කොලඹ ජනාධිපති බාලිකාවේ පරිපාලනය බුර්ඛාව තහනම් කරයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2014 මැයි 20

පසුගිය මාර්තු මාසයේ කොලඹ ජනාධිපති බාලිකා විද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍යාවන් දෙදෙනෙකුට හා මව්වරුන් කීප දෙනෙකුට බූර්ඛාව හෙවත් පර්දාව පැලඳ පාසලට පැමිනීම පාසලේ විදුහල්පතිනිය විසින් තහනම් කිරීමෙන් පසු ඊට එරෙහිව එම ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් විසින් කොලඹ ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය 13 දා යලි දෙවන වරටත් විභාගයට ගැනුනි. මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවය හෙවත් විත්ති පාර්ශවය ලෙස නම් කර ඇත්තේ කොලඹ ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන තක්ෂිලා නයනා පෙරේරා සහ නියෝජ්‍ය විදුහල්පතිනිය වන හේමමාලි ය.

මුස්ලිම් ශිෂ්‍යාවන් සඳහා බුර්ඛාව පැලඳ පාසල් යෑමේ අයිතිය තහවුරු කරමින් ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන අමාත්‍යංශය 1980 දී නිකුත් කල චක‍්‍රලේඛයත්, 2012 වසරේ දී ගොනු කල මෙවැනි පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව පාසල් තුල බුර්ඛා පැලඳීමට අවසර දෙමින් දුන් තීන්දුවත් විත්ති පාර්ශ්වය විසින් අභියෝගයට ලක් කෙරින. “සිංහල බෞද්ධ රටක සිංහල බෞද්ධ පාසල් තුල ඊට කිසි සේත් ඉඩ දිය නොහැක” යන්න ඔවුනගේ තර්කය විය.

ගිය මස 29 දා කැඳවු පලමු නඩු විභාගයේ දී විනිසුරු මඬුල්ලේ සාමාජිකාවක්ව සිටි ඊවා වනසුන්දර, ඉහත සඳහන් 2012 ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමේ දී එහි විනිසුරුවරියක් ව සිටි බැවින් මෙම නඩුවේ විනිසුරු මඩුල්ලෙන් ඉවත් කර ගන්නා ලෙස විත්තියේ පාර්ශ්වයෙන් ගොනු කල ඉල්ලීමට අනුව මෙවර ඇය විනිසුරු මඬුල්ලෙන් ඉවත් කර තිබුනි. ජුනි මස 03 දා යලි නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත. v

දෙමාපියන් ගොනු කල පෙත්සමේ සඳහන් ආකාරයට, පසුගිය මාර්තු මස 3 වන දා ජනාධිපති විද්‍යාලයේ හත වසර ශිෂ්‍යාවන් දෙදෙනෙකු හට ඔවුන් පැලැඳ සිටි බුර්ඛාව ඉවත් කරන ලෙස විදුහල්පතිනිය විසින් බල කොට ඇත්තේ එදින පාසලේ ශ‍්‍රමදානයකට පැමිනි සිටි දෙමාපියන් හා අනෙකුත් ගුරු මන්ඩලය ඉදිරිපිටදී ය. පලමුව එය ප‍්‍රතික්ෂේප කල ශිෂ්‍යාවන් පසුව වෙනත් ස්ථානයකට ගොස් බුර්කාව ඉවත් කර ඇත. මුස්ලිම් සංස්කෘතියට අනුව දනගසා වැඳීම නොකෙරෙන තතු යටතේ, පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් විදුහල්පතිනියට දැන ගසා වැඳීමට එම සිසුවියන්ට බල කර තිබේ.

තම දරුවන්ට එරෙහි වෙනස්කම් මාලාවක් සම්බන්ධයෙන් පලමු හා දෙවන වගඋත්තරකරුවන් ලෙස විදුහල්පතිනිය හා නියෝජ්‍ය විදුහල්පතිනිය නම් කරන පෙත්සම්කරුවන්, “මේක බෞද්ධ පාසලක්” යනුවෙන් තම දරුවන්ට බැන වැදී ඇති බව පෙත්සමේ සඳහන් කරයි. විදුහල්පතිනිය විසින් දරුවන්ගේ දෙමාපියන් හට ද බුර්ඛාව පැලඳ පාසලට ඇතුල් වීම තහනම් කල අවස්ථා කිහිපයක් ද පෙත්සමේ සඳහන් කර ඇත.

ජනාධිපති විද්‍යාලයේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ නීති විරෝධී බුර්ඛා තහනම, රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය සහිතව කරලියට පැමින සිටින සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් ගෙන යන මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයේ ඝෘජු ප‍්‍රතිඵලයකි. දෙමල ජනතාවට එරෙහි 26 අවුරුදු යුද්ධයෙන් පසුව, ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරු පන්තිය භේද කිරීම සඳහා මෙම මුස්ලිම් විරෝධී උන්මාදය ද එල්ටීටීඊය යලි පන ගසා එමින් තිබෙන බවට කෙරෙන ව්‍යාජ ප‍්‍රචාර ද මුදා හැර ඇත.

බුර්ඛාවට එරෙහි මෙම කඩාපැනීම සිදුව ඇත්තේ බොදුබලසේනා ව්‍යාපාරය (බොබසේ) මගින් ගෙන යන බුර්ඛා විරෝධී ව්‍යාපාරයට සමගාමීව ය. බොබසේහි නායකයින් සිය ප‍්‍රසිද්ධ රැස්වීම්වල දී බුර්ඛාව පැලැඳි මුස්ලිම් කාන්තාවන් “ගෝනි බිල්ලන්” ලෙස නම් කරමින් ඔවුනට පරිභව කිරීමේ ව්‍යායාමයක නිරතව සිටී.

මෙම බුර්ඛා විරෝධයේ ප‍්‍රතිඵලයක් ලෙස මොරටුව සරසවියේ ද ශිෂ්‍යාවන් තිදෙනෙකුට සරසවි අධ්‍යාපනය නවතා දැමීමට සිදුව ඇත. සරසවි බලධාරීන් විසින් පසුගිය වසර අග දී එම සිසුවියන්ට පැනවූ බුර්ඛා තහනමකට එරෙහිව ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කල මුලික අයිතිවාසිකම් නඩුවක් ජුනි 07 දා විභාගවීමට නියමිතව තිබේ. කෙසේ නමුත්, මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික ස්ථානයන්ට හා කතෝලික ආගමික ස්ථානයන්ට එරෙහිව මෙම අන්තවාදී නඩ විසින් එල්ල කෙරෙන ප‍්‍රහාර පසු ගිය වසරේ සිට උත්සන්න කෙරී පවතින්නේ අධිකරනයේ ද සහාය සහිතවය.

ජනාධිපති විද්‍යාලයට අදාල මෙම සිද්ධියේ දී බස්නාහිර පලාත් අධ්‍යාපන නිලධාරීන් විසින් ද ඉහත මූලික අයිතීන් නොතකා හරිමින් සිංහල බෞද්ධ අන්තවාදී නඩ දිරි ගන්වා ඇත. සුලු කන්ඩායමකට පමනක් වෙන් වූ වෙනම ඇඳුමක් ඇඳීමට අවසර ලබා දීමෙන් පාසලේ පවත්නා සම්ප‍්‍රදායන්වලට බාධාවක් වන බවත් අනෙකුත් ප‍්‍රජාවන් ඒ සම්බන්ධව නොසතුට පල කරන හෙයින් පවත්නා නීතිවලට අනුව සෑම විටම කටයුතු කල නොහැකි බවත් එමනිසා ඒ ඒ අවස්ථාවට අනුව කටයුතු කිරීමට සිදුවන බව කොලඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පවසා ඇත. අධ්‍යාපන අධ්‍යක්ෂ ප‍්‍රකාශ කරන මෙම “අනෙකුත් ප‍්‍රජාවන්” යනු අන් කවරෙකු හෝ නොව, සිංහල බෞද්ධ අන්තවාදී කොටස් ය.

මෙම ප‍්‍රකෝපකරනය තව දුරටත් ඉදිරියට ගෙන යමින්, බොබසේ හා රාවනා බලකායේ මෙහෙයවීම යටතේ, “පාසල් සුරැුකීමේ සංවිධානය” නමින් පසුගිය මස මුල දී ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට උද් ඝෝෂනයක් පවත්වා තිබේ. එහි දී බෙදා හැරි අත් පත‍්‍රිකාවක “අපේ සිංහල බෞද්ධ ලමයි සෑම උදෑසනකම මෙසේ ඔවුන්ගේ ආගම කියා නිම වන තෙක් බලා සිටිය යුතු ද? ඉස්ලාම් ආගමික නායකයන්ගේ ගුන ගායනා කිරීම හා පැවසීම මගින් අපේ දරුවන් කලකිරීමට පත් නොවේ ද? මුස්ලිම් පාසලක බුදුගුන කියන තෙක් මුස්ලිම් ගුරුවරු සහ සිසුන් ඉඩ දෙයි ද? මුස්ලිම් පාසල් පුස්තකාලවල බෞද්ධ පොත් තිබේ ද? ” යනුවෙන් ප‍්‍රශ්න කර ඇත.

කෙසේවතුදු, යථාර්ථයේදී සිදු වෙමින් පවතින්නේ මෙහි විපරීතයයි. එනම් සිංහල‐බෞද්ධ අධිපතිවාදය විසින් අන්‍යආගමිකයන් හට එරෙහිව සිදු කරන බලහත්කාරකම් ඉහල නැගීමයි. රටපුරා බහුතරයක් පාසල්වල අන්‍ය ආගමික සිසුන්ට බෞද්ධාගමික කටයුතුවලට සහභාගීවීමට බල කෙරෙයි. මෙවර වෙසක් පෝය නිමිති කර ගෙන ඒ සඳහා වෙන්වු දහම් සතියක් නිවේදනය කල අධ්‍යාපන අමාත්‍යාංශය එම සතිය තුල බෞද්ධ ආගමික වත්පිලිවෙත් සඳහා වෙන් කලේය. බෞද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කෙරුනු 1972 වර්ගෝත්තමවාදී ව්‍යවස්ථාව මගින් මෙම බලහත්කාරකම් වලට අවශ්‍ය පදනම් නිර්මානය කෙරින.

සති දෙකකට පෙර, ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආගමික ගැටලු පිලිබඳව කටයුතු කිරීම සඳහා යයි පවසමින් බුද්ධ සාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ විශේෂ පොලිස් ඒකකයක්් පිහිටුවන ලදී. එමගින් ආගමික සංහිදියාවක් සඳහා ආන්ඩුව පෙනී සිටින බවක් මවා පෑමට උත්සහාගත්ත ද එහි සැබෑ අරමුන කුමක් ද බොබසේ සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර විශේෂ පොලිස් ඒකකය ගැන කරන සඳහනින්ම පැහැදිලි වේ. “බෞද්ධ විරෝධී වැඩකටයුතු නවතා දැමීම සඳහා අපි මේක ආරම්භ කරන්නැයි ජනාධිපතිතුමාගෙන් වසරකට කලින් ඉල්ලූවේ. දැන් අපිට වගකිව යුතු තැනක් ලැබිලා තියෙනවා. පොලිසියේ දීර්ඝ ක‍්‍රියාදාමයක් තියෙන නිසා ජනතාව පැමිනිලි කිරීමෙන් වැලකිලයි හිටියේ. මේක සිංහල බෞද්ධ රටක්. තීන්දු ගතයුත්තේ බෞද්ධයන්ට ඕනා විදිහටයි. මෙම පොලිස් ඒකකයේ පලමු පැමිනිල්ල ඉදිරිපත් කර ඇත්තේ ද තවත් එවැනිම සිංහල අන්තවාදී සංවිධානයක් වන රාවනා බලකාය නම් සංවිධානයයි.

මෙම තතු තුල, ලංකා ගුරු සංගමය, ජනතා විමුක්ති පෙරමුනට අයත් ලංකා ගුරු සේවා සංගමය හා විශ්වවිද්‍යාල තුල ක‍්‍රියාත්මක වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය මුස්ලිම් ශිෂ්‍යාවන් ඉලක්ක කරගත් මෙම ප‍්‍රහාර සම්බන්ධව නිහඬව සිටිති. එමගින් පෙන්නුම් කරන්නේ සිංහල‐බෞද්ධ අධිපතිවාදය සමග ඔවුන්ගේ අනුගත වීම හා ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධතාවය තහවුරු කිරීමට ඔවුන් දක්වන සතුරුභාවයයි. ලංකා ගුරු සේවා සංගමය හා අන්තර් විශ්වවිද්‍යාල ශිාෂ්‍ය බල මන්ඩලය කොලඹ ආන්ඩුව උතුරු-නැගෙනහිර ගෙන ගිය යුද්ධයට පූර්නව සහයෝගය දන් අතර ලංකා ගුරු සංගමය එම යුද්ධයට අනුගතව සිටියේ ය.

Share this article: