මිලිටරියට හෙද පුහුනුව ලබා දෙන ලෙස වෛද්‍ය සංගමය ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලයි

වසන්ත රූපසිංහ විසිනි, 2014 මැයි 28

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (රවෛනිසං) යෝජනාව පෙන්නුම් කරන්නේ කම්කරු පන්තික අරගල මර්දනය කිරීමෙහිලා මිලිටරිය හා සමග එකට වැඩකිරීමට වෘත්තීය සමිති නායකත්වයේ ඇති සූදානම යි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඍජු අත් ගෙඩියක් ලෙස ක‍්‍රියාත්මක වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය (රවෛනිසං) මැයි 3 පැවති පුවත්පත් සාකච්ඡාවක දී ත‍්‍රිවිධ හමුදාවට හෙද පුහුනුව ලබා දෙන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇතැයි නිවේදනය කලේය. “ ඕනෑම හදිසි තත්වයකදී ඔවුන්ගේ සේවාව ලබා ගැනීමට හැකිවන පරිදි පොලිසිය, මිලිටරිය, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ නිලධාරීන්ට හෙද සේවා පුහුනුව ලබා දෙන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටීමට” තම සංගමය තීන්දු කර ඇති බව සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය එහි දී ප‍්‍රකාස කලේ ය.

රවෛනිසං සිය තීන්දුව නිවේදනය කලේ රජයේ හෙද සේවිකාවන්ට සූතිකා පුහුනුව ලබා දෙන්නැයි ඉල්ලා රෝහල් 650ක හෙද සේවකයන් 28,000 ක් දීප ව්‍යාප්ත වර්ජනයකට එලඹ සිටි තතු තුල ය.

“මාතෘ හා ලදරු මරන අනුපාතිකය ඉහල දමන හෙද සංගමයේ යෝජනාවට කෙසේනම් එකඟ වෙමු ද?” සිරස්තලය සහිත පුවත් පත් නිවේදනයක් මැයි 3 දා නිකුත් කල රවෛනිසං හෙද වර්ජනය “අමානුෂික ක‍්‍රියාවක්” ලෙස හංවඩු ගසමින් හෙද සේවකයන්ට එරෙහිව මහජනතාව උසි ගැන්වීමේ දුෂ්ට අරමුන ඇතිව වර්ජිත හෙද සේවකයන් විසින් “රෝහල් බොහොමයක හදිසි සත්කාර සේවාවන් වසා දමා ඇතැයි ද, ශල්‍යාගාරවල යතුරු සඟවා තැබීමටත් වැරදි යතුරු බාර දීමටත්, ශල්‍යාගාර උපකරන සැඟවීමටත්, බෙහෙත් වර්ගවල ලේබල් මාරු කිරීමටත්” කටයුතු කර ඇතැයි ද ඔවුන් ට චෝදනා කලේ ය.

රාජපක්ෂ ආන්ඩුව පෙර අවස්ථා ගනනාවක දී ම සෞඛ්‍ය සේවකයන්ගේ මෙන් ම කම්කරු පන්තියේ සෙසු අරගලවලට එරෙහිව ත‍්‍රිවිධ හමුදාව මැදිහත් කර ඇත. මිලිටරියට සෞඛ්‍යය ක්ෂේත‍්‍රය තුල අවස්ථා පුලුල් කරමින් ආන්ඩුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල අංගසම්පුර්න වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට පසුගිය මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගත්තේ ය. වෛද්‍ය, හෙද සේවා ව ඇතුලුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සියලුම අංශ සම්බන්ධයෙන් හමුදාවට පුහුනුවක් ලබා දීමට ආන්ඩුව බලාපොරොතු වෙයි. එම සැලසුම් හුදෙක් හමුදාවට සෞඛ්‍ය පහසුකම් සම්පාදනය කිරීමක් පමනක් නොව රවෛනිසං යෝජනා කරන පරිදි “හදිසි අවශ්‍යතාවලදී” උපයෝගිකර ගැනීම සඳහා ය; එනම්, සෞඛ්‍ය සේවකයන්ගේ අරගල බිඳීම සඳහා ය.

ආන්ඩුව විශ්වවිද්‍යාල, පාසල් ඇතුලුව රාජ්‍ය ආයතන හා රට ම මිලිටරීකරනය කිරීමේ වැඩ කටයුතු තීව‍්‍ර කර ඇත. එය ආර්ථික කප්පාදු පිලිවෙත්වලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට එරෙහිව වැඩකරන ජනතාව, සිසුන්, නාගරික හා ගම්බද දුගීන් අතර වර්ධනය වන අරගල තලා දැමීම සඳහා රාජපක්ෂ ආන්ඩුව සුදානම් කරන දුෂ්ට පොලිස් රාජ්‍ය සැලසුම් වල කොටසකි. රවෛනිසං ඉල්ලීම ආන්ඩුවේ මේ ආඥාදායක සැලසුම් වලට උඩගෙඩි දෙන ප‍්‍රතිගාමී ඉල්ලීමකි.

රවෛනිසංයේ වින්නඹු සේවිකාවන් සම්බන්ධයෙන් දක්වන ලෙන්ගතුකමේ සැබෑ අරමුන ඔවුන්ගේ රැකියා සුරක්ෂිතකර දීම හෝ නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම නොවේ: ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝගවලට අනුව රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතට සහාය දීමයි. හෙද සේවිකාවන් පුහුනු කිරීමට වඩා අඩු කාලයකින් හා අඩු වියදමකින් වින්නඹු සේවිකාවන් පුහුනු කිරීම ආන්ඩුවට ආර්ථික වසයෙන් “වාසිදායක” බව රවෛනිසං කියයි. ඒ අනුව හෙදියක් පුහුනු කිරීමට වසර තුනක් ගතවන අතර ඒ සඳහා රුපියල් මිලියන 1.8 රජය වියදම් කලයුතු ය. වින්නඹු සේවිකාවක් පුහුනු කිරීම සඳහා ගතවන කාලය වසර එක හමාරක් සහ වියදම රුපියල් මිලියන 1.1 කි. රවෛනිසං අනුව එය “මහජන මුදල් නාස්තියකි.” එපමනක් නො ව, රවෛනිසං සමසෞඛ්‍ය උපාධියේ පුහුනු කාලය කප්පාදු කිරීමේ ආන්ඩුවේ සැලැස්මට පක්ෂව ද උද්ඝෝෂනයේ යෙදී සිටින සංවිධානයකි.

යුද සමයේදී පැන නැගි කම්කරු අරගල යුද්ධයේ නාමයෙන් කඩාකප්පල් කර දැමීමට අනෙකුත් වෘත්තීය සමිති නායකයින් සමග හවුලේ ක‍්‍රියාකල රවෛනිසං නායකයන් දැන් ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම් සෞඛ්‍ය සේවකයන්ට පමනක් නො ව සමස්ත කම්කරු පන්තියට ම කෙරෙන බරපතල අනතුරු ඇඟවීමකි.

රවෛනිසං සාමාජිකයන් සිය නායකත්වයේ මෙම කම්කරු පන්ති විරෝධී ප‍්‍රතිගාමී ඉල්ලීම හා රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට දෙන සහය තරයේ හෙලා දැක එයට විරුද්ධ විය යුතු ය.

හෙද සේවයේ හෝ අනෙකුත් ක්ෂේත‍්‍රවල වෘත්තීය සමිති නායකයකයින් රවෛනිසං යෝජනාව ගැන මෙතෙක් කිසිදු විරුද්ධත්වයක් පල නොකිරීම මගින් නිහඬව ම ආන්ඩුවේ මිලිටරිකරන වැඩ පිලිවෙල ඔවුන් ද අනුමත කර ඇත.

රවෛනිසං විසින් යෝජිත ත‍්‍රිවිධ හමුදාවට හෙද පුහුනුව දීම වැනි සෘජු මිලිටරිකරන කි‍්‍රයා කම්කරු පන්තිය තුල විරුද්ධත්වයක් ඇවිලවීමට තුඩු දෙනු ඇතැයි ධනපති පන්තියේ ඇතැම් කොටස් අතර උත්සුකතාවක් තිබෙන බව දි අයිලන්ඩ් කතුවැකියකින් පෙන්නුම් කෙරේ. සන්නද්ධ හමුදාවලට හෙද පුහුනුව දීමේ යෝජනාවට “නොඑකඟතාව” පලකල එම කතුවැකිය මෙසේ ද ලිවීය: “වෘත්තීය සමිතිවල හෙට්ටු කිරීමේ බලය උදුරාගැනීමට මිලිටරිය යොදවා ගැනීමට දරන වෑයම් මොනම තත්වයක් යටතේවත් පිලිගත නොහැකි ය. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලින් නැගෙන හදිසි තත්වයකදී ඒ පිලිබඳව කටයුතු කිරීමට එවැනිම ක‍්‍රියාමාර්ගවලට යන ලෙස හෙදියන් ද ඉල්ලා සිටියොත් කුමක්වේවිද?”

කතෘගේ උනන්දුව වෘත්තීය සමිතිවල “හෙට්ටුකිරීමේ බලය” නොවේ. වෘත්තීය සමිති කම්කරු අරගල වාෂ්ප කර ලීම හා මැඩලීම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටුකිරීමට යොදාගත හැකි තත්වයක් තුල ඒවා මිලිටරීකරනයකින් පාගා දැමීම තාමත් නුසුදුසු බව අයිලන්ඩ් කතුවැකියේ තේරුමයි. වෘත්තීය සමිති කලකට පෙර ම හෙට්ටු කිරීම් ද අතහැර සාමාජිකයන්ගේ අයිතීන් ආපස්සට උදුරාගැනීමට උදව්දෙන උපකරන බවට පත්ව ඇත.

2009 හෙද පුහුනුවට බඳවා ගත් කන්ඩායමේ හෙදියන්ට සූතිකා පුහුනුව සඳහා අවශ්‍ය සායනික පුහුනුවට රෝහල්වලට යාමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙසත් සියලුම හෙදියන්ට අඛන්ඩව සූතිකා පුහුනුව දෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙසත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (රාසේඑහෙසං), රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (රහෙනිසං) හා සමස්ත ලංකා හෙද සංගමය (සලංහෙසං) ආන්ඩුවෙන් ඉල්ලති. මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව නායකත්වය දරන එක්සත් රාජ්‍ය සේවා හෙද සංගමය, රවෛනිසං මෙන් ම රාජපක්ෂ ආන්ඩුවට පන්දම් අල්ලන වෘත්තීය සමිතියකි. ආන්ඩුවේ පිලිවෙත්වලට විරුද්ධ බවට හඬතලන රහෙනිසං හා විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සලංහෙසං වැටුප් හා සේවාකොන්දේසි මත පසුගිය වසර කිහිපය තුල පැන නැගුන හෙද සේවකයන්ගේ අරගල පුහු විරෝධතාවලට කොටුකර පාවා දුන්නේය. මෙම සංවිධාන තුන ම හෙද සේවකයන් අතර ම වෘත්තීය සමිතිවාදී කාකෙටවීම් නිර්මානය කිරීමට නම්දරාපු සංවිධාන තුනකි.

හෙද වෘත්තීය සමිතිවල ඉල්ලීම් සමග වින්නඹු සේවිකාවන්ට තම රැකියාවල පැවත්ම ගැන සාධාරන බියක් ඇති වී තිබේ. එහෙත් වින්නඹු සේවිකාවන්ගේ ගැටලුවට සාධාරන විසඳුමක් ලබාදීම වෙනුවට දෙපාර්ශවයේ වෘත්තීය සමිති සහ ආන්ඩුව විසින් හෙද සහ වින්නඹු සේවාවන් අතර හිතා මතා ම කාකෙටවීමක් නිර්මානය කර ඇත. දෙපාර්ශවය විසින් කැඳවනු ලබන වර්ජන හෙද සහ වින්නඹු සේවාන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ අරගල වෙනුවට එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධ අරගල බවට සමිති නායකයන් විසින් පරිවර්තනය කර තිබේ.

අපේ‍්‍රල් මස අගදී අත්සන් ලේඛනයක් මුල් කරගනිමින් කුරුනෑගල ශික්ෂන රෝහල තුල හෙද හා වින්නඹු සේවකයින් අතර ඇතිවූ වර්ජන හා ප‍්‍රතිවර්ජන තුලින් මෙම තත්වය මැනවින් පැහැදිලි විය. වින්නඹු සේවිකාවන් මාතෘ වාට්ටුවලට බලහත්කාරයෙන් ඇතුලත්වූ බවට චෝදනා කරමින් කුරුනෑගල හෙද කාර්ය මන්ඩලය අපේ‍්‍රල් 27දා සේවයෙන් ඉවත්වූ අතර පසුදා පැවැති පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ උද්ඝෝෂනයකට හෙදියන් බාධා කලේය. දෙපාර්ශවයේ සමිති නායකයෝ මාධ්‍ය තුලින් එකිනෙකා වෙත චෝදනා සහ ප‍්‍රති චෝදනා එල්ල කර ගනිති.

ආන්ඩුව මෙන් ම සමිති නායකයෝ ද නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීම හා ඒ යටතේ සිය රැකියා හා ජීවන කොන්දේසි වලට එල්ල කෙරෙන ප‍්‍රහාර වලට එරෙහිව සෞඛ්‍ය සේවකයන්ගේ පොදු අරගලයක් ඇතිවීම කෙරෙහි බිය වී සිටිති. එහෙයින් ආන්ඩුවත් සමිති නායකයනුත් ඒකාබද්ධ ව සෞඛ්‍ය සේවකයන් අතර අවුලවනු ලබන කාකෙටවීම් වල එල්ලය එවන් ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වලක්වාලීමයි.

සෞඛ්‍ය සේවකයන්ගේ සේවා අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර කවර රූපාකරයෙන් ඉස්මත්තට ආවත් ඒවා නිදහස් සෞඛ්‍ය සේවය ඇතුලු සුභසාධන අතු ගා දැමීමේ රාජපක්ෂ ආන්ඩුවේ වැඩපිලිවෙලේ කොටසකි.

රාජපක්ෂ ආන්ඩුවේ 2007-2016 සෞඛ්‍ය නියමු සැලැස්මට අනුව “කාර්යක්ෂමතාවය, සඵලතාව, සහ වගවීම වැඩිදියුනු කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතිය තුල සංවිධානාත්මක හා පරිපාලන” ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට දැමීමට යෝජනා කලේ ය. වියදම් කප්පාදුව හා සෞඛ්‍ය සේවය සහ එහි ගුනාත්මක භාවය හීන කිරීමත්, සෞඛ්‍ය සේවකයන් මත කප්පාදු පිලිවෙත් පැටවීමත් සිදුවන්නේ යෝජිත මෙම ප‍්‍රතිසංස්කරන වලට අනුවය.

Share this article: