ධනවත් ම ඇමරිකානුවන් 400දෙනාගේ ධනස්කන්දය ඩොලර් ට්‍රිලියන 2.29ට නගි යි

Wealth of richest 400 Americans surges to $2.29 trillion

ඇන්ඩ්‍රේ ඩැමොන් විසිනි, 2014 ඔක්තෝබර් 6

ඉහල යන කොටස් වෙලඳපොල හා වාර්තාගත සංගත ලාභ හමුවේ එක්සත් ජනපදයේ ධනවත් ම පුද්ගලයන් 400දෙනා ඔවුන්ගේ ඒකාබද්ධ ධනස්කන්දය ඩොලර් ට්‍රිලියන 2.29 දක්වා සියයට 13කින් වැඩි කර ගෙන ඇත. සංඛ්‍යා එලිදැක්වෙන්නේ ධනවත් ම ඇමරිකානුවන් පිලිබඳ ෆෝබ්ස් ලැයිස්තුවෙනි. 1982 සිට වර්ෂයක් පාසා මෙම ලැයිස්තුව සකස් කරන්නේ එම නමින් යුත් ඇමරිකානු ව්‍යාපාරික සඟරාවක් විසිනි.

ධනවත්ම ඇමරිකානුවන් 400 දෙනාගේ වස්තුව

ෆෝබ්ස් 400 දෙනාගේ ධනය 2009 වසරේ පටන් සියයට 90න් වැඩිවී ඇත

ෆෝබ්ස් පසු ගිය සතියේ සඳහන් කල පරිදි, මෙම තනි තනි පුද්ගලයන් 400දෙනාගේ ශුද්ධ වත්කම්, “මිලියන 200ක ජනගහනයකින් යුත් බ්‍රසීලයේ දල දේශීය නිෂ්පාදිතයට ආසන්න වේ.” ෆෝබස් 400දෙනාගේ සාමාන්‍ය ශුද්ධ වත්කම ඩොලර් බිලියන 5.7ට ලඟා විය, එය පසු ගිය අවුරුද්දට වඩා ඩොලර් මිලියන 700ක වැඩිවීමකි.

ඇමරිකාවේ වත්කම් පිලිබඳ නව සංඛ්‍යා, සාමාන්‍යයෙන් මාධ්‍ය විසින් යටපත් කරනු ලැබේ. නිව් යෝක් ටයිම්ස් හෝ වෝල් ස්ට්‍රීට් ජර්නල් හෝ මේ සම්බන්ධයෙන් කිසිවක් පල නො කලේ ය. මධ්‍ය වාර මැතිවරනයට සතියකට පෙර එය, දේශපාලන උද්ඝෝෂන තුල මාතෘකාවක් වී ද නැත. එක්සත් ජනපදය තුල සමාජ අසමානතාවේ අසාමාන්‍ය මට්ටම පිලිබඳ ව එක දු මහා ව්‍යාපාරික පක්ෂකට හෝ අවධානය යොමුකිරීමට උනන්දුවක් නොමැති අතර, අතොරක් නැතිව ප්‍රකාශ කරන්නේ මූලික සමාජ සේවාවන් සඳහා මුදල් නැති බව යි.

පසු ගිය සතිය සලකුනු කලේ, 2008 හදිසි ආර්ථික ස්ථායිකරන පනත අත්සන් කිරීමේ හයවැනි සංවත්සරය යි. මෙකී පනත, බැංකු ඇපදීම නමින් ප්‍රසිද්ධ, ඩොලර් බිලියන 700ක, කරදරයට පත් වත්කම් සහන වැඩසටහන ස්ථාපිත කලේ ය. එතැන් සිට, සමාජයේ ධනවත් ම කන්ඩායම්වල වත්කම් ඉහල ගොස් ඇති අතර සාමාන්‍ය පවුලක වාර්ෂික ආදායම සියයට පහකින් පහත වැටී ඇත.

2009 සිට ‍ෆෝබ්ස් 400දෙනාගේ ඒකාබද්ධ ශුද්ධ ධනස්කන්ධය ඩොලර් ට්‍රිලියන 1.27 සිට ආසන්න වශයෙන් දෙගුනයක් වී ඇත. සමාජ අසමානතාවේ පුපුරන සුලු වර්ධනය, 2008 මූල්‍ය අර්බුදයෙන් ඉක්බිත්තේ, බුෂ් හා ඔබාමා පාලනාධිකාරයන් මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තිවල ඍජු හා අපේක්ෂිත ඵලය යි: වැටුප් හා සමාජ වැඩසටහන් මත ඒකාබද්ධ ප්‍රහාරයක් සමග මූට්ටු කෙරුනු මූල්‍ය පද්ධතියට ලාභ මුදල් පොම්ප කිරීම එම ප්‍රතිපත්ති යි.

ඇමරිකානු සුපිරි පොහොසතුන්ගේ සමුර්ධිය, ෆෝබ්ස් 400 තනි තනි සාමාජිකයන් තුලින් ප්‍රකාශයට පත්වෙයි.

* මයික්‍රොසොෆ්ට් සමාරම්භක හා අවුරුදු 21ක් එක දිගට ඇමරිකාවේ ධනවත් ම මිනිසා වන බිල් ගේට්ස් එක් අවුරුද්දක් තුල ඔහුගේ වත්කම ඩොලර් බිලියන 9කින් වැඩිකර ගත් අතර දැන් ඔහුගේ වස්තුවෙහි අගය බිලියන 81 වී ඇත. එය පසුගිය වසර පහ තුල බිලියන 31න් ඉහල ගොස් ඇත. මෙම සංඛ්‍යා යතා දර්ශනයක තැබුවහොත්, 2009 සිට ගේට්ස් ගේ වත්කම්, වර්තමානයේ දී බංකොලොත් ව පවතින ඩෙට්‍රොයිට් නගරයේ වාර්ෂික අයවැය අගය මෙන් ආසන්න වශයෙන් 30ස් ගුනයකින් වැඩි වී තිබුනි.

* ලැයිස්තුවේ දෙවැනියා වන ආයෝජක වොරන් බුෆේ ඩොලර් බිලියන 68.2 දක්වා ඔහුගේ වත්කම් වැඩි කර ගෙන තිබුනි, එය වර්ෂයක දී ඩොලර් බිලියන 10ට වඩා වැඩිවීමකි. ඔහු සතු ධනය 2009 වසරේ පටන් බිලියන 30න් පමන ඉහල නැඟ තිබේ.

* ඔරැකල් ප්‍රධාන විධායක නිලධාරී හා ලැයිස්තුවේ තුන්වැනියා වන ලැරී එලිසන්, 2009 ඩොලර් බිලියන 27 සිට මෙම වර්ෂයේ ඩොලර් බිලියන 48.7 දක්වා ඔහුගේ ධනය ආසන්න වසයෙන් දෙගුනයකින් වැඩිකරගෙන ඇත.

* ඩොලර් බිලියන 34.1ක ශුද්ධ වත්කම් සමග වර්තමාන ලැයිස්තුවේ 11වැනියා වන ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාක් ෂුකෙර්බර්ග් 2009 සිට ඔහුගේ වත්කම් 17 ගුනයකින් වැඩි කර ගෙන තිබුනි. පසු ගිය වසරේ පමනක් ඩොලර් බිලියන 15කින් වත්කම් වැඩිවී ඇත.

2009දී ෆෝබ්ස් 400 ලැයිස්තුවේ ඇතැම් සාමාජිකයෝ බිලියනපතියන් නො වූහ. දැන් ලැයිස්තුවට නම ඇතුලත් කිරීමේ ආරම්භක ධනවත්කම බිලියන1. 55ක් වන අතර ලැයිස්තු‍වට ඇතුලත් නො වුන බිලියන පතියෝ 113දෙනෙක් එක්සත් ජනපදයේ සිටිති.

මෙම වසරේ ෆෝබ්ස් 400 ලැයිස්තුවේ ප්‍රමුඛත්වය ගන්නේ මූල්‍ය අංශයයි. 1982දී ෆෝබ්ස් 400ට මූල්‍ය සහ දේපල ව්‍යාපාර වලින් එකතුකල අගය සියයට 4.4කි. වොෂින්ටන් පෝස්ට් පත්තරයට අනුව, මෙම ක්ෂේත්‍ර දැන් සියයට 21ක් එකතු කර යි. ආරක්ෂක අරමුදල් තුලින් සිය වත්කම් ගොඩනැගූ තනි තනි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලැයිස්තුවෙන් සියයට 7.8ක් වන අතර, පුද්ගලික කොටස් ව්‍යාපාර සියයට 6.3ක් ද මුදල් කලමනාකරනය සියයට 5.3ක් ද වේ.

ධනවාදය දැඩි අවදානම්, ඉහල අවදානම් සහිත පරදුවට තැබීමේ තරඟයක් ලෙස නිල වශයෙන් කෙරෙන හැඳින්වීම නො තකා, එය ඔප්පු කරන්නේ, ඉහල යාම හැර සුපිරි පොහොසතුන්ගේ සම්පත්වලට වෙන කොහේ වත් යෑම සැලකිය යුතු ලෙස අපහසු බව යි. මෙම වසරේ ෆෝබ්ස් 400 ලැයිස්තුවේ සාමාජිකයන් තිස්හයදෙනෙක්, එනම් දහයෙන් එකකට අඩු පිරිසක් පමනක් පසු ගිය වසරේ දී පාඩු ලැබූහ. හතරෙන් තුනක් ඔවුන්ගේ සම්පත් වැඩි කර ගෙන තිබුනි.

සිය ශුද්ධ වත්කම හැකිලුනු බිලියනපතියෙකු පිලිබඳ එක් උදාහරනයක් නම්, කානිවෙල් කෝපරේෂන් නම් සංචාරක නෞකාවේ හිටපු ප්‍රධාන නිලධාරී මිකී හැරිසන් ය. ෆෝබ්ස් වාර්තාවට අනුව සමාගමේ මෑත ඉතිහාසය, “මහජන සම්බන්ධතා පිලිබඳ නරක සිහින වලින් පිරී” තිබුනි, “2012 ජනවාරියේ ඉතාලි වෙරලාසන්නයේදී, කොස්ටා කොන්කෝඩියා (නෞකාව) ව්‍යසනකාරී ලෙස බිඳී යාම නිසා තිස්දෙදෙනෙකු මිය යාම, එය පසු පස දින පහක් තිස්සේ මගීන්ට සීමිත ජලය හා සනීපාරක්ෂක පහසුකම් සහිතව හිරවී සිටීමට සිදුවූ 2013 කානිවල් ට්‍රයම් නෞකා ගින්න පැමිනියේය.”

මෙම ව්‍යසනයන් මාලාවෙන් අනතුරුව පවා ඇරිසන්, පසුගිය වසර තුල සිය වත්කමේ යන්තම් සියයට 2ක වැටීමක් අත්විඳි අතර, ඩොලර් බිලියන 6.5ක් ඉතිරි කර ගත්තේය.

ෆෝබ්ස් 400 නිකුත් කෙරුනු ක්ෂනික ඉක්බිත්තේ, ගෝලීය සමාජ අසමානතාව1920 ගනන් අතරතුර මහා අවපාතයේ උච්ඡාවස්ථාවන් පරදවමින්, 1870ගනන් හා 1820 ගනන් වලින් පසු ඉහලම මට්ටම්වලට ලඟාවී ඇති බව නිගමනය කල වාර්තාවක්, ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය සඳහා සංවිධානය (ඕඊසීඩී) විසින් ප්‍රසිද්ධ කලේ ය.

“බොහෝ බටහිර රටවල හා ඒවායේ සහචර රටවල සමාජ අසමානතාව ඉංග්‍රීසි U අකුරේ හැඩය ගත්” බව වාර්තාව සඳහන් කලේ ය. 19වැනි සියවසේ අවසානයේ සිට 1970 පමන වන තෙක් අසමානතාවය පහත වැටුනු අතර ඉන් පසු නැගීමක් ඇතිවුනි. නැගෙනහිර යුරෝපයේ දී, සමාජ අසමානතාවේ තදබල පහත වැටීම කොමියුනිස්ට්වාදයේ ප්‍රතිඵලයක් වූ අතර 1980 ගනන්වල එය කැඩී බිඳී යාමෙන් පසුව තියුනු ලෙස ඉහල ගියේය. ලෝකයේ අනෙකුත් කොටස්වල (විශේෂයෙන් ම චීනයේ) ආදායම් අසමානතාව මෑත දී වැඩි වී ඇත.”

කෙසේ නමුත්, අධ්‍යයනය පසු ගිය වසර දාහතර තිස්සේ සිදු ව ඇති සමාජ අසමානතාවේ දැවන්ත වර්ධනය ඇතුලත් කො කරයි. මෙම වෙනස්කම් සැලකිල්ලට ගත් විට, ගෝලීය සමාජ අසමානතාවේ වර්තමාන මට්ටම, නූතන ලෝක ඉතිහාසයේ ඉහල ම මට්ටම වීමට ඉඩ ඇත.

Share this article: