කොස්ලන්ද නාය යෑමෙන් 200ක් පමන මිය යති

Sri Lanka: About 200 killed in landslide

සුරංඟ සිරිවර්ධන හා ආර් එම් දයානන්ද විසිනි, 2014 ඔක්තෝබර් 31

2004 සුනාමි ව්‍යසනයෙන් පසු සිදුවූ දැවැන්තම ස්වභාවික විපත වන කොස්ලන්ද, මීරියබැද්ද වතු යායේ පසුගිය 29දා සිදුවූ මහා නාය යෑමෙන් 200කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මලසිරුරු 12ක් සොයාගෙන ඇති අතර බොහොමයක් තවදුරටත් , මඩ සහ පස්වලට යටව අතුරුදහන්ව ඇත.

උදෑසන 7.45ට පමන ඉහත තේ වත්ත නායයෑමට පටන්ගත් අතර වතු කම්කරු පවුල් 150ක් පමන වෙසෙන කිලෝමීටරයක් පමන පුලුල් බිම් තීරයක් එමගින් විනාශයට පත්ව ඇත. මෙහිදී කාමර 20ක් බැගින් බෙදා තිබූ දිගු ගොඩනැගිලි වූ “ලැයිම්” 7ක් පොලවට සමතලා විය. එමෙන්ම එක් හින්දු කෝවිලක් සහ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 2ක්ද මෙ මගින් ගිලී ගියේය.

නොකඩවා ඇදහැලෙන වර්ෂාව නාය යෑමට ආසන්නතම හේතුව විය. මේ වනවිට මුලු දිවයිනම දැඩි මෝසම් වර්ෂාව අත්විඳිමින් සිටින අතර ගංවතුර තර්ජනය මතුව තිබේ.

නායයෑමෙන් විනාශයට පත් ප්‍රදේශයක්

නාය යෑමට පටන් ගන්නා විට බොහොමයක් ලමුන් පාසල් වලට ගොස් සිටි අතර ඇතැම් වැඩිහිටි පිරිස් රැකිරක්ෂා සඳහා පිටව ගොස් සිටියහ. එසේ නොවන්නට මීට වඩා සිය ගනනක් ව්‍යසනයට ගොදුරු වීමට ඉඩ තිබුනි. පාසල් ගොස් ආ දරුවෝ, තව දුරටත් සිය නිවාස ඉතිරිව නැති වගත්, සිය දෙමාපියන් හා ඥාතීන් අතුරුදන්ව හෝ මියගොස් ඇති වගත් දැක ගත්හ. ලමුන් මේ වන විට පුනාගල හා කොස්ලන්ද දෙමල විද්‍යාලය යන රජයේ පාසල් වලට ගෙන ගොස් ඇත.

ඊයේ ලෝක සමාජවාදී වෙබ්අඩවියේ (ලෝසවෙ) වාර්තාකරුවෝ ප්‍රදේශයට ගියහ.

“අපි මේ ප්‍රදේශයේ ජීවත්වන අය නොවෙයි. නමුත් අද උදේ මම විනාශ වුන ලැයිමක ජීවත් වුන මගේ නැන්දා කෙනෙක් බලන්න ගියා.මම ඇගේ නිවස දෙසට ඇවිදගෙන යන විට විශාල ශබ්දයක් ඇහෙනවත් එක්ක කහ පාට දුවිලි වලාවක් දැක්කා. එ්ත් එක්කම පස් පහළට පෙරලීගෙන එනව දැක්කා.මම මගේ දරුවවත් අරන් දිව්වා.මොහොතකින් කිසි ගෙයක් දොරක් පේන්න තිබුනේ නැහැ.”සිද්ධිය ඇසින් දුටු ඉන්ද්‍රකුමාරි විස්තර කලාය.

හමුදා භටයින් 500ක් ගලවා ගැනීමේ මෙහෙයුම් වලට යොදවා ඇති බව ආන්ඩුව නිවේදනය කලේය. කෙසේ වෙතත් 29දා සවස වන විට සොයාගෙන තිබුනේ මලසිරුරු 12ක් පමනි.ආපදා කලමනාකරන අමාත්‍යාංශය ප්‍රකාශ කලේ අයහපත් කාලගුනය හේතුකොටගෙන යටවී ඇති සිරුරු සෙවීම නතරවී ඇති බවයි.

කැනීම් යන්ත්‍ර 2ක් අසල පොලිස් හා හමුදා සෙබලු රැඳී සිටින ආකාරය ලොසවෙඅ හි වාර්තාකරුවන්ට දැකගත හැකිවිය. යන්ත්‍ර දෙක කැනීම් කටයුතු සඳහා කිසිසේත්ම ප්‍රමානවත් නොවන බව පෙනී ගියේය. 30දා කිසිඳු මලසිරුරක් සොයා ගැනුනේ නැත.කෙසේ වෙතත් සිය දයාබර ඥාතීන් ගැන හෝඩුවාවක් බලාපොරොත්තුවෙන් අධික වැසි මධ්‍යයේ වුව විනාශයට පත් ප්‍රදේශය තුල බොහෝ පිරිස් රැඳී සිටිනු දක්නට ලැබුනි.බොහෝ දෙනා කඳුලු පිරි දෑසින් බලා සිටියහ. ආපදාවට පත් අයගේ අවශ්‍යතා පිරිමැසීමට සෞඛ්‍ය පහසුකම් ප්‍රමානවත් පරිදි නොතිබුනි. වර්ෂාව නොකඩවා ඇදහැලෙන අතර ලෙඩරෝග පැතිරීමේ තර්ජනය ද මතුව තිබේ.

ආන්ඩුව මේ වනවිටත් ඇඟ බේරා ගැනීමට උත්සාහ කරමින් සිටියි. ආපදා කලමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත්තේ නායයෑම් අවදානම නිසා ප්‍රදේශවාසීන්ට ඉවත්වීම සඳහා කල් තියා අනතුරු අඟවා තිබූ බවයි. ඇතැම් පිරිස් ලොසවෙඅ වෙත පැවසුවේ ඔවුන් අනතුරු ඇඟවීම ගැන දැන නොසිටි බවයි. අනෙක් පිරිස් පැවසුවේ තමන්ට විකල්ප වාසස්ථාන නොමැතිකම නිසා ඉත්වීමට නොහැකි වූ බවයි.

2011දී අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවත් ඒවා නොසලකා හැරුනු බවත් පවසමින් වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ වතු කලමනාකරනයට ඇඟිල්ල දිගු කරයි.ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයට අනුව පවුල් 75කට 2005 සිටම ස්ථිර ඉවත් කිරීමේ නිවේදන නිකුත් කර නැවත පදිංචි කිරීමේ විකල්ප හඳුනාගෙන තිබූ නමුත් වතු කලමනාකාරීන් ඒ සඳහා පියවර ගෙන නොතිබුනි.

දශකයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රදේශයට නාය යාමේ තර්ජනය ඇති බව හඳුනාගෙන තිබුනු තත්වය තුල පැවති ආන්ඩු කිසිවක් වතු කම්කරුවන්ට ප්‍රමානවත් ලෙස අනතුරු ඇඟවීමට හෝ සිය කම්කරුවන් ඉන් ඉවත් කරගැනීමට වතු හාම්පුතුන්ට බලකර සිටියේ නැත. මෙරට කම්කරු පන්තිය තුල වඩාත් පීඩිත කොටසක් වන වතු කම්කරුවන්ට නිකම්ම ඉවත් වන්නට තැනක් නොමැත. ඔවුහු එම වතු වලටම ගැටගැසී සිය හාම්පුතුන් විසින් සපයන ලද ලැයිම් කාමර වල වෙසෙති.

මෙම අලුත්ම ඛේදවාචකයට පෙරාතුව පසුගිය දශක 2 තුලම කඳුකරයේ මෙවන් විනාශයන් සිදුවී ඇත. හල්දුම්මුල්ල,කොස්ලන්ද සහ බෙරගල විශේෂයෙන්ම නායයෑමේ අවකාශ සහිත ප්‍රදේශයන්ය. වෙනත් විකල්ප නොමැති නිසාවෙන් අවදානම කරපින්නාගෙන මෙම පෙදෙස්වලම ජීවත් වීමට දෙමල වතු කම්කරුවාට බල කෙරී ඇත.

ඛේදවාචකය ජනතාව කම්පාවට පත්කර ඇත. එලඹෙන ජනවාරියේදී මැතිවරනයක් ප්‍රකාශයට පත්කිරීමේ සුදානම තුල ජනාධිපති මහින්ද රාජපක්ෂ තම සංවේගය ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක යෙදෙමින් ප්‍රදේශයේ සංචාරය කෙල්ය. සංචාරය අතරතුරදී ඔහු, දිවි ගලවාගත්තවුන් නව නිවාස ක්‍රමයක නැවත පදිංචි කරවන බවට පොරොන්දු විය.

දිවි ගලවාගත්තවුන් පාසැල අසල නවාතැන්ගෙන

එලෙසම විපක්ෂ නායක එජාප රනිල් වික්‍රමසිංහ, “පක්ෂ හා අනෙකුත් බැඳීම් පසෙක ලමින් ” විපතට පත් වූවන්ට සෑම අයෙක්ම උදවු උපකාර කල යුතු බව කියමින් ප්‍රකාශයක් නිකුත් කෙල්ය. කෙසේ වෙතත් විපතට පත් ජනතාව ඔවුන්ගේ ඉරනමට අතහරිමින් පාලක හා විපක්ෂ පාර්ශවයන් පල කරන මෙවන් උත්සුකයන් ඉක්මනින්ම අමතක කර දමනු ඇත.

“ඇත්තටම මෙවැනි විශාල විනාශයක් ගැන අප දැනුවත් කර තිබුනේ නැහැ. දැනුවත් කර තිබුනත් අපට කල හැකි දෙයක් නැහැ. අපි යන්නේ කොහෙටද?මේ ආන්ඩුව කොලඹ වැනි නගර අලංකරනයට අධිවේගී මාර්ග තැනීමට බිලියන ගනනින් මුදල් ආයෝජනය කරනවා. අප මෙවන් අනතුරකට පත්වීමේ අවකාශ ඇති බව හොඳින්ම දැනගෙනත් ආන්ඩුව, විශාල මුදල් කන්දරාවක් ධනවතුන් සඳහාම ආයෝජනය කරමින් අපව සම්පුර්නයෙන් නොසලකා හැර තිබෙනවා.දැන් ජනාධිපති ඇවිත් අලුත් ගමක් දෙන්න පොරොන්දු වෙනවා. මේවා ඔක්කොම මැතිවරන ගුන්ඩු කියල අපි දන්නව.”නායයෑමෙන් අවතැන්ව සිටින කුමාර ලොසවෙඅ වෙත පැවසුවේ එසේය.

කම්කරුවන් ඛේදවාචකය ගැන කරුනු දක්වමින්

රජයේ නිලධාරීන් පදිංචිකරුවන්ට ඉවත් වීමට උපදෙස් දී තිබූ බව කුමාර තවදුරටත් පැවසීය.ඒත් ඔවුන්ට යාහැකි එකම තැන වුයේ බහුතරයක් වතු කම්කරුවන් වන සිය ඥාතින් වෙත පමනි. “අපේ ලැයිම් ගෙයක මුලු වපසරිය වර්ග අඩි 150ක් විතර වෙනවා. ඒවගේ ගෙයක සාමාජිකයින් පස්දෙනෙක් විතර ඉන්නවා.ඉතින් කොහොමද තවත් පවුලක් එතන ජීවත්වෙන්නේ”

ජනපති මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය වරයෙක්ද වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් හට විපතට පත් ප්‍රදේශ වලට ගොස් ජනතාවට පහසුකම් සලසන ලෙස නියම කර ඇත. ලංකා කම්කරු කොංග්‍රසය යනු වතුකම්කරුවන්ගේ වෘත්තීය සමිතියක් ලෙසද ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂයකි.එම පක්ෂය රජයේ සහ වැවිලි සමාගම්වල ආසක්තයන් වෙනුවෙන් වැඩකරන අතර සාධාරන වැටුප් හා ජීවන තත්වයන් වෙනුවෙන් වූ කම්කරු අරගල මැඬීම හේතු කොටගෙන මුලුමනින්ම ගර්හාවකට ලක්ව ඇත.

කම්කරුවන් ලෝසවෙඅ වෙත පැවසුවේ මෙවන් විනාශයන් යලි යලිත් සිදුවන තතු තුල කම්කරු කොංග්‍රසය ඒ වෙනුවෙන් කිසිවක් කර නැති අතර තොන්ඩමන්ට ප්‍රදේශයට පැමිනීමට ඔවුන් ඉඩ නොදෙන බවයි.”තොන්ඩමන් අපට පිහිට වෙයි කියන එක තමයි ලොකුම විහිලුව”පුද්ගලයෙක් පැවසීය.

Share this article: