මෝඩි ඉන්දියාව ලෝකයේ ලාභ ශ්‍රම වැඩපල ලෙස ගෙනහැර දක්වයි

Modi promotes India as world’s sweatshop

වසන්ත රූපසිංහ විසිනි, 2014 ඔක්තෝබර් 01

"ඉන්දියාවේ සාදන ලදී" යන පාඨය යටතේ විශේෂයෙන් ම නිෂ්පාදන ක්ෂේත්‍රයේ දී චීනයට විකල්ප වශයෙන් අඩු වියදම් ලාභ ශ්‍රම වෙලඳපොලක් ලෙස ඉන්දියාව හුවා දක්වමින් විදේශ ආයෝජන ඇද ගැනීම සඳහා වූ ඉහල පෙලේ ව්‍යාපාරයක් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි විසින් දියත් කොට‍ තිබේ.

ලෝක ආර්ථික අර්බුදයේ බරින් තෙරපනු ලැබ හා 2011 පටන් පහත් ආර්ථික වර්ධනය ද ඉහල උද්ධමනය ද මඟින් ග්‍රහනයට ගෙන තිබෙන ඉන්දියාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම මෙම උද්ඝෝෂනයේ ඉලක්කය යි. එය, බහුතරය තරුන කොටස් වන යෝධ ශ්‍රම බලකායක් සහිත වුවත්, ඉන්දියා‍නු නිෂ්පාදනය ඉහල නැංවීමට ද ඉන්දියානු ධනේශ්වරයේ නව-ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට ද අසමත්වී ඇති බව පිලිගැනීමක් ද වේ. චීන ආර්ථිකයේ නිෂ්පාදන අංශයේ පංඟුව දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30ක් වුවත් ලෝක බැංකුව පවසන පරිදි, ඉන්දියාවේ නිෂ්පාදන අංශය, 2011 පැවති සියයට 15 මට්ටමෙන් ද පහත වැටී 2013 දී සියයට 13ක් විය.

ඉන්දියාවේ අගමැති ලෙස සිය පලමු එක්සත් ජනපද සංචාරය සඳහා පසුගිය සතියේ පිටත් වූ දිනට පෙරදින ඉන්දියාව "නිෂ්පාදන මර්මස්ථානයක්" බවට පරිවර්තනය කිරීමට පොරොන්දු වෙමින් මෝඩි, නිල වසයෙන් "ඉන්දියාවේ සාදන ලදී" යන උද්ඝෝෂනය දියත් කලේ ය. "ව්‍යාපාර හිතවාදී පරිසරය" අතින් ඉන්දියාව තිබෙන්නේ පහල ස්ථානයක යයි අවධානයට ලක්කල හෙතෙම "කාර්යක්ෂම පාලනය හා පහසු පාලනය" ඇති කරන බවට පොරොන්දු විය. ආයෝජනවලට පවතින පාරිසරික හා කම්කරු රෙගුලාසි ආදී බාධක ඉවත් කොට ආයෝජන සිදුකිරීමට, ඉඩම් අත්පත් කර ගැනීමට හා "නම්‍යශීලී" ශ්‍රම සූරාකෑම තහවුරු කිරීමට ඔහුගේ භාරතීය ජනතා පක්ෂය නායකත්වය දරන ආන්ඩුව ආක්‍රමනශීලී ලෙස මැදිහත් වනු ඇති බවට එය ඉඟියකි.

ඉන්දියාව තුල ආයෝජන හැකියාවන් සොයා බැලීමට පැමිනෙන ලෙස ආන්ඩුව ලෝකයේ ප්‍රධාන සමාගම් 3,000කට ආරාධනා කොට‍ තිබේ. ආයෝජකයන් සමඟ කටයුතු කිරීම, පිලිවෙත් හා අනෙකුත් ගැටලු "විසඳීම," මධ්‍යම හා ප්‍රාන්ත ආන්ඩුවල අදාල දෙපාර්තමේන්තු සමඟ වැඩ කිරීම සඳහා කාර්මික පිලිවෙත් හා ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයන් අ‍ට දෙනෙකු‍ගේ විද්වත් මන්ඩලයක් පත් කරනු ලැබීමට නියමිත ය. "සියලු රෙගුලාසිමය ක්‍රියාදාමයන් ලිහිල් කොට ආ‍යෝජකයන් මත ඒවායේ බර සැහැල්ලු කිරීම" සඳහා ආයෝජන විමර්ශන කටයුතුවල යෙදෙනු ඇතැයි වානිජ හා කර්මාන්ත ඇමතිනී නිර්මලා සීතාරාමන් කියා ඇත.

සිය එක්සත් ජනපද සංචාරයේ මුව විට දී "ඉන්දියාවේ සාදන ලදී" උද්ඝෝෂනය නිල වසයෙන් දියත් කිරීමට මෝඩි ගත් තීරනය අහම්බයක් නො වේ. එක්සත් ජාතීන්ගේ මහ මන්ඬලය හමුවේ පෙනී සිටීමත්, ජනාධිපති බැරැක් ඔබාමා හා ඔහුගේ ඉහල පෙලේ නිලධාරීන් සමඟ දෙදිනක් පුරා හමුවීම් පැවැත්වීමත් අතර වාරයේ මො‍්ඩි, එක්සත් ජනපද ව්‍යාපාරික නායකයන් සමඟ රැස්වීම් කිහිපයක් ම පැවැත්වීය. ගූග්ල්, පෙ‍ප්සිකෝ, සිටිගෲප්, කාගිල් හා කැටපිලර් යන සමාගම් ඇතුලු ප්‍රධාන පෙලේ එක්සත් ජනපද සමාගම් 11ක ප්‍රධානීන් සඳහා ඔහු සැප්තැම්බර් 29දා උදය ආහාරය සහිත හමුවක සත්කාරකත්වය දැරීය. ඉන්පසු හෙතෙම බෝයිං, කේකේආර්, බ්ලැක්රොක්, අයිබීඑම්, ජෙනරල් ඉලෙක්ට්‍රික් හා ගෝල්ඩ්මන් සැක්ස් යන සමාගම්වල ප්‍රධාන විධායකයන් සමඟ රැස්වීම් පැවැත්වීය.

ඉන්දියානු ආර්ථිකය විදේශ ආයෝජනවලට විවෘත කිරීම සඳහා ඇති තරම් පියවර ගෙන නොමැති බවටත්, රැකියා වලින් දොට්ට දැමීම් හා කම්හල් වැසීම් සඳහා පවතින නීතිරීති "තද වැඩි" බවටත් මහ ව්‍යාපාරිකයන් කරන පැමිනිලි වලට ප්‍රතිචාර දක්වමින් " ඉන්දියාව විවෘත මනසකින් සිටින අතර අපට වෙනස් වීම අවශ්‍ය යයි" මෝඩි ප්‍රකාශ කලේ ය.

ඉනික්බිති ව එක්සත් ජනපද මහ ව්‍යාපාරිකයෝ මෝඩි‍ගේ ගුන ගායනා කලහ. "මෝඩි සමඟ මගේ සන්නිවේදනයන් විශිෂ්ට යි. ඉන්දියාවේ ආයෝජනවලට අවශ්‍ය පරිසරය ආයෙත් ධනාත්මක වී‍ තිබෙන නිසා මම ඇත්තට ම තවදුර ආයෝජන ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා" යයි ජෙනරල් ඉලෙක්ට්‍රික් ප්‍රධාන විධායක ජෙෆ්ර් ආර්. ඉම්ලට් ඉන්දියන් එක්ස්ප්‍රස් වෙත පැවසීය. ව්‍යසනකාරී න්‍යෂ්ටික අනතුරක් සිදු වුවහොත් ඊට වගකිව යුත්තන් ලෙස තමන්ට බලගතු වන්දි ගෙවීමට බලකෙරෙනු ඇත යන හේතුව නිසා එක්සත් ජනපද බලශක්ති සමාගම් ඉන්දියාවේ න්‍යෂ්ටික වගකීම් නීතිය හෙලා දැක ඇති තතු යටතේ, එම නීතිය සංශෝධනය කිරීමට තම ආන්ඩුව අපේක්ෂා කරන බව ඉම්ලට් වෙත ඉඟි කිරීමට මෝඩිගේ අදහස වී යයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ ය.

"මම ඒක කරන්නම්" යයි පවසමින් හා "අපගේ ගැටලුවලට ආමන්ත්‍රනය කිරීමේ කටයුත්තට අත ගැසීමට" පොරොන්දු වෙමින් මෝඩි, ව්‍යාපාරික නායකයන්ගේ පැමිනිලිවලට ප්‍රතිචාර දැක්වී යයි මාස්ටර්කාඩ් ප්‍රධාන විධායක අජේ බංගා කීවේ ය. "ඉන්දියාව තුල ආයෝජන පරිසරය රැඩිකල් ලෙසත් වේගවත් ලෙසත් වෙනස් වීම ඔහුට අවශ්‍යව ඇතැයි යන්න පිලිබඳ ව ගත් කල මෙය ධනාත්මක ඉඟියක්" යයි බංගා වැඩිදුරටත් කීවේ ය.

වැඩ වර්ජන රැල්ලක් ඇතුලු ව වැඩෙන කම්කරු සටන්කාමීත්වයට ප්‍රතිචාර ලෙස මධ්‍යස්ථ එහෙත් සැලකිය යුතු පඩි වැඩි කිරීම් සඳහා සමාගම්වලට බලකෙරී ඇති චීනයේදීට වඩා ඉන්දියාව තුල, වේතන සැලකිය යුතු තරම් අඩු ය යන්න මත මෝඩිගේ උද්ඝෝෂනය රඳා සිටී.

එක්සත් ජනපදය හා ජපානය එක් පසෙක ද චීනය අනෙක් පස ද පිහිටා ඇති, වර්ධනය වන භූ-මූලෝපායික ආතතීන් ගසාකමින්, චීනයට විකල්ප "බටහිර හිතැති" නිෂ්පාදන-මධ්‍යස්ථානයක් ලෙස ඉන්දියාව පෙරට ගැනීමේ ඉඩ කඩ ඉන්දියාව සොයමින් සිටී.

මහ-ව්‍යාපාරික හිතැති "ප්‍රතිසංස්කරන" ක්‍රියාත්මක කිරීමට සුදුසු කඩතුරාවක් ලෙස ආන්ඩුවේ රැකියා උත්පාදන විභවය පිලිබඳ උ‍ද්ඝෝෂනය සේවය කරනු ඇති ය යන්න මත ගනන් බලමින්, ඉන්දියාවේ හා විදෙස් රටවල මහ ව්‍යාපාරිකය "ඉන්දියාවේ සාදන ලදී" උද්‍ඝෝෂනය වැලඳගෙන ඇත. රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ප්‍රධානියා හා ඉන්දියාවේ ලොකු ම ප්‍රකෝටිපතියා වන මුකේෂ් අම්බානි "අපි මෙම උද්ඝෝෂනයට ඉත සිතින් කැපවෙනවා" යි ප්‍රකාශ කලේ ය. ජර්මනියේ බොෂ් නමැති අන්තර්ජාතික ඉංජිනේරු සංගතයේ විධායක අධ්‍යක්ෂ ෆ්‍රාන්ස් හවුබර් "මෝඩිගේ නායකත්වයේ සුවිශේෂත්වය වන්නේ තමන් දකින සිහින සැබෑ කිරීමට ඔහුට පවතින උවමනාව යි" යනුවෙන් පැවසීය. "යටිතල පහසුකම් පිලිබඳ ගැටලුවලට ආමන්ත්‍රනය කරමින් ද ව්‍යාපාරික පරිසරය පහසු කිරීමට ක්‍රියාකරමින් ද ආයෝජන ව්‍යාපෘති වඩා පහසුවෙන් අනුමත කරන තනි නියාමනයක් තනන" ලෙසට හවුබර්, බීජේපී ආන්ඩුව දිරිගැන්වීය.

කම්කරු නීති වෙනස් කිරීම ද ආන්ඩුවේ පුද්ගලීකරන හා නිරායෝජන කටයුතු වේගවත් කිරීම ද ඇතුලු ආර්ථික ප්‍රතිසංස්කරන පියවර ගැනීම මෝඩිගේ බීජේපී ආන්ඩුව දැනට මත් අරඹා ඇත.

ජූලි මාසය අවසානයේ මෝඩිගේ කැබිනට්ටුව "1948 සමාගම් පනත, 1961 ආධුනිකත්ව පනත" හා "1988 කම්කරු නීති පනතට" සංශෝධන 54ක් අනුමත කලේ ය. මෙම සංශෝධනයන්ට අනුව රාත්‍රී සේවා මුර සඳහා කාන්තාවන් සුදුසු වන අතර කාර්තුවක අතිකාල සීමාව පැය 50 සිට 100 දක්වා ඉහල දැමෙනු ඇත. ආධුනිකත්ව පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් සිරගත කරනු ලැබීමේ අනතුරින් හාම්පුතුන් නිදහස් කෙරේ.

රටපුරා කම්කරු නීති කප්පාදුව අත්හදා බැලීමක් ලෙස රාජස්ථාන ප්‍රාන්තයේ බීජේපී ආන්ඩුව "කාර්මික ආරවුල් පනත", "කම්හල් පනත" හා "කොන්ත්‍රාත් ශ්‍රම රෙගුලාසි හා අහෝසි කිරීම් පනත" සංශෝධනය කොට‍ඇත. මෙම සංශෝධන මඟින්, ආන්ඩුවේ අවසරයකින් තොර ව කම්හලක ශ්‍රම බලකාය අඩුකිරීමේ සීමාව 100 සිට 300 දක්වා ඉහල දැමීමට හාම්පුතුන්ට ඉඩ ලබා දෙන අතර සාමූහික කේවල් කිරීමේ අයිතීන් සහිතව වෘත්තීය සමිති තැනී‍ම, කම්කරුවන්‍ට දුෂ්කර කරනු ඇත.

කම්කරුවන් 50ට අඩුවෙන් සේවයේ නියුක්ත කරන කොන්ත්‍රාත්කරුවන් කොන්ත්‍රාත් ශ්‍රම පනතේ නීතීන්ගෙන් නිදහස් කරනු ලබන තතු යටතේ, බොහෝ කොන්ත්‍රාත් කම්කරුවන්ට නෛතික ආරක්ෂාව අහිමි වනු ඇත. වැටුප් හා ප්‍රතිලාභ කප්පාදු කිරීමට, දොට්ට‍ දැමීම් මත සීමා ඉවත් කිරීමට හා ශ්‍රම බලකාය බෙදීමට ඉඩ ලබා ගනිමින් ආන්ඩු‍වට අයත් සංස්ථා ද ඇතුලුව ඉන්දියානු හාම්පුතුන්, පසුගිය දශක දෙක පුරා කොන්ත්‍රාත් ශ්‍රමිකයන් සේවයේ යෙදවීම විශාල වශයෙන් ඉහල නංවා ඇත.

රාජ්‍ය අංශයේ ප්‍රධාන සමාගම් තුනක ආන්ඩුවේ කොටස් පාර්ශවීය වසයෙන් විකුනා දැමීම, පසුගිය සතියේ මෝඩිගේ කැබිනට්ටුව අනුමත කලේ ය. ඒ තෙල් හා ස්වාභාවික වායු සංස්ථාව (සියයට 5), කෝල් ඉන්දියා (සියයට 10) හා ජාතික ජලවිදුලිබල සංස්ථාව (සියයට 11.36) වසයෙනි. රාජ්‍ය අංශ ප්‍රතිව්‍යුහකරනයේ පුලුල් වැඩපිලිවෙලක කොටසක් ලෙස, "රෝගී" රාජ්‍ය අංශ ව්‍යවසායන් පහක ප්‍රතිසංස්කරන ආරම්භ කොට ඇති ආන්ඩුව තවත් හයක් සම්පූර්නයෙන් වසා දමා ඇත.

ආන්ඩුව විසින් මහ ව්‍යාපාරික ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කරගැනීම කෙරෙහි පසුගිය වසරේ රටේ බොහෝ ප්‍රදේශවල ගොවිජනතාවගේ දැවැන්ත විරුද්ධත්වයක් පැනනැඟුනු තතු යටතේ, "ඉඩම් අත්පත් කරගැනීමේ පනත"ට මහ ව්‍යාපාරික ගැති සංශෝධන හඳුන්වා දීමට මෝඩි ආන්ඩුව සූදානම් වෙමින් සිටී. දැන් බීජේපී ආන්ඩුව තුල සංසරනය කෙරෙන රහසිගත ක්‍රියාමාර්ගික පත්‍රිකාවක් ගැන පල වූ රොයිටර් වාර්තාවක්, "රාජ්‍ය-පුද්ගලික හවුල් ව්‍යාපෘති සඳහා ඉඩම් හිමියන්ගේ කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම හෝ අඩු වසයෙන් එය සියයට 50කින් අඩු කරන ලෙස" ප්‍රාන්ත ආන්‍ඩු යෝජනා කරන්නේ යයි සඳහන් කලේ ය.

මෝඩි ආන්ඩුව කම්කරු පන්තියට එරෙහි ව ආක්‍රමනශීලී ලෙස ක්‍රියා කරද්දී, ඉන්දියානු හා විදේශ ප්‍රාග්ධන අංශ, ප්‍රතිසංස්කරන වේගවත් කරන ලෙසත්, වඩා රැඩිකල් මහ ව්‍යාපාරික ගැති පිලිවෙත් කරා හැරෙන ලෙසත් ආන්ඩුවට බලකරමින් සිටිති. ලන්ඩනයේ පලවන ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ සැප්තැම්බර් 14 දා පලවූ ලිපියක්, ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් ඉන්දියා සමාගමේ හිටපු ප්‍රධානී ගුර්චරන් දාස් "මෝඩිට ඉන්දියාව කාර්මික මර්මස්ථානයක් කිරීමට අවශ්‍යනම් පුපුරන සුලු ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය"යි ප්‍රකාශ කල බව උපුටා දැක්වීය.

Share this article: