විජේ ඩයස්ගේ කථාව: කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගල හා නොනවතින විප්ලව න්‍යාය පිලිබඳ ඉදිරිදර්ශනය

Speech by Wije Dias: The international struggles of the working class and the perspective of Permanent Revolution

2014 මැයි 07

පහත පලවන්නේ මැයි 4දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සංවිධානය කොට පවත්වන ලද ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් කරන ලද කථාවයි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් හා ආධාරකරුවන් ඉමහත් උද්යෝගයකින් යුතුව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් කැඳවන ලද මෙම ජාත්‍යන්තර අන්තර්ජාල මැයිදින රැලියට සහභාගී වෙයි.

මෙම රැලිය කැඳවීම මගින් ජාත්‍යන්තර කමිටුව, සියලු ජාතික හා වාර්ගික බෙදීම්වලට ඉහලින් කම්කරු පන්ති එක්සත් කමේ දිනයක් ලෙස එහි ආරම්භයේ සිටම මාක්ස්වාදීන් විසින් සමරනු ලැබූ මැයි දිනයේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික සම්ප්‍රදායන්ට ප්‍රකාශනයක් ලබා දෙයි. මෙම සම්ප්‍රදායන් පුනර්ජීවනය කිරීමට ආරම්භකත්වය ගැනීමෙන් ජාත්‍යන්තර කමිටුව යලි වතාවක් සනාථ කර ඇත්තේ, ලෝක කම්කරු පන්තියේ එකම සැබෑ ජාත්‍යන්තර සමාජවාදී පක්ෂය එයම පමනක් බව යි.

පලමු ලෝක යුද්ධය නිමාවී වසර සියයක් ගතවෙන තැන, එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය තවත් ම්ලේච්ඡ යුද්ධයක් කරා දක්කමින් සිටින බව පූර්වයෙන් කතා කල කථිකයන් දැනටමත් පෙන්වාදී ඇත. මෙයින් අවධාරනය කරන කාරනාව නම්, ලෝක යුද්ධ දෙකකට පසුව ද ලෝකයේ බොහෝ ප්‍රදේශ තුල ෆැසිස්ට්වාදය හා මිලිටරි ආඥාදායකත්වයන් ධනවාදයේ එකදු මූලික ප්‍රතිවිරෝධයක්වත් විසඳා නැති බව යි. මෙම මියෑදෙන ධනපති ලෝක පර්යාය පෙරලා දමා එය ලෝක සමාජවාදයෙන් විස්ථාපනය කල යුතුය යන නිගමනය කම්කරු පන්තිය විසින් උකහාගත යුතුය.

ධනවාදය වෙනුවට මෙම ජාත්‍යන්තර සමාජවාදී විකල්පය අත්කර ගැනීම සඳහා තැබූ පලමු පියවර වූයේ, 1917 ඔක්තෝබරයේ ලෙනින් හා ට්‍රොට්ස්කිගේ බොල්ෂෙවික් පක්ෂය විසින් නායකත්වය දෙන ලද රුසියානු විප්ලවය යි. 1905 රුසියානු විප්ලවය පරාජය වීමේ අත්දැකීම් පිලිබඳ විශ්ලේෂනයකින් 1906 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් සූත්‍රගත කරන ලද නොනවතින විප්ලව න්‍යාය එම විප්ලවය මෙහෙයවූ ඉදිරිදර්ශනයේ පදනම විය.

විජිතකරන, රදලවාදී හා ‍කුලවාදී මර්දනයෙන් විමුක්තිය ලබා ගැනීම හා ජාතික ඒකාබද්ධතාව වැනි කල්පසුවූ ප්‍රජාතාන්ත්‍රීය කර්තව්‍යයන් අත්කර ගැනීමේදී, කම්කරු පන්තියේ ස්වාධීන හා නායක දේශපාලනික කාර්යභාරය පිලිබඳව සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයෙන් මෙම කර්තව්‍යයන් ඓතිහාසිකව වෙන්කල නොහැකි බව නොනවතින විප්ලව න්‍යාය අවධාරනය කලේ ය. රුසියාවෙන් ඔබ්බෙහි ලෝක කරලිය තුලට විප්ලවය පැතිරයාම වලකනු ලැබුවේ, අධිරාජ්‍යවාදයේ මොනයම්ම හෝ සහජ ශක්තියකින් නොව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අවස්ථාවාදී නායකයින් සහ පසුව මේ ගොඩට එකතු වෙමින් “තනි රටේ සමාජවාදය” යන ජාතිකවාදී වැඩපිලිවෙල වෙනුවෙන් ජාත්‍යන්තරවාදය ප්‍රතික්ෂේප කල ස්ටැලින්වාදී නිලධරය විසිනි.

ජාත්‍යන්තර කමිටුවේ අපගේ ව්‍යාපාරය 1953දී පිහිටුවන ලද්දේ හතරවන ජාත්‍යන්තරය තුල පැන නැඟි පැබ්ලෝ-මැන්ඩල් සංශෝධනවාදී ප්‍රවනතාව පරාජය කරමිනි. පශ්චාත් යුදකාලීන ධනවාදයේ ස්ථාවරත්වය හමුවේ යටත් වූ ‍පැබ්ලෝවාදීහු, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය ප්‍රතික්ෂේප කලහ. ලෝක සමාජවාදී විප්ලවයේ ඓතිහාසික කර්තව්‍ය තමන් වෙත පවරා ගැනීම සඳහා ලෝක කම්කරු පන්තිය විද්‍යාත්මක සමාජවාදී විඥානයෙන් යලි සන්නද්ධ කිරීමට ට්‍රොට්ස්කි ගෙනගිය අරගලය ජාත්‍යන්තර කමිටුව අඛන්ඩව ඉදිරියට ගෙන යයි. එයයි, මෙම රැලිය තුල මතු කෙරෙන බලගතු විප්ලවවාදී සම්ප්‍රදාය.

සීග්‍රයෙන් ගැඹුරුවෙමින් පවත්නා ලෝක ආර්ථික හා දේශපාලන අර්බුදය, පසුගිය දශක හය පුරා අප ගෙන ගිය න්‍යායික හා දේශපාලන අරගලයේ නිරවද්‍යතාව තහවුරු කරයි. සියලු අවස්ථාවාදීන් විසින් උත්කර්ෂයට නංවන ලද පශ්චාත්-යුද්ධ ස්ථාවරත්වය සුන්බුන්වී ඇතුවා පමනක් නොව, සෝවියට් සංගමය විසිරුවා හැරීමෙන් ඉක්බිතිව නිවේදනය කල “ඉතිහාසයේ අවසානය” ද මුලුමනින්ම ප්‍රලාපයක් බව සනාථ වී තිබේ.

යලි වතාවක් ඉතිහාසය යෝධ අඩිතබමින් ඉදිරියට යයි. න්‍යෂ්ටික යුද්ධයේ අඳුරුවලාවන් කැටි ගැසෙද්දී, මිහිතලයේ සෑම කොටසකම සමාජීය හා දේශපාලන ගැටුම් පුපුරා යයි. විකල්පය වඩාත් බලගතු ආකාරයෙන් මනුෂ්‍ය වර්ගයා හමුවට පමුනුවා ඇත: එක්කෝ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතාවන් මත පදනම් වූ සමාජවාදය, නොඑසේ නම්, ධනවාදී ම්ලේච්ඡත්වය.

සමාජවාදය ජාත්‍යන්තර ව්‍යාපෘතියකි. ඉදිරියේ එලැඹෙන්නාවූ විප්ලවවාදී නැගිටීම් මගින් ඉල්ලා සිටින ඓතිහාසික හා ජාත්‍යන්තර ඉදිරි දර්ශනයෙන් කම්කරු පන්තිය හා පීඩිත ජනතාව සන්නද්ධ කිරීමට හැකි එකම දේශපාලන ව්‍යාපාරය ලෙස ජාත්‍යන්තර කමිටුව ඉස්මතු වන්නේ, ජාතිකවාදී අවස්ථාවාදයේ සියලු රූපාකාරයන්ට එරෙහිව එය ගෙන ගිය ක්ෂමා විරහිත අරගලය නිසාවෙනි.

මෑත අවධියේ පැන නැඟි අරගල දැනටමත් පෙන්වා දී ඇති පරිදි, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය වටහාගැනීම තීරනාත්මක ය. 2011 වසරේ පුපුරාගිය ඊජිප්තියානු විප්ලවය පෙන්නුම් කලේ, ධනවාදයේ සියලුම කොටස්- මිලිටරිය, මුස්ලිම් සහෝදරත්වය හා එල් බරාඩේ වැනි ලිබරල් නායකයින්- ලබාදුන් පොරොන්දු වල පරිපූර්න බංකොලොත්කම යි. ඔවුන් සියල්ලෝම දහස් ගනන් හුයපටවලින් අධිරාජ්‍යවාදයට බැඳී සිටින අතර කම්කරු පන්තියේ මොනයම්ම හෝ ස්වාධීන ව්‍යාපාරයකට දැඩි ලෙස සතුරු ය. ඒ සියල්ලන්ම නටන්නේ වොෂින්ටනයේ තාලයට අනුවය.

සමස්ත දේශපාලන සංස්ථාපිතයම සහාය දුන් මුබාරක්ගේ ආඥාදායකත්වය හා එහි කප්පාදු පිලිවෙත්වලට එරෙහිව මිලියන ගනන් කම්කරුවන් අරගලය වෙතට ඇදී ආවෝ ය. එහෙත් ඔවුන්ගේ දිරිමත් අරගල ධනපති පන්තියේ ඒ හෝ මේ කොටසකගේ තටුව යටට හරවා යවන ලදි. අඩුවකට තිබුනේ, විප්ලවවාදී වැඩපිලිවෙලක් හා සමස්ත ධනපති පන්තියටම එරෙහිව කම්කරු පන්තිය හා ඒ පිටුපසින් නාගරික හා ගැමි ජනතාව බලමුලු ගන්වන පක්ෂය යි.

2012 වසරේදී දකුනු අප්‍රිකාවේ වැඩ වර්ජනයක නිරතවූ ප්ලැටිනම් ආකර කම්කරුවන් ඝාතනය කිරීමෙන්ද පාඩම් උකහා ගත යුතු ය දශක ගනනාවක් තිස්සේ ලෝකය පුරා පාලක පන්තීන් වර්නභේදවාදී පාලනය විස්ථාපනය කරමින් බලයට පැමිනි අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ඒඑන්සී) සලකනු ලැබුවේ දකුනු අප්‍රිකානු ජනතාව පැත්තෙන් තබන ලද ශ්‍රේෂ්ඨ පියවරක් වසයෙනි. ඔහු ගිය සෑම තැනකදීම නෙල්සන් මැන්ඩෙලා පිලිගනු ලැබුවේ දුගී හා පීඩිත ජනතාවගේ ගැලවුම්කාරයා ලෙසය. එහෙත් මරිකානාහි ආකර කම්කරුවන් 34ක් ඒඑන්සී ආන්ඩුවේ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම පෙන්නුම් කලේ, ධනපති පන්තියේ මොනයම්ම හෝ කන්ඩායමක් -සමේ පාට කුමක් වුවත්- කෙරේ කම්කරු පන්තියට විස්වාසය තැබිය නොහැකි බව යි.

ඒඑන්සීය යටතේ දකුනු අප්‍රිකාව, ලෝකයේ වඩාත්ම අසමානවූ රටවල් අතර එකක් බවට පත්ව තිබේ. එය, කලු ධනපතියන්ගේ තුනී ස්ථරයකට වරප්‍රසාද පිරිනැමූ අතර කම්කරු පන්තියේ බහුතරය අන්ත දරිද්‍රතාවට ඇද දැම්මේ ය.

මෙය අප්‍රිකාවේ අනෙකුත් ප්‍රදේශ, ආසියාව හා ලතින් ඇමෙරිකාවට ද පොදුවූවකි. ව්‍යාජ නිදහසක් පිරිනමන කාලයේදී ප්‍රජාතන්ත්‍රවාදය හා යහපත් ජීවන තත්වයන් පිලිබඳ පොරොන්දු මුලුමනින්ම හිස් ඒවා බව සනාථ වී තිබේ. බ්‍රිතාන්‍යය සිය දේශීය හෙංචයියන්ට ලබාදුන් නිදහස ව්‍යාජයක් ලෙස හෙලා දකිමින් ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීහු 1948දී, කම්කරු පන්තිය එක්සත් කර බලමුලු ගන්වමින් බලය ගැනීමට සටන් වැදුනහ.

සෑම රටකම ධනපති ක්‍රමය, කම්කරු පන්තියට හා ගැමි ජනයාට විනාශයක් බව ඔප්පු කර තිබේ. සිය බලය රැක ගැනීම සඳහා සෑම ආන්ඩුවක්ම, පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන්ට වාරුවීමේදී කිසි‍විටෙකත් පැකිලුනේ නැත. ඒ, කම්කරු පන්තිය බෙදා, අවමංගත කර, ජනාවාර්ගික, ගෝත්‍රික හා භාෂාමය වෙනස්කම් සිතාමතාම අවුලුවන අතර වාරයේදී ය. සම්ප්‍රධායක් ලෙස ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදය යැයි පාරම්බාන ඉන්දියාව පිහිටුවන ලද්දේ, 1947 ඉන්දියානු උපමහද්වීපය බෙදා වෙන් කිරීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමඟ ඇතිකරගත් නින්දිත ගනුදෙනුවක් මත ය. පසුව ඇතිවූ වාර්ගික ගැටුම් වලින් මිලියනයකට වැඩි ජීවිත විනාශවු අතර එහි ප්‍රතිපල වශයෙන් දකුනු ආසියාව අද දක්වාම ලේ හැලීමට ගොදුරු කර තිබේ.

1948 සිට ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය කරතබාගෙන සිටි දෙමල-විරෝධී වර්ගවාදයේ ප්‍රතිපලය වූයේ, 2009 වසරේදී අවසානයට පත් වූ 30වසරක සිවිල් යුද්ධයකි. තවද, ධනේශ්වරයේ බොහෝ සන්නද්ධ නිදහස් අරගල පෙන්වා දී ඇති පරිදි බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය ගෙනගිය යුද්ධය දෙමල ජනතාව සම්බන්ධයෙන් ව්‍යසනයක් බව සනාථ වී තිබේ. එල්ටීටීඊය පරාජය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මිලිටරියේ මිලිටරි හයියෙන් නොව, එම ව්‍යාපාරයම පදනම් වූ ප්‍රතිගාමී ඉදිරිදර්ශනයේ ප්‍රතිපලයක් වසයෙනි. එහි ජාතික බෙදුම්වාදී හා අධිරාජ්‍ය ගැති වැඩපිලිවෙලේ අර්ථය වූයේ, සිංහල කම්කරුවන්ට මෙන්ම ඉන්දියාවේ හෝ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල කම්කරු පන්තියට මොනයම්ම හෝ ආයාචනයක් කිරීමට එල්ටීටීඊයට ඓන්ද්‍රීයවම පැවති නොහැකියාව යි. එවැනි අත්දැකීම් සමස්ත ආසියාව පුරාත්, අප්‍රිකාව හා ලතින් ඇමෙරිකාව යන සෑම තැනකම පෙන්නුම් කර තිබේ.

දැන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලෝකය පුරා එහි අනභියෝගී අධිකාරිය තහවුරු කරගැනීමට ලෝකයේ සෑම කොටසකම මැදිහත් වන විට, ආසියාව පුරාම පාලක පන්තීන් ඔවුන්ගේ අධිරාජ්‍ය-විරෝධී මවාපෑම්වල යමක් ශේෂව පැවතියේ නම් එයද අත්හැර දමමින් ලෝක යුද්ධයක ම්ලේච්ඡත්වයට කම්කරු පන්තිය ඇද දැමීම සඳහා සූදානම් වෙති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවම පමනක්ම, ස්ටැලින්වාදයට හා එහි ක්ෂමාලාපකයන්ට එරෙහිව ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ආරක්ෂා කිරීමට සටන් වැදී ඇත. යුද්ධයට එරෙහිවත් ජීවන තත්වයන් හා ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් වෙත එල්ල කෙරෙන ගැඹුරුවන ප්‍රහාරයන්ට එරෙහිවත් සටන් වැදීමට ඉදිරියට එමින් සිටින නව විප්ලවවාදීන් පරම්පරාව දිරිගන්වනු ඇත්තේ මෙම ඉදිරි දර්ශනය මගිනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර මැයි දින රැලියට සෑම මහද්වීපයක්ම නියෝජනය කරමින් කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ලැබී ඇති බලගතු ප්‍රතිචාරය, පැනනැගෙමින් ඇති විප්ලවවාදී රැල්ල පිලිබඳ නොවරදින සුලු සලකුනකි. නොනවතින විප්ලව න්‍යාය සඳහා අරගලයේ දශක ගනනාවක අත්දැකීම් මත පාදක වන ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, ආසියාව පුරා ඉදිරියට එමින් සිටින අය සඳහා කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ලෙස ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නව ශාඛා ගොඩනැගීමට සෑම ආධාරයක්ම ලබාදීමට පොරොන්දු වෙයි.

Share this article: