රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමෙන් පසුව යුක්‍රේනය සිවිල් යුද්ධයට වඩාත් සමීප වේ

After new sanctions on Russia, Ukraine moves closer to civil war

බැරී ග්‍රේ විසිනි, 2014 අපේ‍්‍රල් 30

එක්සත් ජනපදය හා එහි යුරෝපීය, කැනේඩියානු හා ජපන් සහචරයින්ගේ ජී7 විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමෙන් පසුව, කියෙව්හි එජ රූකඩ ආන්ඩුවට එරෙහි නැඟෙනහිර යුක්‍රේනයේ කැරැල්ල තවත් පැතිරී යන අතර රට සිවිල් යුද්ධයක අද්දරට ඇද දමමින් මොස්කෝව හා බටහිර බලවතුන් අතර මිලිටරි ගැටුමක අන්තරාය ඉහල නංවා ඇත.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීප කොටස් වලට සම්බන්ධ සමාගම්, ඔහුට සමීප කතිපයාධිකාරීන්, හා රුසියානු නිලධරයින් ඉලක්ක කොට දන්ඩන සම්බාධක සැලසුම් එලිදැක්වූ පසුගිය අප්‍රේල් 28දා, රුසියාවට පක්ෂපාතී සටන්කරුවන් කොන්ස්ටන්ටිනොව්කා පොලිස් ස්ථානය හා නාඟරික කවුන්සලයේ ගොඩනැඟිලි අත්පත්කරගෙන, කියෙව්හි පාලන තන්ත්‍රයෙන් ස්වාධීන වීමේ ජනමත විමසුමක් ඉල්ලා සිටියේය.

එදිනම, යුක්‍රේන තන්ත්‍රයට පක්ෂ ඩොනෙට්ස්ක්හි ජාතිකවාදීන්ගේ පෙලපාලියක් ආන්ඩු විරෝධීන් විසින් නවතා දමනු ලැබූ අතර ගැටුමෙන් පසුව පුද්ගලයින් 14ක් රෝහල්ගත කරනු ලැබිනි. එදින පසුභාගයේදී හඳුනා නොගත් තුවක්කුකරුවෙක්, කාකිව්හි නඟරාධිපති ජෙනාඩි කර්නෙස්ට පසුපස සිට වෙඩිතැබූ අතර ඔහු ඊස්රායල් රෝහලකට ඇතුලත් කර අසාධ්‍ය තත්වයේ පසුවෙයි.

ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් එක් යුක්‍රේනියානු සෙබලෙකු මරනයට පත්වී තවත් අයෙක් තුවාල ලැබූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේය.

29දා, විවිධ වාර්තා අනුව 1000 සිට “දහස් ගනනක්” දෙනා, රුසියානු දේශසීමාවේ සිට කිමී 25ක් බටහිරට වන්නට සිහිටි පන් ලක්ෂයක ජනගහනයකින් යුත් ලුහාස්ක් කාර්මික නඟරයේ ප්‍රාදේශීය ආන්ඩුවේ ගොඩනැඟිල්ලකට කඩාවැදුනහ. එහි ක්‍රියාකාරිකයින් “ලුහාන්ස්ක් මහජන සමූහාන්ඩුවක් ප්‍රකාශයට පත්කොට, යාබද “ඩොනෙට්ස්ක් මහජන සමූහාන්ඩුව” තමන්ගේ ජනමත විමසුම පැවැත්වෙන බව ප්‍රකාශකල දිනයේම, එනම් මැයි 11දා, ස්වාධීනත්වය පල කරන ජනමත විමසුමක් පැවැත්වීමේ සැලසුම් නිවේදනය කලේය.

පසුව සටන්කරුවන්, ලුහාන්ස්ක්හි ප්‍රාදේශීය නිතිපති කාර්යාලය හා රූපවාහිනී මධ්‍යස්ථානය අල්ලාගත් අතර 20ක් පමන තුවක්කුකරුවෝ, ආයුධ භාරදෙන ලෙස දන්වමින් පොලිස් මූලස්ථානයට ස්වයංක්‍රීය ගිනි අවි වලින් වෙඩි තැබූහ.

එදිනම විරෝධතාකරුවෝ, තවත් නඟර පහක හා ගම්වල ඩොනෙට්ස්ක් මහජන සමූහාන්ඩුවේ ධජ එසවූහ. ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රදේශ දෙක, යුක්‍රේනයේ බෙහෙවින්ම ජනාකීර්න, ඩොන්බාස් ගල් අඟුරු බිම්වල කාර්මික මධ්‍යස්ථානයන්හි පිහිටා ඇත.

යුක්‍රේනයේ සිවිල් ගැටුම් ද තර්ක කල හැකි පරිදි, දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපය තුල හටගත් විශාලතම අර්බුදයට ද මුලුමනින්ම පාහේ වගකිව යුත්තේ, එජ හා ජර්මනියෙන් පටන්ගෙන යුරෝපය තුල සිටින එහි අනුචරයින්ය. නව සම්බාධක නිවේදනය කරමින් ඔබාමා පාලනාධිකාරය, යුක්‍රේනනයේ අර්බුදය අවසන් කිරීමට අප්‍රේල් 17දා ජනීවාහිදී ඇතිකරගත් පාර්ශව හතරේ ඒකාබද්ධ ගිවිසුම රුසියාව විසින් උල්ලංඝනය කර ඇති බවට නිල වශයෙන් චෝදනා කලේය.

මෙම චෝදනාව සලකුනු කරන්නේ, යුක්‍රේනයේ කම්කරු පන්තිය මත ජමූඅ විසින් අනවන ලද කප්පාදු වැඩසටහන පටවන බවටත්, යුරෝපීය සංඟමයට එක්වන බවටත් පොරොන්දු දුන්, අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී තන්ත්‍රයක් බලයට පත්කරමින්, රුසියාවට හිතවත් ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ ආන්ඩුව පෙරලා දැමීමේ පෙබරවාරි 22දා කුමන්ත්‍රනයට පෙර හා පසුව යුක්‍රේනය පිලිබඳව ගෙනගිය හා ගෙන යන බටහිර නිල ප්‍රචාරයේ කුහකත්වය පමනි. කුමන්ත්‍රනය මෙහෙයවූ එජ පිටුබලය ලත් නව නාසිවාදී පැරාමිලිටරි දක්ෂින නිකාය හා ෆැසිස්ට්වාදී ස්වබෝධා පක්ෂයේ නියෝජිතයෝ දැන්, කියෙව් ආන්ඩුවේ ප්‍රමුඛ තැන් අරා සිටිති.

පැරනි සෝවියට් සමූහාන්ඩුවක හා මධ්‍යධරනී මුහුදට ප්‍රවිෂ්ටයක් ඇති වර්තමානයේ මොස්කෝවේ ප්‍රධාන නාවික කඳවුර පිහිටා ඇති යුක්‍රේනය තුල, තරයේම රුසියානු විරෝධී ආන්ඩුවක් ඇටවීම කෙරෙහි රුසියාව ප්‍රතිචාර දක්වනු ඇති බව වොෂින්ටනය හොඳින්ම දැන සිටියේය. එය ගෙන ඇත්තේ, ක්‍රිමියාවේ බෙදුම්වාදී කැරැල්ලට සහාය දැක්වීම හා එම අර්ධද්වීපය රුසියානු සංඟමයට ඒකාබද්ධ කරගැනීමේ රූපාකාරයයි.

ජිනීවා රැස්වීම පැවැත්වුනේ, සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ගේ රහසිගත කියෙව් සංචාරයෙන් ඉක්බිත්තේ, විරෝධතා හා වාඩිලාගැනීම් තලා දැමීම පිනිස යුක්‍රේනියානු මිලිටරිය දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසුවය. උප ජනාධිපති ජෝසෆ් බිඩෙන්ගේ කියෙව් සංචාරය හා ඔහු පිටව යෑමෙන් පැය ගනනකට පසුව නැඟෙනහිර යුක්‍රේනයේ විරෝධතාකරුවන්ට දෙවන වරටත් එල්ල කල මිලිටරි ප්‍රහාර ඉක්මනින්ම පෙන්නුම් කලේ, එජ ගිවිසුම අත්සන් කලේ කුහක සිතින් බවය. එම ප්‍රහාර වලින් පුද්ගලයෝ අට දෙනෙක් මරුමුවට පත්වූහ.

28දා රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කල ප්‍රකාශයකට අනුව යුක්‍රේන ආන්ඩුව, වයඹදිග යුක්‍රේනය තුල සෙබලුන් 11000, යුද ටැංකි 160, සන්නද්ධ රථ 230 ද අඩුම තරමින් කාලතුවක්කු 150 හා “ගුවන් යානා විශාල සංඛ්‍යාවක්” ද යොදවා තිබේ.

ඒ අතරම එජ හා නේටෝව, පැරනි සෝවියට් සමූහාන්ඩු හා වෝසෝ ගිවිසුමට අයත් ජාතින් සමග පෙර නොවූ විරූ අන්දමේ මිලිටරි බලමුලු ගැන්වීමක් ක්‍රියාත්මක කල අතර බටහිර මිලිටරි සේනාංක රුසියාවේ බටහිර දේශසීමාව කරාම පුලුල් කෙරුනි.

පාලනාධිකාරයේ ගිනි අවුලුවන ප්‍රතිපත්තිය කෙරෙහි දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය තුලින් විසංවාදී හඬක් නැඟුනේනම් ඒ, වඩාත් ආක්‍රමනාකාරී පිලිවෙතක් නොගැනීම මත ඔබාමාට පහර දෙන අයවලුන් තුලිනි. “තවත් බාගෙට තැම්බුනු පියවර” යන ශීර්ෂය යටතේ සම්බාධක පිලිබඳ නිවේදනය පසෙකට දමමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පත 29දා කතුවැකියක් පලකොට තිබුනි.

කියෙව් තන්ත්‍රයට අවි සැපයීමේ වැඩසටහනක් පරිපාලනය විසින් නිවේදනය කල යුතු බවට රිපබ්ලිකානු දේශපාලඥයින් ගනනාවක්ම ඉල්ලුම් කර තිබුනි. බීජිනයේදී ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී හිටපු එජ රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් මෙසේ පැවසීය. “මා පුද්ගලිකව විශ්වාස කරන්නේ,” නැඟෙනහිර යුරෝපයට “වඩා වැඩි ප්‍රමානයකින් ඇමරිකානු හමුදා ගොඩබැස්සවිය යුතු බවයි.“

මාධ්‍ය වෙතින් පලවන අනවරත රුසියානු විරෝධී ප්‍රචාරනය හා ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අභිලාෂය කෙරෙහි පාලක ප්‍රභූවේ දැඩි නොතැකීම තිබියදී ද වොෂින්ටනයේ යුදවාදී ප්‍රතිපත්තිය කෙරෙහි පවතින පුලුල් මහජන විරෝධය මේ සතියේ පලවූ ජනමත විමසුම් දෙකකින් පෙන්නුම් කලේය.

යූඑස්ඒ ටුඩේ/පිව් රිසච් සෙන්ටර් මත විමසුමක් පෙන්නුම් කලේ, ඇමරිකානුවන්ගෙන් කුඩා බහුතරයක්, රුසියාවට එරෙහිව දැඩි සම්බාධක සඳහා සහාය දක්වන නමුත් යුක්‍රේන ආන්ඩුවට ආයුධ හා මිලිටරි ආධාර සැපයීම ගැන දෙකෙන් එකකටත් වැඩි (සියයට 62ට30) සංඛ්‍යාවක් විරුද්ධවී බවයි.

වොෂින්ටන් පෝස්ට්-ඒබීසී ප්‍රවෘති මත විමසුමකට අනුව, ඔබාමාට පක්ෂ ජනමත අනුපාතය මේ වසරේ මුල් මාස තුන ඇතුලත සියයට 46 සිට 41 දක්වා පහත වැටී තිබේ. එය ඔහුගේ ජනාධිපති ධුර කාලයේ පහලම අගයයි. ඔහු යුක්‍රේන අර්බුදය පිලිබඳව අනුගමනය කරන පිලිවෙත සියයට 34ක් අනුමත කරන අතර 46ක් අනුමත නොකරති.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තන්ත්‍රය ආතතීන් අඩුකර ගැනීමටත්, බටහිර සමග එකඟත්වයක් සඳහා කිසියම් පසුබිමක් සොයා ගැනීමටත් කැමැත්ත ඇඟවුම් කර ඇති නමුත් වොෂින්ටනය, එයට ප්‍රතිචාර දැක්වීමේ කිසිදු කැමැත්තක් පලකොට නැත.

පසුගිය 28දා රුසියානු ආරක්ෂක ඇමති සර්ගේ ෂොයිගු, එජ ආරක්ෂක ලේකම් චක් හේගල් සමග පැවැත්වූ දුරකථන සංවාදයකදී, සිය හමුදා නැඟෙනහිර යුක්‍රේනයේ කැරලිකාර කන්ඩායම් පිටුපස සිටින බව ප්‍රතික්ෂේප කරන මොස්කෝවේ ප්‍රකාශ පුනරුච්ඡාරනය කලේය. රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ෂොයිගු, “පුරසාරම් දෙඩීමේ හඬ බාල කරන ලෙසට” හේගල්ගෙන් ඉල්ලා ඇත.

ෂොයිගු හේගල්ට පවසා ඇත්තේ, කියෙව් ආන්ඩුව “නිරායුධ සිවිල් වැසියන්ට” එරෙහිව හමුදා බලඇනි යොදා නොගන්නා බව පැවසීමෙන් පසුව යුක්‍රේන දේශසීමාවේ රැඳී සිටි රුසියානු හමුදා සිය බැරැක්ක වෙත යලි පැමින ඇති බවයි.

නැඟෙනහිර යුක්‍රේනය ආක්‍රමනය කිරීමේ හෝ ඈඳා ගැනීමේ කිසිදු අදහසක් මොස්කෝවට නැති බව රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති රයාබ්කොව් 29දා ප්‍රකාශ කලේය. “මා අවධාරනයෙන් කියන්නේ, ඊනියා ක්‍රිමියානු වාතාවරනය වයඹ දිග යුක්‍රේනයේදී යලි ක්‍රියාවට නැඟීමේ කිසිදු අභිලාශයක් අපට ඇත්තේ නැති බවයි.” යනුවෙන් ඔහු පැවසීය.

ෂොයිගු හා හේගල් අතර පැවති දුරකථන සංවාදය පෙන්ගනය විසින් සනාථ කර තිබේ. රුසියාව විසින් යුක්‍රේනය “අස්ථාවර” කිරීම නතර කල යුතු බව කියා සිටිමින් “අඛන්ඩව සිදුවන ආක්‍රමනකාරිත්වය” පිලිබඳව හේගල් අනතුරු ඇඟවූ බව දක්වා සිටි ඔවුහු, මොස්කෝවේ සම්මුතිවාදී පිලිවෙත බැහැර කලහ.

රුසියාව සමග ගැටුමේ ඊලඟ පියවරයන් ගැන සාකච්ඡා කිරීමට ජ්‍යෙෂ්ඨ එජ හා යුරෝපා නිලධාරීන් 30දා බ්‍රසල්ස්හිදී හමුවීමට නියමිතව ඇත. යුරෝපීයයන්, මොස්කෝවට එරෙහිව වඩාත් දැඩි ආස්ථානයක් ගත යුතු යයි වොෂින්ටනය බලකරයි.

මේ සතිය අවසානයේදී ජනාධිපති ඔබාමා, ධවල මන්දිරයේදී ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හමුවනු ඇත.

Share this article: