කලමනාකරන පීඨයක් ඉල්ලා පේරාදෙනිය සරසවි සිසුහු විරෝධතාවයේ යෙදෙති

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2014 ඔක්තෝබර් 03

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කලමනාකරන විෂය මාලාවන් සඳහා වෙනම පීඨයක් ආරම්භ කරන ලෙස ඉල්ලා එම විෂයයන් හදාරන 700 ක් පමන සිසුන් පසුගිය මාසයේ සිට විරෝධතාවන්හි නියැලී සිටියි. මෙම විරෝධතාවන් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමතිගේ හා සරසවි පරිපාලනයේ ප‍්‍රතිචාර මගින් රාජපක්ෂ ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනයේ හා නිදහස් අධ්‍යාපන කප්පාදුවේ නව සැලසුම් එලිමහනට ගෙනවිත් තිබේ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල සිසුන් කරුනු පැහැදිලිකරමින්

ලංකාවේ ආරම්භක සරසවිවලින් එකක් වන පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුල කලමනාකරන විෂය සඳහා පලමු වරට සිසුන් බඳවා ගනු ලැබුවේ 2007 වසරේදී ය. ඒ සඳහා පිරිනැමෙන උපාධිය සරසවියේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයට අනුබද්ධව පිරිනැමීම උපාධියේ අගය පිරිහෙලන සාධකයක් බවත් එය රැකියා සඳහා තරගයේ දී තමන්ට හානියක්වන බවත් පෙන්වා දෙමින් වෙනම පීඨයක් පිලිබඳ ඉල්ලීම සිසුන් විසින් මුල සිටම ඉදිරිපත් කර තිබුනි. සිසුන් මේ වන විට විරෝධතාවයන්ගේ යෙදී සිටින්නේ දැනට ඉදි කොට වැඩ අවසන් කර තිබෙන පීඨ සංකීර්නය නිල වශයෙන් විවෘත කිරීම ප‍්‍රමාද කිරීමට එරෙහිව යි.

කලමනාකරන සිසුන් පසුගිය මාසයේ සිට සරසවිය ඉදිරිපිට ගලහ හන්දියේ සත්‍යග‍්‍රහයක නියැලෙයි. මේ අතර පසුගිය 18 දා සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයට (අවිශිබම) අනුබද්ධ කලමනාකරන ශිෂ්‍ය සංගමය විසින් සිසුන් අඛන්ඩ පන්ති වර්ජනයකට යොමු කොට තිබේ.

සත්‍යග‍්‍රහය ආරම්භ කිරීමෙන් පසු පසුගිය 23 දා කලමනාකරන ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුලු 4 දෙනෙකු “අයුතු ජන රාශිය ක” යෙදීම හෙවත් නීති විරෝධී රංචු ගැසීම යන චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන දින 10 ක් රඳවා තබා ගැනුනු අතර එම ශිෂ්‍ය සංගමයේ වත්මන් හා හිටපු සභාපතිවරුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට සරසවි පරිපාලනය ක‍්‍රියා කොට ඇත.

උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පසුගිය 16 දා මාධ්‍යයට ප‍්‍රකාශ කර සිටියේ පවත්නා විරෝධතාවන්, කැරලිකාරී දේශපාලන කන්ඩායම් විසින් මෙහෙයවා ඇති බව හා ආන්ඩුවේ ‘සංවර්ධන ව්‍යාපෘතිවල’ කීර්තිය ඔවුන්ගේ විරෝධතාවල ජයග‍්‍රහන ලෙස භූක්ති විඳීමට යන බවයි. සත්‍යග‍්‍රහය නවතන තුරු වෙනම පීඨයක් ලෙස නිවේදනය කිරීමට අදාල ගැසට් පත‍්‍රය නිකුත් කිරීම අත්හිටුවා ඇති බවද දිසානායක පැවසීය.

සිසුන්ගේ ඉල්ලීම් පටු හා අතාර්කික බවත් වයඹ සරසවිය තුල ‘දැයට කිරුල’ යටතේ ඉදිකරන ලද ගොඩනැගිලි කිහිපයක් හා වව්නියාවේ හා ත‍්‍රිකුනාමලයේ පිහිටි විශ්ව විද්‍යාලයන්හි ඉදිකොට ඇති ගොඩනැගිලි කීපයක් දෙසට ඇඟිල්ල දිගු කරමින් සිසු ඉල්ලීම් දැනටමත් සපුරා දී ඇතැයි දිසානායක පුරසාරම් දෙඩවූයේ ය.

රට තුල ක‍්‍රියාත්මක සියලු ශිෂ්‍ය සත්‍යග‍්‍රහ හා විරෝධතා අවසන් කරන තුරු සරසවිවල සියලු සංවර්ධන කටයුතු නවතා දමන බවට ඇමති දිසානායක තර්ජනය කලේය. දිසානායකගේ ප‍්‍රකාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත නව වටයක කප්පාදු පියවර ක‍්‍රියාවට නැගීමේ දී කම්කරු පන්තියේ හා තරුනයන්ගේ විරුද්ධත්වය මැඞීමේ ආන්ඩුවේ පෙර සූදානම පෙන්නුම් කරයි.

එසේම මේ වසරේ දී රාජ්‍ය වියදම් ඇස්තමේන්තුවලින් සිියයට 20 ක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට වෙන් කර තිබෙන නමුදු උසස් අධ්‍යාපනයට වෙන් කොට ඇත්තේ 1.9 ක් පමනි. මේ වසරේ ආරක්ෂක හා නාගරික සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රාග්ධන වියදම් සියයට 15 කින් වැඩි කර ඇතත් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රාග්ධන වියදම් සඳහා පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් නොකරයි. විශ්ව විද්‍යාල සංවර්ධන ව්‍යාපෘති පිලිබඳ දිසානායකගේ පුරසාරම් පිටුපසින් ඇති ආන්ඩුවේ සැබෑ න්‍යාය පත‍්‍රය ඉහත සංඛ්‍යා ලේඛන මගින් මනාව එලිමහනට පැමින ඇත.

පේරාදෙනිය සරසවියේ කලමනාකරන පීඨයක් ස්ථාපිත කිරීම මෙතරම් ප‍්‍රමාදවීම එම මෙතෙක් පැවති සෑම ආන්ඩුවක්ම ගෙනගිය කප්පාදුවල ප‍්‍රතිඵලයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක්වු තෙවන වසර ශිෂ්‍යයෙක්: “අපිට වෙනම කලමනාකරන අධ්‍යනාංශයක් තිබුනට කලා පීඨයේ දේශන ශාලා තමයි පාවිච්චි කරන්නෙ. ඒක අපිට ලොකු ගැටලුවක් ඉඩ ප‍්‍රමානවත් නෑ. අපිට ප‍්‍රමානවත් ලෙස ආචාර්යවරු නෑ. රැකියා තරගයට මුහුන දීමේ දී අපිට කලා පීඨයේ උපාධියකින් එතරම් ප‍්‍රයෝජනයක් නෑ” යනුවෙන් සිය දුෂ්කරතා පැහැදිලි කලේ ය.

රට පුරා සරසවිවල සිසුන් බරපතල දේශනශාලා හා නේවාසිකාගාර ගැටලුවලට මුහුන දී සිටින අතර පොදුවේ සිසුන් මුහුන දී ඇති තවත් ගැටලුවක් වී ඇත්තේ දසකයකින් පමන වැඩි නොවු සොච්චම් ශිෂ්‍යාධාරය හමුවේ ඉහල යන ජීවන වියදමයි.

2008 දී පුපුරා ගොස් අවපාතයක් දිසාවට වර්ධනය වන ලෝක ධනේශ්වර අර්බූදය හමුවේ නිදහස් අධ්‍යාපන වියදම් කප්පාදුව වේගවත් කර ඇති ආන්ඩුව අධ්‍යාපනය ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කරමින් සිටී. එම වැඩපිලිවෙල යටතේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ආයෝජකයන්ට දැවැන්ත බදු සහන හා නොමිලේ ඉඩම් පිරිනමමින් පවතී. ලෝක ධනේශ්වර අර්බූදය හමුවේ ප‍්‍රධාන ආර්ථික බලයන්ගේ සිට ලංකාව වැනි අඩු දියුනු යයි සැලකෙන රටවල් දක්වා පාලක පන්තීන් අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු කම්කරු පන්තියේ සියලු අතීත ජයග‍්‍රහන අතුගා දැමීම සඳහා සමාජ ප‍්‍රතිවිප්ලවයක් දියත් කොට තිබේ.

කලමනාකරන ශිෂ්‍ය අරගලයට ද සම්බන්ධව සිටින අවිශිබමය ශිෂ්‍ය අරගල හුදකලා කොට මෙම සමාජ ප‍්‍රතිවිප්ලවය වසන් කිරීමේ ව්‍යායාමයක යෙදී සිටී. අවිශිබම ට නායකත්වය දෙන්නේ ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යි. පෙසප සහ අවිශිබම, ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනා ගත හැකි ය යන මිථ්‍යාව වගා දිගා කිරීමේ නියැලී සිටිති.

ශිෂ්‍යයන් අතර තම සහයෝගී පදනම් ඛාදනයට ලක් වී සිටින අවිශිබම පසුගිය දිනවල රජරට සරසවියේ ශිෂ්‍ය මර්දනයට හා සම සෞඛ්‍ය උපාධිය කප්පාදුවට එරෙහිව මාස ගනන් ඇදී ගිය සත්‍යග‍්‍රහවලදී ආන්ඩුව ලබාදුන් සීමිත සහන හා කල්ගැනීම් විශාල ජයග‍්‍රහන ලෙස උත්කර්ෂයට නංවමින් දැන් කලමනාකරන සිසුන් ද සත්‍යග‍්‍රහයක සිරකොට ඇත. ශිෂ්‍ය සංගම් තහනමට හා සිසු අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව සබරගමුව සරසවිය තුල ද එවැනි සත්‍යග‍්‍රහවල සිසුන් සිර කොට තිබේ.

අවිශිබමය මේ දිනවල බෙදා හැරි තවත් පත‍්‍රිකාවක “විශ්ව විද්‍යාල අධ්‍යාපනය විකුනන්නත් මේ රටේ පාලකයෝ සෑහෙන කාලයක් දත කෑවා. නමුත් බැරි වුනා” යයි ප්‍රෝඩාකාරී ලෙස පවසා තිබෙන්නේ සැබෑ තතු වසන් කිරීමටත් ආන්ඩුවට බලපෑම් දැමීමේ අවිශිබමයේ බංකොලොත් වැඩපිලිවෙල වසන් කිරීමටත් ය. පත‍්‍රිකාවේ අගට පාසල්වල මුදල් අය කිරීමට හා අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහිව පෙලගැසෙමු යයි ජනතාවට ව්‍යාජ කැඳවුමක් කර තිබේ.

අවිශිබමයේ ප්‍රෝඩාකාරී විරෝධතා පිටුපසින් ආන්ඩුව පුද්ගලික උපාධි පිරිනමන ආයතන රට පුරා දුසිම් ගනනක් ආරම්භ කර ඇති අතර එම ආයතනවල සමාජයේ අතිශය සුලූතරයකට පමනක් දැරිය හැකි අධික මිල ගනන්වලට උපාධි පාඨමාලා අලෙවි වෙමින් තිබේ. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය හා ගාල්ව සිටින නව සමසමාජ වැනි ව්‍යාජ වාම පක්ෂ සමග පෙලගැසී සිටින පෙසප හා අවිශිබමය නායකයන්ගේ මෙම කැඳවුම් සහ ඊනියා සත්‍යග‍්‍රහ, ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව සිසුන් ඇතුලු මහජනයා අතර වර්ධනය වන විරුද්ධත්වය දියාරු කර ධනපති පන්තියේ ඒ හෝ මේ කොටසකට මාට්ටු කිරීමේ දැනුවත් උත්සාහයකි.

Share this article: