ශ‍්‍රී ලංකාව: කාර්මික දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයට එරෙහිව යලිත් පොලිස් මැදිහත්වීමක්

සම්පත් පෙරේරා විසිනි, 2014 මැයි 17

අපේ‍්‍රල් 27දා හංවැල්ල තුන්නාන ප‍්‍රදේශයේ ජනයා අතර උද්ඝෝෂනයේ යෙදෙමින් සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) කන්ඩායමකට එරෙහිව මැදිහත් වූ පොලීසිය ඔවුන් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට ලක් කලේය.

සසප විසින් පිහිටුවන ලද වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව, හංවැල්ල රබර් ප‍්‍රඩක්ට්ස් කම්හලෙන් තුන්නාන ප‍්‍රදේශයේ ජලය හා වායුව දූෂනය වීම පිලිබඳව ද පරීක්ෂනයක් අරඹා ඇත. අපේ‍්‍රල් 27දා තුන්නානේ ජනයා හමුවීමට සසප ගියේ එම පරීක්ෂනයේ කොටසක් ලෙසය.

ජල හා වායු දූෂනයෙන් බලපෑමට ලක්වූ තුන්නාන නිවැසියන් සමග සාකච්ඡා කරමින් සිටි සසප උද්ඝෝෂකයන්ට එම සාකච්ඡා නතර කිරීමට බල කල පොලීසිය ඔවුන්ව කෙටි කාලයක් රඳවා ගත්තේ ය. ඔවුන්ව නිදහස් කරන ලද්දේ ඔවුන්ගේ ප‍්‍රකාශන හා සියලු පුද්ගලික තොරතුරු සටහන් කර ගැනීමෙන් පසුව පමනි. සසපයේ ප‍්‍රජාතාන්ත‍්‍රික හා දේශපාලනික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කරන ලද මෙම මෑත ම පොලිස් මැදිහත්වීම පක්ෂයේ සාමාජිකයන්ට හා ආධාරකරුවන්ට එරෙහිව පොලීසිය දඩයමක් සූදානම් කරමින් සිටින බවට සසප පෙබරවාරි මාසයේ කල අනතුරු ඇඟවීම සනාථ කරයි. සසප එම අනතුරු ඇඟවීම කලේ, වැලිවේරිය ජල දූෂනය පිලිබඳ සසප කම්කරු පරීක්ෂනයට එම ප‍්‍රදේශයේ මහජනයාගේ සහයෝගය වැඩෙන තතු තුල එම උද්ඝෝෂනයේ යෙදී සිටින පක්ෂ සාමාජිකයන් බියගැන්වීමේ පොලිස් කි‍්‍රයාකලාපය එලිදරව් කරමිනි.

ප‍්‍රදේශයේ ජලය හා වායුව දූෂනය පිලිබඳව හංවැල්ල රබර් ප‍්‍රඩක්ට්ස් කම්හලට චෝදනා එල්ල කරන තුන්නානේ නිවැසියෝ කම්හල වසා දමන ලෙස ඉල්ලමින් උද්ඝෝෂන ව්‍යාපාරයක හා නෛතික ක‍්‍රියාවලියක නිරතව සිටිති. ආන්ඩුව එම ජනයාට එරෙහිව පොලිස් මර්දනය දියත් කරමින් කම්හල් හිමියන්ගේ ලාභ අවශ්‍යතා රැකීමට මැදිහත් වී ඇත. මාර්තු 16 දා කම්හල ඉදිරිපිට පැවති විරෝධතා පෙලපාලියකට එරෙහිව එල්ල වූ එවන් පොලිස් ප‍්‍රහාරයකින් බොහෝ දෙනෙකුට තුවාල සිදුකොට දුසිම් ගනනක් අත්අඩංගුවට ගන්නා ලදී. පොලීසිය ප‍්‍රදේශය දින කිහිපයක් තථ්‍ය වාඩිලා ගැනීමකට ලක්කල අතර තවමත් පොලිස් ඔත්තු බලන්නෝ එහි සැරිසරති. කම්හලට ආරක්ෂාව සම්පාදනය කිරීමට එහි භූමිය තුල පොලිස් කොමාන්ඩෝ භටයන් රැඳවීමට ද ආන්ඩුව ක‍්‍රියා කොට තිබේ.

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ වෙනිග්‍රොස් කම්හල හේතුවෙන් ප‍්‍රදේශයේ භූගත ජල මූලාශ‍්‍ර දූෂනය වීමට එරෙහිව පැවති මහජන විරෝධය මධ්‍යයේ එම කම්හල වසා දැමීමට බල කෙරුනු තතු යටතේ හංවැල්ල රබර් නිෂ්පාදන කම්හල වෙතින් සිය නිෂ්පාදන ධාරිතාවන් සම්පූර්න කරගැනීමට මව් සමාගම වන ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් අපේක්ෂා කිරීම නිසා හංවැල්ල කම්හලට එරෙහි විරුද්ධත්වය මැඞීමට හා නිහඬ කිරීමට මේ සියල්ල අවශ්‍ය විය. කම්හල් දෙකම රබර් අත්වැසුම් නිපදවයි.

ආන්ඩුව කම්හලට ඇති මහජන විරුද්ධත්වය මැඞීමට එයට හැකි සියල්ල කරද්දී කුමන හෝ වියදමක් දරා ආයෝජකයන්ගේ අවශ්‍යතා රැකිය යුතු ය යන ආන්ඩුවේ පිලිවෙත සමග මුලුමනින් එකඟ වන එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු කොලඹ සංස්ථාපිතයේ දේශපාලන පක්ෂ ආන්ඩුවට නිහඬව සහයෝගය දී තිබේ. මාර්තු 16 පොලිස් ප‍්‍රහාරයට පසුව මෙම පක්ෂ එයට විරෝධය පාන බවක් කියමින් ප‍්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වූයේ බස්නාහිර පලාත් සභා මැතිවරනයේ දී යම් වාසියක් ඩැහැගැනීමේ ඉලක්කය ඇතිව ය.

ආයෝජකයන්ගේ ලාභ අවශ්‍යතාවලට මහජනයාගේ අභිලාෂයන් යටපත් කරන දේශපාලන සංස්ථාපිතයේ මෙම සියලු කොටස්වලින් ස්වාධීනව කාර්මික දූෂනයට හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත ප‍්‍රහාරයට විරුද්ධව හංවැල්ල ජනයා වෙත දේශපාලන ඉදිරිදර්ශනයක් හා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන ලද්දේ සසප පමනි.

අපේ‍්‍රල් 27දා කල උද්ඝෝෂනයේ දී සසප උනුසුම්ව පිලිගත් ප‍්‍රදේශවාසීහු කම්කරු පරීක්ෂනය ගැන උනන්දුවෙන් සාකච්ඡා කලහ. ස්වාධීන කම්කරු පරීක්ෂනයට සහාය දීම සඳහා තුන්නානේ නිවැසියෝ කිහිප දෙනෙක් ම ඉදිරිපත් වූහ. එයට ලිපිලේඛන හා වාචික සාක්ෂි මෙන් ම මූල්‍ය ආධාර ලබා දීම ඇතුලත් විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ සෙසු ලිපි ගනනාවක් සමග එදින සසප විසින් ප‍්‍රදේශයේ ජනයා අතර බෙදා හැරි, ස්වාධීන පරීක්ෂන කමිටුව නිකුත් කල ප‍්‍රකාශය තුල මෙසේ සඳහන් විය: “කරුනු දෙකක් නිසා මෙම පරීක්ෂනය අතිශය හදිසි කටයුත්තක් ලෙස මතුවී ඇත;

“පලමුවැන්න, කම්හල නිසා සිදුවන පරිසර දූෂනය ද ඉන් පැන නැග ඇති සෞඛ්‍ය ප‍්‍රශ්න ද නතර කර ගැනීමේ ක‍්‍රියා මාර්ගයක් සොයා ගත යුතු ය. සමේ රෝග හා හුස්ම ගැනීමට අපහසුතා ඇතුලු සෞඛ්‍ය ප‍්‍රශ්නවලින් තමන් පීඩා විඳින බවට ගම්වැසියෝ චෝදනා කරති.

“දෙවැන්න, මතුවී ඇති චෝදනා යටගැසීමට සමාගම ද එහි උදව්වට ආන්ඩුව, පොලිසිය හා ඇතැම් දේශපාලනඥයින් ද දරන තැත හෙලිදරව් කර පරාජය කල යුතුය.”

උද්ඝෝෂනයේ යෙදෙමින් සිටි සසප කන්ඩායම වෙත නිල ලාංඡන කිසිවක් නොමැති යතුරු පැදි දෙකකින් පැමිනි සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් භටයන් කිහිප දෙනෙක් ඔවුන්ව නවතාලූහ. වහ වහා සිවිල් ඇඳුමින් සිටි තවත් පොලිස් භටයන් එතැනට පැමිනි අතර පොලිස් ජීප් රථයකින් නිල ඇඳුම් ලාගත් නිලධාරී දෙදෙනෙක් ද එම ස්ථානයට ආහ. එදින බෙදා හැරි ප‍්‍රකාශයේ සසප නම හා ලිපිනය පැහැදිලිව මුද‍්‍රනය කර තිබුනත් උද්ඝෝෂක කන්ඩායම නියෝජනය කරන්නේ කවර සංවිධානයදැයි දැනගැනීමට අවශ්‍ය බව ඇනවූ පොලීසිය ඔවුන්ගේ අනන්‍යතා තොරතුරු එම ස්ථානයේ දී ම සටහන් කරගත්තේ ය.

එදින සසප බෙදා හැරි ලිපි ලේඛන අතරින් පොලීසිය සෘජුවම ප‍්‍රශ්න කලේ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ ප‍්‍රකාශනයේ අඩංගු කරුනු ගැනය. එමගින් පෙන්නුම් කෙරුනේ ඔවුන් එහි පිටපතක් ඒ වන විටත් ලබාගෙන තිබූ බවයි. සිවිල් ඇඳුමින් සිටි එක් පොලිස් නිලධාරියෙක් ප‍්‍රකාශනය තුල ව්‍යාජ තොරතුරු අඩංගු බවට අභූත චෝදනාවක් ද කලේ ය. ඉන්පසු ඔවුහු උද්ඝෝෂකයන්ට ප‍්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පාදුක්ක පොලීසියට පැමිනෙන ලෙස දැන්වූහ. තමන් බෙදමින් සිටි ප‍්‍රකාශනය වෙනුවෙන් පෙනී සිටි උද්ඝෝෂක කන්ඩායම දේශපාලන වැඩ කටයුතු සඳහා සසපයේ ප‍්‍රජාතාන්ත‍්‍රික හා දේශපාලනික අයිතිවාසිකම් උල්ලංඝනය නො කල යුතු යයි අවධාරනය කලේ ය. කිසිදු වැඩිදුර ප‍්‍රමාදයකින් හා බාධාවකින් තොරව තම උද්ඝෝෂනය කරගෙන යාමට තමන්ට ඉඩ දිය යුතු යයි ඔවුහු කියා සිටියහ.

කෙසේවෙතත් අසල පිහිටි වැඩිහිටි මධ්‍යස්ථානයකට අයත් ස්ථානයකට කන්ඩායම රැගෙන ගිය පොලීසිය ප‍්‍රකාශ සටහන් කරගැනීමට පොලිස් ස්ථානයේ සිට නිලධාරීන් පැමිනෙන තෙක් ඔවුන්ව එහි රඳවා ගත්තේ ය. ඔවුන් “ආන්ඩු-විරෝධී ක‍්‍රියාකාරකම්වල” නිරත වන්නේ ද “ප‍්‍රදේශවාසීන්, පොලීසිය හා කම්හල අතර ප‍්‍රශ්න තිබෙන මෙම ප‍්‍රදේශයේ ම උද්ඝෝෂනයේ යෙදෙන්නේ” මන් ද “පොලීසිය හා නිවැසියන් අතර ආරවුලක් ඇති කිරීමට උත්සාහ ගන්නේ” ද ආදී වසයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන ලදී. මෙම ස්ථානයේ දී ද නැවත වරක් ඔවුන්ගේ අනන්‍යතා තොරතුරු සටහන් කර ගන්නා ලදී.

සසප මධ්‍යස්ථානයේ නියෝජිතයෙක්, පාදුක්ක පොලීසියේ ස්ථාන භාර නිලධාරියා අමතා පොලිස් මැදිහත් වීමට විරෝධය පා උද්ඝෝෂකයන් වහා නිදහස් කල යුතු යයි ඉල්ලා සිටි විට සමහර පුද්ගලයන් ගම තුල කැලඹිලිකාරීත්වයක් නිර්මානය කරමින් සිටින බවට ගම්මුන්ගෙන් තමන්ට පැමිනිලි ලැබී ඇතැයි එම නිලධාරියා කියා සිටියේ ය. එහෙත් පොලිස් නිලධාරීන් අතර ගිය, උද්ඝෝෂක කන්ඩායමට ඇහුම් කන් දීමට හැකි වූ, සාකච්ඡාවන්ට අනුව, පොලිස් මැදිහත්වීමට මූලාශ‍්‍රය වී ඇත්තේ පොලීසියේ ම ඔත්තු බැලීම් ය.

අන් කිසිදු පක්ෂයක් තුන්නාන ප‍්‍රදේශයේ මැදිහත් නොවන තතු තුල සසප පමනක් මෙලෙස මැදිහත් වන්නේ ඇයි ද යනුවෙන් පොලිස් නිලධාරියා විමසුවේ සසප ගෙන යන උද්ඝෝෂනය ගැන ඔවුන්ගේ දැඩි වෛරය පිලිබිඹු කරමිනි. එලෙස මැදිහත්වීම සසපයේ අයිතියක් බව පක්ෂ මධ්‍යස්ථානයේ සසප නියෝජිතයා අවධාරනය කලේය.

මාර්තු මාසයේ දී ද සසප කන්ඩායමක් සිය පලාත් සභා මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස තුන්නාන ප‍්‍රදේශයේ ජනයා සමග සාකච්ඡා කරමින් සිටිය දී මැදිහත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පක්ෂයේ උද්ඝෝෂනය ගම්මුන්ව “කෝපගැන්විය” හැකි යයි කියමින් එය නතර කරන ලෙස දැනුම් දුන්හ. එම නිලධාරීහු ද තමන් ගම්මුන්ගෙන් ලැබුනු පැමිනිලි විමර්ශනය කරමින් සිටින බවක් කියා පෑහ. පොලිස් මැදිහත්වීමට විරුද්ධව ඒ අවස්ථාවේ දී ම සසප කල පැමිනිල්ලට ප‍්‍රතිචාර ලෙස මැතිවරන කොමසාරිස් කියා සිටියේ තමන්ට ඒ ගැන කිසිවක් කල නොහැකි බවයි. කෙසේවෙතත් ප‍්‍රදේශවාසීන්ට කතා කිරීමට තමන්ට ඇති අයිතිය අවධාරනය කල සසප කන්ඩායම සිය උද්ඝෝෂනයේ දිගටම නිරත විය.

සසප උද්ඝෝෂනයට එරෙහි මෑත ම පොලිස් මැදිහත්වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ පක්ෂයටත් එය දියත් කර ඇති කම්කරු පරීක්ෂනයටත් විරුද්ධව පොලිස් මර්දනය උත්සන්න කිරීමට ආන්ඩුව කි‍්‍රයාත්මක වී ඇති බවයි. වැලිවේරිය හා තුන්නාන ප‍්‍රදේශවල කාර්මික දූෂනයට ඩිප්ඩ් ප‍්‍රඩක්ට්ස් සමාගමේ ඇති සම්බන්ධතාව මෙන්ම එවන් සමාගම්වල ලාභ අවශ්‍යතා රැකීමේ ආන්ඩුවේ කි‍්‍රයාකලාපය ද පිලිබඳ සැබෑ තොරතුරු සසප ප‍්‍රයත්නය මගින් එලිදරව් වීම ගැන මෙන් ම එම තතු යටතේ සසප කෙරෙහි ප‍්‍රදේශයේ ජනයාගේ වැඩෙන සහයෝගය පිලිබඳව ද ආන්ඩුව භීතියට පත්ව ඇත. කම්හල් හිමියන්ගේ ලාභ අවශ්‍යතා රැකීමේ ආන්ඩුවේ මෙම පිලිවෙතට එරෙහිව සසප ආරක්ෂා කිරීමටත් එහි ස්වාධීන කම්කරු පරීක්ෂනයට සහාය දීමටත් ඉදිරිපත් වන ලෙස අපි හංවැල්ල ප‍්‍රදේශයේ ජනයා ඇතුලු කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. එය හදිසි අවශ්‍යතාවක් ලෙස මතුව ඇත.

Share this article: