රාජපක්ෂ ආන්ඩුවේ සරසවි සිසු මර්දනයට එරෙහිව කම්කරු පන්තිය මෙහෙයවනු!

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ නිකුත් කල ප‍්‍රකාශයකි.2014 මැයි 13

පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පිය මනින රාජපක්ෂ ආන්ඩුව විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව ගෙන යන රුදුරු මර්දනයට සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය දැඩි විරුද්ධත්වය පලකර සිටී. සසජාතශි, සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සංවිධානය යි. ශිෂ්‍ය සංගම් තහනම් කරමින් ද, දහසකට අධික සිසුන්ගේ පන්ති තහනම් කරමින් හෝ ශිෂ්‍යභාවය අහෝසි කරමින් ද, ව්‍යාජ නඩු පවරමින් හා මැර ප‍්‍රහාර එල්ල කරමින් ද, මෙම මර්දනය උසි ගන්වා ඇත. එය ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධව අරගලයට එන කම්කරුවන්ට එරෙහිව තියුනු කිරීමට නියමිත පුලුල් ප‍්‍රහාරයක කොටසක් බවට අනතුරු අඟවන සසජාතශි, සිසුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත්වන ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

රාජපක්ෂ ආන්ඩුව විසින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව දියත් කොට ඇති මර්දනයේ මෑත අවස්ථා කීපයක් මෙසේය:

⋆ නේවාසිකාගාර ගාස්තු ඉහල දැමීමට එරෙහිව කොලඹ විශ්ව විද්‍යාල සිසුන් පසුගිය මාර්තු මාසයේ ගෙන ගිය අරගලය මැඩලමින් සිසුන් 20ක ගේ පන්ති තහනම් කිරීම. මෙම අරගලය නිසා කොලඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය හැර අනෙක් සියලු අංශ වසා දමා ඇත.

⋆ සරසවි ආරක්ෂක අංශ සිසුන්ට එරෙහිව කල ප‍්‍රකෝපකරනයක් මත පසුගිය මාර්තු 31 දා ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයන් 14 දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම.

⋆ පසුගිය මාර්තු 19 දා අධ්‍යාපන කප්පාදුවට හා මර්දනයට එරෙහිව කැලනිය සරසවියේ සිට ජනාධිපති මන්දිරය දක්වා ගිය පා ගමනට කොලඹ කොටුවේදී කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කොට පා ගමන විසුරුවා හැරීම.

⋆ පාඨ මාලාව කප්පාදු කිරීමට එරෙහිව සම-සෞඛ්‍ය සිසුන් මාස හයකට ආසන්න කාලයක් ගෙනයන අරගලය මැඩීමට එම අංශය වසා දමන බවට කර ඇති තර්ජනය.

සිසුන් විරෝධතා වල කොටු කර ඇති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) වාර්තාවකට අනුව, පසුගිය සිව් වසර තුල ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල පන්ති තහනමට හා ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ලක් කෙරුනු සිසුන් සංඛ්‍යාව 1360 කි. සරසවි ශිෂ්‍යයන් 426 කට එරෙහිව නඩු පවරා ඇති අතර 74 දෙනෙකු රිමාන්ඩ් භාරයේ රඳවා තබා ඇත. ශිෂ්‍යයන් 179 දෙනෙකු අවස්ථා 77 ක දී මැර ප‍්‍රහාරයන්ට ලක්ව තිබෙන බව පවසන වාර්තාව සිසුන් 218 කට මරන තර්ජන එල්ලවී ඇති බවද සිසු ඝාතන 3 ක් සහ පැහැර ගැනීම් 3 ක් සිදු වී ඇති බවද පවසයි. මීට අමතරව ශිෂ්‍ය සංගම් 36 ක් අහෝසි කෙරී ඇත.

මෙම මර්දනයන්ට සිසුන් ලක්කර ඇත්තේ අන් කිසිවක් නිසා නොව තම අධ්‍යාපන අයිතිය රැක ගැනීමට ඔවුන් සටන් කරන නිසාය. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ නියෝගයන්ට අනුව රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දමමින් පවත්නා කප්පාදු වැඩපිලිවෙල යටතේ ප‍්‍රහාරයට ලක් වන මහජන සේවා අතරින් අධ්‍යාපනය ප‍්‍රමුඛ තැනක් ගනී. පසුගිය සියවසේ කම්කරු පන්තියේ අරගලයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සීමිතව හෝ දිනා ගත් නිදහස් අධ්‍යාපනය මුලුමනින්ම වල දමා එය ලාභ ගරන කර්මාන්තයක් බවට පත් කිරීම රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතයි. ආන්ඩුව පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන වලට අමතරව බදු සහන සහ සුවිසල් භූමි භාග ආදිය ද ලබා දෙමින් එම ක්ෂේත‍්‍රයේ ආයෝජකයන් දිරි ගන්වමින් සිටී.

ආන්ඩුවේ මෙම පිලිවෙත අනුව ගිය වසර වන විට අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදම දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.5 කටත් අඩු අගයකට කප්පාදු කෙරී ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත ලංකාවේ අයවැය හිඟය වේගයෙන් කප්පාදු කෙරෙමින් පවතී. 2009 වසරේ දල ජාතික ආදායමෙන් සියයට 10 ආසන්නව පැවති අයවැය හිඟය 2013 දී සියයට 5.9 බැස්සූ ආන්ඩුව 2016 දී එය සියයට 3.8 දක්වා කපා හැරීමට යයි. නිසැකවම මෙය සාක්ෂාත් වනු ඇත්තේ වැඩ කරන ජනතාවගේ ජීවන තත්වයන් තලා දැමීමට සමගාමීව අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සේවාවන් තවත් දරුනු ලෙස කපා දැමීමක් ලෙසය.

රාජ්‍ය වියදම් කප්පාදුව ප‍්‍රකාශයට පත්ව ඇත්තේ ශිෂ්‍ය ආධාර අඩු කිරීම, නේවාසිකාගාර හිඟය, නේවාසිකාගාර ගාස්තු ඉහල දැමීම, කථිකාචාර්යවරු නොමැති කම, දේශන ශාලා සහ විද්‍යාගාර පහසුකම්වල ඌනතාව, පාඨමාලා කප්පාදුව සහ මුදලට විකිනීම ආදී වශයෙනි. සිසු අරගල පන නැගී ඇත්තේ මෙම ප‍්‍රහාරවලට විරුද්ධවයි.

සම‐සෞඛ්‍ය උපාධි පාඨ මාලාව වසරකින් කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙනිය, ජයවර්ධනපුර සහ රුහුනු විශ්ව විද්‍යාලවල ද ශිෂ්‍ය දඩයමට එරෙහිව රජරට විශ්ව විද්‍යාලයේ ද සිසුන් ගෙන යන සත්‍යග‍්‍රහ විරෝධතාවන් මාස ගනනාවක් තිස්සේ ඇදී යමින් පවතී. මෙම ප‍්‍රශ්න මත පසුගිය බදාදා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සිට ජනාධිපති නිල නිවස දක්වා ගිය විරෝධතා පා ගමනට ද, දැනට මාස කීපයකට පෙර, නේවාසිකාගාර ඉල්ලා කැලනිය සරසවියේ සිසුන් කැලනිය සිට කොලඹ දක්වා පැමිනි පා ගමනට ද දිවයිනේ විවිධ විශ්ව විද්‍යාල වලින් පැමිනි සිසුන් දහස් ගනනක් සහභාගි වූහ.

සිසුන් මර්දනය සඳහා “නවක වද පනත” වැනි රුදුරු නීති යොදා ගැනීමට අමතරව සිසුන්ට එරෙහි ගහලයන් ලෙස කි‍්‍රයාත්මක වන උපකුලපතිවරුන් ඇතුලු පරිපාලනයන් විශ්ව විද්‍යාල තුල අටවා ඇත. කොලඹ විශ්ව විද්‍යාලයේ පාලකයෝ මාසික නේවාසිකාගාර ගාස්තුව රුපියල් 800 සිට රුපියල් 3000 දක්වා ඉහල නැංවීමට එරෙහිව පැනනැගි සිසු අරගලය මැඩලමින් පසුගිය මාර්තු අග දී සිසුන් 20 දෙනෙකු පන්ති තහනමට ලක් කොට ඔවුනට සරසවි භූමියට ඇතුලුවීමට ද තහංචි දැමූහ. ඉන් නොනැවතුනු පරිපාලනය එම සිසුන් පදිංචි ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරීන්ට එය දැනුම් දෙමින් පොලිස් දඩයමට යටත් කිරීමට ද පියවර ගත්තේය.

අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම සෑම රටකම ධනපති පාලක පන්තීන් උසිගන්වා ඇති ප‍්‍රහාරයකි. 2008 දී ආරම්භවූ ගෝලීය ධනේශ්වර කඩාවැටීම, වඩාත් නරක අතට හැරෙමින් පවතින තතු තුල ලොව පුරා ආන්ඩු කම්කරු පන්තියේ අයිතීන් තලා දැමීමේ සමාජ ප‍්‍රතිවිප්ලවයක් දියත්කර ඇත. ජාමූඅ මෙරටට නිර්දේශ කර ඇත්තේ ග‍්‍රීසියේ, ස්පාඤ්ඤයේ සහ අනෙකුත් යුරෝපීය රටවලත් ලෝකය පුරාමත් කි‍්‍රයාත්මක කරන වැඩපිලිවෙලම ය. අන් රටවල මෙන්ම ලංකාවේ රාජපක්ෂ ආන්ඩුවට ද මෙම අර්බුදය තුල ඇති එකම පිලිතුර අයිතීන් සඳහා අරගල කරන කම්කරුවන්, දුගීන් සිසුන් ඇතුලූ තරුනයන් මැඩලා ලංකාවේ මහ ධනපතියන් හා විදේශ ආයෝජකයන්ට සූරාකෑම තියුනු කිරීමට කොන්දේසි සැකසීමයි.

කම්කරු පන්තිය තම අතීත අරගලවලින් දිනාගත් රජයේ අධ්‍යාපනය අතුගා දැමීමට එරෙහි අරගලය අතට ගනිමින් සිසු මර්දනයට විරුද්ධව නැගී සිටිය යුතුය. ධනපති පන්තියේ මොනම කන්ඩායමක් හෝ වෘත්තීය සමිති හා ව්‍යාජ වාම සංවිධාන හෝ වැඩ කරන ජනතාවගේ කිසිම අයිතියක් ආරක්ෂා කිරීමට සුදානම් නැතිවා පමනක් නොව කම්කරුවන් අරගල වලට ඒම වලක්වා එම අයිතීන් උදුරා ගැනීමට ඉඩ දෙති. ධනපති පාලක පන්තියේ හා එහි රාජපක්ෂ ආන්ඩුවේ උවමනාවන් රජයේ අධ්‍යාපනය පවත්වා ගැනීම සමග නොපෑහේ.

වැඩකරන ජනතාවගේ අයිතීන් රැකීමට හා වැඩි දියුනු කිරීමට නම් මෙම සමාජ ක‍්‍රමය සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කල යුතුය. සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටනින් තොරව අධ්‍යාපනය ඇතුලු අයිතීන් රැක ගත නොහැකි බව සසජාතශි අවධාරනය කරන්නේ මේ නිසාය. දුගී ගොවීන් ඇතුලු පීඩිතයන් ද සිසුන් හා තරුනයන් ද කම්කරු පන්තිය වටා ගොනුකරමින් රාජපක්ෂ ආන්ඩුව කම්කරු ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කල යුතුය. මෙය ජාත්‍යන්තර සමාජවාදයට කරන අරගලයක කොටසකි. අධ්‍යාපන අයිතිය වර්ධනය කිරීමට අරමුදල් වෙන් කල හැක්කේ මෙම ක‍්‍රමය තුලය.

විරෝධතා අරගලවලට අධිෂ්ඨානවත්ව එක්වන සිසුන් නැගී සිටිය යුත්තේ මේ කි‍්‍රයා මාර්ගය මතයි.

අවිශිබම දරුනු සිසු මර්දනය ගැන අවුරුදු හතරක සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇත. එහෙත් මෙම කෙටි කාලය ගත්තද, දක්ෂිනාංශික ජනතා විමුක්ති පෙරමුන ද ඉන් කැඩී පිහිටවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද අවිශිබම මෙහෙයවූයේ හුදෙක් විරෝධතාවල සිසුන් කොටුකර ධනපති ආන්ඩුවට බලපෑම් දමා අයිතීන් දිනා ගත හැකිය යන මිථ්‍යාවේ ඔවුන් ගිල්වා දැමීමටයි.

අවිශිබම නායක නජිත් ඉන්දික එහි වෙබ් අඩවියට ලියමින් මෙසේ කියා ඇත: “ලිබරල් ධනවාදයට විරුද්ධ අරගලය ‘කම්කරුවන්, ගොවීන් ඇතුලු සියලු පීඩිත බලවේග සමග එක්වුනු වාමාංශික දේශපාලන පක්ෂවල මැදිහත්වීමෙන්’ පුලුල් අරගලයක් කලයුතු ය.” ඔහු සඳහන් කරන මෙම වාමාංශික පක්ෂ නම් එජාපය සමග සන්ධාන ගතව සිටින නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ඔවුන් අනුවයන ලංකා ගුරු සංගමය හා තවත් මධ්‍යම පන්තික කල්ලියක් වන පෙරටුගාමී පක්ෂයයි. පෙසප මෙන්ම මෙම පක්ෂ සමාජවාදී වැඩපිලිවෙල මත රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සටන් කිරීමට මුලුමනින් විරුද්ධය.

සිසුන් ධනපති ක‍්‍රමය තුල හිර කිරීමේ අවිශිබමයේ මෙම වැඩපිලිවල ප‍්‍රතික්ෂේප කර මෙම යුගයේ මූලික ප‍්‍රගතිශීලී විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය වෙතට හැරී එය දේශපාලනිකව බලමුලු ගැන්වීමට සිසුන් සහභාගි විය යුතු යයි අපි ඉල්ලමු. විශ්ව විද්‍යාල තුල කි‍්‍රයාකාරී කමිටු ගොඩනගා මේ වැඩ පිලිවෙල සාකච්ඡා කරන්න. කම්කරුවන් බලමුලු ගැන්වීමට එක්වන්න. සසජාතශි සහ සමාජවාදී සමානතා පක්ෂය මෙම ඉදිරි දර්ශනය මත සටන් කරයි. සසජාතශි ගොඩනැගීමට එක්වන ලෙස සිසුන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: