ජාතික හෙල උරුමය ප‍්‍රතිගාමී ව්‍යවස්ථා සංශෝධන යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 නොවැම්බර් 03

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙල උරුමය (ජාහෙඋ) ඔක්තෝබර් දහනව වෙනිදා පැවති එහි 11 වන වාර්ෂික සම්මේලනයේ දී අනුමත කරගත් ව්‍යවස්ථා සංශෝධන යෝජනා මාලාවක් 19 ව්‍යවස්ථා සංශෝධනය නමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කර ඇත. එම යෝජනා එලැඹෙන ජනාධිපතිවරනයට පෙර ක‍්‍රියාවට දැමීමට ආන්ඩුව අපොහොසත් වුවහොත් තමන් ආන්ඩුවෙන් ඉවත් වී ආන්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා පරාජය කිරීම සඳහා කල හැකි හැම දෙයක් ම කරන බව හෙල උරුමය “තර්ජනාත්මක” ස්වරයෙන් පවසයි.

තමාට එල්ල වන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් කම්කරු පීඩිත මහජනතාව තුල රාජපක්ෂ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති දේශපාලන සංස්ථාපිතයට එරෙහිව වැඩෙන විරෝධයෙහි දවටා ඉදිරිපත්කොට ඇති මෙම යෝජනාවලට වලංගුතාවක් ලබා දීම සඳහා මාධ්‍ය මගින් සුවිසල් ප‍්‍රයත්නයක් දැරේ. එනමුදු, එහි අරමුන රට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හෝ මහජන සුභසිද්ධිය තහවුරු කිරීම නොවේ. එහි සැබෑ අරමුන, එම මහජන විරෝධය අවමංගත කොට බෞද්ධ භික්ෂුන් ඇතුලු සිංහල බෞද්ධ සමාජ ස්තරයන්ගේ ප‍්‍රතිගාමී උවමනාවන්හි ආරක්ෂකයෙකු ලෙස රාජපක්ෂ තන්ත‍්‍රයමත් වඩා දකුනට තල්ලු කරලීමයි.

හෙල උරුමය ඉදිරිපත් කර ඇති මූලික යෝජනා මෙසේය:

* විධායක ජනාධිපතිට දැරිය හැකි අමාත්‍ය තනතුරු සංඛ්‍යාව සීමා කිරීම.

* කැබිනට් ඇමති සංඛ්‍යාව 20 ක අවමයකට හා 25 ක උපරිමයකට ද නියෝජ්‍ය ඇමති සංඛ්‍යාව 35 කටද සීමා කිරීම.

* ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු වීම සහ අධිකරන ක‍්‍රියාවන්ට යටත් කිරීම.

* පලාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල පැවරීම ඇතුලු රටේ ස්වෛරීභාවයට හානිකර ව්‍යවස්ථාමය විධිවිධාන සංශෝධනය කිරීම.

* අධිකරනයේ ස්වාධීනත්වය තහවුරු කිරීම හා අධිකරනය සඳහා පත්වීම් කිරීමට ජනාධිපතිට ඇති බලය අහෝසි කිරීම සහ ඒ සඳහා යථා ක‍්‍රියාපටිපාටියක් සැකසීම.

* දූෂන ගැන පරීක්ෂා කිරීම සහ මැතිවරන කටයුතු සඳහා ස්වාධීන කොමිසම් පිහිටුවීම.

බුද්ධ ශාසනයේ ආරක්ෂාව සුරක්ෂිත කරන ව්‍යවස්ථාවේ නවවෙනි විධිවිධානයට අනුකූලව පාර්ලිමේන්තු පනතක් ගෙන ඒම, යාපනය, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ ත‍්‍රිකුනාමලය යන දිස්ති‍්‍රක්කවල 1971 සංඛ්‍යා ලේඛන වලට අනුව සිංහල ජනයා යලි පදිංචි කිරීම.

හෙල උරුමය 2004 පිහිටු තැන් පටන් එය ක‍්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමේ සහ වර්ගවාදය ඇවිස්සීමේ සිංහල බෞද්ධ අන්තවාදී පක්ෂයක් ලෙසය. එය මෙම පදනම් මත 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුවට සහයෝගය දුන් අතර 2005 දී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සමග මහින්ද රාපක්ෂ බලයට ගෙන ඒමට දරදිය ඇද්දේය.

රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ඔහුගේ ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ හෙල උරුමය වර්ගවාදී යුද්ධය යලි ආරම්භ කිරීමට රාජපක්ෂ ආන්ඩුව තල්ලු කිරීමටත් ම්ලේච්ඡ ලේවැකි යුද්ධය පවත්වාගෙන යාමටත් සහයෝගය දුන්නේ ය. එහි නායකයෙකුවන උදය ගම්මන්පිල 2014 ජනවාරි මාසයේ සිලෝන් ටුඩේ පත‍්‍රයට ලියන ලද ලිපියක දී එල්ටීටීඊයට එරෙහි යුද්ධයට ආන්ඩුව මෙහෙයවා ගැනීම හෙල උරුමයේ “දැවන්තතම ජයග‍්‍රහනය” වූ බව උජාරුවෙන් සඳහන් කර ඇත.

එල්ටීටීඊ ය විසින් මාවිල් ආරු සොරොව්ව අවහිර කල විට ඊට එරෙහිව පැය 24 ක් ඇතුලත මිලිටරි ප‍්‍රහාරයක් එල්ල නොකලොත් ආන්ඩුවෙන් ඉවත් වන බවට හෙල උරුමය තර්ජනය කලේය. නියම කල කාලය තුල එල්ටීටීඊය ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කිරීමට රාජපක්ෂ ආන්ඩුව අසමත් වූ විට මාවිල් ආරු වෙත යන සිංහල වර්ගවාදීන් 3000 ක් පමන සහභාගි කරවා ගත් පෙලපාලියක් සංවිධානය කරමින් ආන්ඩුව මත පීඩනය උග‍්‍ර කිරීමට හෙල උරුමය කි‍්‍රයා කලේ ය. රාජපක්ෂ ආන්ඩුව එල්ටීටීඊයට එරෙහි යුද්ධය යලි 2006 දී ආරම්භ කලේ ජවිපෙ සමග එක්ව හෙල උරුමය ගෙන ගිය මෙම වර්ගවාදී උද්ඝෝෂනයේ පීඩනය මධ්‍යයේ ය.

හමුදාව විසින් කරන ලද යුද අපරාධ ආරක්ෂා කල හෙල උරුමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ කම්කරු පන්තියේ වැටුප් කැටි කිරීම, වැටුප් ඉල්ලීම් සඳහා වූ අරගල මර්දනය කිරීම, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ගොවි සහනාධාර, සමෘද්ධි සහනාධාර ඇතුලු සමාජ සුභසාධන කප්පාදු කිරීමට සහයෝගය දුන්නේය.

දැන් ආන්ඩුවේ පිටුබලය ලබන බොදු බල සේනා, සිහල රාවය, රාවනා බලකාය ඇතුලු ෆැසිස්ට් නැඹුරුවක් සහිත සංවිධාන බිහිවීමට සහ ශක්තිමත් වීමට අවකාශය සැපයුනේ ජවිපෙ සමග එක්ව හෙල උරුමය ගෙන ගිය වර්ගවාදී උද්ඝෝෂනයෙනි.

ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිවලට එල්ල කල ප‍්‍රහාර සහ එකී ජන කන්ඩායම් වලට එරෙහි ප‍්‍රකෝපකරනයන් ඇවිලවීමේ දී මෙම බෞද්ධ අන්තවාදී සංවිධාන සහ හෙල උරුමය එක්ව කටයුතු කලේ ය. බේරුවල මුස්ලිම් ජනයාට එල්ල කල ප‍්‍රහාරයේදී මෙන් ම පාකිස්තානු සහ ඇෆ්ගනිස්තානු සරනාගතයන්ට මුස්ලිම් අන්තවාදී හංවඩුව ගසා රටින් පිටුවහල් කිරීමේ ප‍්‍රතිගාමී උද්ඝෝෂනයේ පෙරමුනේ ම හෙල උරුමය සිටියේය.

රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුවේ ප‍්‍රතිගාමී පිලිවෙත් සමග කිසිදු මත භේදයක් හෙල උරුමයට නැත. පක්ෂයේ ප‍්‍රධාන නායකයෙකු සහ එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන අතුරලියේ රතන භික්ෂුව පක්ෂ සම්මේලනයේදී කල කතාවේදී “මෙම ආන්ඩුව යටතේ සිංහල ජාතිය පීඩාවට පත්වනු ඇතැ” යි රාජපක්ෂ තන්ත‍්‍රයට චෝදනා කල අතර ඒ හුස්මට ම ඔහු වාර්ගික යුද්ධය ගෙන යාම සම්බන්ධයෙන් රාජපක්ෂ වගවර්නනාකලේ “මේ ජනාධිපති ත‍්‍රස්තවාදය සහමුලින් උපුටා දැමීම මගින් බොහෝ ගෞරවයට පාත‍්‍ර වී ඇතැ” යි පවසමිනි. රාජපක්ෂ තමන් ඉදිරිපත් කරන යෝජනා ගැන ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තොත් “ඔහුගේ නාමය රන් අකුරෙන් ලිය වෙනු ඇති” බවත් එහි දී හෙල උරුමය ඔහු සමග සිටින බවත් නැතහොත් “තීරනයක්” ගැනීමට සිදුවන බවත් ඔහු වැඩි දුරටත් අවධාරනය කලේ ය.

ඔක්තෝබර් 21 දා හෙල උරුමය සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාවේ දී පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත භික්ෂුව 2005 සිට 2010 දක්වා රාජපක්ෂ පාලනය ගැන ඔහුගේ පක්ෂය තෘප්තිමත් වූ බව සඳහන් කලේ ය. සෝභිත විශේෂයෙන් මෙහි දී සඳහන් කරන්නේ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මර්දනය කරමින් රාජපක්ෂ විසින් අතිශය රුදුරු ආකාරයට වර්ගවාදී යුද්ධය ගෙන යාම ගැනය. කෙසේ වුව ද 2010 සිට 2014 දක්වා ආන්ඩුව තුල සිදුවන දේවල් ගැන හෙල උරුමය “අසතුටින්” පසුවන බව ඔහු කීවේ ය.

හෙල උරුමයේ අසතුටට හේතුව අවබෝධකර ගැනීම අපහසු නැත. යුද්ධය තුල හෙල උරුමයේ සහ ජවිපෙ සහයෝගය ඇතිව මැඩලනු ලැබ තිබූ වැඩකරන ජනතාවගේ ආර්ථික සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් ඉස්මත්තට පැමිනෙමින් තිබේ. ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය තුලට රාජපක්ෂ ආන්ඩුව ඇදවැටීම මගින් වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර තව තවත් තීව‍්‍ර කිරීමට ආන්ඩුවට බල කෙරී ඇත. මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව සමාජ පිපිරීමක කොන්දේසි වේගයෙන් වර්ධනය වන තතු තුල ධනපති දේශපාලන සංස්ථාපිතය තුල ගැඹුරුවන අර්බුදය ගැන ය හෙල උරුමය අසතුටට පත් ව සිටින්නේ.

“මේ වෙලාවේ සංශෝධන කරන්න බැහැ” යි ප‍්‍රකාශ කරමින් සාකච්ඡාවෙන් ජනාධිපති රාජපක්ෂ ඉවත් ව ගිය බව මාධ්‍ය වාර්තා කලේ ය. කෙසේ වුව ද සිංහල බෞද්ධ සමාජ ස්තරය මත පදනම් වී සිටින රාජපක්ෂ තන්ත‍්‍රය ට හා දේශපාලන සංස්ථාපිතයට අන්තවාදී හෙල උරුමය බඳු පක්ෂ සහ සංවිධාන වල සහයෝගය නැතිව බැරිය. එහෙයින් ආන්ඩුව සහ හෙල උරුමය අතර මතු වී ඇති අර්බුදය සමහන් කර ගැනීම සඳහා කල් ගැනීමක් ලෙස හෙල උරුමයේ යෝජනා අධ්‍යයනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ හෙල උරුමයේ පංච පුද්ගල ඒකාබද්ධ කමිටුවක් ඔක්තෝබර් 27 දා පැවති දෙවන වටයේ සාකච්ඡාවේ දී පත් කල බව ආන්ඩුව නිවේදනය කලේ ය.

මේ අතර, ධනපති දේශපාලන සංස්ථාපිතයේ අනෙක් ප‍්‍රධාන පක්ෂය වන දක්ෂිනාංශිික එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ, රාජපක්ෂ සහ හෙල උරුමය අතර ඇතිවී තිබෙන ”ආරවුල” ගසාකෑමේ අරමුනෙන් හෙල උරුමයේ “සියලුම” යෝජනා වලට සිය පක්ෂයේ පූර්න සහයෝගය දෙන බව ප‍්‍රකාශ කර ඇත. නව සම සමාජ පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාවෙකු ලෙස වග වර්නනා කරන්නේ මෙම අන්ත දක්ෂිනාංශික යෝජනා වලට තම “පූර්න සහයෝගය” දෙන වික‍්‍රමසිංහයි.

සිංහල බෞද්ධ රාජ්‍යය වඩාත් ශක්තිමත් කෙරෙන හා සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් වඩවඩාත් භේද කෙරෙන හෙල උරුමයේ මෙම ප‍්‍රතිගාමී යෝජනාවලියෙන් සහ එයට ධනේශ්වර සංස්ථාපිතයෙන් ලැබී ඇති ප‍්‍රතිචාර මගින් පෙන්නුම් කෙරෙන්නේ කම්කරු පීඩිත මහජනතාවට එරෙහි වඩාත් දක්ෂිනාංශික ප‍්‍රහාරයක් සඳහා පාලක පන්තිය අතර ඇති දැඩි එකඟතාවයි.

Share this article: