

සිසුන් නිවෙස් බලා යමින් සිටි බස් රථයකට ගොඩ වූ සිවිල් ඇඳුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන්, ශිෂ්‍යයෙකුට එරෙහිව ව්‍යාජ වරෙන්තුවක් ඉදිරිපත් කොට අත්අඩංගුවට ගැනීමට සැරසී තිබේ. රථයේ සිටි අනෙක් සිසුන් එයට විරෝධය පල කිරීමත් සමග අනෙකුත් මගීන් සමගම බසය කොම්පඤ්ඤවීදිය පොලිසියට ගෙන ගොස් ඇත. සිසුන් බසයෙන් ඉවතට ඇද ගත් පොලිස් නිලධාරීන්, සිසුන් තම නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කරමින් හඬ තලද්දී ඔවුන් බිම හෙලා ඇද ගෙන යමින් මෙම අමානුෂික ප‍්‍රහාරය එල්ල කොට තිබේ.

බන්ධනාගාර ගත කෙරුනු සිසුන් අතරින් සිවු දෙනෙකු පමනක්, කොලඹ මහ රෝහලේ අධිකරන වෛද්‍යවරයාගේ නිර්දේශ මත අත් අඩංගුව යටතේම කොලඹ මහ රෝහලට ඇතුලත් කෙරී ඇති නමුත්, බරපතල ලෙස පහර කෑ සිසුන් ඇතුලත් කෙරී ඇත්තේ බන්ධනාගාර රෝහලට ය.

පහර දී අත් අඩංගුවට ගත් සිසුන් 13 දෙනාපසුගිය 19 දා කොලඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුනු අතර, මෙම අත් අඩංගුවට ගැනීමේ සහ පහර දීමේ නීති විරෝධී ස්වභාවය සෑම අතින්ම හෙලි වන තතු යටතේ ඔවුන් ඇප මත නිදහස් කල මහේස්ත‍්‍රාත්වරයා, “මින් මතු ඒක‐පාර්ශ්වීය නියෝග මත සිසු විරෝධතා මැඩීමට කටයුතු නොකරන” ලෙස පොලීසියට අවවාද කලේය.

බරපතල පහර කෑමකට ලක්ව, එහෙත් නිසි ප‍්‍රතිකාරයක් නොමැතිව බන්ධනාගාර රෝහලේ රඳවා සිටි පේරාදෙනිය සම‐සෞඛ්‍ය පීඨයේ සිසුන් දෙදෙනෙකු වන නදීෂ් රනතුංග සහ හෂාන් ධනන්ජය විජේසිංහ, ඇපමත මුදාහල දිනයේම ප‍්‍රතිකාර සඳහා කොලඔ මහ රෝහලට ඇතුලත් වී ඇත. මහ රෝහලේ 27 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටින ඔවුන් දෙදෙනා හමු වීමට ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් ඊයේ දිනයේ යන විටත් ඔවුහු දැඩි මානසික හා කායික වේදනාවෙන් පෙලෙමින් සිටියහ.

හම්බන්තොට දිස්ති‍්‍රක්කයට අයත් වලස්මුල්ලේ දුගී පවුලක සාමාජිකයෙකු වන විසි දෙහැවිරිදි නදීෂ් පවුලේ වැඩි මහලු පුත‍්‍රයාය. ඔහුගේ පියා මේසන් වැඩ කිරීමෙන් දෛනිකව උපයන ආදායමෙන් පවුල නඩත්තු කෙරෙන බවත් ඉතා දුක් ගැහැට විඳිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වූ බවත් නදීෂ් ලෝසවෙඅ ට පැවසීය.

“ඇත්තෙන්ම මට එදා උද්ඝෝෂනයට සම්බන්ධ වෙන්න වුනෙ නෑ. වෙනත් කටයුත්තක් සඳහා මම කොටුවට ගිහිල්ල එන කොට උද්ඝෝෂනය ඉවරයි. මම මගේ යාලුවො එක්ක 170 බස් එකකට ගොඩ වුනා ආයෙත් කොටුවට යන්න. බස් එක ඇතුලෙදි අපි දැක්ක සිවිල් ඇඳ ගත්ත දෙන්නෙක් දිනූක මධුෂාන් කියන අපේ යාලුවෙකුගෙ අතින් අදිමින් එයාව බස්ස ගන්න උත්සාහ කරනව. අපි වහාම එතෙන්ට ලං වුනා. දිනූකට වරෙන්තුවක් තියෙනව කියල නවාපු කොල කෑල්ලක් පෙන්නමින් තමයි එයා බස්ස ගන්න හැදුවෙ. අපි වරෙන්තුව පෙන්නන්න කිව්ව. ඒකෙ තිබුනෙ විතාරන්දෙනියෙ ප‍්‍රභාෂන රාජපක්ෂ කියල කෙනෙකුට නිකුත් කරපු වරෙන්තුවක්. අපි දිනූකගෙ හැඳුනුම්පත පෙන්නල තහවුරු කලා ඒ ප‍්‍රභාෂන කියන්නෙ වෙන කෙනෙක් බව. අපි ඒ ගොල්ලන්ගෙ හැඳුනුම්පත් ඉල්ලුවා. ඒත් පෙන්නුවෙ නෑ. වරෙන්තුවට දිනූකගෙ සම්බන්ධයක් නැති බව පෙන්නලත් එයාව ගෙනියන්නම තමයි උත්සාහ කලේ. අපි විරුද්ධ වුනාම බස් එක අනෙක් මගියොත් එක්කම කොම්පඤ්ඤවීදිය පොලීසියට අරගෙන ගියා.”

පොලීසිය අසල දී දිනූකගේ අනන්‍යතාව තහවුරු ආරක්ෂාවට ඉදිරිපත් වූ සරසවි සිසුන් බසයෙන් ඉවතට ඇදගත් පොලීසිය ඔවුනට අතින් පයින් පහර දෙමින් සහ පරුෂ වචනයෙන් බැන වදිමින් පොලීසිය තුලට ඇදගෙන ගිය බැව් නදීෂ් තවදුරටත් පැවසීය. “බිම වැටුනු මට කිසිම අනුකම්පාවක් නැතිව පහර දුන්න. මගේ ඔලුව කැරකෙන්නත් ඇස් දෙක නොපෙනෙන්නත් පටන් ගත්ත. මම ගහන්න එපා කියල කෑ ගැහැව්ව. ඒත් නැවැත්තුවෙ නෑ. ඇහෙන් ලේ පනිනකම් මට ගැහුව. තාමත් ඇස් වලට ලේ බැහැල තියෙන්නෙ. දැන් මගේ ඇස් පෙනීමෙ අඩුවක් වගේ දැනෙනව.”

මෙම පොලිස් ප‍්‍රහාරයෙන් ඔහුට ඇතිවූ මානසික කම්පනය ගැන සඳහන් කරමින් නදීශ් මෙසේ පැවසීය: “මම දැන් විශාල කම්පනයකින් ඉන්නෙ. අපේ පීඨයෙ වැඩ ආයෙ පටන් ගත්තත් අධ්‍යන කටයුතු වලට හිත එකලස් කර ගන්න පුලුවන් වෙයි කියල මට හිතන්න බෑ. අපි දුප්පත් පවුල් වලින් මහන්සි වෙල ඉගෙන ගෙන ආවෙ අධ්‍යාපනය හරියාකාරව ලබල පවුලම ගොඩ ගන්න. ඉස්සෙල්ල අපේ පාඨමාලාව කැපුව. ඒක නැවත ලබා ගන්න සාධාරන සටනක් කලාම අපිට අමානුෂික පහර දීල හිරේ දානව.”

හෂාන්ගේ පවුල් පසුබිම ද මීට වෙනස් නොවේ. හොරන ප‍්‍රදේශයෙන් සරසවියට පැමිනි ඔහුගේ පියා මියගොස් ඇති අතර පවුල රැකෙන්නේ පදිංචිව සිටින ඉඩමේ ඇති රබර් ගස් වලින් ලැබෙන ආදායමෙනි. ඔහු උද්ඝෝෂනයට සම්බන්ධවූ බවත් එයට සිසුන් 300 ක් පමන සහභාගි වූ බවත් හර්ෂන ලෝසවෙඅ ට පැවසීය.

ලිංග ප‍්‍රදේශයට වැදුනු පොලිස් පා පහරකින් ඔහු බලගතු ලෙස පීඩා විඳී. “ඔවුන් මගේ යටි බඩටමයි පහර දුන්නෙ. යටිබඬේ විශාල වේදනාවක් තියෙනවා. මුත‍්‍රා කරන කොට ඒ වේදනාව හුඟක් වැඩියි. ඒත් අපට නිසි ප‍්‍රතිකාරයක් බන්ධනාගාරයෙදි ලැබුනෙ නෑ. ඇපමත නිදහස් වුනාට පස්සෙ තමයි ප‍්‍රතිකාර ලබා ගන්න අවස්ථාව ලැබුනෙ.”

ඔවුන් සටන් වැදුනේ ඉතා සාධාරන ඉල්ලීමක් වෙනුවෙන් බවත්, මෙම පහර දීමත් සමග ආන්ඩුව කෙරෙහි කලකිරීම හා කෝපය තවත් වැඩි වූ බවත් ඔහු තව දුරටත් පැවසීය. “පලමුවරට අපිට කෝපය එන්නෙ පොලීසියත් එක්ක. ඒත් පොලීසිය මෙහෙයවන්නෙ පාලකයො. ඒ කියන්නෙ ආන්ඩුව. අන්තිමේදි ආන්ඩුව තමයි මේ ඔක්කොටම වග කියන්න ඕනෙ.”

උපාධි පාඨමාලා කප්පාදුව ගැන කතා කරමින් ඔහු පැවසුවේ එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මත පටවා නිදහස් වීමට ආන්ඩුව සහ පරිපාලනය උත්සාහ දරතත් කප්පාදුව සම්බන්ධයෙන් පූර්න වශයෙන් වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුව බවයි. “ජීඑම් ඕඒ (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය) එක අපේ සිවු අවුරුදු පාඨමාලාවට විරුද්ධ වෙනව. ඒත් කොතලාවල පීඨයෙ සල්ලි වලට විකුනන සිවු අවුරුදු පාඨමාලාවට විරුද්ධ නෑ. ඒ ඒ ගොල්ලන්ගෙ දෙබිඩි පිලිවෙත. අනෙක් අතට මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට මුලදි ජීඑම් ඕ එක විරුද්ධ වුනා. ඒත් ආන්ඩුව ඒ වැඩපිලිවෙල නතර කලේ නෑ. ආන්ඩුව වැඩ කරන්නෙ ආන්ඩුවේ ප‍්‍රතිපත්ති අනුව. අපේ පාඨමාලාව කැපීමත් ආන්ඩුවෙ ප‍්‍රතිපත්තිය.”

අවිශිබමය විසින් ඉදිරිපත් කරන, ආන්ඩුවට බලපෑම් දැමීම මගින් ආන්ඩුවේ මෙම ප‍්‍රතිපත්ති වෙනස් කල හැකිවේද යන ප‍්‍රශ්නයට පිලිතුරු දෙමින් හෂාන් පැවසුවේ “අනෙකුත් මහජනතාවගේ සහයෝගය ගොනුකර ගතහොත්” එය කල හැකිවෙතැයි ඔහු සිතන බවයි. ගී‍්‍රසිය හා ස්පාඤ්ඤය වැනි රටවල ලක්ෂ සංඛ්‍යාත මහජනතාව කප්පාදු වලට එරෙහිව වීදිබට නමුත් එම පිලිවෙත් ආපසු හැරවීමට නොහැකිවීමෙන් පෙන්නුම් කරන්නේ, අර්බුද ග‍්‍රස්ත ධනපති ක‍්‍රමය තුල මෙම ප‍්‍රශ්න විසඳා ගත නොහැකිබව නොවේදැයි විමසූ කල ඔහු පැවසුවේ ඒ පිලිබඳව සිතා බැලිය යුතු බවයි.

මේ අතර, කප්පාදුවට එරෙහිව නිරන්තරව වර්ධනය වන ශිෂ්‍ය අරගල සම්බන්ධයෙන් හා එම අරගල මර්දනය කිරීම සඳහා ආන්ඩුව කි‍්‍රයාවට දමමින් සිටින පොලිස් ක‍්‍රමවේදයන් කෙරෙහි මහජනතාව අතර වැඩෙන කෝපය පිලිබඳව පාලක පන්තියේ සමහර කොටස් තුල ඇති උත්සුකයන් ප‍්‍රකාශයට පත්වන කතුවැකියක් පසුගිය 21 දා ද අයිලන්ඩ් පත‍්‍රයේ පල විය. “මහජනතාවට වඩාත් අපහසුතා නිර්මානය වන ආකාරයට, උපාධි අපේක්ෂකයින්ගේ විරෝධතාවන් දේශපාලන සංදර්ශන බවට පරිවර්තනය කර ගැනීමට ඉඩ නොදිය යුතුය. නමුදු, ඔවුනගේ අයිතීන් උල්ලංඝනය කිරීම මගින් බංකොලොත් බාහිර දේශපාලන බලවේගයන්ට ඔවුනගේ පාපතර දේශපාලන ව්‍යාපෘති වර්ධනය කර ගනුවස් සිසු අසහනය යොදා ගැනීමට අවකාශ ලබා දීමේ චෝදනාව ආන්ඩුව භාර ගත යුතුය.”

Share this article: