උලි රිපට්ගේ කථාව : යුදවාදයට සහ යුද්ධයට එරෙහි අරගලය

Speech by UliRippert: The struggle against militarism and war

2014 මැයි 8

අප මෙහි පල කරනුයේ ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් උලි රිපට් විසින් මැයි 04 දින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පැවැත්වූ අන්තර්ජාල මැයි දින රැලියට කරන ලද කථාවයි.

උලි රිපට් විසින් අන්තර්ජාල මැයි දින රැලියට කරන ලද කථාව

ආදරනීය සහෝදරවරුනි, මිත‍්‍රවරුනි,

ගෝලීය යුද්ධයට සහ යුදවාදයට එරෙහි අරගලයේ නව අවධියක් සනිටුහන් කරන මෙම සැබෑවටම ජාත්‍යන්තරවූ මැයි දින රැලියට සහභාගී වීම මට මහත් සතුටකි.

පූර්වයෙන් ඔබ ඇමතූ කථිකයන් මේ වන විටත් යුකේ‍්‍රනයේ සිදුවීම් ගැන සඳහන් කොට ඇත. මැයි 02දා ඔඩෙස්සාහි වෘත්තීය සමිති මූලස්ථානයට පහර දුන් අතර එය 1933 ජර්මනියේ වෘත්තීය සමිති වලට එරෙහිව නාසි මැරයන් සිදුකල ප‍්‍රහාරයේ සංවත්සර දිනයයි. ප‍්‍රහාරය බර්ලිනයේ හා වොෂින්ටනයේ ආන්ඩුවලට මෙන්ම බ‍්‍රසල්ස්හි යුරෝපා සංගම් ආයතනයන්ට එරෙහි චෝදනා පත‍්‍රයකි.

එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස පිලිබඳ ඔවුන්ගේ සියලු බේගල් නිෂේධනය කරන අතර ලැබෙන සෑම අවස්ථාවකදීම සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවය අවධාරනය කරන මෙම ආන්ඩු, ෆැසිස්ට්වාදීන් සමග පූර්න සම්මුතියකට සූදානම් ව සිටින බව සියල්ලන් හමුවේ ප‍්‍රදර්ශනය කරයි.

යුකේ‍්‍රනය තුල නාටකාකාර ලෙස වර්ධනයවූ යුද වාතාවරනය, ජර්මානු මිලිටරිවාදයේ යලි නැගී ඒම සමග සෘජුව බැඳී ඇත. එය යොදා ගන්නේ, ක‍්‍රමානුකූලව ජර්මානු රාජ්‍යය ගොඩනැගීම සමග පෙරට යාම පිනිස ය.

මෙම වසර ආරම්භයේදී ජර්මානු රජය තම “මිලිටරි සීමා” පිලිබඳ ප‍්‍රතිපත්තිය අවසාන බව නිවේදනය කලේය. අනාගතයේදී ජර්මනිය, ජාත්‍යන්තර අර්බුද කලාප තුල වඩා සැලකිය යුතු හා තීරනාත්මක අයුරින් මැදිහත් වනු ඇත.

ලෝකය පුරා කම්කරුවන් මෙය සැලකිල්ලට ගත යුතුය. ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනය මූලික වෙනසක් වන අතර එය ආක‍්‍රමනශීලී අධිරාජ්‍යවාදී මැදිහත් වීමක නව අවධියක් සනිටුහන් කරයි.

ජර්මනියට පනවා තිබූ මිලිටරි සීමාවන්හි අවසානය මාධ්‍ය තුල යුද වාදයේ කන් බිහිරි කරන ඝෝෂාව සමග එක පෙලට පිහිටයි. හිට්ලර්ගේ ප‍්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස් මලවුන්ගෙන් නැගිට බර්ලිනයේ මාධ්‍ය කන්තෝරු අත්පත් කරගෙන ඇතැයි අයෙකු සිතුවොත් එය පුදුමයක් නොවේ.

සුවිසල් මාධ්‍ය සහ ඔවුන්ගේ හෙන්චයියන්, ඊනියා රුසියානු හිතවාදීන්ට එරෙහිව ප‍්‍රචාරනයේ යෙදී සිටින අතර රුසියානු ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීමට වඩ වඩාත් යුද ටැංකි සහ සොල්දාදුවන් ඉල්ලා සිටියි. ඔවුන් කියෙව්හි ෆැසිස්ට් තන්ත‍්‍රයත් සමග ඇති බටහිර සහයෝගය යට ගසන අතර ජර්මනිය, ලෝකය පුරා සිය හඬ ඇසීමට සැලැස්වීමට නම් “මැෂින් තුවක්කුවක් අත දරාගෙන පැමිනිය යුතු” බව කියා සිටී.

ෆැසිස්ට්වාදය යුද්ධය සහ මිලිටරිවාදය ජනතාව විසින් ගැඹුරින්ම ප‍්‍රතික්ෂේප කිරීම නිසා මාධ්‍ය තුල යුද ඝෝෂාව එතරම්ම ආක‍්‍රමනකාරී ලෙස ඉහල නැගී ඇත. කෝපාවිෂ්ඨ පාඨකයන්ගේ විරෝධතා ලියුම් පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය වෙත තොග පිටින් ලැබෙමින් තිබේ.

මිලියන ගනන් මිනිසුන් කැලඹිල්ලට සහ ආතතියට පත්ව සිටී. මිලිටරිවාදය ෆැසිස්ට්වාදය සහ යුද්ධය යන සියල්ල ආපසු එනු ඇති බව කවුරු සිතුවේ ද?

නාසීන්ගේ සහ ජර්මානු හමුදාවන්ගේ කුරිරු අපරාධ මහජන විඥානය තුල ගැඹුරින්ම සලකුනු තබා ඇත. තවත් නම් යුද්ධය එපා! ෆැසිස්ට්වාදය එපා! යන හඬ පරම්පරා ගනනාවකට බලපා ඇත.

ජර්මනිය පමනක් නොව එංගලන්තය, ප‍්‍රන්සය හා එක්සත් ජනපදයේ ද අධිරාජ්‍යවාදී ආන්ඩු, අනෙකුත් රටවල් ද යුද අපරාධ සිදු කර ඇත. එහෙත් ජර්මනියේ සිදුවූයේ වෙනස් ආකාරයකට, වඩාත් රුදුරු හා වඩාත් ම්ලේච්ඡ අපරාධයන් ය.

හිට්ලර්ගේ වෙහමාර්ක්ට් හා එස්එස් ඝාතක කල්ලි ක‍්‍රමානුකූලව සමුලඝාතන හා මුලිනුපුටා දැමීමේ යුද්ධයක් නැගෙනහිර දී ගෙන ගියේය. යුදෙව්වන් මිලියන හයක්, රෝමා, සින්ති යුද සිරකරුවන් ලක්ෂ ගනනක් සහ තවත් සිය දහස් ගනන් මිනිසුන් නාසි වධක කදවුරු තුලදී ඝාතනය කෙරුනි.

1960 ගනන් වලදී වෘත්තීය සමිති පාසලකදී සාමාන්‍ය ෆැසිස්ට්වාදය නමැති වාර්තා චිත‍්‍රපටයෙන් මම නරඹා ඇත්තෙමි. වධක කඳවුරු මුදා ගැනීමේ මෙහෙයුමක් ඉන් පෙන්වනු ලැබිනි. කඳු ගැසුනු මල මිනී නිකම්ම සමූහ මිනීවලවල් වලට ඇද දමනු ලැබිනි. ඇට සැකිලි බවට පත්වී සිටි නිරාහාර මිනිසුන්ගේ මිනී කඳු සමූහ මිනී වලවල් තුලට ඔහේ බුල්ඩෝසර් කරනු ලැබිනි.

විනාශය කාර්මික පරිමානයකින් සංවිධානය කර තිබුනි. කාන්තාවන්ගේ කොන්ඩා, ලමයින්ගේ සපත්තු විශාල ගොඩවල් වශයෙන් දක්නට තිබුනි. ලාම්පු ආවරන සෑදුවේ මල මිනී වල සමිනි. මේ සියල්ල චිත‍්‍රපටිය තුල අන්තර්ගත විය.

ම්ලේච්ඡත්වය කරා ගමන්කල මේ මහා විනාශකාරී පරිහානිය අවබෝධ කර ගැනීමට ට්‍රොට්ස්කිගේ ලිපි ලේඛන ඉතා වැදගත්ය. “සමාජ ෆැසිස්ට්වාදය” පිලිබඳ ස්ටැලින්වාදී ප‍්‍රතිපත්තිය මගින් කම්කරු පන්තිය බෙදා තිබීම හේතුකොටගෙන හිට්ලර්ට බලයට පැමිනීමට හැකිවූ බැව් ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේය. ස්ටැලින්ගේ බලපෑම යටතේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට “සමාජ ෆැසිස්ට්වාදීන්” යනුවෙන් නම්කල අතර නාසීන්ට එරෙහිව කිසිදු ඒකාබද්ධ ක‍්‍රියාවකට පියවර ගැනීම ප‍්‍රතික්ෂේප කලේය.

ට්‍රොට්ස්කි කම්කරු ව්‍යාපාරයේ බෙදීම් ජයගෙන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමට වෙහෙස නොතකා සටන් කලේය.

අප 1971 සරත් සමයේදී සමාජවාදී කම්කරු ලීගය හෙවත් සෝසලිෂර් ආර්බෙයිටර් පිහිටුවන විට පදනම් වූනේ මෙම දේශපාලන පාඩම් මතයි. කිසිදු අයුරකින් නැවත යුද්ධය සහ ෆැසිස්ට්වාදය පැන නැගීමට ඉඩ නොතබන බවට අපි අධිෂ්ඨාන කර ගතිමු. මෙම ප‍්‍රශ්න නැවත වරක් අද දින ද අත්‍යන්ත වැදගත්කමක් දරයි.

ජර්මානු අධිරාජ්‍යවාදය නැවත වරක් පෙන්වමින් සිටිනුයේ එය ඓතිහාසිකව වර්ධනය වූයේ කෙසේද යන්නයි. ජර්මනිය දැන් ආධිපත්‍යය පිහිටුවා ගැනීමට මාන බලන සියලු ප‍්‍රදේශ අතීතයේ පැවති එම ප‍්‍රදේශයන් මය. නැවතත්, ව්‍යාප්තිය නැගෙනහිරට ය, නැවතත් එය යුකේ‍්‍රනය වේ.

ජර්මානු ආන්ඩු පසුගිය සියවසේ යුකේ‍්‍රනය සිය මිලිටරි අනසක යටතට ගැනීමට අවස්ථා දෙකකදී උත්සාහ දරා ඇති අතර එම ක‍්‍රියාවලිය තුලදී සිවිල් ජනතාවට එරෙහිව දැවැන්ත අපරාධ සිදු කර ඇත.

ජර්මානු අධිරාජ්‍යවාදයේ සහ මිලිටරිවාදයේ පුනරාගමනය මහජනතාවට එරෙහි සැබෑ කුමන්ත‍්‍රනයක ස්වරූපය ගනී. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය උසිගන්වන්නාගේ භූමිකාවේ යෙදී ඇත. එය රුසියාවට එරෙහි කුරිරු යුදවාදය අවුලුවමින් පලමු ලෝක යුද්ධය සඳහා සිය සහයෝගයේ සිය වන සංවත්සරය සමරමින් සිටී.

එස්පීඞීයේ යුදවාදය ඇවිලවීම ඉක්මවා ගොස් ඇත්තේ හරිතයින් විසින් පමනි. අතීතයේ සාමවාදීන් ලෙස සිටි හරිතයින් දැන් ජර්මානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවයන්ට සම්පූර්න සහය දෙන අතර “මානව අයිතීන්” සහ “මනුෂ්‍යයත්වයේ නාමයෙන්” ජර්මානු හමුදා මෙහෙයුම් සහ යුද්ධ සඳහා යුද බෙර වයයි.

අපි සාමවාදීන් සමග උනුසුම් වාද විවාද වල පැටලීමට පුරුදු වී සිටියෙමු. ඔවුහු කම්කරු පන්තිය සහ සමාජවාදී ඉදිරිදර්ශනය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කලහ. මේ අතරතුර ධනපතීන්ගේ පෙරලිකාරී දූ වරු හා පුත්තු නැවත පවුල් වෙත පැමින ව්‍යාපාර සහ දේශපාලනය තුල බලපෑම් සහගත තනතුරු හිමිකර ගත්හ. හිටපු සාමවාදීන් වඩාත්ම උද්යෝගීමත් දේශපේ‍්‍රමීන් සහ යුද සහකරුවන් බවට පත්විය.

ජර්මානු අධිරාජ්‍යවාදය සාමවාදී ආකාරයෙන් හැසිරෙන තාක් දුරට වාම පක්ෂය සාමවාදීන් වු අතර දැන් ජර්මානු අධිරාජ්‍යවාදය ලෝක වේදිකාවට යලි පැමිනීමට සූදානම් වෙමින් සිටියදී වාම පක්ෂය ඔවුන්ගේ සාමවාදී සලුපිලි ගලවා හරිතයින්ගේ ඊනියා මානුෂීය යුද ප‍්‍රචාරනය පිටුපස පෙල ගැසී සිටී.

අපේ‍්‍රල් මුලදී, වාම පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයන් තමන් දැන් නව යුද ප‍්‍රතිපත්තියට සහය දක්වන බැව් පාලක පන්තියට පෙන්වමින්, ප‍්‍රථම වතාවට ජර්මානු හමුදාවේ විදේශ මැදිහත්වීම් සදහා ඡන්දය ලබා දුන්නේය.

ජර්මානු මිලිටරිවාදය සහ යුද සූදානමේ පුනරාගමනයට නිශ්චිතව විරුද්ධ වන එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය පමනි. බි‍්‍රතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයත් සමග එක්ව යුරෝපීය මැතිවරන ව්‍යාපාරයේ හරි මැද අධිරාජ්‍යවාදයට සහ යුද්ධයට එරෙහි විරෝධතාවය පිහිටුවා ඇත.

යුද්ධයට එරෙහි අරගලය එහි මූලාශ‍්‍රය වන ධනවාදයට එරෙහි අරගලය සමග අපි ඒකාබද්ධ කරන්නෙමු. යුද්ධය කරා තල්ලුව නැවැත්විය හැකි සමාජ බලයන් ඇත්තේ එකම එකකි. ඒ සමාජවාදී වැඩ පිලිවෙලක් සඳහා අරගල කරන ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනි. මෙය අතීත කම්කරු අරගලයන්හි සුවිශේෂී පාඩම වන්නේය.

පලමු ලෝක යුද්ධය අවසාන කරනු ලැබුවේ රුසියානු විප්ලවය තුලින් බලය අත් කර ගත් බොල්ෂෙවිකයන් විසින්ය යන්න ඓතිහාසික සත්‍යයකි. යුරෝපය සහ ලෝකය පුරා මෙම විප්ලවය පැතිර යාම වලක්වනු ලැබීමේ ප‍්‍රතිපලය ෆැසිස්ට්වාදය හා දෙවන ලෝක යුද්ධය අනිවාර්ය දෙයක් බවට පත්විය.

හරියට වසර සියයකට පෙරදී මෙන්ම යුද්ධයේ තියුනු අවදානම විප්ලවය සඳහා අරගලය න්‍යාය පත‍්‍රය මත තබා ඇත.

චාන්සලර් විසින් ගනු ලබන තීරන කීපයකින් ද ජනාධිපතිගේ කථා කිහිපයකින්, හා මාධ්‍ය තුල පලකෙරෙන විවිධ යුදවාදී ලිපි මගින් මිලිටරිවාදයට සහ යුද්ධය කරා නැවත පැනගත හැකි යයි පාලක ප‍්‍රභූව විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ වලිගය පෑගිලාය.

බියවද්දනු නොහැකි, ඉතිහාසයේ පාඩම් උකහා ගත්, ඊලඟ පන්ති අරගලයන් සඳහා කම්කරු පන්තිය සූදානම් කරනු ලබන පක්ෂයක් තිබේ. එයයි ප‍්‍රධානම වෙනස. වසර සියයකට පෙර සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සහ දෙවන ජාත්‍යන්තරය, අවස්ථාවාදී දිශාවකට යොමුවීම හේතුකොටගෙන වසර කිහිපයකට පසුව කඩා වැටුනි.

අප පක්ෂය අද දිනයේ ආනුභාවය දිනාගනිමින් සිටී. මෙම පක්ෂය, කිසිදා ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගය සඳහා අරගලය අත් නොහරිමින් දශක ගනනාවක් තිස්සේ අසීරු කොන්දේසි යටතේ සටන් වැදුනු අතර බලගතු ජාත්‍යන්තර සාමාජිකත්වයක් දිනා ගත් පක්ෂයකි.

මෙම ජාත්‍යන්තර මැයි රැලිය අපේ ව්‍යාපාරයේ ශක්තිය සහ දේශපාලන අධිකාරය සනිටුහන් කරයි. එහෙයින් ඉතා ශුභවාදී හැගීම් සමග අනාගතය වෙත පා තබමු.

Share this article: