හියුමන් රයිට්ස් වොච් : ඊජිප්තු පාලන තන්ත‍්‍රය මානව සංහතියට එරෙහි අපරාධ සඳහා වරදකරුවන්ය

Human Rights Watch: Egyptian regime guilty of crimes against humanity

නික් බැරික්මාන් විසිනි, 2014 අගෝස්තු 13

මොහොමඩ් මෝර්සිගේ මුස්ලිම් සහෝදරත්වයේ තේරීපත් වූ ආන්ඩුව 2013 ජූලි මස සිදුකල කුමන්ත‍්‍රනයක් මඟින් පෙරලා දමා බලය අත්පත් කරගත් මිලිටරි ජුන්ටාව සිදුකල ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන්, පසුගිය 12 වනදා එලිදැක්වූ හියුමන් රයිට් වොච් යන මානව හිමිකම් සංවිධානයේ වාර්තාවකින් විස්තර කෙරේ.

එවක ආරක්ෂක ඇමති වූ වර්තමාන ජනාධිපති අබ්ඩල් ෆටා අල්-සිසි නායකත්වය දුන් මිලිටරි ජුන්ටාව, ජනතාව මර්දනය කිරීම සඳහා කල්තියා සූදානම් කල සැලසුම් ක‍්‍රියාවට දැමූ සැටි, ”සියල්ල සැලසුමට අනුකූලව: රාබා සංහාරය සහ ඊජිප්තු විරෝධතාකරුවන් සමූහ ඝාතනය” නමින් එලි දැක්වූ වාර්තාව පෙන්වා දෙයි. කුමන්ත‍්‍රනයෙන් පසු හමුදා රජය විසින් දහස් ගනනක් මරා දැමුනු අතර, දස දහස් ගනනක් සිරගත කරන ලදී.

වාර්තාව පවසන පරිදි “ඊජිප්තු ආරක්ෂක හමුදා යොදාගත් පෙර නොවු විරූ ප‍්‍රචන්ඩත්වය ... ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීම් ඇතුලත් කර ගනී.” වැඩිදුරටත්, ”ඉව බව නැතිව මෙන්ම හිතාමතාම මාරක බලය යෙදීම මගින් විරෝධතාකරුවන් ඝාතන කිරීම් අතරින් මෑත ඉතිහාසයේ විශාලතම ඝාතනයන් සිදුකරන ලදී.”

මානව වර්ගයාට එරෙහි අපරාධ පිලිබඳ තම චෝදනා නගමින් වාර්තවේ කතුවරු, “සිවිල් ජනතාවට එරෙහි ප‍්‍රහාරයක කොටසක් ලෙස, පෘථුලව හෝ ක‍්‍රමානුකූල පදනමක් මත, නිශ්චිත වූ සාපරාධී ක‍්‍රියාවල ඊජිප්තු ජුන්ටාව යෙදී ගැනීම මගින් අපරාධය කිරීම සඳහා යම් පමනක සැලසුම් හෝ ප‍්‍රතිපත්තියක් තිබූ බව තේරුම් යන බවත්’’ සටහන් කරති. තවද, සංඛ්‍යාත්මකව සලකා බැලූ කල 2013 අගෝස්තු 14 වනදින රබා චතුරස‍්‍රයේ සිදුකල විරෝධතාකරුවන් ඝාතනය, 1989 දී ටියන් ආන්මෙන් චතුරස‍්‍ර ඝාතනය ද, 2005 දි උස්බෙකිස්ථානයේ ඇන්ඩිජන් ඝාතනය ද, පරයා යන බව කතුවරු සටහන් කරති.

වාර්තාව සැකසීමේදී හියුමන් රයිට් වොච් සංවිධානය සාක්ෂිකරුවන් සිය ගනනක් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. මීට අමතරව ඝාතන සිදුවී පැය කිහිපයක් ඇතුලත එකී ස්ථාන වෙත පරීක්ෂකවරු පිටත්කල අතර, පැය ගනනාවක රූපවාහිනී පට සහ නිලධාරීන් විසින් කල ප‍්‍රසිද්ධ ප‍්‍රකාශනයන් සමාලෝචනය කරන ලදී. ආන්ඩුවේ සහභාගීත්වය සඳහා ඔවුන් කල ඉල්ලීම් ආන්ඩුව නොතකාහල බව පරීක්ෂකයන් පැවසීය.

කුමන්ත‍්‍රනය, හොස්නි මුබාරක්ගේ ඒකාධිපති ආන්ඩුව බලයෙන් පහ කල 2011 විප්ලවය කෙරෙහි පලවූ, එක්සත් ජනපදයේ පිටුබලය ලත් ඊජිප්තු මිලිටරියේ ප‍්‍රතිචාරය විය. නැගිටීමෙන් පසු 2012 ජූනි මස ඊජිප්තුවේ පැවැත්වූ ජනාධිපතිවරනයේදී මුස්ලිම් සහෝදරත්වයේ අපේක්ෂක මොහමඩ් මොර්සි ජයග‍්‍රහනය ලැබීය. 2013 ජූනි මස අගභාගය වනවිට මොර්සිගේ ආන්ඩුව ඉමහත් අර්බුදයකට මුහුන දුනි. මුබාරක්ගේ වැටීමට තුඩුදුන් මහජන විරෝධතාවන්ට ද වඩා විශාල විරෝධතාවයන් ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ ව්‍යාපාර ලැදි ප‍්‍රතිපත්ති නිසා ඇවිල ගියේය.

ඊජිප්තු කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් පැන නැගීම පූර්වභංග කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ සමස්ථයක් වශයෙන් බටහිර යුරෝපීය අධිරාජ්‍යවාදයේ ද සහාය ඇතිව මිලිටරිය, අල්-සිසි බලයට පත් කල කුමන්ත‍්‍රනය සංවිධානය කලේය. මෝර්සි ආන්ඩුවට එරෙහිව මැදිහත් වන ලෙස මිලිටරියට කැඳවුම් කරමින්, ඊජිප්තු විප්ලවවාදී සමාජවාදීන් සහ වෙනත් ව්‍යාජ වාම සංවිධාන වල සහය ඇතිව, ඊනියා ටැමරොඩ් එකමුතුව නම් සංවිධානය මෙහිදී තීරනාත්මක දේශපාලන භූමිකාව ඉටු කලේය.

ආර්ථික හා මිලිටරි ආධාර නැවැත්වීම අවශ්‍ය කරවන එක්සත් ජනපද නීති පන ගැන්වීමක් සිදු නොවීම පිනිස, මිලිටරියේ බලය අල්ලා ගැනීම, කුමන්ත‍්‍රනයක් ලෙස හැඳින්වීමෙන් වැලකුනු වොෂින්ටනය, අල්-සිසි ආන්ඩුවේ මිනීමරු ක‍්‍රියා පිලිවෙල පිලිබඳ කුහක හා නාමමාත‍්‍ර විවේචන ඉදිරිපත් කරමින් ඊජිප්තුවට දෙන සෘජු මිලිටරි ආධාර සුලු කාලයකට අත්හිටුවීය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, පසුගිය ජූනියේදී, අල්-සිසි හා මුබාරක් සමයේ නිලධාරියකු වූ දැන් විදේශ ඇමති වන සාමේ ෂුක්රි හමුවී, ඩොලර් මිලියන 575 ක්වූ සෘජු මිලිටරි ආධාර දීම නැවත ආරම්භ කිරීම නිවේදනය කල අතර ඊනියා “ප‍්‍රජාතන්ත‍්‍රීය සංක‍්‍රමනය” පිලිබඳව ඔවුන් දෙදෙනාට සුභ පැතුවේය.

පසුගිය මැයි මාසයේදී ඡන්ද දායකයන් විශාල වශයෙන් වර්ජනය කල ව්‍යාජ මැතිවරනයක් පවත්වා ඊජිප්තුවේ ජනාධිපති ධුරයට අල්-සිසි පැනගත් අතර, එක්සත් ජනපදය සහ යුරෝපීය බලවතුන් එම මැතිවරනය නීත්‍යානුකූල බවට වහාම ප‍්‍රකාශ නිකුත් කලේය.

කයිරෝ අගනුවර ව්‍යාපාරික ප‍්‍රදේශයේ පිහිටි රබා චතුරස‍්‍රයේදී, 2013 අගෝස්තු මස 14 වන දින ආරක්ෂක හමුදාවන් විසින්, මෝර්සි රජයේ ආධාරකරුවන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ගැනීම හෝ ඝාතනය කිරීම ඇතුලු සිදුවීම් හියුමන් රයිට් වොච් වාර්තාව අවධානය යොමු කලේය. කලබලකාරී ක‍්‍රියා සිදුවන බව හා “ත‍්‍රස්තවාදය” පිලිබඳ වාර්තා දක්වමින්, ආරක්ෂක හමුදා චතුරස‍්‍රයට ඇතුලු විය හැකි සහ පිටවිය හැකි සෑම මාර්ගයක්ම වසා දැමූහ. සිය මැදිහත්වීම පිලිබඳ ව, යාන්තමින් ඇසෙන ප‍්‍රමානයට කෙරුනු අනතුරු හැඟවීම් වලින් විනාඩි කිහිපයක් ඇතුලත පොලිස් හා හමුදා භටයන් රැස්ව සිටි සෙනඟට ජීව උන්ඩ ද ඇතුලු කුරුලු මූනිස්සම් යොදා ගනිමින් වෙඩි තැබූ අතර, එම ප‍්‍රහාරවලින් කාන්තාවන් හා ලමුන් ඇතුලු සිය ගනනක් ඝාතනය විය.

බොහෝ විට හිසට හා පපුවට ජීව උන්ඩ වැදී ලත් තුවාල ඇතිව පැමිනි වෙඩි ප‍්‍රහාර වලට ගොදුරු වූවන්ගෙන් අසල රබා රෝහල පිරී ගිය බව වාර්තාව සඳහන් කරයි. තමා ප‍්‍රහාරයෙන් ගැලවීම පිනිස පලායද්දී මෝර්සි “වෙඩි උන්ඩ වරුසාවක්” සේ පතිත වූ බව විරෝධතාකරුවකු පැවසු බව වාර්තාව සඳහන් කරයි.

ගොඩනැගිල්ලට ඇතුලු වන දොරටුව ඉහලින් රඳවා සිටි පොලිස් ඉලක්කකරුවෝ රෝහලට ඇතුලුවන සහ පිටවන සැමට වෙඩි තැබූහ. සවස් කාලයේ පසු යාමයේදී ආරක්ෂක හමුදා රෝහල අල්ලාගත් අතර, තුවාලකරුවන් හා මලගියවුන් හැරදා යන ලෙස පිරිසට බල කරමින්, වෛද්‍යවරුන් ඇතුලු සියල්ලන්ටම රෝහලින් පිටවී යෑමට අන දෙන ලදී.

“‘අවසාන විරෝධතාකරුවන් ද චතුරස‍්‍රයෙන් පිටවී යද්දී, මධ්‍යම වේදිකාවේ, ක්ෂේත‍්‍ර රෝහලේ, මුස්ලිම් දේවස්ථානයේ සහ රබා රෝහලේ පලමු මහලේ ගිනි ගැනීම් හටගත්” බව සඳහන් කරන වාර්තාව “පොලිසිය හිතාමතාම මෙම ගිනිතැබීම් සිදුකල බව ලැබී ඇති සාක්ෂි මඟින් ප‍්‍රබලව පෙන්නුම් කරන බව”, වැඩිදුරටත් සඳහන් කරයි.”

එදිරිවාදී විරෝධතාකරුවන්ගෙන් තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා යයි පවසමින්, තම ඝාතන සාධාරනීකරනය කිරීමට, ආරක්ෂක නිලධාරීහු එවිට උත්සාහ දැරූහ. එම කියාපෑම් නිෂ්ප‍්‍රභා කරමින්, විරෝධතාකරුවන් විසිර ගිය පසු එම ස්ථානයේ තිබුනේ ගිනිඅවි කිහිපයක් පමනක් බව සඳහන් කරමින් අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමති මොහමඩ් ඉබ‍්‍රාහිම් එම දිනවල කල ප‍්‍රකාශය හියුමන් රයිට්ස් වොච් සංවිධානය උපුටා දක්වයි.

“පෘථුලව සහ ක‍්‍රමානුකූලව සිදුකෙරුනු විරෝධතාකරුවන් ඝාතනය කිරීමේ වගකීම, ජේෂ්ඨතම ආරක්ෂක නිලධාරීන් හා අනදෙන මන්ඩලයේ ප‍්‍රමුඛ නායකයන්, පුද්ගලිකවම දැරිය යුතු බව”, ඊජිප්තු ආන්ඩුවට චෝදනා නඟමින් වාර්තාව ප‍්‍රකාශ කරයි.

ඉබ‍්‍රාහිම්, විශේෂ බලකා ප‍්‍රධානී මේදක් මෙන්ෂාවි සහ “විරෝධතාකරුවන් විසිරවීමේදී කිසිදු ජීවිත හානියක් සිදු නොවීම පිනිස අපි දින කිහිපයකම දීම සෑම දෙයක්ම විස්තරාත්මකව සාකච්ඡා කලා” යයි ප‍්‍රකාශ කල අල්-සිසි, සුවිශේෂයෙන් වගකිව යුතු බව වාර්තාව සටහන් කරයි.

එහෙත් සැබෑ තත්ත්වය වූයේ, සිදුවූවාට ද වැඩි ජීවිත හානියක් ආන්ඩුවේ ප‍්‍රමුඛ නිලධාරීන් විසින් අපේක්ෂා කල බවයි. දල වශයෙන් 20,000 පමන යයි ගනන් බැලූ ”ජනකායෙන් සියයට 10” තරම් ඉහල සංඛ්‍යාවක් අනතුරට පත්වීමෙන් හැකියාව ගැන ඔහුගේ කාර්ය මන්ඩලය සිතාබැලූ බව අභ්‍යන්තර කටයුතු ඇමති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කල බව වාර්තාව සටහන් කරයි.

සමස්තයක් ලෙස රබා චතුරස‍්‍ර මර්දනයේදී අවම වශයෙන් පුද්ගලයන් 1600ක් ඝාතනයට හෝ අත් අඩංගුවට පත්වූ අතර, ඉතිරි අය ආන්ඩුව විසින් ගොතන බොරු චෝදනා වලට සහ වධ හිංසනයට ලක් කර ඇත.

වාර්තාව සඳහන් කරන පරිදි, “හියුමන් රයිට්ස් වොච් විසින් සමාලෝචනය කල නඩු විභාග රාශියක්ම ඉතා අසාධාරන ඒවා වූ අතර, ඊජිප්තු නීතිය මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ද බිඳ දමන්නා වූ නිසි ක‍්‍රියාදාමය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් වලින් ගහන විය”. සමහර අවස්ථාවලදී විත්තිකරුවන්ට උසාවියේ පෙනී සිටීමට පවා අවසර නොදුන් අතර ඔවුන් වෙනුවෙන් නීතිඥයන් ඉදිරිපත් වීම ද වලක්වමින්, මෙම වසරේ මාර්තු සහ අපේ‍්‍රල් මාස තුල මුස්ලිම් සහෝදරත්වයේ නිලධාරීන් 1200කට මරන දඬුවම් පැනවීම ගැන වාර්තාව සඳහන් කරයි.

අල්-සිසි බලයට පැමිනීමෙන් පසු ගතවූ මුලු කාලය තුල ප‍්‍රජාතන්ත‍්‍රිය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීම සිදුවිය. පසුගිය අවුරුද්ද පුරා ආරක්ෂක හමුදාවන් සිදුකල විරෝධතාකරුවන් ඝාතනය කිරීම් උපුටා දක්වමින්, “2013 ජූලි මස මොර්සි බලයෙන් පහ කිරීමෙන් පසු, පමන ඉක්මවා බලය පාවිච්චි කිරීම් සැලකිය යුතු පමනකින් ඉහල ගිය” බව වාර්තාව සටහන් කරයි.

ආන්ඩුව විවේචන කරන රූපවාහිනී විකාශන ආයතන වසා දමමින්, ජුන්ටාව මාධ්‍ය නිදහසට පහර ගසයි. එය, මුස්ලිම් සහෝදරත්වය, “ත‍්‍රස්තවාදී සංවිධානයනක්’ ලෙස නම් කරමින් නීති විරෝධී කර ඇත. පසුගිය 10 දා, මුස්ලිම් සහෝදරත්වය සංවිධානක් ලෙස පැවැත්ම අහෝසි කරන තීන්දුවක් ඊජිප්තු අධිකරනයෙන් නිකුත් කලේය.

වාර්තාව ඊජිප්තු ආන්ඩුවට ඉදිරිපත් කිරීමෙන් වැලැක්වීම සඳහා හියුමන් රයිට්ස් වොච් වාර්තාවේ කතුවරුන්, රටට ඇතුලුවීමෙන් වලක්වා ඇත.

පරීක්ෂකවරුන් සඳහන් කරන පරිදි, ආන්ඩුව දහස් ගනනින් අත්අඩංගුවට ගනිමින්, දඬුවම් නියම කල ද ඝාතන තුල ඔවුන් ඉටු කල භූමිකාව උදෙසා පහල මට්ටමේ නිලධාරියෙකුටවත් චෝදනා එල්ල කර නැත. මීට ප‍්‍රතිවිරුද්ධව, අදාල නිලධාරින්ට ප‍්‍රසාද වැටුප් ලබාදීමට අමතරව, රබා චතුරස‍්‍ර බලධාරින් පොලීසිය සමරනු පිනිස ස්මාරකයක් ගොඩනඟා ඇතැයි හියුමන් රයිට්ස් වොච් වාර්තාව සටහන් කරයි.

ජුන්ටාව විසින් සිදුකල නීති විරෝධී බලය පැහැරගැනීමට එරෙහිව සිදුවූ මහජන විරෝධතාවන්ගේ පසුබිම තුල, රබා චතුරස ඝාතනය සිදුවිය. මේ හැර 2013 ජූලි 5 දින සිට අගෝස්තු 16 දක්වා ආරක්ෂක හමුදා සිදුකල විරෝධතාකරුවන් ඝාතනය කිරීමේ සිද්ධින් අඩුම තරමින් 5ක් වාර්තාව ලේඛනගත කරයි.

අනෙකුත් ජන ඝාතන සිද්ධීන් අතර, යට දැක්වෙන සිද්ධීන් ද වේ.

* ජූලි 8දා නැගෙනහිර කයිරෝවේ ජනරජ ආරක්ෂක හමුදා මූලස්ථානය ඉදිරිපිට වාඩි වී විරෝධය පෑ මොර්සි ආධාරකරුවන් 61කට වෙඩි තැබීම.

* ජූලි 27දා නැගෙනහිර කයිරෝවේ මනස්සා සිහිවටනය ආසන්නයේදී මොර්සි පාක්ෂික උද්ඝෝෂකයන් 95 දෙනෙකු මරා දැමීම.

* ජූලි 14 හා 16අල් නහ්ඩා සහ රැම්සෙස් චතුරස‍්‍ර වලදී විරෝධතාකරුවන් 200කට වැඩි ප‍්‍රමානයක් ඝාතනය කිරීම.

නොයෙකුත් දාමරිකකම් පිලිබඳ චෝදනා ගොනුකරන වාර්තාව, එක්සත් ජනපද හා යුරෝපීය ආන්ඩුවල භූමිකාව ගැන මුනිවත රකී. අල්-සිසි හා ඔහුගේ සහචරයන්ට විරුද්ධව පරීක්ෂන පවත්වන ලෙසට හා චෝදනා ගොනු කරන ලෙසට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කැඳවුම් කරන වාර්තාව, යථා වශයෙන් ප‍්‍රධාන කුමන්ත‍්‍රනකරුවන් වන වොෂින්ටනය සහ යුරෝපය සුදු හුනු ගාමින් ආරක්ෂා කරයි.

Share this article: