ආන්ඩුවේ ලැග සිටින හිටපු වම්මුන් ජනාධිපති රාජපක්ෂ ලැබිය හැකි මැතිවරන පරාජයක් පිලිබඳ භීතිය පල කරයි

වසන්ත රූපසිංහ විසිනි, 2014 ඔක්තෝබර් 19

දැවැන්ත ආර්ථික හා දේශපාලනික අර්බුදයක ගිලී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය රැක ගැනීමට රාජපක්ෂ ආන්ඩුව තුල සිටින හිටපු වම්මුන්, විශේෂයෙන් ම ස්ටැලින්වාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය (කොප), පෙරට පැමින ඇත.

පසුගිය ඔක්තෝබර් 4දා දි අයිලන්ඩ් පුවත්පතේ, කොප නායක හා ජාතික ලැයිස්තුවෙන් පත්කරගනු ලැබ ආන්ඩුවේ ඇමති ධුරයක් දරන ඩිව් ගුනසේකර සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවක් පල විය. ඉදිරි මැතිවරනයකදී ආන්ඩුව ලැබිය හැකි පරාජයක් පිලිබඳ භීතිය ගුනසේකර පලකල අදහස්වලින් පිලිබිඹු විය. පසුව ගුනසේකරගේ කොමියුනිස්ට් පක්ෂය, ඇමති තිස්ස විතාරනගේ ලංකා සමසමාජ පක්ෂය (ලසසප) හා ජාතික භාෂා හා සමාජ ඒකබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ ප‍්‍රජාතාන්ත‍්‍රික වාම පෙරමුන එක්ව මෑතකදී අටවා ගනු ලැබූ එක්සත් සමාජවාදී පෙරමුන නිකුත් කල ප‍්‍රකාශයකින්, නියමිත කාලයට පෙරාතුව මැතිවරනයකට නොයැන්නැයි ආන්ඩුවට ආයාචනා කෙරින.

අයිලන්ඩ් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේදී ආන්ඩුවට අනතුරු අඟවමින් ගුනසේකර පවසා ඇත්තේ, “නියමිත දිනයට වසර දෙකකට පෙරාතුව ජනාධිපතිවරනයකට හෝ පාර්ලිමේන්තු මැතිවරනයකට යාම විනාශයක් ගෙන දෙනු ඇති” බවයි. 2010 ජනවාරි හා අපේ‍්‍රල්වල පිලිවෙලින් අවසාන ජනාධිපතිවරනය හා මහාමැතිවරනය පවත්වා ඇති බවත් දැන් “අනතුරුදායක දේශපාලන ව්‍යාපෘතියකට” බැසීම කිසිසේත්ම අනවශ්‍ය බවත් කොප නායකයාගේ අදහස විය. පසුගියදා ඌව පලාත්සභා මැතිවරනයේදී ආන්ඩුව පෙන්නුම් කල “සාපේක්ෂව දුර්වල ප‍්‍රතිඵලයේ ඇත්ත යථාර්ථය පිලිබඳව වගවිභාග කිරීමට ආන්ඩුවේ මූලෝපාඥයින්” මෙහෙයවිය යුතු බවට ඔහු උපදෙස් දී තිබුනි.

විදේශීය සහ දේශීය ධනපතියන්ට යටිතල පහසුකම්කම් සැලසීම මූලික ඉලක්කය කර ගනිමින් රාජපක්ෂ කරගෙන යන ඊනියා සංවර්ධන වැඩකටයුතු කෙරෙහි ගම්බද ජනයා හා පුලුල් වැඩකරන ජනතාව අතරින් බලගතු සහයක් නොලැබෙන බව ආන්ඩුවේ ම ඇමතිවරුන් මෙයට පෙර විටින් විට සඳහන් කර තිබේ. ඒ අතරම ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු මූල්‍ය ප‍්‍රාග්ධනය අනවන කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දැමීමෙන් මහජනතාවගේ ජීවන තත්වයන් තවදුරටත් වලපල්ලට යවමින් සිටී. ආන්ඩුවේ මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව වැඩෙන වෛරය පිලිබඳ දැනුවත් රාජපක්ෂගේ වෑයම වන්නේ, තත්වය ආන්ඩුවට අතිශයින් අවාසි සහගතවීමට පෙරාතුව ඡන්දයක් පවත්වා තම බලය තහවුරු කර ගැනීමයි.

එහෙත් රාජපක්ෂත් ධනපති ක‍්‍රමයත් මුහුන දී සිටින අනතුර පිලිබඳ ඉවෙන් ගුනසේකර පවසා ඇත්තේ, “කලින් ජනාධිපතිවරනයක් කැඳවන්නැයි බලකරමින් සිටින්නවුන් පශ්චාත්-එල්ටීටීඊ යුගයේ මහපොලවේ යථාර්ථය බරපතල ලෙස විමසුමට ලක්කර පවා නොමැති” බවයි. ජනාධිපතිවරනයක් පැවැත්වුවහොත්, පලමු ගනන් ගැනීමේදී සියයට 50කට වඩා අත්කරගැනීමත් විශාල අභියෝගයක් වනු ඇතැයි ඇමතිවරයා පවසා ඇත.

ගුනසේකර සඳහන් කරන “මහපොලවේ යථාර්ථය” වනාහී උක්ත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන් කෙරෙහි වැඩෙමින් පවතින මහජන වෛරය යි. 2006 සිට වැටුප් කැටිකොට ඇති රාජපක්ෂ ආන්ඩුව පාරිභෝගික භාන්ඩවල මිල අහස උසට නංවා ඇත.

ආන්ඩුවත් එයට ගැති මාධ්‍යයත් උලුප්පා දක්වන “සංවර්ධන” වැඩකටයුතු සිදු කෙරෙමින් පවතින්නේ කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ ජීවිත පිලිබඳව අබමල් රේනුවක් හෝ නොතකමිනි. මහජනයාගේ ජීවන තත්වයන් තවතවත් වලපල්ලට යවමිනි. “කොලඹ නගරය සංවර්ධනය කිරීමේ” වැඩසටහනේ කොටසක් ලෙස පවුල් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් උන්හිටි තැන් වලින් පලවා හැරීම මේ පිලිබඳ බලගතු උදාහරනයකි.

ආන්ඩුවට එරෙහි නැගෙන මහජන වෛරයට ගුනසේකර ද ඇමතිකම් දරන ආන්ඩුව පිලිතුරු දී ඇත්තේ වඩවඩාත් පොලිස් රාජ්‍ය පියවරයන් කි‍්‍රයාවට දැමීමෙනි. කටුනායක වෙලඳකලාපය තුල ඊනියා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයකට එරෙහිව වීදිබට කම්කරුවන්ට වෙඩි තබා තරුනයෙකු මරා දැමීමත්, රතුපස්වලදී තමන්ගේ පානීය ජල අයිතිය වෙනුවෙන් සටන් කල ගම්වැසියන්ට වෙඩි තබා තිදෙනෙකු මරා දැමීම සහ හලාවත ප‍්‍රදේශයේදී ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂනයේ යෙදුනු ධීවරයන්ට වෙඩි තබා දෙදෙනෙකු මරා දැමීමත් මෙම පියවරයන්ට උදාහරන ය. මේ කිසිදු අවස්ථාවක ඒවාට එරෙහිව මෙම ද්‍රෝහී “වාම” ඇමතිවරුන් කෙල බිඳක් හෝ හෙලුවේ නැත.

පසුගියදා ආන්ඩුවේ ඡන්ද පදනම දෙදරවා හරිමින් ඌව පලාත්සභාවේදී ආන්ඩුව කම්පනයනට පත් කල ඡන්ද ප‍්‍රතිපලය ගැන විශේෂයෙන් සඳහන් කරමින් ගුනසේකර පවසා ඇත්තේ, ආන්ඩුවේ මූලෝපායිකයින් සැබෑ යථාර්ථයන් සොයා විමසා දැනගැනීමට ඡන්ද ප‍්‍රතිපලය ඔස්සේ මෙහෙයවිය යුතු බව යි.

ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය කෙරෙහි උත්සුක වන ගුනසේකර, මහජනයාට “දැවැන්ත සහන” සැපයෙන “සැබෑ ප‍්‍රතිසංස්කරන” ඉදිරිපත් කිරීම සඳහා 2015 සහ 2016 අයවැය යොදා ගතයුතු බව ද තවදුරටත් පවසා ඇත. ගුනසේකර මේ වලිකන්නේ ඔහුද ඇතුලත් මෙම ආන්ඩුවේ පිලිවෙත් මහජනතාවගේ යහපත තකා වෙනස් කල හැකිය යන මිථ්‍යාව කම්කරු පීඩිත මහජනතාවට ගිල්ලීමටයි. නමුදු, රාජපක්ෂට මූල්‍ය අරමුදලෙන් අන කෙරී ඇත්තේ “දැවැන්ත සහන” වලට විපරීතව “දැවැන්ත කප්පාදු” ඇතුලත් සමාජ ප‍්‍රතිවිප්ලවයකට වේගයෙන් ගමන් කරන ලෙසයි. රාජපක්ෂ උත්සාහ දරන්නේ මැතිවරනය කලින් පවත්වා ඉන් ජයගෙන මෙම සමාජ ප‍්‍රතිවිප්ලවයේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමීමට බව ගුනසේකර හොඳින්ම දනී.

මෙම ඡන්දයේදී ජනතා විමුක්ති පෙරමුන හා එක්සත් ජාතික පක්ෂය සිය ඡන්ද ප‍්‍රමානය වැඩිකරගෙන තිබීම “කනගාටුවට කාරනයක්” බවත් විශේෂයෙන්ම විපක්ෂයට ලැබුන තැපල් ඡන්ද ගැන විස්සෝපයට පත්වෙයි. ගුනසේකර විස්සෝපයට පත් වන්නේ ජවිපෙ හා එජාපය ලැබූ ඡන්ද කිසිසේත්ම එම පක්ෂ කෙරෙහි මහජනයා විස්වාසය තබා දුන් ඡන්ද නොව ඒවා ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහිව පල කල ඡන්ද බැවිනි.

දශක හයකට වැඩි කාලයක් තිස්සේ මෙරට කම්කරු පන්තිය ධනපති ක‍්‍රමයේ වියගසට බැඳ තබමින් සිදුකල ද්‍රෝහී ක‍්‍රියාකලාපය හේතුවෙන් කම්කරු පීඩිත මහජනයාගේ වෛරයට පාත‍්‍රව සිටින ගුනසේකර, විතාරන හා වාසුදේව යන තුන් කට්ටුව ආන්ඩුව ලබනු ඇති මැතිවරන පරාජයකින් තමන්ට සිදුවන වරප‍්‍රසාද අහිමිවීම පිලිබඳව ද භීතියට පත්ව සිටී. ගුනසේකර හා විතාරන පාර්ලිමේන්තුවට තේරී ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් වන අතර නානායක්කාර පාර්ලිමේන්තුවට ආවේ 2010 වසරේ මහමැතිවරනයේදී රත්නපුර දිස්ත‍්‍රික්කය වෙනුවෙන් ආන්ඩු පක්ෂ ලැයිස්තුවෙන් තරඟ වැදීමෙනි. මොවුන් තිදෙනාම රාජපක්ෂ ආන්ඩුව කම්කරු පීඩිත මහජනයාට එල්ල කරන ප‍්‍රජාතාන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරවලට මෙන්ම දෙමල පීඩිත මහජනයාට එරෙහි ලේවැකි යුද්ධයට පරිපූර්න සහය දුන්නෝ ය.

1939 දී ලංකා සමාසමාජ පක්ෂය (ලසසප) අධිරාජ්‍යවාදයට එරෙහිව තීරනාත්මක අරගලයකට අවතීර්න වෙමින් ට්‍රොට්ස්කිවාදය දෙසට හැරුන මොහොතේදී, එයට විරුද්ධ වූ එස්.ඒ. වික‍්‍රමසිංහ හා කේ.පී. සිල්වා ඇතුලු ස්ටැලින්වාදී නඩය ලසසපයෙන් පලවා හැරින. මෙම ස්ටැලින්වාදී නඩය විසින් ඇරැඹූ ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, කම්කරු පන්තියට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ධනපතියන් හා අධිරාජ්‍යවාදීන් සමඟ පෙල ගැසුන අපකීර්තිමත් ඉතිහාසයකට උරුම කම් කියයි. ඔවුන් මේ මොහොතේදී පවා ධනපති පන්තිය ගලවා ගැනීමට උපාමාරු දමමින් සිටීම කිසිසේත්ම අහම්බයක් නොවේ. එක්සත් සමාජවාදී පෙරමුනේ අනෙක් ප‍්‍රමුඛ නායකයින් වන විතාරන හා නානායක්කාරගේ ඉතිහාසය බැඳී ඇත්තේ 1964 දී ලසසපය සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුවට ඇතුලත්වීම මගින් සිදු කරන ලද “මහා පාවා දීම”ටය. ඔවුනට ඇත්තේ මෙම පාවාදීම සාධාරනීකරනය කරමින් ඉනික්බිතිව ධනේශ්වර ආන්ඩු සමඟ කම්කරු පීඩිත මහජනයාට එරෙහි ප‍්‍රහාරවල සෘජු හවුල්කරුවන් වීමේ කැත ඉතිහාසයකි. රාජපක්ෂ තමන්ගේ කැබිනට්ටුව තුල මෙම දේශපාලන වැරහැලි රඳවාගෙන සිටිනුයේ තම පන්ති අවශ්‍යතාවයන් සඳහා ඔවුනගේ අවසන් සේවය හෝ ලබා ගැනීමේ අටියෙනි.

කෙසේවෙතත්, රාජපක්ෂගේ පිලිවෙත්වලට එරෙහිව දැන් රටපුරා කම්කරුවන්, ශිෂ්‍යයන් හා පීඩිතයන් අතරින් නැගෙන උද්ඝෝෂන හමුවේ ආන්තිකව මංමුලාසහගතභාවයට පත් ජනාධිපති කල් නොයවා මැතිවරනයට යාමේ අදහස ප‍්‍රකාශයට පත් කර දැනටමත් මැතිවරන උද්ඝෝෂයනය් අරඹා ඇත්තේ මෙම පාරාජිකාවට පත් දේශපාලන නායකයන්ගේ ආයාචනා නොතකමිනි. ඉදිරි ජනාධිපතිවරනය හොඳින් හෝ නරකින් ජයගැනීමේ අරමුනින් රාජපක්ෂ ඔහුගේ උද්ඝෝෂනයේ කේන්ද්‍රයට යලි වතාවක් වර්ගභේදවාදය ගෙනවිත් තිබෙන අතර ගුනසේකරගේ ඊනියා එක්සත් සමාජවාදී පෙරමුන මේ පිලිබඳ වචනයකින් හෝ විවේචනය නොකිරීම අහම්බයක් නොවේ.

Share this article: