කොලඹින් මහජනයා පලවා හැරීම ශ‍්‍රී ලංකාවේ විද්වත් මන්ඩලයක විවේචනයට ලක් වේ

Sri Lankan think tank criticises mass evictions in Colombo

විලානි පීරිස් විසිනි, 2014 මැයි 15

කොලඹින් බලහත්කාරයෙන් නෙරපීම-අලංකාරකරනයේ අශෝභන ප‍්‍රතිවිපාක නමින් ශ‍්‍රී ලංකාවේ විද්වත් මන්ඩලයක් විසින් නිකුත් කල වාර්තාවක් අගනගරයෙන් දිලිදු ජනයා බුරුතු පිටින් පලවා හැරීමේ විවිධ පැතිගැන අවධාරනය කලේ ය. කොලඹ නගරය "දකුනු ආසියාවේ වෙලඳ මධ්‍යස්ථානය" බවට පරිවර්තනය කිරීමටත් විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමත් අරමුනු කර ගනිමින් ලක්ෂ සංඛ්‍යාත මහජනයා නගරයෙන් එලවා දැමීම ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ කේන්ද්‍රීය ව්‍යාපෘතියකි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ එක් ප‍්‍රකාශයකට අනුව නෙරපා හැරීමට නියමිත පවුල් සංඛ්‍යාව 70,000 ක් වන අතර, ඔහුගේම තවත් ප‍්‍රකාශයක එම සංඛ්‍යාව පවුල් 135,000ක් ලෙස විස්තර කෙරෙන බව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය (සීපීඒ) විසින් නිකුත් කල වාර්තාවෙන් පැහැදිලි කරයි. කෙසේ නමුත් මෙයින් ඉඟි කරන්නේ, 280,000ත් 500,000ක් අතර මිනිසුන් සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමි කිරීමට නියමිත බව යි.

"උතුරේදී සහ නැගෙනහිර දී යොදාගත්" මිලිටරි විධික‍්‍රමවලට කොලඹ පලවාහැරීම් සමාන කරන වාර්තාව, ඇතම් ඇස්තමේන්තුවලට අනුව මෙම නෙරපීම්වල පරිමාව විසින්, "දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව ගෙන ගිය යුද්ධයේ අවසන් වසර දෙක තුලදී ලංකාවේ උතුරේ සිදුවූ අවතැන්වීම්වල පරිමාව පවා සුලු කොට දක්වනු ඇත" යි සඳහන් කරයි.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධය අතරතුර මිලිටරිය විසින් උතුරු වන්නි පලාතේ නිවාස විශාල ප‍්‍රමානයක් විනාශ කෙරුනු අතර 300,000ක් අවතැන්කොට දසදහස් ගනනක් මරා දැමින. යුද්ධයෙන් අනතුරුව කවර මූලික අවශ්‍යතාවක් හෝ සැපිරීමකින් තොරව ජනයා "යලිපදිංචි" කල අතර එමගින් එම ජනයාගේ ඉඩම් මිලිටරියටත් ආයෝජකයන්ටත් කොල්ල කෑ හැකි කොන්දේසි නිර්මානය කෙරින.

නිවෙස්වලින් නෙරපූවන් සඳහා වැලිගොඩ වත්ත ඉදිරිකර ඇති තාවකාලික ලෑලි ගෙවල්

පැල්පත් වලින් තොරවූ, "ජාත්‍යන්තර පරිමානයේ" "උද්‍යාන නගරයක්" හා "සංචාරක කර්මාන්තය හා ජාත්‍යන්තර වෙලඳාම සඳහා ජනපි‍්‍රය ස්ථානයක්" බවට කොලඹ නගරය පත් කිරීම ආන්ඩුවේ අරමුන යයි පුනරුච්ඡාරනය කරමින් ජනාධිපතිගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ කරන ප‍්‍රකාශයන් වාර්තාව උපුටා දක්වයි.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා කොලඹ සහ තදාසන්න ප‍්‍රදේශයන්හි මිලිටරිකරනය වේගවත් කර තිබේ. එල්ටීටීඊය පරාජය කොට ලැබූ මිලිටරි ජයග‍්‍රහනයෙන් අනතුරුව, සිවිල් ආයතනයක් වන නාගරික සංවර්ධනය අධිකාරිය (නාසඅං) ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රධානත්වය උසුලන ආරක්ෂ අමාත්‍යංශය යටතට පත් කෙරුනි. ඒ හරහා නෛතික විධිවිධාන නොතකා නීතියට පිටතින් තම පැල්පත් හෝ නිවාසවලින් මහජනයා එලියට ඇද දැමීමට මිලිටරිය යොදා ගැනින.

"කොලඹ කොම්පඤ්ඤ වීදියේ මිව් ස්ටී‍්‍රට් දෙපස සුලු පහල-මධ්‍යම පාන්තිකයන් කන්ඩායමකට අයත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන කඩා දැමීමේ දී නාසංඅ පලමු වතාවට මිලිටරිය යොදවා ගනිමින් සිදු කල ජනනෙරපීම සිදුකරනු ලැබීය" යි වාර්තාව සඳහන් කරයි. මෙහිදී බුල්ඩෝසර් සමග සන්නද්ධ හමුදා යොදාගත් බව වාර්තාව පෙන්වා දෙයි.

පොලිසිය මිව් ස්ට්‍රීට්හි විරෝධතාකරුවන් අවහිර කරමින්

නිවාස කඩා දැමීම පිලිබඳව නිවෙස් හිමියන්ට කල්තියා දැනුම් දීමක් සිදු නොකලා සේ ම වන්දි පිරිනැමීමක් ද සිදු නොවී ය. මිලිටරි නිලධාරීන්ගේ ලමුන්ට පාසලක් ගොඩනැගීමට මෙම නිවෙස් සමතලා කිරීම සිදු කෙරුනි. දැන් වසර හතරකුත් ගතවී ඇතත් එලෙස නිවෙස් අහිමිවූවන්ට තවමත් හරිහැටි ඉන්න හිටින්නට තැනක් නොමැත. ඒ වෙනුවට ඔවුන්ට සිදුව ඇත්තේ, කොලඹට යාබද තොටලග ඉදිකල තාවකාලික ලෑලි මඩුවල දිවි ගෙවීමට ය.

"මහනගර සභා මට්ටම දක්වාම වර්ධනය කෙරී ඇති ශ‍්‍රී ලංකාවේ පශ්චාත් යුද කාලීන මිලිටරිකරනය" පිලිබඳව වාර්තාව කරුනු ගෙන හැර දක්වයි. "භූමි අලංකරනය, ඉදිකිරීම්, සනීපාරක්ෂනය හා නගර සභාවලට අයත් බොහෝ කර්තව්‍යයන්හි" මිලිටරිය යෙදී ගෙන සිටී.

එයට අමතරව, "විවිධාකාර විනයගත කිරීම් වැඩසටහන් --පාර හරහා වැරැදියට පැනීමට දඩ ගැසීම්වල සිට නගරයට ඇතුලුවීම පාලනය කිරීමට "පාරිසරික පොලිසිය" යොදාගැනීම දක්වා වන-- ක‍්‍රියාත්මකව තිබෙන අතර පොදු ස්ථන නිරන්තරවම පොලිසියේ හා මිලිටරියේ නිරීක්ෂනයට ලක්ව පවතී".

ගෙවල් කඩාදැමීමෙන් පසුව හා යලිපදිංචි කරන කාලයේ මිලිටරි නිරීක්ෂන වැඩසටහන ස්ථාපිත කර තිබේ. ගෙවලින් එලියට ඇද දැමීම පිලිබඳ මොනම පැමිනිල්ලක් හෝ ඉදිරිපත් කිරීමට මිලිටරි නිලධාරීන් හමුවීමට ජනතාවට බලකෙරී තිබේ.

ආන්ඩුව දුප්පතුන් පලවා හරින අතරේ ආයෝජකයන්හට යෝධ සහන පිරිනමයි. වාර්තාවේ වචනවලින් සඳහන් කරන්නනේ නම්, "පෞද්ගලික ප‍්‍රාග්ධනයට ආකර්ශනීය සහන සැලසෙනු ඇති බවත් එවැනි ප‍්‍රතිපත්තියක් සකසනු ඇති බවට" සහතික වීමත් රාජ්‍යයේ කාර්යය බවට පත්ව තිබේ.

වාර්තාව උපුටා දක්වන එක් උදාහරනයකට අනුව, කොලඹ නගරය මධ්‍යයේ අතිශය වටිනාකමකින් යුත් ඉඩමක් ඉන්දියාවේ ක‍්‍රිස් ගෘප් වෙත පිරිනමා ඇත්තේ, "ඩොලර් බහුමිලියන සුඛෝපභෝගී මිශ‍්‍ර ප‍්‍රති-සංවර්ධන ව්‍යාපෘතියක්" සඳහා ය. 99 අවුරුද්දක බද්දක් සඳහා සමාගම වෙත ඉඩම මුදාහැර ඇත්තේ රුපියල් බිලියන 5කට හෙවත් ඩොලර් මිලියන 38ක මුදලකට ය. 10 අවුරුදු ආදායම් බදු විරාමයක් ද, ඉන් අනතුරුව එලැඹෙන වසර 15 සඳහා සහනදායි සියයට 6ක බද්දක් ද, වසර 11ක් සඳහා කොටස් හිමියන්ට බදු නිදහසක් ද වෙනත් තීරු බදු හා අයබදු කන්දරාවක් සඳහා විරාමයන් ද ඔවුනට පුදා ඇත ඇත.

අනෙකුත් හෝටල් හා කැසිනෝ ව්‍යාපෘති සඳහා එවැනිම බදු සහන පිදීමට, ආර්ථික ගාස්තු සේවා අඩු කිරීමට, ආනයන ගාස්තු අඩු කිරීමට හා තවත් සහන පිරිනැමීම සඳහා පහසුකම් සැලසීමට ආන්ඩුව මෑතකදී මූලෝපායික සංවර්ධන පනත සම්මත කර ගත්තේ ය.

කොලඹ නගරයේ නෙරපීම් සඳහා ලෝක බැංකුවේ සහය ලැබී ඇති ආකාරය මෙම අධ්‍යනය විස්තර කරයි. "මහජන සහභාගිත්වය, දේශීය ප‍්‍රජාතාන්ත‍්‍රවාදය හා වගවීම ශක්තිමත් කිරීමට" යැයි කියාපාන ලෝක බැංකුව මෙට්‍රො කලම්බු අර්බන් ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් සඳහා ඩොලර් මිලියන 213ක නයක් ලබා දී ඇති අතර ගාල්ල හා නුවර යන නගරයන්හි එවැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා අමතර ඩොලර් මිලියන 147ක් ලබා දී ඇත.

ආන්ඩුවේ වැඩපිලිවෙලට පිටුබලය සපයන අධිකරනයේ කාර්යභාරයද සීපීඒ වාර්තාව විභාග කරයි. පූර්ව ආන්ඩු විසින් වසර ගනනාවක් තිස්සේ අධිකරනය වෙත කරන ලද මැදිහත්වීම් මත පාදකවෙමින් රාජපක්ෂ ආන්ඩුව අගවිනිසුරුවරියක හිතුවක්කාරී ලෙස නිලයෙන් පහකල අතර ජනාධිපතිට සමීප අයෙක් නිලයට පත් කලේ ය. අගවිනිසුරු මොහාන් පීරිස් වරෙක ප‍්‍රකාශ කලේ, "සිදුවෙමින් පවතින සංවර්ධනයට කිසිවෙකු බාධා නොකල යුතු" බව යි.

කොම්පඤ්ඤ වීදියේ ජාවා ලේන්

මිව් ස්ට්‍රීට් හි නිවෙස්වලින් නෙරපූවන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනුකල නඩුවකින් පසු නව නිවාස ඉදිකර දෙන බවට නාසංඅ පොරොන්දු වී ඇතත් ඒ කිසිවෙකුට නිවාස ලැබී නැත. එම ජනයා යලි අධිකරනයට ගිය විට ඔවුන්ගේ අයිතීන් තහවුරු කිරීම අධිකරනය ප‍්‍රතික්ෂේප කලේ ය. තවත් නඩුවකදී, ජාවා ලේන් හා කොම්පඤ්ඤ වීදියේ ජනයාට දෙසැම්බර් 1 වනවිට නිවාසවලින් ඉවත්ව යන ලෙස නියෝග කෙරුනි. පසුව මෙම කාලසීමාව මාස 5කින් දීර්ඝ කෙරින. යලි පදිංචිකරන බවට නැවතත් පොරොන්දුවූ නමුත් නෛතික ලේඛන කිසිවක් ලැබී නැත.

"හුදෙක් මිලිටරියට අදාල කාරනාවන් පමනක් නොව රාජපක්ෂ පාලනයේ නිදහස් වෙලඳපොල ධාවනයට සම්බන්ධව කොලඹ බලහත්කාරී ජන නෙරපීම්" විශ්ලේෂනය කල බව සීපීඒ සඳහන් කරයි. එමෙන්ම වාර්තාව "දේශීය, කලාපීය හා ජාත්‍යන්තර තත්‍ය දේපල මූල්‍යකරනය හා ප‍්‍රාග්ධනයේ බලය" පිලිබඳව කතා කරයි.

මෙම සන්තතීන් පිලිබඳව ඇතම් කරුනු අනාවරනය කිරීම් තිබිය දී, පාලක ප‍්‍රභූවට ප‍්‍රතිපත්ති සම්පාදනය ගැන උපදෙස් ලබා දෙන්නෙක් ලෙස ක‍්‍රියාත්මක වන සීපීඒ සඳහන් කරන්නේ, ආන්ඩුවට එහි පිලිවෙත වෙනස් කල හැකි බවත් වෙනස් කල යුතු බවත් ය. "නගරය වෙත සමාජයීය හා ආර්ථික වටිනාකමක් එකතු කිරීමට අඩු ආදායම්ලාභී ජනයා අවහිරයක් ලෙස" දැකීමෙන් වැලකිය යුතුයැයි එය නිර්දේශ කරයි. කොලඹ මහනගර සභාව සම්බන්ධයෙන් ගත් කල "ප‍්‍රජාතාන්ත‍්‍රික තීන්දු ගැනීමේ ක‍්‍රියාවලිය යලි පනගන්වන" ලෙසත්, නාසංඅ මිලිටරි පාලනයෙන් නිදහස් කරන ලෙස සහ සාධාරන අධිකරන ක‍්‍රමයක් තහවුරු කරන ලෙසත් එය ආන්ඩුවෙන් ඉල්ලා සිටියි.

රාජපක්ෂ ආන්ඩුවේ වාර්තාව මගින් පෙන්නුම් කෙරෙන ආකාරයට, එවැනි ක‍්‍රියාවලියක් කවර හෝ ආකාරයෙන් ශක්තිමක් කිරීමේ සෘජු අරමුනක් ආන්ඩුවට ඇත්තේ නැත. මහා ව්‍යාපාරිකයන් විසින් මෙහෙයවන එක්සත් ජාතික පක්ෂයේ විකල්ප ආන්ඩුවකට ද එවැනි වැඩසටහනක් නොතිබෙනු ඇත. කොලඹ ජන නෙරපීම්, ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයට පහසුකම් සැලසීම හා ලාභ ශ‍්‍රම තටාකයක් ලෙස ශ‍්‍රී ලංකාවේ තත්වය වැඩි දියුනු කිරීම අරමුනු කර ගනිමින් කම්කරු පන්තියේ අයිතීන් මත පුලුල් ප‍්‍රහාරයක් එල්ලකිරීමේ වැඩපිලිවෙලක කොටසකි.

Share this article: