බර්ලින් තාප්පය බිඳ වැටීමේ තැන් සිට විසිපස් වසරක ශේෂ පත‍්‍රය

Twenty five years since the fall of the Berlin Wall: A balance sheet

පීටර් ස්වාස් විසිනි , 2014 නොවැම්බර් 08

නොවැම්බර් 9දා සලකුනු කරන්නේ බර්ලින් තාප්පය බිඳ දැමීමේ විසිපස්වැනි සංවත්සරය යි. පිහිටුවා වසර හතලිහකට පසු ජර්මානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාන්ඩුවේ (ජීඩීආර් - නැගෙනහිර ජර්මනියේ) අවසානය මෙම සිද්ධියෙන් සලකුනු කෙරින.

බර්ලිනය තුල පුලුල් වශයෙන් සාංවත්සරික උත්සව පැවැත්වීමට නියමිතය. තාප්පයේ ඉතිහාසය සලකුනු කරන දීප්තිමත් බැලුන් 8,000ක් බීතෝවන්ගේ “ප‍්‍රමෝදයට ස්තෝත‍්‍ර” (Ode to Joy) ගායන මධ්‍යයේ එදින සැන්දෑවේ දී අහසට නගිනු ඇත. ඩැනියෙල් බැරන්බෝයිම් යටතේ වන බර්ලින් ඔකෙස්ට‍්‍රාව සමග එක්වෙන උඩෝ ලින්ඩන්බර්ග් හා පීටර් ගේබි‍්‍රයල් වැනි වයෝවෘද්ධ පොප් ගායකයෝ බ‍්‍රැන්ඩන්බර්ග් ද්වාරයේ දී ප‍්‍රසංගයක් ඉදිරිපත් කරති. ආර්බීබී නම් ප‍්‍රාදේශිය ගුවන් විදුලිය තාප්පයේ බිඳ වැටීම වෙනුවෙන් සම්පූර්න දවසක් ම වෙන්කර ඇත. මාධ්‍ය වාර්තාවක් සඳහන් කරන්නේ සංවත්සරය පිලිබඳ වැඩසටහන් සකස් කිරීම “1989 දී පැතිර පැවති නිමක් නැති ප‍්‍රමෝදය ප‍්‍රතිජීවනය කිරීම හා ඒ කාලයේ ජනතාවගේ හැඟීම් තුලට පිවිසීමට දරන උත්සාහයක්” බව යි.

ජර්මානු ජනාධිපති ජෝකිම් ගෝක් “සාමකාමී විප්ලවයේ විසිපස් වසරක්” නම් මාතෘකාව මත ඔක්තෝබර් 9දා ලිප්සිග්හි පැවති උත්සවයකයට මේ වන විටත් සහභාගී වී ඇත. එහි දී ඔහු, වසර විසිපහකට පෙර හටගත් නැගෙනහිර ජර්මානු තන්ත‍්‍රයට එරෙහි විරෝධය, 18වැනි සියවසේ ඇමරිකාවේ හා ප‍්‍රන්සයේ මහා විප්ලවවලට හා “1848 ජර්මානු නිදහස් ව්‍යාපාරයට” සමාන කලේ ය.

“භීතියට වඩා නිදහස සඳහා ඔවුන්ගේ කැමැත්ත බලවත් වූ හෙයින් දසදහස් ගනනක් පීඩිතයෝ තම බිය ජය ගත්හ” යි ගෝක් ප‍්‍රකාශ කලේ ය. “නිර්භීත පුද්ගලයන් කීප දෙනෙකු පටන්ගත් ක‍්‍රියාව ජනතාවගේ ව්‍යාපාරයක් වූ අතර එය අනුක‍්‍රමයෙන් සාමකාමී විප්ලවයක් දක්වා වර්ධනය විය.”

නැගෙනහිර ජර්මනියේ අවසානය ලිබරල් (නිදහස සඳහා) විප්ලවයක් ලෙස නැවත වාත්තු කිරීමේ උත්සාහය හා බර්ලින් තාප්පයේ වැටීම සලකුනු කල ප‍්‍රමුදිත වාතාවරය යලි කැඳවීමට එක් ඉලක්කයක් ඇත. එනම් ජර්මානු යලි එක්සත් කිරීම පිලිබඳ මැදහත් ශේෂපත‍්‍රයක් සකස් කිරීම හා 1989 සරත් සමයේ දී සැබවින් ම සිදුවූයේ කුමක් දැ යි සලකා බැලීම වලකාලීම යි.

වර්තමානය වඩා අඳුරු වෙත්ම, සමාජ විසිරීම වඩා වර්ධනය වෙත්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතයන්ගේ පරිහානිය වඩා ප‍්‍රකට වෙත්ම, මිලිටරිවාදයේ ආපසු පැමිනීම වඩා කර්කශ වෙත්ම, නැගෙනහිර ධනේශ්වර පුනස්ථාපනය වඩා දීප්තිමත් වෙත්ම හා ජර්මනිය යලි එක්සත් කිරීම “නිදහස් විප්ලවයේ” ආලෝකය තුල දීප්තිමත් පත් කල යුතු ය.

සමාජ ප‍්‍රතිවිප්ලවය

සමාජ ආස්ථානයෙන් ගත් විට, නැගෙනහිර ජර්මනියේ අවසානය විප්ලවයක් නො ව ප‍්‍රතිවිප්ලවයකි. ධනනවාදයේ පුනස්ථාපනය සමග අත්වැල් බැඳගෙන විරැකියාව, පන්ති සූරාකෑම, සමාජ අසමානතාව හා උග‍්‍ර දරිද්‍රතාව නැගෙනහිර ජර්මනියට යලි පැමිනියේ ය.

පූර්න රැකියා හා සමාජ සුරක්ෂනය සහතික කෙරුනු නැගෙනහිර ජර්මනියේ ඉතා දියුනු කර්මාන්ත සැබවින්ම බිමට සමතලා කෙරුනි. රජයට අයත් කර්මාන්ත පුද්ගලීකරනයේ වගකීම පැවරුනු Treuhandanstalt නම් භාරකාර ඒජන්සිය ජනසතු කර තිබූ ව්‍යාපාර 14,000ක් විනාස කලේ ය. සමහර ඒවා විකුනා දැමුනි: බොහෝ කොටසක් වසා දැමුනි. වසර තුනක් ඇතුලත සියලු කම්කරුවන්ගෙන් සියයට 71ට නව රැකියා සෙවීමට හෝ රැකියා විරහිතව සිටීමට බල කෙරුනි. අද නැගෙනහිර ජර්මනියේ නිෂ්පාදන රැකියා සංඛ්‍යාව 1989 සංඛ්‍යාවෙන් යන්තම් හතරෙන් එකක් පමනි.

මෙහි ප‍්‍රතිඵලය වූයේ වයෝවෘද්ධ පුද්ගලයන්ගේ වැඩි කොටස ඉතුරු කරමින් මුලු කලාපයේ ම ජනහායනය යි. 1989දී නැගෙනහිර ජර්මනියෙහි ජීවත්වුන සංඛ්‍යාව පුද්ලයන් මිලියන 16.7කි. 2006 වන විට පැරනි නැගෙනහිර ජර්මනියේ ජීවත්වන සංඛ්‍යාව මිලියන 14.6 දක්වා වැටුනි. එය සියයට 13ක අඩුවීමකි. රට හැර ගියවුන්ගෙන් සියයට 60ට වඩා අවුරුදු 30ට අඩු අය වීම හා උපත් සංඛ්‍යාව නාටකාකාරව පහත යාම නිසා ජනගහනයේ සාමාන්‍ය වයස් මට්ටම තියුනු ලෙස වැඩි වී ඇත.

නැගෙනහිර ජර්මනියේ හොඳින් සංවර්ධනය කර තිබුනු අධ්‍යාපන හා සමාජ ශුභසාධන පද්ධතිය - එමෙන් ම එහි සංස්කෘතික ආයතනයන්ගේ පැතිරුනු ජාලය - විනාස කෙරුනි. මිලියන 4ක ජනගහනයක් ඇති සැක්සනි ප‍්‍රාන්තයේ පමනක්, 1989 සිට පාසල් 1000ට වඩා වසා දමා ඇත.

මෙය හුදෙක් පරිවර්තනයක් හා ගැලපීමේ ක‍්‍රියාදාමයකි යන ප‍්‍රකාශය හාර්ට්ස් නීති [ජර්මානු ශ‍්‍රම වෙලඳපොල ප‍්‍රතිසංස්කරන නීති- පරි] හා 2008 මූල්‍ය අර්බුදයේ බලපෑම යටතේ පටවන ලද ශුභසාධන “ප‍්‍රතිසංස්කරන” මගින් පුපුරුවා හැර තිබේ.

ජර්මනිය එක්සත් කිරීමෙන් වසර 25කට පසු පවා නැගෙනහිර හා බටහිර ජර්මනියේ ජීවන තත්වයන් පුලුල් ලෙස එකිනෙකට වෙනස් ය. 2013දී, නැගෙනහිර ජර්මනියේ කම්කරුවකුගේ සාමාන්‍ය දල ආදායම බටහිරට වඩා සියයට 25කින් පහල ය. යුරෝ 67,00ක් වන නැගෙනහිර කුටුම්භයක සාමාන්‍ය වත්කම යුරෝ 153,000ක් වන බටහිර ආදායමෙන් අඩකි.

කිසියම් ගැලපීමක් සිදුව තිබේ නම් ඒ, බටහිර වැටුප් නැගෙනහිර වැටුප් මට්ටම් දක්වා පහල දැමීමේ රූපාකාරයෙනි. ෆෙඩරල් සංඛ්‍යාලේඛන කාර්යාලයේ දත්තවලට අනුව 2013 ජර්මනියේ සාමාන්‍ය මූර්ත වැටුප් 1995 මට්ටමට වඩා පහල ය. පහත් ආදායම්ලාභීන්ගේ පැයක වැටුප 1995 සිට සැබෑ අගයෙන් තක්සේරුකල විට සියයට 20න් පමන පහත වැටී ඇත. ඊට වෙනස් ව, ඉහල ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.

රාජ්‍යයේ මර්දනකාරී බලය

බර්ලින් තාප්පය වැටීමෙන් පසු, ස්ටැලින්වාදී ජර්මානු සමාජවාදී එක්සත් පක්ෂයේ හා නැගෙනහිර ජර්මානු රහස් පොලිසියේ (ස්ටාසි* ඒකාධිපතිත්වය, ඒ වෙනුවෙන් ගෙවීම් ලබන දේශපාලඥයින්, පාලිත මාධ්‍ය හා දක්ෂිනාංශික ඔත්තු සේවා ඒජන්සි සමග බැංකු හා සංගතවල ඒකාධිපතිත්වය මගින් විස්ථාපනය කරන ලදී.

ආපසු හැරී බලන විට, අකටයතු හෙලිකරන්නා වන එඩ්වඩ් ස්නෝඩන් විසින් හෙලිදරව් කරන ලද ඇමරිකානු ජාතික ආරක්ෂ ඒජන්සියේ හා එහි ජර්මානු සහචරයින්ගේ දැවන්ත සෝදිසි කිරීමේ ජාල හා සසඳන විට පැරනි නැගෙනහිර ජර්මනියේ රාජ්‍ය ආරක්ෂක සංවිධාන ඇමරිකානු වාග් ව්‍යවහාරයට අනුව ප‍්‍රාදේශීය බේස්බෝල ලීගයක් බඳු විය. බර්ලිනයේ චෝසවීදියේ අලුතින් ඉදිකෙරුනු විදේශ ඔත්තුසේවා ඒජන්සියේ මූලස්ථානයට යාබද නෝමන් වීදියේ පැරනි ස්ටාසි [රාජ්‍ය ආරක්ෂක සේවා – පරි] මූලස්ථානය පෙනෙන්නේ අතිශය සාමන්‍ය ලෙස ය.

ස්ටාසි වෙනුවට පිහිට වූ රහස් සේවා කාර්යාලය දක්ෂිනාංශික අන්තවාදීන් සඳහා අභිජනන මධ්‍යස්ථානයක් බව ඔප්පු කර ඇත. 2003දී උපරිමාධිකරනය අන්ත දක්ෂිනාංශික ජර්මානු ජාතික පක්ෂය (එන්පීඩී) තහනම් කිරීම ප‍්‍රතික්ෂේප කලේ, පක්ෂ ක‍්‍රියාකාරීන් හත්දෙනෙකුගෙන් එකෙක් ඔත්තු සේවා පඩි ලැයිස්තුවේ සිටි බැවින් විනිශ්චයකාරයන්ට අනුව, සංවිධානය “රාජ්‍ය කටයුත්තක්” බවට පත් කරමිනි. තුරින්ගියා රාජ්‍ය ඔත්තු සේවාව, යුරෝ ලක්ෂ ගනනකින්, ෆැසිස්ට් හා ත‍්‍රස්තවාදී ජාතික සමාජවාදී රහස් (එන්එස්යූ) කන්ඩායම් මතුව ආ ප‍්‍රාදේශිය අන්ත දක්ෂිනාංශික සමාජ වාතාවරනය ඔසවා තැබීම පිනිස අරමුදල් සැපයී ය.

ඉරිදා සමරනු ලබන බර්ලින් තාප්පය යුරෝපයේ බාහිර දේශසීමාව ඔස්සේ අලුතින් මතු වී ඇත. 1961 සිට 1989 දක්වා බර්ලින් තාප්පය හරහා යාමට උත්සාහ කිරීමේ දී මියගිය 100 සිට 150 දක්වා සංඛ්‍යාව, 1990 සිට යුරෝපයේ සරන පතා මධ්‍යධරනී මුහුද තරනය කිරීමට උත්සාහ කිරීමේ දී මියගිය 25,000 දෙනා සමග සසඳන කල යන්තම් ඇබිත්තකි.

දීර්ග කාලයක් තිස්සේ අත නො තැබිය හැකි යැයි සලකන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දැන් ප‍්‍රහාරයට ලක් වේ. අනුස්මරන උත්සවයට දින දෙකකට පෙර, ජර්මන් ආන්ඩුවේ සහාය ඇතිව ඩොයිෂ් බාන් ඒජී නම් දුම්රිය සමාගම, දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය තහනම් කිරීමට හා ඇත්ත වශයෙන් ම වැඩවර්ජනය කිරීමේ අයිතිය අහෝසි කිරීමට උත්සාහ ගත්තේ ය. ආන්ඩුව විසින් දැනට සූදානම් කරමින් පවතින එක්සත් සාකච්ඡා නීතිය, කලෙක නැගෙනහිර ජර්මනියේ ස්ටැලින්වාදී කම්කරු ෆෙඩරේෂනය වන එෆ්ඩීජීබී භුක්තිවිඳි ආකාරයට සමාන ඒකාධිකාරයක් ජර්මානු වෘත්තීය සමිති සම්මේලනයට (ඩීජීබී) ලබා දෙයි. ඩීජීබී ආශීර්වාදය නො ලබන ඕනෑම කාර්මික පියවරක් නව නීතිය යටතේ නීති විරෝධී වනු ඇත.

1989දී බොහෝ පෙලපාලිකරුවන් ඉල්ලා සිටි “නිදහස් මැතිවරන,” පවා වංචාවක් බවට හැරී ඇත. අපේක්ෂකයින්ගේ තනි “එක්සත් ලැයිස්තුවක්” ඉදිරිපත් කරනවා වෙනුවට නැවත එක්සත් කල ජර්මනියේ කම්කරුවන්ට සියලු අතිමූලික ප‍්‍රශ්න මත එකඟවන නොයෙකුත් පක්ෂ හා අපේක්ෂකයින් අතරින් තෝරා ගැනීමට බල කෙරෙති. ඒවායේ ප‍්‍රතිපත්ති තීන්දු කරනු ලබන්නේ ජර්මන් මහා ව්‍යාපාරවල ඉල්ලීම් හා උත්සුකයන් මගිනි. එහි ප‍්‍රතිඵලයක් හැටියට නැගෙනහිර ප‍්‍රාන්තවල සහභාගිත්වය, සියයට 50කින් එනම් ඓතිහාසික පහත් මට්ටමකට වැටී ඇත.

මිලටරිවාදයේ පුනරාගමනය

ධනේශ්වර යලි එක්සත් කිරීමේ ඉතාමත් විනාසකාරී ප‍්‍රතිවිපාකය නම් ජර්මානු මිලිටරිවාදයේ ආපසු පැමිනීම යි. නිර්ලජ්ජිත ලෙස ජර්මානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් කථා කරන හරිත පක්ෂ නායක හා හිටපු විදේශ ඇමති ජොෂ්කා ෆිෂර් ඔහුගේ අලුත් පොත තුල සඳහන් කලේ, යලි එක්සත් කිරීමෙන් දශක දෙකකට පසු ජර්මනිය “ජර්මනියේ මධ්‍යම තත්වයේ පැරනි පරස්පරවිරෝධයන්” තුල හිර වී පවතින බව යි. “ජර්මනිය බොහෝ විශාල මෙන් ම යුරෝපය සඳහා ප‍්‍රමානයට වඩා විශාල වන අතර ලෝකය සඳහා ඕනෑවට වඩා කුඩා ය” යි ඔහු විස්තර කලේ ය.

1914දී හා 1939දී ජර්මනිය මෙම පරස්පර විරෝධය විසඳීමට උත්සාහ ගත්තේ යුරෝපය ජය ගනිමින් ලෝක බලවතෙක් බවට පත් වීමට ය. ප‍්‍රධාන තෙරපුම නැගෙනහිරට, එනම් රුසියාව මර්දනය කිරීම දෙසට යොමුව තිබුනි. දැන් ජර්මනියේ පාලක ප‍්‍රභූව නැවතත් මෙම මාවත ම අනුගමනය කරති.

මාධ්‍යය හා සියලු නිල දේශපාලන පක්ෂවල සහාය ඇති, ජර්මානු ජනාධිපති හා ආන්ඩුව, “මිලිටරි තහනම් සීමාවේ අවසානය” නිවේදනය කරති. දෙවැනි ලෝක යුද්ධය තුල නාසින්ගේ යුකේ‍්‍රනියානු හවුල්කරුවන්ගෙන් පැවත එන්නන් සමග යුකේ‍්‍රනයේ දී, ජර්මානු හා ඇමරිකානු ආන්ඩුව යුරෝපා සංගමයට පක්ෂපාතී ආන්ඩුවක් බලයට ගෙන ඒමට කුමන්ත‍්‍රනයක් ඇටවූහ. රුසියාවට එරෙහිව යුද ගිනි ඇවිලවීම උත්සන්න කෙරෙමින් පවතී. නේටෝව හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් තව දුරටත් න්‍යායික උපකල්පිතයක් නො ව සැබෑ ම අනතුරකි. මැද පෙරදිග දී, කුර්දි පෙස්මෙගා සංවිධානය සන්නද්ධ කිරීම සමග ජර්මානු ආන්ඩුව කලාපයේ ඊ ලඟ ප‍්‍රචන්ඩ යලි බෙදීම තුල ක‍්‍රියාකාරීව මැදිහත්වීමේ සිය අධිෂ්ඨානය සංඥා කලේ ය.

1989 සිදුවූයේ කුමක් ද?

1989දී නැගෙනහිර ජර්මනියේ අවසානය සනිටුහන් කල පෙලපාලි නිදහස් විප්ලවයක ප‍්‍රකාශනය නො වේ. ඒවා ඓතිහාසිකව දකිනු ඇත්තේ, පැවති තන්ත‍්‍රය කෙරේ බලාපොරොත්තු රහිත හා අසන්තෘප්තියේ පොදු හැඟීමක් සමග, ශඛ්‍ය ඉදිරිදර්ශනයකින් තොර වීම නිසා, ආවෘත අන්තරයකට දේශපාලනිකව මෙහෙය වන ලද්දාවූ ද අවමංගත කෙරුනා වූ ද ව්‍යාපාරයක්, පිලිබඳ සම්භාව්‍ය උදාහරනයක් ලෙස ය.

නිල මිත්‍යාවන්ට වෙනස් ව, සෝවියට් සංගමය, නැගෙනහිර යුරෝපය හා නැගෙනහිර ජර්මනිය තුල ධනවාදය පුනස්ථාපනයට මූල පුරන ලද්දේ, පාලක ස්ටැලින්වාදී නිලධරය ම ය. මෙම වරප‍්‍රසාදිත පැලැන්තිය සතුව, 1920 ගනන්වල මර්දනය කිරීම හා කායිකව මාක්ස්වාදී විරුද්ධ පාර්ශ්වය දියකර හැරීම මගින් අවසානයේදී සෝවියට් කම්කරු පන්තියෙන් පැහරගත් දේශපාලන බලය තිබුනි.

එය තම පාලනය පදනම් කලේ 1917 ඔක්තෝබර් විප්ලවය මගින් නිර්මානය කරන ලද දේපල සම්බන්ධතාවන් මත ය. එහෙත් එය එසේ කලේ, සිය සත්කාරකයා උරාබී අවසානයේදී ඔහු විනාස කරන පරපුට්ටෙකු ලෙස ය. කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මර්දනය කිරීම මගින් ස්ටැලින්වාදී තන්ත‍්‍රය සමාජවාදී දේපල සම්බන්ධතාවන්ගේ නිර්මානාත්මක විභවතාව මරා දැමී ය.

ජාත්‍යන්තර වේදිකාවේ දී, ක්‍රෙම්ලිනය හා එහි ගැත්තර කොමියුනිස්ට් පක්ෂ සෑම ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක ම ගෙල මිරිකා දැමූහ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ස්ටැලින්වාදී නිලධරය සේවය කලේ දිගට ම ධනේශ්වර ආධිපත්‍යය ගෝලීය පරිමානව තහවුරු කල සංස්ථාපිතයේ වැදගත් කුලුනක් ලෙස ය. බටහිර සහචරයන්ගේ උපදේශනය සමගින් ස්ටැලින් ඔහුගේ තන්ත‍්‍රයේ බලපෑම නැගෙනහිර යුරෝපයට ව්‍යාප්ත කලේ ය. ස්ටැලින්වාදීහු නැගෙනහිර ජර්මනියේ, පෝලන්තයේ, හන්ගේරියාවේ, රුමේනියාවේ හා අනෙකුත් නැගෙනහිර භූමි භාගයේ රටවල ධනේශ්වර දේපල අස්වාමික කල නමුත්, ඔවුන් 1953 ජූනි 17දා නැගෙනහිර ජර්මානු කම්කරුවන්ගේ නැගිටීම කුඩු කර දැමූ ආකාරයට ම කම්කරු පන්තියේ සෑම ස්වාධීන ව්‍යාපාරයක් ම මර්දනය කලහ.

මෙම තත්වයන්ට සැමදා පැවතිය නො හැකි විය. ස්ටැලින්වාදයේ ප‍්‍රමුඛ විරුද්ධවාදියා වූ මාක්ස්වාදියා ලියොන් ට්‍රොට්ස්කි මෙය පූර්වාපේක්ෂා කලේ ය. 1938දී, හතරවැනි ජාත්‍යන්තරයේ පදනම් ක‍්‍රියාමාර්ගය තුල ඔහු මෙසේ සඳහන් කලේ ය: “එක්කෝ නිලධරය කම්කරු රාජ්‍ය තුල ලෝක ධනේශ්වරයේ උපකරනයක් වෙමින් නව දේපල රූපාකාරයන් පෙරලා දමා රට ආපසු ධනවාදයට ඇද දමනු ඇත, නැතිනම් කම්කරු පන්තිය නිලධරය කුඩු කර දමා සමාජවාදයට මාවත විවෘත කරනු ඇත.”

1980 ගනන්වල ධනේශ්වර නිෂ්පාදනයේ ගෝලීයකරනය ස්ටැලින්වාදී රටවල ස්වංපෝෂිත ජාතික ආර්ථිකයන් අර්බුදයකට ඇද දැමී ය. ට්‍රොට්ස්කි පුරෝකතනය කර තිබූ පරිදි ස්ටැලින්වාදී නිලධරය ප‍්‍රතිචාර දැක්වූයේ, ධනේශ්වර දේපල සම්බන්ධතාවන් හඳුන්වාදීම මගින් වරප‍්‍රසාද සඳහා නව පදනමක් නිර්මානය කිරීමට උත්සාහ ගනිමිනි. 1985දී මීහයිල් ගොර්බචේව් සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි ප‍්‍රධාන ලේකම් ලෙස පත්කිරීමේ වැදගත්කම පැවතියේ මෙහිය.

සමාජවාදී එක්සත් පක්ෂයේ (එස්ඊඩී) ප‍්‍රධාන ලේකම් එරික් හොනකර් ගොර්බචේව් අනුකරනය කිරීමට මැලිවිය. එහෙත් එස්ඊඩී නායකත්වයේ බහුතරය බොහෝ කලක සිට ධනේශ්වර මාවත හා යලි එක්සත්වීම තෝරා ගෙන තිබුනි. තාප්පය වැටීමට සති තුනකට පෙර එස්ඊඩී මධ්‍යම කාරක සභාව හොනෙකර් පලවා හැර ඔහු වෙනුවට එගෝන් ක්‍රෙන්ස් හා පසුව හෑන්ස් මොඩ්‍රෝව් පත්කලේ ය.

අවසන් එස්ඊඩී අගමැති ලෙස මොඩ්‍රෝව් නැගෙනහිර ජර්මනියේ ඉරනමට මුද්‍රා තැබූ අතර ඔහු මෙසේ මතක් කලේ ය: “මගේ දැකීම අනුව, යලි එක්සත් කිරීමේ මාවත අත්‍යන්තයෙන් ම අවශ්‍ය වූ අතර අධිෂ්ඨාන සහගතව ක‍්‍රියාත්මක කල යුතුව තිබුනි.” වසර ගනනාවක් නැගෙනහිර ජර්මනියේ ආර්ථිකයට වගකිව යුතු වූ ගූන්ටර් මිටාග්, ඩර් ස්පීගල් පත‍්‍රයට විශ්වාසයෙන් යුතු ව පැවසුවේ, “සෑම අවස්ථාවක් ම නාස්ති කර ඇති බව” 1987දීම වටහා ගැනීමට ඔහු සමත් ව සිටි බව යි.

1989දී රටපුරා පැතිරුනු පෙලපාලි විවෘත දොරකින් ඉදිරියට ඇදුනි. බටහිර බාරකරුවන්ට මෙය පැහදිලි විය. “හදිසියේ ම වාගේ ශුද්ධ උද්යෝගයක් ලිප්සිග් චතුරශ‍්‍රයට කඩාවැදී ලෝකය වෙනස් කර තිබූ විට පියවරක් ගැනීම සපුරා ම වැරදි” බව ජර්මානු චාන්ස්ලර් හෙල්මුට් කෝල් 2001දී ඔහුගේ චරිතාපදාන රචක හෙරිබර්ට් ෂ්වාන්ට විශ්වාසයෙන් යුතු ව පැවසී ය.

අදහස පැමිනියේ නැගෙනහිර ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ “තියර්ස්ගේ වැඩිහිටි අධ්‍යාපන මොලයෙනි” යි ඔහු පැවසී ය. සැබවින් ම තීරනය ගැනුනේ මොස්කව් හි දී ය. “ගොර්බචේව් පොත් පරීක්ෂා කල අතර ඔහුට තන්ත‍්‍රය රැකිය නො හැකි බව පිලිගැනීමට සිදුවි ය.”

මෙම කාල පරිච්ඡේදයේ හතු පිපෙන්නාක් මෙන් පැන නැගුනු සිවිල් හිමිකම් ව්‍යාපාර ධනේශ්වර පුනස්ථාපනයේ ඉලක්කය මත ස්ටැලින්වාදී නිලධරය සමග එකඟ වූහ. ඒවා එස්ඊඩීය සමග “වට මේස සාකච්ඡාවලට” වාඩි වූ අතර අවසානයේ දී ජර්මනිය යලි එක්සත් කිරීම සූදානම් කිරීමට මොඩ්‍රෝව්ගේ ආන්ඩුවට එක්වූහ.

ඔවුන්ගේ නායකයින් ප‍්‍රධාන වශයෙන් ම බඳවා ගැනුනේ මධ්‍යම පන්තියෙනි. ඔවුන්ගේ කතිකයන් වූයේ දේව ගැතිවරු, නීතිඥයින් හා කලාකරුවන් ය. ඔවුන් නැගෙනහිර ජර්මනිය පිලිබඳව කරදරයට පත්වූයේ කම්කරු පන්තිය දේශපාලනිකව මර්දනය කල නිසා නොව, බටහිර ඔවුන්ගේ සමානයන්ගේ වැනි ආකර්ෂනීය වෘත්තීය අවස්ථා විරල වීමේ කාරනය නිසා ය. වර්තමාන චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් හා ජානාධිපති ගෝක් ඔවුන්ගේ දේශපාලන ජීවිත ඇරඹුවේ නැගෙනහිර ජර්මනියෙනි.

1989 සරත් ඍතුවේදී නිදහස් මැතිවරනයක් ඉල්ලූ හා “මහජනතාව අපි යි” හඬ නැගූ පෙලපාලිකරුවෝ මෙම සම්බන්ධතාවන් තේරුම් නොගත්තෝ ය. ඔවුන් සිය ක්‍රෝධය ප‍්‍රකාශ කලේ පාලක නිලධරයට ය. බටහිරට සංක‍්‍රමනය වීමක් ලෙස ඇරඹී තිබූ ව්‍යාපාරය සමාජමය වශයෙන් නන්වැදෑරුම් වූ නමුත් දේශපාලනිකව ව්‍යාකූල එකකි. එයට පැහදිලිව අර්ථ දැක්වූ අරමුනක් හෝ එය මුහුන දුන් සමාජ බලවේගයන් පිලිබඳව වැටහීමක් නො වීය.

මෙම හේතුව නිසා එය පහසුවෙන් ම අවමංගත කල හැකි විය. සමාජවාදී සමානතා පක්ෂයේ (ජර්මන්) පූර්වගාමී සමාජවාදී කම්කරු ලීගයේ ඉදිරිදර්ශනය අවුරුදු 25කට පෙර මෙම වර්ධනය පෙරදැක තිබූ එකම පක්ෂය යි. පසුව ජර්මානු ප‍්‍රජාතන්ත‍්‍ර සමූහාන්ඩුවේ අවසානය (The End of the GDR) නමින් පොතක් ලෙස ප‍්‍රකාශයට පත්කල අති විශාල ප‍්‍රකාශන, ලියවිලි හා අත්පත‍්‍රිකා තුල අපි ධනේශ්වර පුනස්ථාපනයේ විනාසකාරී සමාජ ප‍්‍රතිවිපාක පිලිබඳව අනතුරු ඇඟවූවෙමු.

අපි ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනය ද පුරෝකතනය කලෙමු. අප 1990 සමාජවාදී කම්කරු ලීගයේ ප‍්‍රකාශනයක ප‍්‍රකාශ කල පරිදි “ජර්මානු අධිරාජ්‍යවාදය සාමාකාමී ලෙස, උදාහරන වශයෙන් හුදෙක් ආර්ථික වශයෙන්, ව්‍යාප්තවීමේ හැකියාව වඩ වඩාත් ඈත් වෙමින් තිබෙන බව වටහාගෙන තිබුනි. මෙය අනිවාර්යයෙන්ම මෙහෙයවෙනු ඇත්තේ ජර්මානු ව්‍යාප්ත ප‍්‍රතිපත්තියේ සම්ප‍්‍රදායානුකූල මාධ්‍යය, එනම් මිලිටරිවාදය පුනර්කරනයට ය.”

ධනවාදී පුනස්ථාපනය නතර කිරීමට සමාජවාදී කම්කරු ලීගයට (බුන්ඩ්සෝශලිස්ට් ආබයිටර්) නැගෙනහිර ජර්මනිය තුල ප‍්‍රමානවත් දේශපාලනික බලපෑමක් නො තිබුනි. ස්ටැලින්වාදී එස්ඊඩී තන්ත‍්‍රය දශක ගනනාවක් තිස්සේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කුරිරු ලෙස මර්දනය කර තිබුනු අතර ස්ටැලින්වාදය පිලිබඳ මාක්ස්වාදී විවේචන තහනම් කලේ ය. ඔවුන් සිදු කල මහා අපරාධය එය මිස, ධනේශ්වර ලාභගරන්නන්ගේ, සමපේක්ෂකයින්ගේ හා සුලුධනේශ්වර වෘත්තිකයින්ගේ “නිදහස” සීමා කිරීම තුල නොවේ.

1989දී නැගෙනහිර ජර්මනියේ කම්කරුවන් තිගැස්මට පත් කෙරුනි. ස්ටැලින්වාදී මුසාවන් මගින් ඔවුන්ගේ ම ඉතිහාසයෙන් වෙන් කෙරුනි. දේශපාලන අදහස් හුවමාරුවෙන් හා නිදහසේ සංවිධානය වීමෙන් වලකන ලදී. ධනවාදයට විරුද්ධවීමට අවශ්‍ය වූ දේශපාලන අවබෝධය හා ක‍්‍රියාමාර්ගික පැහැදිලිකම ඔවුන්ට නො තිබුනි. එම කාලයේ පැවති ගැටලු කිසිවක් විසඳී නොමැත. ලෝකය පුරා අද කම්කරුවන් මුහුන දෙන්නේ ආදායම් පහත වැටීමට, විරැකියාවට, ශුභසාධන කප්පාදුවට, වඩ වඩා රාජ්‍ය මර්දනයට හා යුද තර්ජනයට ය.

පසු ගිය විසිපස් වසරේ ශේෂපත‍්‍රය හා 1989 සිදුවීම් ද නැගෙනහිර ජර්මනියේ ස්වභාවය හා ස්ටැලින්වාදයේ කාර්යභාරය ද අවබෝධ කර ගැනීම අද ධනේශ්වර ප‍්‍රතිගාමිත්වයට එරෙහි අරගලය ගෙන යාම සඳහා වැදගත් පූර්වාවශ්‍යතාවන් ය.

Share this article: