ලසසප මහා පාවාදීම-දෙවන කොටස
ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වීමට ලසසප එරෙහි වෙයි

LSSP rejects the ICFI’s defence of Trotskyism

සමන් ගුනදාස විසිනි, 2014 ඔක්තෝබර් 10

ලංකා සමසමාජ පක්ෂය (ලසසප) 1964 ජූනි මාසයේදී සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ‍්‍රීලනිප) ආන්ඩුවට ඇතුලු වෙමින් සිදුකල මහා පාවාදීමේ දේශපාලන පාඩම් විමසා බැලෙන ලිපි හතරක දෙවන ලිපියයි මේ. ට්‍රොට්ස්කිවාදී යයි කියාගන්නා පක්ෂයක් පලමු වතාවට ධනපති ආන්ඩුවකට ඇතුලු විය - එය ජාත්‍යන්තර සමාජවාදයේ මූලික ප‍්‍රතිපත්ති විවෘතවම ප‍්‍රතික්ෂේප කිරීමකි.

ලසසප පාවාදීම ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කෙරෙහි බරපතල අර්ථභාරයක් දැරූ සිද්ධියක් විය. මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දුන් දේශපාලන ප‍්‍රවනතාවේ අවස්ථාවාදී ස්වභාවය එමගින් තහවුරු කල අතර 1953දී සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීහු මෙම ප‍්‍රවනතාවෙන් බිඳී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවා ගත්හ. සෑම අවස්ථාවක දී ම පැබ්ලෝවාදීහු, ලසසපයේ දේශපාලන පල්ලම් බැසීම ඉවසා වදාරමින්, බන්ඩාරනායක ආන්ඩුවට ඇතුලූවීම සඳහා එයට පාර කපා පාවඩ එලූහ.

ලසසප ප‍්‍රතිපත්ති විරහිත ලෙස හජාජාක පිහිටුවීම කෙරෙහි පල කල විරුද්ධත්වය සහ හතරවන ජාත්‍යන්තරයේ පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ කොටසක් ලෙස ලසසපයේ පසුකාලීන දේශපාලන පිරිහීම ගැන දෙවන ලිපියෙන් සාකච්ඡා කරයි. මුල් ලිපිය මෙතැනින් කිය විය හැක.

එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) නායක ජේම්ස් පී. කැනන් 1953 නොවැම්බරයේ නිකුත් කල විවෘත ලිපිය ලසසප විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම, එහි දේශපාලන පරිහානියේ තියුනු සන්ධිස්ථානයක් සලකුනු කලේය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පිහිටුවීමට තුඩුදුන් විවෘත ලිපිය, සම්මතධාරී ට්‍රොට්ස්කිවාදයේ සාධිකාරී හඬ නියෝජනය කලේය. එමගින් හතරවන ජාත්‍යන්තරයේ නායකත්වය තුල මයිකල් පැබ්ලෝ හා ඔහුගේ කල්ලියේ අවස්ථාවාදයට එරෙහිව අශමනීය සටනක් කැඳවුම් කලේය.

ස්ටැලින්වාදයේ පාවාදීමෙහි ප‍්‍රතිපලයක් ලෙස, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අනුග‍්‍රහය යටතේ ඇති කර ගත්, ලෝක ධනවාදයේ පශ්චාත්-යුද සමතය මගින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මතට යොදන ලද දේශපාලන පීඩනය, පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල්ගේ සංශෝධනවාදය තුලින් ප‍්‍රකාශයට පත් විය. පැබ්ලෝ හා මැන්ඩෙල්, නැගෙනහිර යුරෝපයේ ඊනියා අවරෝධක රාජ්‍යයන්හි ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍ර පිහිටුවීමේ කාරනය, කම්කරු පන්තිය තුල ප‍්‍රති-විප්ලවවාදී බලයක් ලෙස ස්ටැලින්වාදය පිලිබඳ ට්‍රොට්ස්කිගේ අර්ථ නිරූපනය බැහැර කිරීමට කඩතුරාවක් කර ගත්හ.

වෙහෙසකර න්‍යායික සාකච්ඡාවකින් පසුව හතරවන ජාත්‍යන්තරය, නැගෙනහිර යුරෝපීය පාලන තන්ත‍්‍ර “විකෘති කම්කරු රාජ්‍යයන්” ලෙස අර්ථ නිරූපනය කලේය. එහිදී මෙම රටවල සිදුවූ ධනපති දේපල ජනසතු කිරීම සැලකිල්ලට ගත් අතරම, මෙම රාජ්‍යයන්හි විකෘති ස්වභාවය කෙරෙහි ද අවධානය යොමු කෙරින. සෝවියට් සංගමයේදී මෙන් කම්කරු පන්තියේ විප්ලවයකින් ඒවා බිහි නොවූ අතර කම්කරු පන්තිය මර්දනය කෙරුනු ස්ටැලින්වාදී නිලධරයක් මත ඒවා රැඳී ගත්තේය. අර්ථ නිරූපනය මගින් එම තන්ත‍්‍රයන්හි තාවකාලික, සංක‍්‍රමනික ස්වභාවය ද ස්ටැලින්වාදී තන්ත‍්‍රයන්ට එරෙහි දේශපාලන විප්ලවයකට කම්කරු පන්තිය ස්වාධීනව බලමුලුගැන්වීම සඳහා ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැගීමේදී හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයන් ද අවධාරනය කලේය.

කෙසේවුව ද පැබ්ලෝ සහ මැන්ඩෙල්, ස්ටැලින්වාදය පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ විශ්ලේෂනය මුලුමනින්ම සංශෝධනය කිරීම සඳහා මෙම අර්ථ නිරූපනය ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස යොදා ගත්තේය. “විකෘති කම්කරු රාජ්‍යයන්ට” ඓතිහාසිකව ප‍්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කලේය. තම විවෘත ලිපියෙන් කැනන් මෙසේ පැහැදිලි කලේය. “නව ම්ලේච්ඡත්වයක අනතුර ඉස්මතු කොට දක්වනවා වෙනුවට ඔහු (පැබ්ලෝ), සමාජවාදය කරා ගමන ‘ආපසු නොහැරවිය’ හැකි බව දකියි: එහෙත් අපගේ පරම්පරාවේදී හෝ ඉදිරි පරම්පරාවක දී සමාජවාදය සාක්ෂාත් වන බවක් ඔහු දකින්නේ නැත. ඒ වෙනුවට ඔහු වර්ධනය කර ඇත්තේ, ‘සියවස්’ ගනනාවක් පවතින ස්ටැලින්-වර්ගයේ ‘විකෘති’ කම්කරු රාජ්‍යයන් බිහිකරන්නාවූ ‘වටලන ලද’ විප්ලව මාලාවක් පිලිබඳ සංකල්පයකි.”

“ස්ටැලින්වාදී නිලධරය හෝ එහි තීරනාත්මක කොටසක්, මහජන පීඩනය යටතේ තෙමේම වෙනස් වෙමින්, ට්‍රොට්ස්කිවාදයේ ‘වැඩපිලිවෙල’ හා ‘අදහස්’ පිලිගනු ඇතැයි සැලකීම” තුලින් මතුවන පැබ්ලෝවාදී දියකරහැරීමේ ස්වභාවය විවෘත ලිපියෙන් පැහැදිලි කලේය. පැබ්ලෝවාදී දෘෂ්ටිය, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව හා එබැවින්, සෑම රටකම හතරවන ජාත්‍යන්තරයේ ශාඛා ගොඩනගමින්, කම්කරු ව්‍යාපාරයේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳාලීමේ අත්‍යාවශ්‍ය කර්තව්‍යය ප‍්‍රතික්ෂේප කලේය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, ප‍්‍රති-විප්ලවවාදී ස්ටැලින්වාදී නිලධරයේ උපදේශකයෙකුගේ තත්වය කරා පිරිහෙලනු ලැබින.

“අවසාන වශයෙන්, පැබ්ලෝගේ සංශෝධනවාදය හා සම්මතධාරී ට්‍රොට්ස්කිවාදයේ පිලිවෙත් අතර ආගාධය කොතරම් ගැඹුරුද යත්, දේශපාලනිකව හෝ සංවිධානාත්මකව හෝ කිසිදු සම්මුතියකට ඉඩක් නැතැයි” කැනන් ලිවීය. ස්ටැලින්වාදයට අනුගත වීම, පැබ්ලෝගේ අවස්ථාවාදයෙහි එක් පාර්ශවයක් විය. හතරවන ජාත්‍යන්තරය පවතින මහජන ව්‍යාපාරවලට ඒකාග‍්‍ර කිරීමේ නාමයෙන් එය සෑම රටකදීම, පවත්නා ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ද්‍රෝහී නායකත්වයන්ට හා ශ‍්‍රී ලංකාව වැනි රටවලදී ධනපති ජාතිකවාදීන්ට කම්කරු පන්තිය දේශපාලනිකව යටත් කිරීමක් විය.

ඒ වන විට ස්ටැලින්වාදී-ගැති ප‍්‍රවනතාවයක් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර තිබියේ වුවත් ලසසපය, කැනන්ගේ විවෘත ලිපිය ප‍්‍රතික්ෂේප කලේය. පැබ්ලෝගේ දිශානතිය ගැන විවේචනශීලී වුව ද එස්ඩබ්ලිව්පීය ගෙන තිබුනු පියවර “සමස්තයක් ලෙස අපේ ව්‍යාපාරයට විපත්තිදායක” වේ යැයි පවසමින්, විවෘත ලිපියෙන් ඉස්මතු කල මූලික දේශපාලන ගැටලු සම්බන්ධව ආස්ථානයක් ගැනීම ප‍්‍රතික්ෂේප කල ලසසප නායකත්වය, හතරවන ජාත්‍යන්තරයේ එක්සත් කම අනතුරේ හෙලන බවට කැනන්ට චෝදනා කලේය.

1954 පෙබරවාරියේදී කැනන් ලිපියක් මගින් ලසසපයට මෙසේ අනතුරු ඇඟවීය. “මතභේදයට තුඩු දී ඇති දේශපාලන ප‍්‍රශ්න සම්බන්ධව අස්ථානයක් ගන්නට පෙර, අපගේ විවෘත ලිපිය ප‍්‍රසිද්ධ කිරීම හෙලාදකිමින්, යෝජනාවක් සම්මත කරගත් විට ලසසපය, අනතුරුදායක මාවතකට එලඹ ඇතැයි මා සිතන බව ඔබට අවංකවම පැවසිය යුතුය.” තම පක්ෂයේ ස්ටැලින්වාදී-ගැති කන්ඩායම ලසසපයෙන් පලවා හැරීම ගැන සඳහන් කරමින් නතරවීම ප‍්‍රමානවත් නොවූ බව ඔහු අවධාරනය කලේය. “ජාත්‍යන්තරවාදීන් ලෙස අප, ව්‍යාපාරයේ අනෙක් පක්ෂ සහ පොදුවේ ජාත්‍යන්තර ව්‍යාපාරය සමග ස්ටැලින්වාදී සහයෝගිතාවාදයේ විවෘත හෝ ආවෘත ප‍්‍රකාශනයන් කෙරෙහි ද ඒ හා සමාන ආකල්ප දැරීම අනිවාර්ය විය යුතුය. ඇත්තටම මෙය, වර්තමාන අර්බුදය තුලදී ජාත්‍යන්තරවාදයේ උරගලයි.” කැනන් ලිවීය.

කැනන් තවදුරටත් තීක්ෂන අනතුරු ඇඟවීමක් කලේය. “වෙනත් ඕනෑම පක්ෂයකට වඩා ලසසපයට ජාත්‍යන්තර නායකත්වයක් අවශ්‍යයැයි මම කියා සිටිමි. එය පක්ෂයේ ට්‍රොට්ස්කිවාදී සම්මතධාරීත්වයට ශක්තිය හා සහයෝගය ලබාදෙන ප‍්‍රභවයක් වනු ඇත. එහි පැවැත්මේ හා අවසාන ජයග‍්‍රහනයේ එකම කොන්දේසිය වනු ඇත්තේ එයම විනා, දියකර හැරීම්වාදය හා කඩාකප්පල්කාරීත්වය රිංගා ගත් සංවිධානාත්මක මධ්‍යස්ථානයක් නොවේ.”

ලසසපය අනතුරු ඇඟවීම ගැන සැලකිල්ලක් දැක්වූයේ නැති අතර, පැබ්ලෝගේ ඉදිරි දර්ශනය සම්බන්ධව විවේචන තිබියදීම එය, හතරවන ජාත්‍යන්තරයේ පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය (ජාලේම) තුල දිගටම රැඳී සිටියේය. හජාජාක හි කොටසක් ලෙස ශ‍්‍රී ලංකාව තුල ඔවුන්ගේ අවස්ථාවාදී වැඩකටයුතු, සියුම් පරීක්ෂාවට ද විරෝධයට ද ලක්වීමට ඉඩ ඇති බව ලසසප නායකයෝ දැන සිටියහ. කෙසේවුව ද පැබ්ලෝවාදීහු, ලසසපයේ අවස්ථාවාදයට සමාව භජනය කරමින්, ඔවුන් ධෛර්යමත් කලා පමනක් නොව, ට්‍රොට්ස්කිවාදී අක්ත පත‍්‍ර ද එයට පිරිනැමීය. ඊට හිලව් වශයෙන් පැබ්ලෝ හා මැන්ඩෙල්ට, ආසියාවේ විශාලතම ට්‍රොට්ස්කිවාදී පක්ෂය තමන් සමග වන බව පැවසිය හැකිව තිබුනි.

තම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවෙන් සහ වෘත්තීය සමිති සාමාජික සංඛ්‍යාවෙන්, සාර්ථකත්වය මැනීමට ලසසපය ඒවන විටත් පටන් ගෙන තිබිනි. විවෘත ලිපියට යන්තම් මාසයකට පෙරාතුව, 1953 අගෝස්තුවේදී පැන නැගි දේශපාලන අර්බුදයෙන් එහි පාර්ලිමේන්තුවාදී දැක්ම පැහැදිලිව මතු විය. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා කැඩීගිය දක්ෂිනාංශික විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය (විලසසප) සමග එක්ව ලසසපය, දරුනු කප්පාදු වැඩපිලිවෙල ඉවත් කර ගැනීම පිනිස එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවට පීඩනය එල්ල කෙරෙන එක් දින හර්තාලයක් දියත් කලේය. සටන්කාමී විරෝධතා ව්‍යාපාරය එක් දිනකට සීමා නොවී රටෙහි බොහෝ ප‍්‍රදේශ කරා පැතිර යෑම මගින් දැක්වූන ප‍්‍රතිචාරයෙන් ඔවුන් සියල්ලෝම අන්ද මන්ද වූහ. ආන්ඩුව කඩා වැටීමේ අද්දරට පැමිනි අතර අගමැති ඉල්ලා අස්විය. අරගලය පුලුල් කිරීම හා වර්ධනය කරනු වෙනුවට ලසසප හා ඔවුන්ගේ සන්ධානය, ආන්ඩුවට නැවත බලයට පැන ගැනීමට ඉඩ හරිමින්, හර්තාලය හැකි ඉක්මනින් නවතා දමන්නට වග බලා ගත්හ. නැගිටීම මධ්‍යයේදී ලසසප නායකත්වය, දැන් සටන ගෙනයා යුත්තේ, “එජාප ආන්ඩුවට ඉල්ලා අස්වන්නට හා නව මහ මැතිවරනයක් පවත් වන්නට බල කිරීම මත” යැයි නිගමනය කලේය.

සටන්කාමී හර්තාල් ව්‍යාපාරය පසු බසිද්දී ලසසප ය සමග කලකිරී සිටි ජන කොටස්, විශේෂයෙන්ම ගැමි ජනතා කොටස් අතර පදනමක් දමා ගැනීමට, 1951 දී පිහිට වූ එස්.ඩබ්.ආර්.ඩී. බන්ඩාරනායකගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ‍්‍රීලනිප) අවස්ථාව සැලසුනි. එය සිංහල ජනතාවාදය, අධිරාජ්‍ය-විරෝධී හා සමාජවාදී වාචාලය සමග බද්ධ කලේය. හර්තාලයේ පරිමාවෙන් තිගැස්සුනු ධනපති පන්තියේ කොටස්, පැතිරුනු ජනතා විරෝධය ගසා කෑමට ශ‍්‍රීලනිපයට සිය සහයෝගය දුන්නේය. 1956 මැතිවරනයට සැරසෙමින් ශ‍්‍රීලනිපය, සුලු ජාතිකයන්ට විශේෂයෙන්ම දෙමල කතාකරන ජනතාවට වෙනස්කම් කරන, සිංහල පමනක් නිල රාජ්‍ය භාෂාව වන්නේය යන සිය ප‍්‍රතිපත්තිය සමගින් සිංහල සුලු ධනේශ්වර තට්ටුවලට ආයාචනා කලේය.

බන්ඩාරනායකගේ දේශපාලන වංචාව එලිදරව් කිරීම වෙනුවට ලසසපය එන්ට එන්ටම, ඔහුගේ සිංහල ස්වෝත්තමවාදයට අනුගත විය. “සිංහල පමනක්” ප‍්‍රතිපත්තියට සහ ජාතීන් අතර බේද වපුරන එහි මෝදුවීම සම්බන්ධව අනතුරු අඟවමින් රූපිකව විරුද්ධත්වය පල කරන අතරේ ලසසපය, එජාපයට එරෙහි ප‍්‍රගතිශීලී විකල්පයක් නියෝජනය කරන්නේ යයි කියා පෑ ශ‍්‍රීලනිපයට විශ්වාසනීයත්වය ලබා දෙමින්, එය සමග නිතරග මැතිවරන ගිවිසුමකට එලැඹියේය. ශ‍්‍රීලනිපය 1956 මැතිවරනය දැවැන්ත වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග‍්‍රනය කල පසු ලසසපය, නව ආන්ඩුවට “විවෘතව සහයෝගීතාවය” දක්වන අස්ථානයක් ගත් අතර එහි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වූ පලමු “රාජාසන කතා” දෙක වෙනුවෙන් තම ඡන්දය පාවිච්චි කලේය. පැබ්ලෝවාදීන් සෑම රටකදීම යෝජනා කල ආකාරයට, මෙය “සැබෑ මහජන ව්‍යාපාරය” තුලට ඇතුල් වීමක් වූ බැවින්, වර්ගවාදී දේශපාලනයට ලසසපයේ අනුගත වීමට පැබ්ලෝවාදී ජාලේම කිසිදු විරෝධයක් නොදැක්වීය.

ජාලේම පූර්න සහයෝගය ඇතිව 1960 වන විට ලසසපය, පූර්න ලෙසම බලය සඳහා පාර්ලිමේන්තු මාවත වැලඳ ගත්තේය. මාර්තු මැතිවරනයේදී, එජාපය හා ශ‍්‍රීලනිපය යන දෙකම අපකීර්තියට පත්ව ඇති බව ප‍්‍රකාශ කරමින් පක්ෂය, ඡන්ද පෙට්ටිය තුලින් “සමසමාජවාදී ආන්ඩුවක්” සඳහා ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියේය. ඒ සමගම, “සිංහල පමනක්” වැඩපිලිවෙලට තම විරුද්ධත්වය හා දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය සඳහා සහයෝගය, තම මැතිවරන වැඩපිලිවෙල තුලින් සැලකිය යුතු තරමකට ඉවත් කර තැබීය. තම ලංකා ශාඛාව “බලය ගැනීම සඳහා තීරනාත්මක අරගලයක” යෙදී සිටින බව ප‍්‍රකාශ කරමින් ජාලේම, ලසසපයේ ඡන්ද ව්‍යාපාරය උද්දාමයෙන් වැලඳ ගත්තේය.

මැතිවරනය ජයග‍්‍රහනය කිරීම කෙසේ වෙතත් ලසසපය, 1956 සිටිය තැනින් ද පහතට ඇද වැටුනේය. එය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ තවත් දකුනට පදිමිනි. ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුත් ධනපති ආන්ඩුවට ඇතුලුවීමට සූදානම් වන ලෙසට ලසසප නායක එන්.එම්. පෙරේරා පක්ෂයට කල යෝජනාව, යාන්තමින් පරාජය විය. එජාප අස්ථාවර ආන්ඩුව ඇදවැටීමෙන් පසු ජූලි මස පැවැත් වූ දෙවන මැතිවරනයේදී ලසසපය, නැවත වතාවක් ශ‍්‍රීලනිපය සමග නිතරග ගිවිසුමකට එලඹුනු අතර, ජයග‍්‍රහනයෙන් අනතුරුව ආන්ඩුවේ පලමු අයවැයට හා රාජාසන කතාවට පක්ෂව ඡන්දය දුන්නේය.

තමන්ගේම විශ්වාසනීයත්වයට වලකැපෙනු ඇතැයි බියවූ පැබ්ලෝවාදී ජාලේම, නිතරග ගිවිසුම, “පොදු ජනතාව අතර ශ‍්‍රීලනිපයේ ස්වභාවය ගැන මිථ්‍යාවන්” ජනිත කරනු ඇතැයි ප‍්‍රකාශ කරමින්, ලසසපයේ අවස්ථාවාදය සම්බන්ධ සීමිත විවේචන ඉදිරිපත් කලේය. ඒ සමගම, “විජිතවාදී හෝ අර්ධ-විජිතවාදී රටක, කම්කරු පන්තියේ නොවන (මධ්‍යම පන්තික හෝ ධනේශ්වර) ආන්ඩුවකට විවේචනාත්මක සහයෝගය දෙන්නට විප්ලවවාදී පක්ෂයකට හැකියාව ඇති බව අපි පිලිගන්නෙමු” යැයි ජාලේම පැවසීය. ඒ අනුව යන්තම් වසර හතරකට පසුව, අවසානයේදී කැබිනට් මන්ඩලයට ඇතුලුවීම සඳහා ලකලෑස්ති වෙමින්, ශ‍්‍රීලනිප ආන්ඩුව සමග උපාමාරු දැමීමට පැබ්ලෝවාදීහු, ලසසපයට සම්පූර්නයෙන්ම දොර විවර කලහ.

මතු සම්බන්ධයි.

Share this article: