යුද්ධය කරා දිවීම නතර කරනු!

Halt the drive to war!

2014 මැයි 03

යුක්‍රේන අර්බුදය මුල්කරගෙන මිලිටරි ගැටුමක් දෙසට වන තල්ලුව වේගවත් වීම, ජාත්‍යන්තර කම්කරු පන්තියට ලෝක යුච්ධයේ අන්තරාය පිලිබඳව කෙරෙන බිහිසුනු අනතුරු ඇඟවීමකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 04දා පැවැත්වෙන අන්තර්ජාල මැයිදින රැලියේ වැදගත්කම එමගින් සලකුනු කෙරේ.

එක්සත් ජනපදය හා එහි අනුචරයින් අදූරදර්ශී ලෙස රුසියාව සමග ගැටුමක් අවුලවද්දී ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඊට සිය ප්‍රතිචාරය දක්වන්නේ, විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ හා සමාජවාදයේ ක්‍රියාමාර්ගයක් මත පදනම් වෙමින්, යුද්ධයට එරෙහිව එක්සත් අරගලයක් දියත් කරන ලෙස ලෝකය පුරා කම්කරුවන් හා තරුනයින් කැඳවුම් කරමිනි.

ඔබාමා පාලනාධිරයේ දිරිගැන්වීම් හමුවේ යුක්‍රේන මිලිටරිය, කියෙව්හි එජ රූකඩ ආන්ඩුවට එරෙහි විරෝධතා මැඬීමේ පුලුල් මෙහෙයුමක කොටසක් ලෙස, නැඟෙනහිර ස්ලොව්යාන්ස්ක් නඟරයේ රුසියාවට පක්ෂපාතී බෙදුම්වාදීන්ට 08දා එල්ල කල ප්‍රහාරයන්ගෙන් අඩුම තරමින් පුද්ගලයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් විය. 1930 ගනන්වල නාසි ප්‍රහාරක භටයින් සිහියට නැඟෙන දර්ශන තුල කියෙව් ගැති ෆැසිස්ට් මැරයෝ, කලු මුහුදු බඩ ඔඩෙස්සා වරායේ වෘත්තීය සමිති ගොඩනැඟිල්ල දවා අලු කරමින් 38ක් මරා දැමූ අතර රුසියාවට පක්ෂපාතී තවත් අය එහි සිරව සිටිති.

එවන් දර්ශන සිහියට නංවන්නේ 1930 ගනන්වල යුරෝපයයි. රුසියාවට පක්ෂ ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ ආන්ඩුව පෙරලා දැමූ පෙබරවාරි කුමන්ත්‍රනය මෙහෙයවූ ෆැසිස්ට්වාදීන්ට පිටුබලය දුන් එජ, නැඟෙනහිර යුක්‍රේනයේ බෙදුම්වාදී බල කඳවුරු අල්ලා ගැනීමේ මිලිටරි මෙහෙයුම් සඳහා බල කලේය. නව නාසි දක්ෂින නිකාය හා ෆැසිස්ට්වාදී ස්වබෝධා පක්ෂය වැනි සංවිධාන ප්‍රහාරක බලඇනි සම්පාදනය කරති.

නැඟෙනහිර යුක්‍රේනයේ රුසියාවට පක්ෂ බල කඳවුරු වලට ප්‍රහාර එල්ල කිරීම සමග අත්වැල් බැඳගෙන, “රුසියානු ව්‍යාප්තවාදයට“ හා “රුසියානු ආක්‍රමනිකත්වයට” එරෙහිව වොෂින්ටනයේ හා එහි අනුචරයින්ගේ මුසාවාද හා ප්‍රචාරනය දෝරේ ගලයි. යථාර්තයේදී, මොස්කව් තන්ත්‍රය මුල්ලකට හේත්තු කරමින් නැඟෙනහිර යුරෝපයේ හා කලු මුහුදේ එජ හා එහි සහචර මිලිටරි බලයන් තරකරමින් යුද්ධයට සූදානම් වන්නේ ඔබාමා පාලනාධිකාරයයි.

විල්සන් මධ්‍යස්ථානයේදී මැයි 02දා කථා කරමින් එජ ආරක්ෂක ලේකම් චක් හේගල්, ප්‍රධාන බලවතුන් අතර යුද්ධය යලිත් න්‍යායපත්‍රය අරක්ගෙන තිබෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. නේටෝ මිතුරන්ට මිලිටරි වියදම් ඉහල දැමීමට ප්‍රධාන බාධකයවී ඇත්තේ, “සීතල යුද්ධයේ අවසානය ඉතිහාසයේ අවසානය ලෙස ගැනීමත්, අඩුම තරමින් යුරෝපයේ අනාරක්ෂිත භාවය අවසන්ව හා ජාතික රාජ්‍යයන්ගෙන් එල්ලවන ආක්‍රමනකාරිත්වය අවසන්ව ඇති බවට පවතින හැඟීමයි.” යනුවෙන් මැසිවිලි නැඟීය. වත්මන් අර්බුදය පිලිබඳව රුසියාවට දොස් පවරමින් ඔහු, “යුක්‍රේනය තුල රුසියාවේ කටයුතු මෙම මිත්‍යාව කීතුකර ඇතැයි ද නව යථාර්තයන් පෙරමුනට පමුනුවා ඇතැයි ද” තවදුරටත් පැවසීය.

න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයේ “පෙරමුනට පැමින ඇති නව යථාර්තයන්” පිටුපස පවතින ගාමක බලවේගය, 2008 මූල්‍ය අර්බුදයෙන් ඇරඹුන ධනවාදයේ ගෝලීය බිඳවැටීමයි. යුද්ධයේ විරුද්ධවාදියෙකු ලෙස මවා පෙන්වමින් 2009යේදී බලයට පැමිනි ඔබාමා, මිලිටරි ශක්තිය යොදාගැනීම හරහා එරට ඓතිහාසික ආර්ථික පරිහානිය මඟහරවා ගැනීමට එජ අධිරාජ්‍යවාදයේ තල්ලුව නාටකාකාරී ලෙස වේගවත් කලේය.

එජ ගෝලීය ආධිපත්‍යයේදී ප්‍රමුඛ සාධකය වන යුරේසියානු භූ ස්කන්ධය මත අධිකාරය පිහිටුවා ගැනීමේ එහි දිගු කාලීන අභිලාෂය හමුවේ ඇති ප්‍රධාන බාධකය ලෙස වොෂින්ටනය දැකගෙන තිබුනේ, චීනය හා රුසියාවයි. නේටෝවේ කුඩය යට නැඟෙනහිර යුරෝපය තුල කෙරෙන එජ මැදිහත්වීම් වලට සමාන්තරව ඔබාමාගේ “ආසියාවට හැරීම” හා මිලිටරිමය වශයෙන් චීනය වැටලීම ගමන් කරයි.

පසුගිය සතියේදි පෙන්ටගනය හමුදා, යුද නැව් හා ප්‍රහාරක ගුවන් යානා යුරෝපා කඳවුරු වෙත යැවූ අතර චීනය සමග ඇතිවන ඕනෑම යුද්ධයකදී එජ සහාය ලබාදෙන බව සිය අනුචර රටවල නායකයින්ට සහතික වීම පිනිස ඔබාමා ආසියාවේ සංචාරයක යෙදුනි. යුක්‍රේන අර්බුදයට හේතුව රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීම බව පවසන අාකාරයටම වොෂින්ටනය, දකුනු හා නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශවල එහි අසල්වැසියන් සමග ආතති සහගත ආරවුල් ඇතිවීමට වගකිව යුත්තේ චීනය බව කියා සිටියි. සැබවින්ම ඔබාමා, දිගු කලක් තිස්සේ පැසවමින් තිබුනු එහෙත් සාපේක්ෂව සුලු ආරවුල් හිතාමතාම ගිනි අවුලවා, ජපානය හා ෆිලිපීනය වැනි සිය අනුචරයින් චීනයට එරෙහිව වඩාත් දැඩි ආස්ථානයන් ගැනීමට දිරිගැන්වීම මගින් අන්තරායකාරී ජාත්‍යන්තර ජ්වලන කේන්ද්‍ර බවට ඒවා පත්කර තිබේ.

පෙන්ටගනය ඉන්දියානු පැසිෆික් කලාපය පුරා ඇමරිකානු මිලිටරි ශක්තිය තරකරමින් හා ප්‍රතිව්‍යුහගත කරමින් සිය සහචරයින් සමග සමීප සහයෝගයෙන් චීනයට එරෙහි යුද්ධය සඳහා සැලසුම් සකස් කරමින් සිටියි. පසුගිය සති අන්තයේ වෝල් ස්ට්‍රීට් ජර්නලය හෙලිකර තිබූ පරිදි, එජ පැසිෆික් අනදෙන මධ්‍යස්ථානය, “පූර්න පරිමානයේ සටන් මෙහෙයුමක් දක්වා වන” හදිසි සැලසුම් හා මිලිටරි විකල්පයන් සැලසුම් කර ඇත.

ප්‍රධාන ඉලක්කය චීනය ලෙස හඳුනා ගනිමින් පුවත්පත, “වර්තමාන හා හිටපු නිලධාරීන් පවසන්නේ, චීනයට මුහුනදීම සඳහා ඇති වඩාත් ආක්‍රමනකාරී විකල්පයන්ට, එජ නිරීක්ෂන ගුවන් ගමන් පුලුල් කිරීම ද තායිවාන් සමුද්‍ර සන්ධිය ද ඇතුලු චීන වෙරලට ආසන්න මතභේදයට ලක්ව තිබෙන මුහුදු ප්‍රදේශය හරහා එජ ගුවන්යානා හාරක නෞකා දියත් කිරීම ද ඇතුලත් විය යුතු බව” යයි කියා සිටියි.

යුක්‍රේනය තුල ගනන් බලා සිදුකරන ප්‍රකෝපකරනයන් රුසියාව සමග අන්තරාදායක ගැටුමක් අවුලුවා ඇතුවාසේම, ඔබාමා පාලනාධිකාරය චීනයට එරෙහිව සූදානම් කෙරෙන නව ප්‍රකෝපකරනයන්, තවත් න්‍යෂ්ටික අවි දරන එදිරිවාදියෙකු සමග යුද්ධයේ අවදානම මතු කරයි.

මානව වර්ගයා ගෝලීය ව්‍යසනයක් තුලට ඇද දැමීමට තර්ජනය කරන්නාක් සේම එජ අධිරාජ්‍යවාදය, ජන මාධ්‍යය, බුද්ධි මන්ඬල හා ශාස්ත්‍රාලිකය යුද්ධය යුක්තිසහගත කිරීමටත් මිලිටරිවාදය හුවාදැක්වීමටත් දක්කනු ලබයි. මෙය සිදුකරනු ලබන්නේ, යුද විරෝධී මහජන මතය පීලිපැන්නවීම සඳහාය.

පසුගිය 02දා වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ ප්‍රකාශයක් පල කල ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය මහාචාර්යවරයෙකු වන ඉයන් මොරිස්, යුද්ධයේ ශුභවාදී වාසි තිබෙන බව කියා සිටියි. වසර දස දහසක ගැටුම්, “සිය සාමාජිකයින් ප්‍රචන්ඩ ලෙස මිය යාමේ අවදානම බෙහෙවින් පහත හෙලා ඇති විශාල හා වඩාත් සංවිධිත සමාජයන්” නිර්මානය කර ඇත. එසේම “ඉහල ජීවන තත්වයන්ගේ හා ආර්ථික වර්ධනයක කොන්දේසි නිර්මානය කර ඇත.”

20 වන සියවස කරා හැරී ඔහු පවසන්නේ, යුද්ධ, මිනිස් ඝාතන හා ආන්ඩු දායකත්වය සැපයූ දුර්භික්ෂ මගින් මිලියන 100 සිට 200 අතර මිනිසුන් මියගොස් ඇති නමුත් එය, පොහොසත් හා සුරක්ෂිත සමාජ වෙනුවෙන් ගෙවිය යුතු මිලෙන් සුලු පංඟුවක් පමනක් වන බවය.

මොරිස්ගේ ප්‍රකාශනවල ඇති සාකල්‍යයෙන්ම ප්‍රතිගාමී ද්‍රෂ්ඨිය හුදෙක් ඉබාගාතේ යන පුද්ගලයෙකුගේ චින්තනය නොවේ. එය පිලිබිඹු කරන්නේ, රුදුරු කප්පාදු හරහා දැනටමත් කර්මාන්ත වසා දැමීම, සමාජ සේවා අහෝසි කිරීම හා මිලියන ගනන් කම්කරුවන්ගේ ජීවිත විනාශයට ඇද දමා ඇති ඇමරිකානු මූල්‍ය වංශාධිපතිත්වයේ විශාල කොටසකගේ සිතුම් පැතුම්ය.

දැන් ජාත්‍යන්තර වශයෙන් සිය ආර්ථික ආධිපත්‍ය සහතිකකර ගැනීමේ අටියෙන් එම සුපිරි ධනේශ්වරය, සමස්ත මානව වර්ගයාම න්‍යෂ්ටික ව්‍යසනයකට ඇද දැමීමේ අවදානම ගැනීමට සූදානම් වෙති. මොරිස් අනතුරු අඟවන පරිදි, සියවසකට පෙරාතුව බ්‍රිතාන්‍යයට සිතාගැනීමටවත් නොහැකිවූ මාරාන්තික අවිවලින් සමන්විත එන්ට එන්ටම අස්ථාවර ලෝකයක පොලිස්කාරයාගේ ක්‍රියාකලාපය වොෂින්ටනය විසින් ඉටු නොකරන්නේ නම්” එජ පසුගිය සියවසේ බ්‍රිතාන්‍ය මෙන්ම අභාවයට පත්වනු ඇත.

වැඩකරන ජනතාව දැවැන්ත අන්තරායන්ට මුහුනදී සිටිති. අහෝසි නොකලහොත් ධනවාදය, පසුගිය සියවස තුල දෙවතාවක් කල පරිදි ලෝකය යුද්ධය තුලට ඇද දමනු ඇත.

යුද්ධය කරා වන තල්ලුව නතර කිරීමට හැකි පෘතුවියේ සිටින එකම සමාජ බලවේගය වන්නේ, යල්පැනගිය ලාභ පද්ධතිය හා ලෝකය එකිනෙක සමග කාකොටා ගන්නා ජාතික රාජ්‍ය වලට බෙදී තිබීම අවසන් කර එය ලෝක පරිමාන සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයකින් විස්තාපනය කිරීමේ විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වෙමින් මෙහෙයවෙන කම්කරු පන්තියයි.

මැයි 04 ඉරිදා පැවැත්වෙන ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය එවන් යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීම දිසාවට තබන තීරනාත්මක පියවරකි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: