රාජපක්ෂ ආන්ඩුවේ සමාජප‍්‍රතිවිප්ලවවාදී ප‍්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල මත සටන් වදිනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශයකි, 2014 ඔක්තෝබර් 20

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික අංශයන්හි වෘත්තීය සමිති එකමුතුව, වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් 17 ක් මුල් කර ගනිමින් ඔක්තෝබර් 21 දා කොලඹ කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතා උද්ඝෝෂනයක් පවත්වයි.

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සඳහා රු: 10,000 ක මූලික මාසික වැටුප් වැඩිවීමක් ද පුද්ගලික අංශයේ සේවකයන් සඳහා රු: 5,000 ක අය‐වැය සහන දීමනාවක් ද පුද්ගලික අංශයේ අවම මාසික වැටුප රු: 15,000 ක් කරන ලෙස ද සමිති එකමුතුව ආන්ඩුවෙන් ඉල්ලයි. ජීවන අංක දීමනාව ඒකකයක් සඳහා රු: 67 වෙනුවට, ඒකකයක යථා අගය” වන රු: 280 බැගින් ලබා දිය යුතු බව ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනයකට යටත් කල යුතු බව ද ඉල්ලන සමිති එකමුතුව මිනිස් බල ඒජන්සි අහෝසි කිරීම, ඒවා යටතේ සේවයට බඳවා ගෙන ඇති සේවකයන් ස්ථිර කිරීම හා දින 180 ක සේවා කාලයක් සම්පූර්න කර ඇති අනියම් සහ ආදේශක සේවකයන් ස්ථිර කිරීම ද ඉල්ලීම් මාලාවට එකතු කරයි.

සමිති නිලධරය විසින් පෙරට දමා ඇති මෙම ඉල්ලීම් ආන්ඩුව විසින් පනවන ලද චක‍්‍රලේඛ රාමුවට අනුකූල ඒවා මිස කම්කරුවන් අතර සිදු කෙරුනු කවර හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවකින් නිර්නය වූ ඒවා නොවේ.

2015 අය‐වැය ඉදිරිපත් කිරීමට යන්තම් සති කීපයකට පෙර සමිති නිලධරය විසින් මෙම උද්ඝෝෂනය කැඳවා ඇත්තේ, ආන්ඩුවට බලපෑම් කොට අයවැය තුලින් මෙම ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාව කම්කරුවන් අතර වපුරා ඉසිලිය නොහැකි ජීවන වියදම හමුවේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව ඔවුන් අතර වැඩෙන බලගතු විරෝධය සහ සටන්කාමිත්වය දියකර දැමීමේ අරමුන ඇතිවයි. එම නිවට සැලසුම ගැලපෙන්නේ, අය-වැයට පෙර ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ආන්ඩුව අවුරුදු පතා ගෙන යන ප්‍රෝඩාවටම ය.

මෙම බලපෑම් දැමීමේ උද්ඝෝෂන හරහා ඉහත ඉල්ලීම් නොලැබෙන බව සමිති නිලධරය හොඳින්ම දනී. යුද්ධය පැවති සමයේත් ඉන් පසුවත් කම්කරුවන් අත්දැක ඇත්තේ තමන්ගේ මෙන් ම අනෙකුත් පීඩිතයන්ගේ සෑම ඉල්ලීමකට ම ආන්ඩුවේ පිලිතුර වන්නේ රුදුරු රාජ්‍ය මර්දනය බව යි.

තීව‍්‍ර වන ලෝක ධනවාදී අර්බුදය හා ඉන් පැන නංවන ලෝක යුද්ධ සැලසුම්වල වා සුලියට අසුවී සිටින රාජපක්ෂ ආන්ඩුව හැරී ගෙන සිටින්නේ වැටුප් වැඩි කිරීම, රැකියා සම්පාදනය ඇතුලු වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් වැඩි දියුනු කිරීමට නොව, සෙසු රටවල ධනපති පාලක පන්තීන් මෙන් ම සියලු සමාජ සුභසාධන කම්බස් කර දැමීමට ය. තවදුරටත් රාජ්‍ය වියදම් කැපීම මගින් 2015 අවසන් වනවිට අයවැය පරතරය දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 3.8 දක්වා අඩු කිරීම ආන්ඩුවේ ඉලක්කය යි.

කම්කරුවන්ගේ, පීඩිතයන්ගේ හා ශිෂ්‍යන්ගේ ඉල්ලීම් රාජපක්ෂ ආන්ඩුව කිසිසේත් ඉවසනු නැති බවත් ඒවා ලෙයින් මැඩීම ආන්ඩුවේ පිලිවෙත බවත් මෑත විරෝධතා සම්බන්ධයෙන් ආන්ඩුව දැක්වූ මෘග ප‍්‍රතිචාර මගින් දැනටමත් පෙන්නුම් කර තිබේ.

“ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සහ එය යටතේ උත්සන්න කෙරුනු මිලිටරිවාදය ද රාජපක්ෂ විසින් කම්කරු පන්තියට එරෙහිව යහමින් යොදා ගැනුනු අතර “එල්ටීටීඊය නැවත හිස ඔසවමින් සිටින බව” කියමින් උතුරත් දකුනත් වඩවඩාත් මිලිටරි-පොලිස් ඒකාධිපතිත්වයකට නතු කිරීමේ වැඩපිලිවෙල තීව‍්‍ර කරයි.

තම ජීවන කොන්දේසිවලට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහි කම්කරු පන්තියේ අරගලය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකි. එම අරගලය සඳහා කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය අතිමූලික වේ. සමිති එකමුතුව එවන් අරගලයකට හා පන්ති ස්වාධීනත්වයකට පරම සතුරු බව උද්ඝෝෂනයේ ස්වභාවයෙන් ද එය වටා රැලි කරගෙන සිටින පක්ෂ සහ සංවිධාන වලින් ද සනාථ වේ.

වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නපි‍්‍රය උජාරුවෙන් පවසන, උද්ඝෝෂනයට සම්බන්ධිත “50 කට අධික” සමිති හා සංවිධාන නාමාවලියේ ඉදිරියෙන්ම සිටින්නේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යි. තමා බලයේ සිටියදී කම්කරු පන්තියට එරෙහි නිර්දය ප‍්‍රහාර සම්බන්ධයෙන් ද, වාර්ගික භේදකරනය හරහා තම පන්ති පාලනය ගෙනයාම හා අවසානයේ වර්ගවාදී යුද්ධයම ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද එජාප කුප‍්‍රකට ය. එම යුද්ධයේ කසකරුවකු වූ ජවිපෙ 1988‐89 කාල පරිච්ඡේදයේදී කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් මුගුරක් ලෙස කි‍්‍රයාත්මක විය. ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාව සඳහා කැප වන බවට, වෙනත් අයුරකින් කිවහොත් රාජපක්ෂ ගෙනයන සමාජ ප‍්‍රතිවිප්ලවීය ප‍්‍රහාර ඉදිරියටම ගෙන යන බවට, මෙම පක්ෂ දෙකම ශපථ වෙයි.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සලුපිලි අන්දවමින් රාජපක්ෂට එරෙහිව වැඩෙන මහජන විරෝධය එජාපය තුලට ගාල් කිරීමට වලිකන ව්‍යාජ වාම පක්ෂ දෙකක් වන නව සම සමාජ පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය උද්ඝෝෂනයට සම්බන්ධ වන තවත් පක්ෂ දෙකකි.

කම්කරු පන්තියට එල්ල කෙරෙන ප‍්‍රහාර වලට පූර්න සහයෝගය දෙමින් රාජපක්ෂ ආන්ඩුවේම ලැග සිටින පක්ෂ තුනක් වන, සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමය, ධනපති ආන්ඩුවලට ගාල්වී කම්කරු පන්තිය පාවාදීම හේතුවෙන් පාරාජිකා වී සිටින ලංකා සම සමාජ පක්ෂය හා ස්ටැලින්වාදී ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙම උද්ඝෝෂනයට සහභාගිවීම මගින් ආන්ඩුවට එරෙහි මෙම “විරෝධතාවේ” සැබෑ අවස්ථාවාදී මුහුනුවර වඩාත් එලිමහනට පැමිනේ.

විරෝධතා උද්ඝෝෂනයට කම්කරුවන් දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීම වෙනුවට මෙම සමිති එකමුතුව පසුගිය දින කීපය යෙදී ගත්තේ මෙම කම්කරු විරෝධී බලවේගයන් පෙල ගස්වා ගැනීමට බැව් නොරහසකි.

විරෝධතාව සඳහා කම්කරු සහභාගිත්වය පිලිබඳ කරුනු විමසූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට රත්නපි‍්‍රය පැවසුවේ “කාලය කෙටි” බැවින් දිවයින පුරා කම්කරුවන් රැලි කර ගැනීමේ වැඩ කටයුතු කල නොහැකි වූ බවත් බස්නාහිර පලාතේ කම්කරුවන්ගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවත් ය. මතු කල යුතු ප‍්‍රශ්නය වන්නේ, සමිති නිලධරයන් “දිගු කාලය” ගත කලේ කවර කටයුතු සඳහා ද යන්න යි.

කම්කරු පන්තියේ දේශපාලනික සංවිධානාත්මක බලමුලු ගැන්වීමක් අවසාන වශයෙන් කම්කරු පන්තික රාජ්‍ය බලය පිලිබඳ ප‍්‍රශ්නය මතු කෙරෙන බව දන්නා සමිති නිලධරය ඊට පරම සතුරුය. කඩින් කඩ හා පලාතෙන් පලාතට වෙන්වෙන්ව ගෙනියන උද්ඝෝෂන කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ විරෝධය හා සටන්කාමීත්වය වාෂ්ප කර දැමීමේ සුපුරුදු දුෂ්ට ක‍්‍රියාදාමයකි.

රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහි කම්කරු පන්තියේ අරගලය ධනවාදයට එරෙහි දේශපාලන අරගලයකි. එහෙයින්ම එය, සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවකින් ධනපති රාජපක්ෂ පාලනය විස්ථාපනය කර දැමීම ඉල්ලුම් කරන අරගලයකි. එම අරගලය සඳහා, ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කරන මෙම වෘත්තීය සමිතිවලට සහ ද්‍රෝහී පක්ෂවලට එරෙහිව, සිය නායකත්වය යටතේ ගම්බද දුගීන් තරුනයින් හා ශිෂ්‍යයන් ඇතුලු සෙසු පීඩිතයින් රැලි කර ගැනීමට කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතුය. එය, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධව යුද්ධයේ සහ සමාජ ප‍්‍රතිවිප්ලවයේ පදනම වන ලෝක ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීම පිනිස ගෙන යන අරගලය සමග අත්‍යන්තයෙන් බැඳී ඇත.

මෙම ඉදිරිදර්ශනය මත කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසප හා එක්වෙමින් එම දේශපාලන අරගලය සඳහා පෙරට එන මෙන් කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් සහ පීඩිතයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: