අවිශිබම කැඳවුම්කරුගේ කම්කරු විරෝධී අවලාදයන්හි පන්ති ඇඟවුම්

සුරංග සිරිවර්ධන විසිනි, 2014 මැයි 29

“සැබෑ ජයග‍්‍රහනයක් සඳහා පීඩිත බලවේග සමග පුලුල් අරගලයක් කල යුතුයි” යන මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) නව කැඳවුම්කරු නජිත් ඉන්දික විසින් අවිශිබමයේම නිල වෙබ් අඩවියට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාව කම්කරු විරෝධී අවලාදයකි. එමෙන්ම එය රැඩිකලීකරනය වෙමින් සිටින ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරීම වලක්වා සිසුන් අවමංගත කිරීමට අවිශිබමයත් එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් (පෙසප) දරන දැනුවත් ප‍්‍රයත්නයේ කොටසකි.

සීමිතව හෝ දිනාගත් නිදහස් අධ්‍යාපන අයිතිය කම්කරු පන්තියේ අතීත අරගලයන්හි ජයග‍්‍රහනයක්ය යන්න සමස්ත සම්මුඛ සාකච්ඡාව පුරාම වසන් කරන ඉන්දික, ඊට විපරීතව “ශිෂ්‍ය සටන්” උත්කර්ෂයට නංවමින් මෙසේ පවසයි: ”මේ කාලයේ ලංකාව තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස එකතුවෙලා ඉන්නවා. ඉතිහාසයේ ඉඳන් ඒකාබද්ධවී සිටීම, ඒකාබද්ධව සටන් කිරීම ඇතුලෙ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වගේම තවත් බොහෝ පැතිවලින් ශිෂ්‍යයන් ලබාගත් ජයග‍්‍රහන බොහෝමයක් තියෙනවා.”

ශී‍්‍ර ලංකාව තුල නිදහස් අධ්‍යාපන අයිතිය ස්ථාපිත කෙරුනේ කෙසේද? හුදු “ශිෂ්‍ය සටන්” හරහා ලබාගත් “ජයග‍්‍රහන” කවරේද? යන්න ඔහු සඳහන් නොකරයි. මෙම “ජයග‍්‍රහන” වලට විපරීතව යතාර්ථයේ දී සිදුව ඇත්තේ පසුගිය කාලය පුරා පැවති සියලු ආන්ඩු විසින් අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන පංගුව දැවැන්ත ලෙස කප්පාදු කිරීමයි. මහින්ද රාජපක්ෂ ආන්ඩුව එය තවත් කප්පාදු කරමින්, අධ්‍යාපන වියදම දල ජාතික නිශ්පාදනයෙන් සියයට 1.48 දක්වා පහත හෙලා ඇත.

කම්කරු විරෝධයෙන් නලියන අවිශිබමයේ කැඳවුම්කරු ව්‍යාකූලත්වය හමුවේ විපිලිසරව සිටින කම්කරුවන්ට මෙසේ අවලාද නගයි. “ශිෂ්‍යයන් උද්ඝෝෂනය කරන කොට පාලකයන්ගේ දැක්මට අහුවෙලා ඊට බැන වදින එක හරි, නැත්නම් තමන්ට අදාල නැති දෙයක් ලෙස දකිනවා වෙනුවට කම්කරුවන්, ගොවීන් මේ සටන සමග ඒකාබද්ධ විය යුතුයි. මේ මොහොත වන විට දවසට පැය දෙකක් හෝ වැඩිපුර වැඩ කරලා, වැඩිපුර මහන්සි වෙන්න උත්සාහ කරනවා වගේම මේ සටන සිදු කරන්නෙ අධ්‍යාපනය සමාජ අයිතියක් බවට පත්කර ගැනීම වෙනුවෙන් නිසා මේක ඍජුවම මේ වන විටත් අධ්‍යාපනයට මුදල් ගෙවන්න වෙලා තියෙන, වැඩකරන ජනතාවගේ ගැටලුවක්.”

කම්කරුවන් සහ අනෙකුත් ජන කොටස් ව්‍යාකූල කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ පෙසප ද ඇතුලත් ව්‍යාජ වම්මු සහ වෘත්තීය සමිති ය. කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිත ජන කොටස් අරගලයට පැමිනි විට, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සමාජවාදී ප‍්‍රතිපත්ති මත පාදක වූ දේශපාලන අරගලයකට තරයේ විරුද්ධ වෙමින් ඔවුන් දුර්මුඛ කොට හරවා යැවුවේ ද හරවා යවන්නේ ද මොවුන්මය.

අවිශිබමයේ මෙම කම්කරු විරෝධය පැන නගින්නේ එහි පන්තිමය මූලයන්ගෙනි. අවිශිබමයේත් එයට නායකත්වය දෙන පෙසපයේත් දේශපාලන ගර්භාෂය ජවිපෙ ය. කම්කරු පන්තිය හෙවත් නිර්ධන පන්තිය මෙම ධනවාදී යුගයේ ප‍්‍රධාන විප්ලවවාදී බලවේගය ය යන මාක්ස්වාදී ආස්ථානය ප‍්‍රතික්ෂේප කල ජවිපෙ නිර්ධන පන්තිය යනු ගම්බද දුගීන් ඇතුලු සියලු පීඩිතයන් අන්තර්ගත කරගත් සමාජ කුලකයක් ය යන සූත‍්‍රය හරහා කම්කරු පන්තියට එරෙහි තම සුලු ධනේශ්වර පන්ති ආස්ථානය ආරම්භයේදී ම ඉදිරිපත් කලේය. මා ඕවාදයේ, ක‍්‍රැස්තෝවාදයේ හා සිංහල වර්ගෝත්තමවාදයේ සම්මිශ‍්‍රනයක් වූ ජවිපෙ දේශපාලනය ගම්බද දුගීන්ගේ විමුක්තිය සඳහා වෙනම මාවතක් ඇතැයි පවසමින් දේශපේ‍්‍රමී ව්‍යාපාරයක් තැනීමට කැපවූ එකක් විය.

කම්කරු සටන් “කැඳ කෝප්ප” සටන් ලෙස ගර්හාවට ලක් කරමින් ද දෙමල වතු කම්කරුවන් “වරප‍්‍රසාදිත ස්ථරයක්” හා “ඉන්දියානු ව්‍යාප්තවාදයේ” සංරචකයක් ලෙස නම් කරමින් ද ජවිපෙ තම කම්කරු පන්ති විරෝධය ප‍්‍රකට කලේය. ජවිපෙ හි මෙම දේශපාලනය තුල ෆැසිස්ට්වාදී දිශානතියක මූල බීජ ගැබ්ව ඇතැයි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පෙරගමන්කරු වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කල විශ්ලේශනය සනාථ කරමින් 1988‐89 කාල පරිච්ෙඡ්දයේ ජවිපෙ විසින් කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් ප‍්‍රහාර මාලාවක් එල්ල කලේය. ඔවුනගේ බලහත්කාරී “දේශපේ‍්‍රමී” විධානයන් ට අවනත නොවූ කම්කරුවන් හා කම්කරු නායකයන් රුදුරු ලෙස ඝාතනය කෙරුනි. ජවිපෙ පෙකනිවැලෙන් නොකැඩුනු පෙසප මෙම ෆැසිස්ට් ප‍්‍රහාරය සලකනු ලබන්නේ “සමාජවාදය සඳහා වු වීරෝදාර අරගලයක්” ලෙසිනි.

එපමනක් නොව, ආරම්භයේ පටන් ජවිපෙ කි‍්‍රයාත්මක කල කම්කරු විරෝධී දේශපාලනය ද පෙසප සහ අවිශිබමය විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරයි. පෙසප, ජවිපෙන් සංවිධානාත්මකව වෙන්වූයේ පක්ෂයේ ආරම්භක නායකයා වූ රෝහන විජේවීරගේ “උරුමය” සොයා යන බව පවසමිනි. විජේවීරගේ “උරුමය” යනු ඉහත කම්කරු විරෝධී දේශපාලනයයි. නජිත් ඉන්දික කතා කරන්නේ එම “උරුමය” මත පාදකවයි.

අධ්‍යාපනය වෙලඳ භාන්ඩයක් බවට පත්කිරීම ආන්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය වී ඇති බැව් සදහන් කරන ඉන්දික මින් පසුගිය කාලය පුරාම අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල මතුව ඇති ප‍්‍රශ්න එම ප‍්‍රතිපත්තිය නිසා ඇතිවන ප‍්‍රශ්න බව පවසයි. 2008 න් ආරම්භ වූ ගෝලීය ධනේශ්වර පද්ධතියේ බිඳවැටීමේ කොන්දේසි යටතේ් ලෝකයේ සෑම රටකම පාහේ ධනේශ්වර පාලක පන්තීන්ට සිය පන්ති පාලනය පවත්වාගෙන යාම සඳහා කම්කරු පීඩිත මහජනතාව මත පෙරනොවූ විරූ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සිදුවී ඇත. ඒ යටතේ පසුගිය සියවසේ කම්කරු පන්තියේ අරගල හරහා දිනා ගන්නා ලද සියලු ජයග‍්‍රහනයන් ආපසු උදුරා ගැනීමට ඔවුන් කි‍්‍රයාත්මක වී ඇති අයුරු එක්සත් ජනපදය ,යුරෝපය පමනක් නොව සමස්ත ආසියානු කලාපය තුලමත් සීඝ‍්‍රයෙන් සිදු කෙරෙමින් පවත්නා සමාජ සුභ සාධන හා රැකියා කප්පාදුවලින් ද වේගයෙන් ඉහල නගින දරිද්‍රතාවෙන් සහ විරැකියාවෙන් ප‍්‍රකාශයට පත් වේ.

අධ්‍යාපනයට එරෙහි ආන්ඩුවේ ප‍්‍රහාරයන් ධනේශවර පද්ධතිය මුහුන දී ඇති අර්බුදයේ ප‍්‍රකාශනයක්ය යන්න ශිෂ්‍යයන්ගෙන් වසන් කරන අවිශිබමය, මෙම ප‍්‍රහාරයන් හුදෙක් රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලින් ගලා එන්නක් යැයි පවසමින් ධනේශ්වර පද්ධතියට එරෙහි අරගලයකින් සිසුන් වලකා ලයි. ඒ වෙනුවට ඔවන් තොරොම්බල් කරන්නේ රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම මගින් මෙම ප‍්‍රහාරයන් ආපසු හැරවිය හැකිය යන්නයි.

මෙම බලපෑම් දැමීමේ දේශපාලනයේ බංකොලොත්බව පෙන්වන මෑතම උදාහරනය සමසෞඛ්‍ය පිඨ සිසුන් ගෙන යන අරගලයයි. තම පාඨමාලා කප්පාදුවට එරෙහිව සටනට අවතීර්නව සිටින සිසුන් සත්‍යග‍්‍රහයක සිරකොට ඇති අවිශිබමය විසින් සිසුන් ගෙනයනු ලබන්නේ ආවෘත අන්තයක් දෙසටයි. සත්‍යග‍්‍රහයට දින 150 කටත් අධික කාලයක් ගතව ඇතත් ආන්ඩුව තම තීන්දුව වෙනස් කොට නැතුවා පමනක් නොව රුදුරු පොලිස් ප‍්‍රහාරයන් හා අත් අඩංගුවට ගැනීම් හරහා අරගලයේ යෙදී සිටින සිසුන්ට එරෙහි මර්දනය වඩාත් ඉහල තලයකට නංවා ඇත. අධ්‍යපනය සදහා වෙන් කෙරෙන මුදල දල ජාතික නිශ්පාදිතයෙන් සියයට හය දක්වා ඉහල නංවා ගැනීම මුලික තේමාව කොට ගනිමින්, පෙසප හි සහ අවිශිබමයෙහි පූර්න සහයෝගය යටතේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් පසුගිය වසරේ දින සියයකටත් අධික කාලයක් පුරා ගෙන ගිය උද්ඝෝෂනය අවසානයේ කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන අතහැර දැමීමට සිදු වීමෙන් ද තහවුරු වන්නේ එම කරුනයි.

ශිෂ්‍ය සටන් උත්කර්ෂයට නංවමින් ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙත හැරීම වලක්වන අවිශිබමය, කම්කරු පන්තියේ නායකත්වය යටතේ සිසුන් සහ අවශේෂ පීඩිත තරුනයන් බලමුලු ගන්වා ගනිමින් ධනේශ්වර පද්ධතියට එරෙහිව සටන් කරනු වෙනුවට සිසුන් විවිධ මහජන පෙරමුනුවල ගාල් කිරීමට මාන බලයි: “ඒ අරගලය කම්කරුවන්, ගොවීන් ඇතුල් සියල් පීඩිත බලවේග සමග ඒකාබද්ධවුනු වාමාංශික දේශපාලන පක්ෂවල මැදිහත්වීමෙන් කෙරෙන පුලුල් අරගලයක් තුල සියලු සමාජ අයිතීන් දිනා ගන්නා තැනක අධ්‍යාපනයත් අවසාන වශයෙන් සමාජ අයිතියක් බවට පත්කර ගන්න හැකිවන බව අපගේ විශ්වාසය” බව ඉන්දික පවසයි.

එක්සත් සමාජවාදී පක්ෂය හා නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ වම්මුන් සමග පෙසප දැනටමත් පෙරමුනක් අටවා ගෙන සිටින අතර මේ සියලු කොටස් බලයේ සිටිය දී අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට දැවැන්ත ප‍්‍රහාර එල්ල කල දක්ශිනාංශික එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳ ගෙන සිටී.

අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර ධනේශ්වර ක‍්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් ගලා එන්නක් බැවින් එය පරාජය කල හැක්කේ ධනේශ්වර ක‍්‍රමයට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් පමනි. මෙම වැඩපිලිවෙලට නායකත්වයදීම සඳහා ඓතිහාසිකව ශක්‍ය වූ පන්තිය කම්කරු පන්තියයි. මෙම විද්‍යාත්මක සත්‍යය ප‍්‍රතික්ෂේප කරන හා එයට එරෙහි අවිශිබමය හා පෙසප, ශිෂ්‍යයන් කම්කරු පන්ති නායකත්වය යටතේ බලමුලු ගැන්වීමට එරෙහිව කම්කරුවන් “ශිෂ්‍ය ව්‍යාපාරය”ට යටත් කිරීමට කැස කවයි. ඉන්දික ගේ අවලාදාත්මක සාකච්ඡාවේ මධ්‍යක අක්ෂය එයයි.

Share this article: