සබරගමුව විශ්ව විද්‍යාල සිසුන්ට පහර දුන් මැරයන් තවමත් නිදැල්ලේ

අපේ වාර්තාකරුවන් විසිනි , 2014 ඔක්තෝබර් 19

ඔක්තෝබර් 10 වෙනිදා බලන්ගොඩ පඹහින්න හන්දියේ සත්‍යග‍්‍රහ උද්ඝෝෂනයක යෙදී සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට පහරදුන් මැරයන් තවමත් නිදැල්ලේ හැසිරීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සහ එහි ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහය ඇතිව මැර ප‍්‍රහාරය සිදු වූ බවයි.

ප‍්‍රහාරය එල්ල වුයේ එදින රාති‍්‍ර 10.30 ට පමනය. කඩු, යකඩ හා ලී පොලු, බයිසිකල් චේන් වලින් සන්නද්ධ වූ මැරයන් 30 ක් පමන ප‍්‍රහාරයට පැමින තිබේ. සිසුන් සත්‍යග‍්‍රහයේ යෙදී සිටි අට්ටාලයට පෙට්රල් බෝම්බ වලින් පහර දී එහි සිටි සිසුන් එලවා දැමූ මැරයන් අට්ටාලයට ගිනි තබා ඇත. පසුව එහි සිටි සෙසු සිසුන්ට හඹා ගොස් පහර දී තිබේ.

ප‍්‍රහාරය පිලිබඳව සිසුහු මෙසේ පැහැදිලි කලහ: “ප‍්‍රහාරය සිද්ධ වුනේ 10.30 ත් 11.30 ත් අතර. මේකට ඉන්දික කියන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා සම්බන්ධයි. කලින් දවසේ (9 දා) විශ්ව විද්‍යාලයේ උපකුලපති සමග ඔහු සාකච්ඡාවක් කරලා තියෙනවා. එදා හවස තව 15-20 විතර මැර පිරිසක් එක්ක ඇවිත් අපට තර්ජනය කලා. අට්ටාලේ අයින් කර ගත්තේ නැත්නම් අයින් කරන හැටි දන්නවා කිව්වා. පහුවදා (10 දා) සවස ගමේ අය අපට විරුද්ධ ව මෙහයවන්න ඔහු උත්සාහ කලා. නමුත් ඒක අසාර්ථක වුනා. ඊට පස්සේ තමයි ? 10.30-11.30 විතර මැර පිරිසක් එක්ක ඇවිත් පහර දුන්නේ. ඒ වෙලාවේ අපි පොලිස් හදිසි ඇමතුම් අංශයට සහ සමනල වැව පොලිසීයට කතා කලා. කිසි කෙනෙක් ඇමතුම්වලට උත්තර දුන්නේ නැහැ. සමනල වැව පොලීසියට මෙතැන ඉඳලා මීටර් 700 ට වැඩිය දුර නැහැ. නමුත් විනාඩි හතලිහක් යනකම් කවුරුවත් ආවේ නැහැ. ඒ කියන්නේ මැරයෝ ගියාට පස්සෙයි පොලිසිය ආවේ. පොලිසිය දැනුවත් ව ප‍්‍රහාරය එල්ල වුන බව ඒකෙන් පැහැදිලියි.”

ප‍්‍රහාරයෙන් බේරීම සදහා අවට පිහිටි වෙලඳසැල් තුලට දුව ගිය සිසුන් පිටුපස හඹා ගිය මැරයන් ඔවුන්ට යලිත් පහර දී ඇත. නදීශා හෝටලයේ සිටි සිසුන්ට පහර දෙද්දී, තම පාරිභෝගිකයන් ට පහර නොදෙන ලෙස ඉල්ලා සිටි එහි හිමිකරුගේ පුත් සුජිත් ටි‍්‍රසාන් ට ද පහර දී තිබේ.

ටි‍්‍රසාන් ප‍්‍රහාරය ගැන මෙසේ පැවසුවේ ය.

“ශිෂ්‍යයන්ට පහර දුන්න අයගෙන් කොටසක් කඩේ ලඟට ආවා. ඒ අය බයිසිකල් චේන් එකක් විදුලි කම්බිවලට දාලා ලයිට් ඕෆ් කලා. පස්සේ කඩේට ඇවිල්ලා කඩේ හිටපු අයටත් ගහන්න පටන් ගත්ත. ඒ ගොල්ලෝ කඩෙන් කෑම කන අය ගහන්න එපා කියල මම කිව්වා. එතකොට මටත් ගැහැව්වා. කඩුවක මොට්ට පැත්තෙන් බඩට ගැහුවම මම බිම වැටුනා. ඊට පස්සේ පොල්ලකින් කොන්දට ගැහැව්වා. මගේ යාලුවෙක් මාව බේර ගන්න උත්සාහ කලා. එයාටත් ගැහැව්වා. මම දවස් තුනක් රෝහලේ හිටියා. දොස්තර මහත්තය කිව්වේ බඩට ලේ බැහැල කියලා. තව ම බඩ රිදෙනවා. මට ගැහැව්වේ චමින්ද බංඩාර. එයා විශ්ව විද්‍යාලයේ අනධ්‍යන සේවකයෙක්.”

ටි‍්‍රසාන් කලා අංශයෙන් උසස් පෙල හදාරා මෙවර විභාගයට පෙනී සිටි සිසුවෙකි. පහර දීම නිසා 15 දා පැවති සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්ෂනයට පෙනී සිටීම ට නොහැකි වූ බව ඔහු පැවසීය.

ශිෂ්‍යයන්ට සහයෝගය දැක් වූ ති‍්‍රරෝද රථ රියදුරෙකුට ද මැරයන් පහර දී තිබේ. කඩුවකින් ගසා ඔහුගේ ති‍්‍රරෝද රථයේ වින්ඩ්ස්කී‍්‍රනය මැරයන් විසින් කුඩු කර ඇත. ප‍්‍රහාරයෙන් 20 ක් පමන තුවාල ලැබූ අතර ඉන් 12 දෙනෙකුට රෝහල් ගතව ප‍්‍රතිකාර ලබා ගැනීමට සිදු විය.

පහර දීම සම්බන්ධයෙන් සිසුන්, ටි‍්‍රසාන් සහ ති‍්‍රරෝද රථ රියදුරා විසින් පොලිසියට පැමිනිලි කර ඇත. පහර දුන් අයගෙන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහන මාධ්‍යයට ප‍්‍රකාශ කර ඇතත් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. ප‍්‍රහාරය මෙහය වූ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ඉන්දික ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

මෙලෙස කම්කරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ අරගලවලට එරෙහිව මැර ප‍්‍රහාර සංවිධානය කිරීම සහ මැරයන් ආරක්ෂා කිරීම රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතකි.

පහර දීම හෙලා දුටු පඹහින්න ති‍්‍රරෝද රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයෙකු වන දමිත් පි‍්‍රයාල් මෙසේ පැවසුවේ ය. “ලමයින්ට එල්ල කරපු ම්ලේච්ඡ ප‍්‍රහාරය මම හෙලා දකිනවා. සාමකාමීව සාකච්ඡා කර විසඳිය යුතු ප‍්‍රශ්නයකට ඒ විදිහට පහර දීම සම්පුර්නයෙන් ම වැරදියි. ඉන්දික පහර දීමට සම්බන්ධයි. මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. නමුත් ඉන්දික ගමේ මිනිහ හින්දා එයාව දිනවන්න මම වැඩ කලා. නමුත් මේ කරපු නින්දිත වැඩේ නිසා ආයෙත් නම් කිසි සහයෝගයක් එයාට දෙන්නේ නැහැ.”

හොරකමකට, වෙනත් අපරාධයකට සම්බන්ධ මිනිසුන් දවස් කිහිපයකින් අත්අඩංගුවට ගන්න පොලිසිය මෙම මැරයන් අත්අඩංගුවට නොගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව ප‍්‍රහාරයට සම්බන්ධ බව යැයි ඔහු වැඩි දුරටත් කීවේය.

සබරගමුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ශිෂ්‍යයන් ට එල්ල කල ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇත. “ශිෂ්‍යයන්ට එල්ල කල කෲර මැර ප‍්‍රහාරය සබරගමුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකී. ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික ප‍්‍රශ්න විසඳීමට වර්තමාන ප‍්‍රවේශය මෙයින් පැහැදිලි වේ. මක්නිසා ද උසස් අධ්‍යාපන ඇමතිවරයා 2014. 10. 5 දින සබරගමුව සරසවියේ දී “අට්ටාලවල” සිටින අයට සලකන ආකාරය හෙලි කර ඇත.”

ඡන්දයක් නැත්නම් අට්ටාලය ඉවත් කරන හැටි දන්නා බවත්, සත්‍යග‍්‍රහ කරන්නන් මැස්සන්, කූඩැල්ලන් ගනනටවත් තමන් ගනන් නොගන්න බව එහි දී ඔහු කියා ඇත. මෙය නිශ්චිතව ම ශිෂ්‍යයන්ට කල තර්ජනයකි. මැර ප‍්‍රහාරය එල්ල වුයේ දිසානායකගේ තර්ජනයෙන් දින පහකට පසුව ය. දිසානායක මීට පෙර අවස්ථා කිහිපයක දී ම විශ්ව විද්‍යාල සිසුන්ට එවැනි තර්ජන කර තිබේ. මැරයන් අත්අඩංගුවට ගැනීම වෙනුවට, පස්වෙනිදා දිසානායකට බාධා කල බවට චෝදනා කරමින් සිසුන් කන්ඩායමක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැන් උත්සාහ කරයි.

මේ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා (16 ) සවස, බලංගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ගේ මූලිකත්වයෙන් සත්‍යග‍්‍රහය නතර කරන ලෙස ඉල්ලා සිසුන්ට විරුද්ධව “උද්ඝෝෂනයක්” පඹහින්න හන්දියේ පවත්වා තිබේ.

සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් සත්‍යග‍්‍රහය ආරම්භ කලේ මූලික ඉල්ලීම් තුනක් මතය: පන්ති තහනම් කර ඇති සිසුන්ගේ පන්ති තහනම ඉවත් කිරීම, ශිෂ්‍ය සංගම්වලට පනවා ඇති තහනම ඉවත් කර ඒවා යලි පිහිටුවීමට ඉඩ සැලසීම හා විශ්ව විද්‍යාලය තුල ශිෂ්‍යයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීම එම ඉල්ලීම් වේ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ. ශිෂ්‍ය සංගම් සියල්ල තහනම් කර ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මැදිහත් වී උපකුලපති සමග කල සාකච්ඡාවල දී පන්ති තහනම ඉවත් කිරීමටත්, ශිෂ්‍ය සංගම් පිහිටුවීමට ඉඩ දීමටත් උපකුලපතිවරයා වාචික ව එකඟ වී ඇත. එහෙත් ශිෂ්‍ය සංගම් පිහිටුවීම සම්බන්ධ අතුරු ව්‍යවස්ථා වෙනස් කර ඇතැයි ශිෂ්‍යයෝ චෝදනා කරති. ඒ අනුව ශිෂ්‍ය සංගමයක් පිහිටුවීම සඳහා කරනු ලබන ඡන්ද විමසීමක දී ලියාපදිංචි ශිෂ්‍යයන්ගෙන් සියයට 50 ක ඡුන්දය ලබා ගත යුතුව ඇත. මෙය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බවත් තමන් එය පිලි නොගන්නා බවත් ශිෂ්‍යයෝ පැවසූහ. එමෙන් ම වාචික එකඟතා පිලිගත නොහැකි බව ද ඔවුහු කීහ.

ඊට අමතර ව පසුගිය දෙමස තුල විශ්ව විද්‍යාලයේ නීති රීති වලට “පටහැනි ව” කටයුතු කල ශිෂ්‍යයන්ට සහ, කාර්ය මන්ඩලයට එරෙහිව විනය කි‍්‍රයා මාර්ග ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට උපකුලපති සහ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය අතර එකඟතාවයක් ඇති වී තිබේ. මෙය නිශ්චිත ව ම ශිෂ්‍යයන් හා කාර්ය මන්ඩලය දඩයම් කිරීමේ පියවරකි. මෙම එකඟතාවලට ශිෂ්‍යයන්ගෙන් එල්ල වූ බලගතු විරෝධය හමුවේ ආචාර්ය සංගමය මැදිහත් කරුවෙකු ලෙස කි‍්‍රයා කිරීමේ කටයුතුවලින් ඉවත් වී ඇත.

මේ අතර, පසුගිය 5 වන දා සිට සබරගමුව සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා සියලුම සිසුන්ට සරසවි පරිශ‍්‍රයෙන් සහ නේවාසිකාගාර වලින් පිටව යන ලෙස පරිපාලනයෙන් නියෝග කෙරින. මෙයට විරෝධය දක්වමින් මෙතෙකුදු නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට වහාම ඉන් ඉවත් වන ලෙස බලන්ගොඩ දිස්ත‍්‍රික් අධිකරනයෙන් ඊයේ (17 දා) නියෝග කෙරින.

සබරගමුව සිසුන්ට එල්ල කල මැර ප‍්‍රහාරය කම්කරු පන්තිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ට ගරුකරන සියල්ලන් විසින් හෙලා දැකිය යුතුය. එමෙන් ම මැර ප‍්‍රහාරවලින් ශිෂ්‍යයන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය ඉදිරිපත් විය යුතුය.

කෙසේ වූව ද සබරගමුව විශ්ව විද්‍යාල සිසුන්ට එරෙහි මර්දනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව නිදහස් අධ්‍යාපනය වැනසීමේ රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙතේ කොටසකි. පසුගිය කෙටි කාලය තුල විශ්ව විද්‍යාල බලධාරීන් විසින්, අධ්‍යාපන කප්පාදු වලට එරෙහි සිසු අරගලයන් මධ්‍යයේ සිසුන් සිය ගනනකගේ පන්ති තහනම් කරමින් විවිධ මර්දනයන් කි‍්‍රයාවට දැමූ අතර ආන්ඩුව අධ්‍යාපනයේ පුද්ගලීකරනය කඩිනම් කර තිබේ.

ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා මර්දනය ලෝක ධනේශ්වර අර්බුදයෙන් ගලා එන්නක් බැවින් බලපෑම් දැමීම මගින් ඒවා වෙනස් කල නොහැකිය. පසුගිය කාලය පුරා සිසුන් මෙන් ම කම්කරු පන්තිය අත්දුටු සත්‍යය එයයි. වඩ වඩා ගැඹුරුවන ලෝක ධනවාදයේ අර්බුදය තුල ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුව, තම පිලිවෙත් වෙනස් කිරීමට විපරීතව, කම්කරු පන්තියට, ශිෂ්‍යයන්ට සහ අවශේෂ පීඩිතයන්ට එල්ල කරන සමාජ ප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාරයන් තවතවත් තීව‍්‍ර කරනු ඇත.

එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම මගින් එහි පිලිවෙත් වෙනස්කල හැකිය යන බරපතල මිථ්‍යාව සිසුන් අතර වගාදිගා කර තිබේ. ශිෂ්‍යයන් මෙම මිථ්‍යාව ප‍්‍රතික්ෂේප කල යුතුය. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සහ මර්දනයට විරුද්ධ අරගලය සමාජවාදී වැඩ පිලිවෙලක් කි‍්‍රයාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ දැනුවත් දේශපාලන අරගලයකි.

Share this article: