යුද්ධයට එරෙහි අරගලය හා ජර්මානු සසප කර්තව්‍යයෝ

The struggle against war and the tasks of the PSG

සමාජවාදී සමානතා පක්ෂය (පීඑස්ජී) විසිනි,2014 නොවැම්බර් 14

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ජර්මානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (පීඑස්ජී) ඔක්තෝබර් 31 හා නොවැම්බර් 02 අතර දිනවල බර්ලින්හිදී තම දෙවෙනි පක්ෂ සමුලුව පැවැත්වීය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ජර්මානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (පීඑස්ජී) ඔක්තෝබර් 31 හා නොවැම්බර් 02 අතර දිනවල බර්ලින්හිදී තම සාමාන්‍ය පක්ෂ සමුලුව පැවැත්වීය. සති හයකට පෙර පැවැත්වූ පීඑස්ජී විශේෂ සමුලුවකදී “ජර්මානු මිලිටරිවාදයේ පුනරාගමනය හා සමාජවාදී සමානතා පක්ෂයේ කර්තව්‍යයෝ” නම් සවිස්තරාත්මක යෝජනාවක් සම්මත කලේය. සාමාන්‍ය සමුලුව එම යෝජනාව හා අතරතුර කාලය තුල ඇතිව තිබෙන වර්ධනයන්ගේ එලියෙන් සාරාංශගත කල නිගමන අන්තර්ගත කරගත් අප මෙහි පල කරන අතිරේක යෝජනාව සම්මත කලේය.

1. ජර්මානු පාලක පැලැන්තිය, ලෝක ධනවාදයේ අර්බුදයට හා ආසන්නව ඇති යුරෝපීය සංගමයේ බිඳවැටීම කෙරෙහි ප‍්‍රතිචාර දක්වන්නේ මිලිටරිවාදය කරා යලි හැරීගැනීමෙන් ය. 2014 සැප්තැම්බර් 13/14 දිනවල පැවති සසප විශේෂ සමුලුව, මෙම වර්ධනයන් විශ්ලේෂනය කරමින් යුද්ධයට එරෙහි අරගලය පක්ෂ වැඩ කටයුතුවල හරි මැදට ගැනීමට තීරනය කලේය. යෝජනාව මෙසේ පැවසීය. “ඉතිහාසය පලිගැනීමක් ද සමගින් යලි පැමිනෙන අතර නාසීන්ගේ අපරාධ හා දෙවන ලෝක යුද්ධයේ පරාජයෙන් වසර 70ට තරම් පසුව ජර්මානු පාලක පැලැන්තිය යලි වතාවක්, කයිසර් අධිරාජ්‍යයේ හා හිට්ලර්ගේ අධිරාජ්‍යවාදී මහ බලවතෙකුගේ දේශපාලනය වැලඳගනිමින් සිටියි.”

2. එවක් පටන් ජර්මානු මිලිටරිකරනය අඛන්ඩව සිදුවුනා පමනක් නොව වේගවත් කෙරී ද ඇත. ආන්ඩුවේ ඉහලම මට්ටම්, සීඩීයූ/සීඑස්යූ, එස්පීඩී හා වාම පක්ෂය යන සියලු දේශපාලන පක්ෂ, මාධ්‍ය හා ප‍්‍රමුඛ ශාස්ත‍්‍රාලිකයින් සියල්ලෝම මෙයට සම්බන්ධව සිටිති. රුසියාවට එරෙහිව මාධ්‍ය සිදුකරන උසිගැන්වීම්, සන්නද්ධ හමුදා දැවැන්ත පරිමානයෙන් නවීකරනය කැඳවුම් කිරීම, මැද පෙරදිග දැඩි මිලිටරි මැදිහත්වීමක් ඉල්ලා සිටීමෙන් තොරව එක් දිනක් හෝ ගතවන්නේ නැත. ඔවුන්ගේ උද්ඝෝෂනයන්හි එල්ලය, ජනතාව ඇවිස්සීම හා යුද්ධය කෙරෙහි පවතින විරුද්ධත්වය නිහඬ කිරීම ය.

3. නිදසුනක් ලෙස, බර්ලින්හි නිදහස් විශ්වවිද්‍යාලයේ දේශපාලන උගතෙක් වන ක්ලාවුස් සෙග්බර්ස් ඔක්තෝබර් 27දා ස්පීගල් අන්තර්ජාලයට පැමිනිලි කලේ, රුසියාව විසින් ක‍්‍රිමියාව ඈඳාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් දුරට ජර්මනියේ ප‍්‍රතිචාරය වී ඇත්තේ, “ප‍්‍රධාන වශයෙන් කථා පැවැත්වීම, දෙගිඩියාව හා පසුව මන්දෝත්සාහී ආර්ථික සම්බාධක පැනවීමයි. මූලික තර්ජනයකට අවශ්‍ය නම් ආත්මාරක්ෂක ප‍්‍රචන්ඩත්වයකින් ප‍්‍රතිචාර දැක්වීමේ විකල්පය අපේ මානසිකත්වය තුල තවදුරටත් පවතින්නේ නැතැයි” ලියමින් ඔහු, “ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස සාමය කඩකරන්නන්ට එරෙහිව, තීරනාත්මක ලෙස, අනතුරු ඇඟවීමකින් තොරව ස්ථිරසාර ලෙස (බලය) යෙදිය යුතුය” යනුවෙන් කැඳවුමක් කලේය.

4. Will Europe fail? (යුරෝපය අසාර්ථකවේ ද?) යන සිය කෘතිය තුල හිටපු හරිත පක්ෂ විදෙස් ඇමති ජොෂ්කා ෆිෂර්, නැගෙනහිර යුරෝපයට හා බෝල්කන් ප‍්‍රදේශවලට පැතිරීමට මාන බලන්නේ යයි රුසියාවට චෝදනා කරමින් තියුනු ගැටුමක් වෙනුවෙන් පෙනී සිටියි. “රුසියානු මුදල් හා ව්‍යාපාර කටයුතු, යුරෝපීය-රුසියානු සහයෝගිතාව පිලිබඳ ආශීර්වාදය ගැන තම ස්වදේශික මිත්‍යාවන් ද සහිතව යුරෝපීයයෝ, තම සාමකාමී වලාවෙන් ගහන භූමියෙහි වසර ගනනාවක් නින්දට වැටී හැමවිටම මෙන් මිලිටරිමය වශයෙන් දුබලව හා මන්දෝත්සාහීව වැතිර සිටියහ.” යනුවෙන් ෆිෂර් ලියයි.

5. විශේෂයෙන්ම මෙම මිලිටරිවාදී ව්‍යාපාරය තුල විසකුරු භූමිකාවක් රඟදක්වන්නේ වාම පක්ෂය හා එහි පසු පෙලෙහි සිටින ව්‍යාජ වාම කන්ඩායම් විසිනි. ඔවුහු ජනතාවගේ පුලුල් ස්ථරයන් අතර ඇති මිලිටරිවාදයට සතුරු මනෝගතීන්ට වල කැපීම සඳහා සෑම සියලු දෙයක්ම කරමින් ආන්ඩුවේ යුද ප‍්‍රතිපත්තියට සහාය ගොනුකරති. වාම පක්ෂයේ ප‍්‍රමුඛ සාමාජිකයින් 14ක් ඉරාකයේ හා සිරියාවේ නව වටයකින් ගෙන යන මිලිටරි ආක‍්‍රමනයට ප‍්‍රතිචාර දක්වමින්, ජර්මනියේ ද සහභාගත්වය සහිත අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත්වීම නීති යුක්ත කරන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මන්ඩලයට ඉදිරිපත් කරන ලෙස ෆෙඩරල් ආන්ඩුවට කියා සිටියි. වාම පක්ෂය තුල සිටින ව්‍යාජ වම්මු, එක්සත් ජනපදයේ බෝම්බ හෙලීමේ මෙහෙයුම් ආකාර්යක්ෂම යයි ප‍්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට, කුර්දි මිලිෂියාවන් හා අනෙකුත් වාර්ගික සුලුතරයන් සන්නද්ධ කරමින් කුලීකාර ගොඩබිම් යුද්ධයක් කැඳවුම් කරති.

6. සත්‍යවශයෙන්ම මිලිටරිවාදයට විරුද්ධ ජර්මනියේ සිටින එකම දේශපාලන සංවිධානය පීඑස්ජී පමනි. සැප්තැම්බරයේ පැවති විශේෂ සමුලුවෙන් ක්ෂනික ඉක්බිත්තේ පීඑස්ජී, “ජර්මානු ප‍්‍රභූවට යලි වතාවක් යුද්ධය අවශ්‍යවී ඇත්තේ මන් ද?” යන මැයෙන් රැස්වීම් මාලාවක් පවත්වමින් මිලිටරිවාදයට එරෙහිව ප‍්‍රහාරයක් දියත් කලේය. සසජාතශී (පක්ෂයේ තරුන සංවිධානය) විසින් සංවිධානය කරන ලද වඩාත් වැදගත් රැස්වීම බර්ලිනයේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේදී පැවැත්වින. යුද්ධය සඳහා දෘෂ්ටිමය සූදානම ඇතිකිරීමේ ප‍්‍රධාන මධ්‍යස්ථානය බවට පත්ව ඇත්තේ එම විශ්විද්‍යාලයයි.

7. මෙම සිදුවීම වාරනය කිරීමට විශ්විද්‍යාල පාලනාධිකාරය දැරූ දේශපාලන ව්‍යායාමයට සසජාතශි විසින් සාර්ථක ලෙස ප‍්‍රතිරෝධය දැක්වීය. ඔවුන් උත්සාහ කලේ රැස්වීමට ශාලාව ලබාදීම සඳහා වන ගිවිස්නාවට කොන්දේසියක් ලෙස, “නිදසුනක් වශයෙන් පත‍්‍රිකා, පෝස්ටර්, අන්තර්ජාලය හෝ වෙනත් ආකාරයෙන් විශ්විද්‍යාලයේ සමාජිකයින්ට මිලිටරිවාදීන් හා යුදගැත්තන් ලෙස අපහාස කිරීම රැස්වීමට පූර්වයෙන්, ඒ අතරතුර හා රැස්වීමෙන් පසුව සිදු නොවීමට වගබලා ගන්නේය යන්න ඇතුලත් කිරීමටය. මෙහි සඳහන් කෙරෙන්නේ, මිලිටරිවාදී දෘෂ්ටිමය ආක‍්‍රමනයේදී මුඛ්‍ය ක‍්‍රියාකලාපයක් ඉටුකරන මහාචාර්ය බෝර්ග් බාබරොව්ස්කි හා හර්ෆ‍්‍රිඩ් මුන්ක්ලර් පිලිබඳ විවේචන ගැනය.

8. සසජාතශි මෙම කොන්දේසි පිලිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් පැනවීමට උත්සාහ කල වාරනය පිලිබඳ විස්තර ප‍්‍රසිද්ධියට පත් කලේය. එය මෙසේ සඳහන් කලේය. “හම්බෝල්ට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කන්ඩායමක් ලෙස අපි, එවන් දෘෂ්ටින්ට විරුද්ධවීම හා හෙලාදැකීම අපගේ අයිතියක් පමනක් නොව වගකීමක් ලෙස ද සලකන්නෙමු. ඔබගේ ලිපියෙහි සඳහන් කල ‘මතභේදාත්මක ප‍්‍රශ්න ගැන තනිකරම විද්‍යාත්මක පදනමක්’ මත සාකච්ඡා කිරීමට මෙය කිසිසේත් ප‍්‍රතිවිරුද්ධව නොපිහිටයි. ඒ වෙනුවට එය එහි සාරයම හැඩගස්වයි.” අවසානයේදී විශ්ව විද්‍යාල පාලනාධිකාරය පසුබැස ගියේය.

9. රැස්වීම වැදගත් දේශපාලන සාර්ථකත්වයකි. දල වශයෙන් පැමින සිටි බොහොමයක් සිසුන් වූ 200ක් තරම් දෙනා, සාවධානව දේශනයට සවන් දුන්හ. යුද්ධයේ හා මිලිටරිවාදයේ හේතුසාධක පිලිබඳව බොහොමයකට විප්ලවවාදී වැටහීමක් නොමැතිවූ අතර සිසුන් හා කම්කරුවන් අතර යුද්ධයට පුලුල් විරුද්ධත්වයක් පැතිර පවතින බව රැස්වීම පෙන්නුම් කලේය. මිලිටරිවාදයට එරෙහි පීඑස්ජී උද්ඝෝෂනය මෙම විරුද්ධත්වය මතුපිටට ගෙනආ අතර එයට දිශාවනතියක් ද සම්පාදනය කලේය.

10. මාක්ස්වාදී විධික‍්‍රමයේ හා පක්ෂ කර්තව්‍යයන්ගේ දෘෂ්ටි ආස්ථානයෙන්, මෙය ඉතා වැදගත්ය. තම ෆොයබාක් පිලිබඳ ප‍්‍රවාදයන්හි මාක්ස් මෙසේ පැවසීය. “මෙතුවක් කල් පැවති භෞතිකවාදයේ ප‍්‍රමුඛ දෝශය වන්නේ දෙය, යථාර්තය, ඉන්ද්‍රියගෝචරය, හුදෙක් විෂය හෝ සංකල්පනයේ ස්වරූපයෙන් මිස මානුෂික ඓන්ද්‍රිය කි‍්‍රයාකාරිත්වයේ, භාවිතයේ ස්වරූපයෙන් එනම් ආත්මීය වශයෙන් ග‍්‍රහනය නොකිරීම යි.” එහෙයින් එය “‘විප්ලවකාරී’, හෝ ‘ප‍්‍රායෝගික - විවේචනාත්මක’, කි‍්‍රයාකාරිත්වය ග‍්‍රහනය කර නොගනී.” මාක්ස් නිගමනය කලේ “චින්තනයේ යථාර්තය හෝ අයථාර්තිභාවය පිලිබඳව භාවිතාවෙන් හුදෙකලාව කෙරෙන්නා වූ විවාදය වනාහි හුදෙක් පිරිසිදුව ම පන්ඩිතමානී විවාදයක් බවයි.

11. වෛෂයික යථාර්තය නිශ්චය කල හැක්කේ භාවිතයේදී පමනි. මෙතැන් සිට පක්ෂය ආර්ථික අර්බුදයේ සමාජ ආතතීන්ගේ හා මිලිටරි ගැටුම්වල වත්මන් අවධිය තුල සිය දේශපාලන හා න්‍යායික වැඩ කටයුතු ක‍්‍රමානුකූලව ප‍්‍රසාරනය කර වර්ධනය කල යුතුය.

12. යුද්ධයට එරෙහි සටනේ හරි මැද ඇත්තේ, ලෝසවෙඅ තුලින් දේශපාලන වර්ධනයන් විශ්ලේෂනය කර හෙලිදරව් කිරීමය. එමෙන්ම කම්කරු පන්තිය හා සිසුන්, තරුනයින් වෙත ක‍්‍රමානුකූලව හැරී ගැනීමයි. එසේම සියලු ව්‍යාජ වාම ප‍්‍රවනතාවන්ගෙන් පීඑස්ජී තිරසර ලෙස දේශපාලනිකව හා න්‍යායිකව බෙදී වෙන්වීමයි. මෙම ධනේශ්වර හා අධිරාජ්‍ය ගැති ප‍්‍රවනතාවන්ගේ බලපෑම කම්කරු පන්තිය තුල ක‍්‍රමානුකූලව පරාජය කල යුතුය.

13. “සමාජවාදය සඳහා සටනකින් තොරව යුද්ධයට එරෙහි අරගලයක් නැතුවාක් සේම යුද්ධයට එරෙහි සටනකින් තොරව සමාජවාදය සඳහා අරගලයක් ද ඇත්තේ නැත.” 2014 ජූලි 03දා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය සඳහන් කලේය. යුද්ධයට එරෙහි අරගලය සඳහා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාව ඉල්ලා සිටී. හජාජාක අනෙකුත් ශාඛා සමග සමීප සහයෝගිතාවයකින්, විශේෂයෙන්ම යුරෝපයේ, නව ශාඛා ගොඩනැගීම පීඑස්ජීයේ යුද්ධයට එරෙහි දේශපාලන ප‍්‍රහාරයේ මූලික අංගය වන්නේය.

Share this article: