ශ්‍රී ලංකාවේ ජනාධිපති ආගමික පොලිස් ඒකකයක් පිහිටුවයි

Sri Lankan president creates religious police unit

වසන්ත රූපසිංහ විසිනි, 2014 අප්‍රේල් 30

ආගමික ප්‍රශ්න පිලිබඳ පැමිනිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට බව පවසමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ. කියා ඇති පරිදි “ආගමික ආතතීන් සමනය කිරීමට” වඩා මෙම පියවර මගින් සිදුවනු ඇත්තේ, බොදුබල සේනා (බොබසේ) වැනි බෞද්ධ අන්තවාදී කල්ලි ශක්තිමක් කිරීම, ආගමික නිකායවාදයට උඩගෙඩි දීම හා පොලිස් රාජ්‍යයක් කරා තබන පියවර සවිමත් කිරීමය.

රාජපක්ෂ මෙම තීන්දුව නිවේදනය කලේ, තෝරාගත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කතුවරුන් සමඟ 24දා පැවැති සාකච්ඡාවකදී ය. “නීතියට පටහැනි ක්‍රියාවන් වෙත යොමු වූ ආගමික කන්ඩායම් පිලිබඳ බොහෝ වාර්තා තියෙනවා. කිසිවෙකුට නීතිය අතට ගැනීමට අපට ඉඩ දෙන්න පුලුවන්කමන් නෑ….මෙය ආගමික අසමඟිය වැඩීවීම දිසාවට යොමුවිය හැකියි” ඔහු කීවේ ය. “අවනීතික ක්‍රියාවලට යොමුවී ඇති” කිසිදු කන්ඩායමක් රාජපක්ෂ නම් නොකලේ ය.

මෙම ප්‍රකාශ මුලුමනින්ම වංචනික ය. නිසැක කාරනය, පසුගිය වසර දෙක පුරාම බොබසේ වැනි ෆැසිස්ට් පන්නයේ නඩ හා එවැනි අනෙකුත් සංවිධාන වන සිහල රාවය හා රාවනා බලය වැනි කන්ඩායම්, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමික මධ්‍යස්ථානවලට එල්ල කල සිය ගනනක් ප්‍රහාරවලට සම්බන්ධ වී තිබෙන බවයි.

අප්‍රේල් මස බොබසේ මුල්වී කොලඹදී සිදුකල ප්‍රකෝපකරන දෙකක් කෙරෙහි පැතිරුන මහජන විරුද්ධත්වයත් සමඟ නව පොලිස් ඒකකය පිහිටුවනු ලැබින. තවත් බෞද්ධ කන්ඩායමක් වන ජාතික බල සේනා (ජාබසේ) විසින් කොලඹ පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකට බොබසේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හා තවත් භික්ෂූන් කීපදෙනෙකු අප්‍රේල් 9දා කඩා වැදුනේ ය.

උතුරු පලාතට මායිම්ව විල්පත්තු වනෝද්‍යානය තුල මුස්ලිම් පවුල් 73ක් නීතිවිරෝධී ලෙස පදිංචි කලේයැයි බොබසේ චෝදනාවට ලක් වූ කාර්මික හා වෙලඳ ඇමැති රිශාඩ් බදිවුදීන්ට සහය දීමට මෙම පුවත්පත් සාකච්ඡාව පැවත්වෙමින් තිබුනු බැව් ඔවුහු කියා සිටියහ. බොබසේ ඉල්ලා ඇත්තේ, දුප්පත් පවුල් මෙම ප්‍රදේශයෙන් බලාත්කාරී ලෙස ඉවත්කරන ලෙස යි.

ජාබසේ නායක වටරැක විජිත හිමිගේ සිවුර ප්‍රසිද්ධියේ ගලවා දමන බවට ඥානසාර හිමි තර්ජනය කලේ ය. ශ්‍රී ලංකාවත් බුද්ධ ශාසනයත් “නිග්‍රහයට” පත් කිරීම පිලිබඳව සමාව ගැනීමට විජිත හිමිට බලකල ඥානසාර හිමි ඔහුගේ සංවිධානය විසුරුවා හරින්නැයි නියෝග කලේ ය. පුවත්පත් සාකච්ඡාව නවතා දමන ලදි. තමන් මරාදමනු ඇතැ යි යන “බියෙන්” තමන් ඒ මොහොතේ සමාව ගත් බව පසුව විජිත හිමි පොලිසියට පැමිනිලි කලේ ය.

ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා හා ඔහුගේ නිලධාරීන් මෙම මැර ක්‍රියාව ඇසින් දුටු නමුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගත්තේ නැත. සිදුවීම වාර්තා කල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය, පොලිසිය බලා සිටියදී ඥානසාර හිමි තර්ජනය කරන අයුරු වාර්තා කලේ ය.

අප්‍රේල් 23දා, බොබසේ භික්ෂු කන්ඩායමක් සමග ඥානසාර හිමි, ඇමැති බදිවුදීන්ගේ කාර්යාලයට බලාත්කාරයෙන් ඇතුලුවී කිසිදු අවසරයකින් තොරව ඇතුලත පරීක්ෂා කිරීම ඇරඹුවේ ය. වටරැක විජිත එතුල සැඟවී සිටින බව ඔවුහු කියාසිටියෝ ය. මාධ්‍ය තුලින් පුලුල් ලෙස ප්‍රචාරයවූ මෙම දාමරික ක්‍රියාව සම්බන්ධව ද පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ආක්‍රමනිකයන් කිසිවෙකු සිරභාරයට ගත්තේ ද නැත.

බොබසේ ප්‍රකෝපකරනවලට එරෙහිව ආන්ඩුව කුමන ක්‍රියාමාර්ගයක් ගන්නේ ද යන්න පිලිබඳව ඔහුගෙන් විමසූ කල, ආතතීන් සමනය කිරීමට “ප්‍රතිමල්ල කන්ඩායම්” සමග තමන් ‍පෞද්ගලිකවම කතා කර‍න බව රාජපක්ෂ පැවසීය. ඔහු පැහැදිලිවම බොබසේ පැත්ත ගත්තේ ය.

බෞද්ධ ආගම හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නව පොලිස් ඒකකය, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අධිකාරිය යටතේ පවතින අතර පොලිස්පති වෙත සෘජුවම වාර්තා කරනු ඇත. ආගමික කන්ඩායමක අනෛතික ක්‍රියාවන් පිලිබඳව ඒකකය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කිරීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත. පොලිස් ඒකකය ආගමික කන්ඩායම් අතර මැදිහත්ව කටයුතු කරනු ඇතැයි ආන්ඩුව කියා සිටිය ද, එය තවතවත් ප්‍රකෝපකරනවල උපකරනයක් බවට පත්වෙනු ඇත.

නව පොලිස් ඒකකයේ සැබෑ අරමුන වහංගු කිරීමට කොලඹ මාධ්‍ය වෑයම් කලේ ය. මෙම තීන්දුව “සාදරයෙන් පිලිගත්” අයිලන්ඩ් පුවත්පතේ කතුවැකියක්, තවදුරටත් සඳහන් කලේ, “ආගමික ගැටුම් විසඳීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීම වැනි සුවිශේෂී පියවර ගැනීමට ජනාධිපති රාජපක්ෂ තීන්දු කර ඇත්තේ ඇයි ද යන්න වටහා ගත හැකි ය. පොලිසිය ඔවුන්ගේ රාජකාරී ඉෂ්ට කිරීමටත් බලගතු ගැටුම් අවුලුවන්නන් පිලිබඳව මධ්‍යස්ථව ක්‍රියාකිරීමටත් අසමත්ව ඇත” යනුවෙනි. මෙම “ගැටුම් අවුලුවන්නන්” රාජපක්ෂගේ හා ආන්ඩුවේ අනෙකුත් නායකයින්ගේ ආශිර්වාදය ලබන බව අයිලන්ඩ් කතුවැතිය වසං කරයි.

“මේක සිංහල බෞද්ධ රටක් ඒ වගේම මේකේ තීන්දු ගන්න ඕන සිංහල බෞද්ධයන්ට අනුකූල වන විදිහට” යැයි කියමින් බොබසේ නායක ඥානසාර පොලිස් ඒකකය වහාම පැසසුමට ලක් කලේ ය. අන්තවාදී කල්ලි කුමක් සූදානම් කරමින් සිටින්නේ ද යන්න පිලිබඳ ඉඟි කරමින් ඔහු අනතුරුව කීවේ, “පැමිනිලි දහස් ගනනින් ඉදිරිපත් වනු ඇති” බව යි.

බෞද්ධ අන්තවාදී කල්ලි විසින් බොරු පැමිනිලිවලින් පොලිස් ඒකකය පුරවනු ඇති අතර එහි ප්‍රතිපලය ලෙස ඒකකය මුස්ලිම් හා ක්‍රිස්තියානි සුලුතරයට එරෙහි නිකායික ප්‍රකෝපකරනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙනු ඇත. සිහල රාවය කල්ලිය දැනටමත් නිල පැමිනිල්ලක් ඉදිරිපත් කර ඇතයි වාර්තා වේ. මෙය පෙරලා මෙහෙයවනු ඇත්තේ, සමස්තයක් ලෙස කම්කරු පන්තියට එරෙහිව යොදාගත හැකි නව නීති සම්පාදනයට හා අනෙකුත් පොලිස්-රාජ්‍ය පියවර ඉස්මත්තට ගැනීම සඳහා ඉල්ලුම් ඉදිරිපත් වීමට ය.

රට පුරා ඔවුන්ගේ කඩා වැදීම් උත්සන්න කිරීමට රාජපක්ෂ ආන්ඩුව සිංහල-බෞද්ධ අන්තවාදී කොටස්වලට නිදහස ලබා දී ඇත. මොරටුව ඉන්ජිනේරු විශ්වවිද්‍යාලයේ මුස්ලිම් ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලය තුල බුර්කාව පැලඳීමට තහනම් ය. මේ අයුරින්ම, ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති මුස්ලිම් කාන්තාවන් හිසවැස්ම පැලඳීම තහනම් කර තිබේ. විදුහල්පතිගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගය ආරක්ෂා කරන බව බොබසේ කියා ඇත.

බොබසේ හා අනෙකුත් ස්වෝත්තමවාදී සංවිධාන දඬුවම් හෝ බාධාවකින් තොරව අඛන්ඩව කටයුතු කරගෙන යන අතරේ, රාජපක්ෂ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ ඊනියා “යලි හිස එසවීමට” එරෙහිව සිය උද්ඝෝෂනය උත්සන්න කර තිබේ. අප්‍රේල් මස මුලදී, කොලඹ ආන්ඩුව දෙමල සංවිධාන 16ක් හා පුද්ගලයින් 424ක් තහනම් කල අතර ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ දෙමල ජාතිකයන් දුසිම් ගනනක් රැඳවුම්භාරයට පත් කලේය.

ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ සො හොයුරු හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බොබසේ හා එයට සමාන අනෙකුත් කල්ලි සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම්වලින් බොහොමයක් ඉටු කිරීමට පොරොන්දු වෙයි. රාජපක්ෂට මෙම ෆැසිස්ට් කන්ඩායම් යොදා ගැනීමට අවශ්‍යව ඇත්තේ, හුදෙක් වාර්ගික ආතතීන් උත්සන්න කිරීමට පමනක් නොව, සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පෙරට එන කම්කරුවන්ට හා තරුනයින්ට එරෙහිව ය.

බොබසේ ඇමැති බදිවුදීන්ගේ අමත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදීමට පෙර දිනයේ, සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා තාවකාලිකව බඳවා ගත් දුම්රිය සේවකයින් පැවැත්වූ විරෝධතාවක් මුර්ග ලෙස මැඬපැවත්වීමට ආන්ඩුව කැරලි මර්දන පොලිසිය යෙදවීය. නව පොලිස් ඒකකය පිහිටුවීමත්, ආන්ඩුව බෞද්ධ අන්තවාදී කල්ලිවලට පිටුබලය දීමත්, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් කෙරෙහි නැගෙන කම්කරුවන්ගේ හා තරුනයින්ගේ විරුද්ධත්වය තලා දැමීමට ආන්ඩුව යොදාගනු ඇති මර්දනකාරී පිලිවෙත් පිලිබඳව කම්කරුවන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි.

Share this article: