රාජපක්ෂ ආන්ඩුව සිසු මර්දනය වඩාත් කුරිරු මට්ටම් වලට ඔසවයි

විමුක්ති විදර්ශන විසිනි,2014 මැයි 20

මෙම අත්අඩංගුවට ගැනීම් මගින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ, නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව අරගලයට ප‍්‍රවිෂ්ටවන සිසුන්ට එරෙහි මර්දනය වඩාත් කුරිරු මට්ටම් වලට එසැවීමට රාජපක්ෂ ආන්ඩුව තීරනය කොට ඇති බවයි.

සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ අධ්‍යයන කාලය සිවු වසරක සිට වසර තුනක් දක්වා කප්පාදු කිරීමට එරෙහිව දැනට මාස පහකට ආසන්න කාලයක් තිස්සේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය‐ශිෂ්‍යාවන් විසින් ගෙන යන අරගලයට සම්බන්ධ ශිෂ්‍යයන් දඩයම් කරන බවට ආන්ඩුව කල තර්ජනය සනාථ කරමින්, පසුගිය 16 වන සිකුරාදා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව (විවිප‍්‍රකොස) ඉදිරිපිට පැවැත් වූ ශිෂ්‍ය උද්ඝෝෂනය අවසානයේ විසිර යමින් සිටි සිසුන් හඹා ගිය පොලිසිය සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

උද්ඝෝෂනය කැඳවූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) වාර්තා කරන පරිදි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනි ක්ෂනිකා හිරිඹුරේගම හා සමසෞඛ්‍ය විද්‍යාපීඨයන්හි පීඨාධිපතිවරුන් ඇතුලු කමිටුවක් එදින සමසෞඛ්‍ය උපාධිය පිලිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර ශිෂ්‍යයන් උද්ඝෝෂනය පවත්වා ඇත්තේ ඒ අතර වාරයේය.

පේරාදෙනිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුනසේකර, රුහුන සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සුරේෂ් මධුසංක, පේරාදෙනිය සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත ප‍්‍රසාද් නන්දසේන සහ එම සංගමයේ උප සභාපති පසන් හේවාවිතාරන යන සිසුන් සිවිල් ඇඳුමෙන් පැමිනි රහස් පොලීසිය විසින් පලමුව අත්අඩංගුවට ගෙන ඇත. මින් තිදෙනෙකුට උසාවිය මගින් සිතාසි නිකුත් කර තිබූ බව අවිශිබමය පවසයි. ඉන්පසුව කොම්පඤ්ඤවීදිය පොලිස් නිලධාරීන් විසින් මගී බස් රථයක් තුලදී කොටු කරනු ලබූ ශිෂ්‍යයෙකුට එරෙහිව ව්‍යාජ වරෙන්තුවක් ඉදිරිපත් කොට අත්අඩංගුවට ගැනීමට සැරසී තිබේ. රථයේ සිටි අනෙක් සිසුන් එයට විරෝධය පල කිරීම නිසා මගීන් සමග බසය පොලිසියට ගෙන ගිය පොලිස් නිලධාරීන් සිසුන්ට බැටන් පොලු හා මුගුරු වලින් පහරදී එයින් 13 දෙනෙකු රඳවාගෙන ඇත.

පසුව රක්ෂිත බන්ධනාගර ගතකල එම සිසුන් 13 දෙනා පසුගිය 19 දා කොලඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරින. පොලිස් ප‍්‍රහාරය නීති විරෝධී බව සෑම අතින්ම හෙලිවන තතු යටතේ ඔවුන් ඇප මත නිදහස් කල මහේස්ත‍්‍රාත්වරයා, මහජන විරෝධය සමහන් කරනු වස්, ”මින් මතු ‘ඒකපාර්ශවීය’ අධිකරන නියෝග මගින් සරසවි සිසුන්ගේ විරෝධතා මැඩ පැවැත්වීමට කටයුතු නොකරන” ලෙස පොලීසියට අවවාද කලේ ය.

වාර්තා වන පරිදි මෙම අත්අඩංගුවට ගැනීම් කිසිවකදී පොලීසිය කිසිදු වරෙන්තුවක් ඉදිරිපත් කිරීමක් හෝ වරද පැහැදිලි කර දීමක් සිදුකර නොමැත. පොලිස් ප‍්‍රකාශක අජිත් රෝහන මාධ්‍යට සඳහන් කොට තිබුනේ සිසුන් “අයුතු ජන රාශියකට” සම්බන්ධව සිට ඇති බවත් ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට වරෙන්තු අනවශ්‍ය බවත් සිසුන් අත්අඩංගුවට ගැනීමේදී “අවම බලය” පමනක් පාවිච්චි කල බවත්ය.

මෙම අත්අඩංගුවට ගැනීම් මගින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ, නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව අරගලයට ප‍්‍රවිෂ්ටවන සිසුන්ට එරෙහි මර්දනය වඩාත් කුරිරු මට්ටම් වලට එසැවීමට රාජපක්ෂ ආන්ඩුව තීරනය කොට ඇති බවයි.

සම සෞඛ්‍ය උපාධි අර්බුදයට විසඳුමක් නොදීම සම්බන්ධයෙන් පසුගිය 07දා අවිශිබම විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වූ අතර එහි කැඳවුම්කරු නජිත් ඉන්දික ආන්ඩුවට එරෙහිව කරන ලද පුස් ගර්ජනාවකට ප‍්‍රතිචාර දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මැයි 13 වන දා මාධ්‍යයට කියා තිබුනේ “රුහුනු විශ්ව විද්‍යාලයේදී දැයට කිරුල ඊලඟ ප‍්‍රදර්ශනය පැවැත්වීමට ඉඩ නොදුනහොත් අන්තරයේ (අවිශිබම) අයට පමනක් නොව ඔවුන්ගේ මවුපියන්ටත් හැංගෙන්න තැන් සොයා ගැනීමට සිදුවේවි” යනුවෙනි. මෙය ශිෂ්‍යන්ට එරෙහි මර්දනය තීව‍්‍ර කිරීම පිලිබඳ සෘජු තර්ජනයකි. මෙම අත්අඩංගුවට ගැනීම, පහර දීම හා බන්ධනාගාර ගත කිරීම සිදුවන්නේ දිසානායක එකී තර්ජනය කිරීම සිදුකොට යන්තම් දින තුනක් ගතවීමටත් මත්තෙන්ය.

මැයි 7දා සංවිධානය කර තිබූ පෙලපාලිය වලක්වමින් පොලීසිය විසින් අධිකරනයෙන් වාරන නියෝගයක් ලබා ගෙන තිබුනු අතර සිසුහු වාරන නියෝගය නොතකා ජනාධිපති මන්දිරය දක්වා උද්ඝෝෂන පාගමන පැවැත්වූහ. එකී වාරන නියෝගය සමග සිසුන් 17 දෙනෙකුට පසුගිය 19 දින උසාවියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කොට තිබුනි. මැයි 8දා පොලිස් ප‍්‍රකාශක අජිත් රෝහන කියා තිබුනේ වාරන නියෝගය නොතකා උද්ඝෝෂනය කල සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වීඩියෝ දර්ශන නිරීක්ෂනය කරමින් සිටින බවයි.

පසුගිය මාර්තු 31 දා ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයන් 14 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමත් සමග රාජපක්ෂ ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනය නව වටයකින් ඉහල දැමිනි. අධ්‍යාපන කප්පාදුවට හා මර්දනයට එරෙහිව කැලනිය සරසවියේ සිට ජනාධිපති මන්දිරය දක්වා මාර්තු 19 දා ගිය පා ගමනට කොලඹදී කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කොට විසුරුවා හරින ලද අතර නේවාසිකාගාර ගාස්තු ඉහල දැමීමට එරෙහිවූ කොලඹ සරසවියේ සිසුන් 20ක ගේ පන්ති තහනම් කර ශාස්ත‍්‍ර පීඨය හා අධ්‍යාපන පීඨ දින නියමයකින් තොරව වසා දමා ඇත. සිසු මර්දනයට එරෙහිව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිසුන් පැවැත්වූ උපවාසයට මැයි 13 දා මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කෙරින. මීට අමතරව දෙමවුපියන් බිය වැද්දීම සඳහා ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ නිවෙස්වලට ගොස් තර්ජනය කිරීම් කරමින් තිබේ.

නය බරින් මිරිකී සිටින රාජපක්ෂ ආන්ඩුව අය වැය පරතරය අඩු කිරීම සඳහා ලෝක බැංකුවේත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙත් නියමයන්ට අනුව සියලු සමාජ සුබසාධන කප්පාදු කරමින් සිටී. ගෝලීය ධනේශ්වර අර්බුදය යටතේ දැවැන්ත කප්පාදු පියවරයන් කි‍්‍රයාවට නගමින් සිටින ලොවපුරා අන්‍ය ධනපති පාලකයන් අනුයමින් සිටින රාජපක්ෂ පාලනයට බලපෑම් දැමීම හරහා අධ්‍යාපන අයිතීන් දිනා ගත හැකිය යන මිථ්‍යාව මත සිසුන් මෙහෙයවන අවිශිබමට, සිසුන් රාජ්‍ය මර්දනයට ගොදුරු කිරීම හැර අන් මාවතක් නොමැත. සිසුන්ට වෙනම “ශිෂ්‍ය ව්‍යාපාරයක්” ඇතැයි ද එම ව්‍යාපාරය මගින් පීඩිත බලවේග හා අන් වාමාංශික පක්ෂ ද එකතුකරගත් පුලුල් අරගලයක් කල යුතු යයි ද අවිශිබම මතුරන මුත් එයට ආන්ඩුවේ මෙම පුලුල් සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහි ශක්‍ය දේශපාලන ඉදිරිදර්ශනයක් නොමැත.

කම්කරු පන්තිය, දුගී ගොවීන් ඇතුලු පීඩිතයන් ද සිසුන් හා තරුනයන් ද තමා වටා ගොනුකර ගනිමින් රාජපක්ෂ ආන්ඩුව කම්කරු ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කිරීමට සටන් කල යුතුය. මෙය ජාත්‍යන්තර සමාජවාදයට කරන අරගලයක කොටසකි. සමාජවාදී සමානතා පක්ෂයත් (සසප) එහි තරුන සහ ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයත් සටන් වදින්නේ එම දේශපාලන ඉදිරිදර්ශනය හා වැඩපිලිවෙල මත පාදකවය. විරෝධතා අරගලවලට අධිෂ්ඨානවත්ව එක්වන සිසුන් නැගී සිටිය යුත්තේ මේ කි‍්‍රයා මාර්ගය මතයි.

මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අත්අඩංගුවට ගැනීම් හෙලා දකින සසප සහ සසජාතශි, අත්අඩංගුවට ගත් සිසුන් කොන්දේසි විරහිතව වහා නිදහස් කල යුතු යයි කියා සිටින අතර අධ්‍යාපන කප්පාදුව හමුවේ අරගලයට පිවිස සිටින ශිෂ්‍යයින් ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට පැමිනෙන ලෙස සමස්ත කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

සබැඳි ලිපි : රාජපක්ෂ ආන්ඩුවේ සරසවි සිසු මර්දනයට එරෙහිව කම්කරු පන්තිය මෙහෙයවනු!

ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනය නව වටයකින් ඉහල නංවමින් ජයවර්ධනපුර සරසවියේ සිසුන් 14 ක් අත්අඩංගුවට ගනී

Share this article: