අධිකරන නියෝග ඉදිරියේ වෘත්තීය සමිති දුම්රිය සේවක වර්ජනය අත්හරියි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 ඔක්තෝබර් 13

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේනිගත වෘත්තීය සමිති එකමුතුව කොලඹ දිසා අධිකරනය විසින් නිකුත් කෙරුනු වාරන නියෝගයට හිස නමමින් දින තුනක් පැවති දුම්රිය සේවක වර්ජනය ගිය සෙනසුරාදා අත් හැර දැමූහ. ඉදිරිපත් කෙරුනු ඉල්ලීම් කිසිවක් නොලැබ, වෘත්තීය සමිති විසින් ගනු ලැබූ මෙම තීන්දුව වැඩ වර්ජනය පාවා දීමකි.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ආරම්භ කෙරුනු මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති, රියදුරු, නියාමක, පාලක, අධීක්ෂන කලමනාකරන ඇතුලූ වෘත්තීන්ට අයත් 2,300 ක් පමන සේවකයෝ වර්ජනයට සහභාගි වූහ. වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනය සියයට 90 න් පමන අඩාල විය.

අධිකරනය වාරන නියෝගය පැනවූයේ දුම්රිය මගියෙකු තම ප‍්‍රවාහන අපහසුතා දක්වමින් ගොනුකල පෙත්සමක් විභාග කිරීමෙන් පසුව ය. කෙසේ වෙතත් යටිසූත්තර කි‍්‍රයාවක් මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ධනපති රාජ්‍යයේ ප‍්‍රධාන උපකරනයක් වන අධිකරනය දුම්රිය සේවකයන්ගේ අරගලයට එදිරිව හරස් කර ඇත. පසුගිය වසර ගනනාව තුල රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ අරගලවලට එරෙහිව අනෙකුත් තර්ජන හා මර්දනවලට අමතරව අධිකරනය හරස් කිරීම අවියක් බවට පත් කරගෙන ඇත්තේ ධනේශ්වර රාජ්‍යයට ගැටගැසුනු වෘත්තීය සමිති හා නිලධරය ඊට අවනත කරවා අරගල මැඩගැනීම පහසු බවට ගනන් බලමිනි. මෑතම දිනෙක උදාහරනයක් නම්, සැප්තැම්බර් මාසයේ රෝහල් සේවකයන් මැඩලීම සඳහා අධිකරන නියෝගයක් පනවා ගැනීමයි.

වර්ජනය අවසන් කරන බව නිවේදනය කරමින් සමිති එකමුතුවේ සභාපති ජානක ප‍්‍රනාන්දු තම මූන බේරාගැනීමට මාධ්‍යයට පවසා ඇත්තේ අධිකරන නියෝගය පිලිගනිමින් වර්ජනය ”තාවකාලිකව” අත්හැර දමන බවයි. මුදල් අමාත්‍යංශ ලේකම් පි.බී. ජයසුන්දර සහ සමිති එකමුතුව අතර බ‍්‍රහස්පතින්දා සවස පැවති සාකච්ඡුා අසාර්ථක වීමෙන් පසුව වර්ජනය දිගටම පවත්වාගෙන යන බවට සමිති එකමුතුව කලින් නිවේදනය කොට තිබින.

ශ්‍රේනිගත දුම්රිය සේවකයන්ගේ වර්තමාන ආරම්භක වැටුප රුපියල් 15,005 කි. එය රුපියල් 16,350 දක්වා වැඩිකරන ලෙස සමිති එකමුතුව ඉල්ලා සිටියි. ආන්ඩුව දැනට එකඟ වී ඇත්තේ රුපියල් 15,350 දක්වා පමනක් වැඩි කිරීමට ය. දුම්රිය සේවකයෝ එය ප‍්‍රතික්ෂේප කරති. බ‍්‍රහස්පතින්දා සාකච්ඡුාවේදී ජයසුන්දර පවසා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර සති දෙකකින් විසඳුමක් ලබා දෙන බවයි. දුම්රිය ඇමති ඩලස් අලහප්පෙරුම හා වැටුප් කොමිසම සමග අගෝස්තු 15 වන දා කල සාකච්ඡාවකදී ද සති දෙකක් ඇතුලත ගැටලුව විසඳන බවට ව්‍යාජ පොරොන්දුවක් දී තිබුනි.

ආන්ඩුව සහ දුම්රිය බලධාරීන් සමග වසර තුනහමාරක් සාකච්ඡා කලත් පලක් නොවුන නිසා වර්ජන තීන්දුව ගත් බව සමිති නිලධරය පවසයි. ආන්ඩුව සමග සාකච්ඡුාවල කාල්ගාමින් සිටි වෘත්තීය සමිති වර්ජනය කැඳවූයේ සේවකයන් අතර වැඩෙමින් පැවති විරෝධතාව වාෂ්ප කර දැමීම සඳහා ය. සමිති නායකයන් සති දෙකකින් ප‍්‍රකාශ වීමට නියමිත අයවැය යෝජනා මගින් යමක් ලබාගැනීම පිලිබඳ මිථ්‍යාව ද සේවකයන් අතර පතුරුවා හැර තිබුනි.

කෙසේ වෙතත්, රාජපක්ෂ ආන්ඩුවේ බොරු සාකච්ඡා වටවංගු හා අවසානයේ අධිකරන නියෝගයක් ගෙන ඒම දුම්රිය සේවකයන් පමනක් නොව සමස්ත කම්කරු පන්තිය ම මුහුන දී සිටින සැබෑ තත්වය පෙන්නුම් කර ඇත. එනම්, ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිවෙල කි‍්‍රයාවට දමනවා මිස, කම්කරුවන්ගේ ජීවන තත්වයන් පවත්වා ගැනීමට මොනම සහනයක් වත් නොදෙන බවත් තම අයිතීන් සඳහා අරගලයට එන කම්කරුවන් මැඩීමට පොලීසිය, මිලිටරිය හා අධිකරනය කඩා පන්නවන බවත් ය.

රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට හා ධනපති ක‍්‍රමයට එරෙහිව දේශපාලන අරගලයකින් මිස කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගැනීමට නොහැකි බව මින් බලගතු ලෙස යලිත්වරක් තහවුරු වී ඇත. එහි තේරුම නම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කම්කරු පන්තිය සටන් කල යුතු බවයි.

වෘත්තීය සමිති මෙම දේශපාලන අරගලයට කම්කරුවන් බලමුලුගැන්වීමට සතුරු ය. වර්ජනය කැඳවූ දුම්රිය සමිති එකමුතුව කලේ සේවකයන් අරගලයට ඒම දිගු කලක් තිස්සේ වලක්වා ගෙන සිටීමත් වර්ජනය කැඳවීමෙන් පසු ඔවුන් දුර්මුඛ කර අවසානයේ පාවාදීමත් ය.

වැඩිවන ජීවන වියදම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ගෙනයන ප්‍රෝඩාව මනාව පෙන්නුම් කරමින් එජාපයේ ජාතික සේවක සංගමය හෝ ජවිපෙට අයත් ලංකා දුම්රිය පොදු සේවක සංගමය වර්ජනයට සම්බන්ධ නොවුනි. ආන්ඩුවට සම්බන්ධ ශී‍්‍ර ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය ද වර්ජනයට සහභාගි නොවුනි. මෙම සමිති නොතකා ඒවායේ සාමාජිකයන් වර්ජනයට එක් වූහ.

තම අයිතීන් සඳහා සටන් කිරීමට කම්කරු පන්තිය සිය සූදානම නැවත නැවතත් පෙන්නුම් කර ඇත. එහෙත් වැටුප් විෂමතාවය අහෝසි කර ගැනීමට ආන්ඩුව සමග කෙවල් කිරීම පිලිබඳ සූත‍්‍රය වනාහී මෑත භාගයේ රාජ්‍ය අංශයේ සෑම වෘත්තීය සමිතියක් විසින් ම කම්කරුවන් පටලැවීමට අටවා ඇති පඹගාලකි. කම්කරුවන්ට ශීලචාර ලෙස ජීවත් වීමට අවශ්‍ය වැටුපක් ඉහල යන ජීවන අංකය අනුව ඉහල යන වැටුපක් ද හොඳ සේවා කොන්දේසි ඇතුලු ඉල්ලීම් ද අත්හැර මෙම පඹගාල නිර්මානය කර කම්කරුවන් ශ්‍රේනිගත භේදයන් තුල හිර කිරීමට වෘත්තීය සමිති කි‍්‍රයා කරති. දුම්රිය අංශයේ ද සිදුවන්නේ එයයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව රාජ්‍ය අංශයේ වැටුප් කැටිකර තැබීමේ පිලිවෙතක් 2006 සිට ම රාජපක්ෂ ආන්ඩුව විසින් අනුගමනය කලේ ය. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය සමග යුද්ධය තුල දී යුද්ධයට යටත් කොට කම්කරු පන්තියේ වැටුප් ඉල්ලීම් සහ ඒ මත පැන නැගුන අරගල මැඩලීමට ආන්ඩුව කටයුතු කලේ ය. රාජපක්ෂ බලයට ගෙන ඒමට සහ යුද්ධයට පිටුබලය දුන් ජවිපෙ සහ එහි සමිති එකල දුම්රිය කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියේ අරගල කොටින්ට සහයෝගය දෙන ඒවා ලෙස හංවඩු ගසා ඒවා මර්දනය කිරීමට ආන්ඩුවට සහයෝගය දුන්නේ ය.

රාජපක්ෂ ආන්ඩුව දැන් හැරී සිටින්නේ යුද්ධය කාලපරිච්ඡේදය තුල කල්පසු වූ දේශීය හා විදේශීය ආයෝජකයන්ට තවතවත් කොන්දේසි සකසන ආර්ථික ප‍්‍රතිසංස්කරන කි‍්‍රයාවට දමීමට ය. ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය නිසා පුද්ගලීකරනය සහ රාජ්‍ය වියදම් කප්පාදුව හා කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට පහරදීම තව තවත් තීව‍්‍ර කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටී. දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යූහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතනවලින් එකකි. ජනාධිපති මෙන් ම මුදල් ඇමති ද වන රාජපක්ෂ කි‍්‍රයාවට දමන්නේ මුල්‍ය අරමුදල විසින් නිර්දේශිත හා ගැඹුරුවන ධනවාදී අර්බුදය විසින් සෑම රටක ම පාලක පන්තීන් ට දැන් අනකරනු ලබන සමාජ ප‍්‍රතිවිප්ලවයේ පිලිවෙත් ය.

ධනපති රාජ්‍ය බලය මෙහෙයවා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ කොන්දේසි කි‍්‍රයාවට දමන තත්වයේ දී ඊට එරෙහිව සටන් කිරීමේ ඉදිරිදර්ශනයක් ද සමාජවාදී විප්ලවවාදී පක්ෂයක් ද කම්කරුවන්ට අවශ්‍ය ය. ගෝලීය ධනවාදයට ඓන්ද්‍රීයව බද්ධව තිබෙන වෘත්තීය සමිති එවන් ඉදිරි දර්ශනයකට සහ නායකත්වයකට පරම සතුරු බැවින් ඒවා හරහා කම්කරු පන්තියේ අවශ්‍යතාවන් ප‍්‍රකාශයට පත් කල නොහැක. සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගන්නේ ඉහත කී ඉදිරිදර්ශනය සහ සංවිධානය සාක්ෂාත් කිරීම සඳහා ය. වෘත්තීය සමිති වලින් ස්වාධීනව වැඩපලවල් තුල කම්කරු කි‍්‍රයාකාරී කමිටු ගොඩනගමින් තම අයිතීන් සඳහා අරගලයට සංවිධානය වන ලෙස ද සසප ගොඩනැගීමට එක්වන ලෙස ද අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු.

Share this article: