රාජපක්ෂ ආන්ඩුව ජවිපෙ පිටුබලයෙන් වනාතමුල්ල 34 වත්තේ නිවාස 150 ක් කඩා බිඳ දමයි

විලානි පීරිස් විසිනි , 2014 ඔක්තෝබර් 1

පසුගිය සැප්තැම්බර් 18 දා, මිලිටරිය හා නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) එක්ව, කොලඹ, වනාතමුල්ලේ, 34 වත්තේ අඩු ආදායම්ලාභී නිවාස 150 කට ආසන්න සංඛ්‍යාවක් බලහත්කාරයෙන් කඩා බිඳ දැමූහ. තම නිවාසවලින් ඉවත්ව යන ලෙස රාජපක්ෂ ආන්ඩුවේ නාසඅ දුන් නියෝග ප්‍රතික්ෂේප කරමින් මාස ගනනාවක් පුරා එම නිවැසියෝ විරෝධතාවක නියැලී සිටියහ. කෙසේ නමුදු, ආරම්භයේ සිටම ආන්ඩුවට පීඩනය යෙදීමේ සීමාව තුල මෙම විරෝධතාව සිරකොට තැබීමට ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකත්වයෙන් මෙහෙයවුනු වනාතමුල්ල නිවාස සුරැකීමේ සංවිධානය (නිසුස) ඉටුකල ක්‍රියාකලාපය, ප්‍රහාරය සඳහා ආන්ඩුවේ අත ශක්තිමත් කිරීමක් විය.

කඩා බිඳ දැමූ නිවාස

මාධ්‍ය වාර්තාවන්ට අනුව, 18 දා පෙරවරුවේ පොලීසිය සහ නාසඅ නිලධාරීන් කීප දෙනෙකු සමග 34 වත්තට පැමිනි නාගරික පුනර්ජීවන ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.ඒ.ආර්. සමරසිංහ වහාම තම නිවෙස්වලින් ඉවත්වන ලෙස එහි පදිංචිකරුවන්ට නියෝග කර ඇත. ඉවත් කිරීමට එරෙහිව අධිකරන ක්‍රියාමාර්ගයක නිරතව සිටින නිවාස හතරක පදිංචිකරුවන් හැර අනෙක් නිවැසියන්, අන් විකල්පයක් නොමැති බැවින් නාසඅ සපයන ලද දෙමටගොඩ සිරිසරපුර මහල් නිවාසයන්හි පදිංචියට ගියහ.

මෙම මහල් නිවාසයක වපසරිය වර්ග අඩි 380 කට සීමාවන අතර 34 වත්තේ තමා පදිංචිව සිටි නිවාස වඩා ඉඩකඩ තිබූ බවට බොහෝ නිවැසියෝ මැසිවිලි නගති. එකිනෙකට මුහුනලා තිබෙන නිවාස දෙකක් අතරින් දිවෙන කොරිඩෝරයේ පලල යන්තම් අඩි 4.5 කි. මහල් 11 කින් යුත් නිවාස සංකීර්නයට ප්‍රමානවත් තරම් විදුලි සෝපාන නොමැති බැවින් හා පවත්නා සෝපාන අතලොස්ස ද ප්‍රමිතීන්ට අනුකූල නොවන බැවින් නිවැසියෝ ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුන දී සිටිති. කොන්ක්‍රීට් තට්ටුවක ඝනකම අඟල් 2.5 කට සිමාවී ඇති තතු තුල කොයි මොහොතේ හෝ කඩා වැටේද යන භිතියෙන් නිවැසියන් නිරතුරුව පෙලෙයි.

34 වත්තෙන් පලවා හරින ලද බොහෝ නිවැසියන්ට තම නිවාස සඳහා නීත්‍යානුකූල ඔප්පු තිබූ නමුදු ඒ සඳහා ඔවුනට කිසිදු වන්දියක් නොලැබුනි. එසේ වුවද ලබා දී ඇති මහල් නිවාසයේ පදිංචියට පෙර සෑම නිවසකින්ම රුපියල් ලක්ෂය බැගින් නාසඅ විසින් අයකරගෙන ඇත. වසර 20 ක් ගතවනතුරු රුපියල් 3960 බැගින් වූ මාසික වාරිකයක් ද ගෙවිය යුතු වන්නේ විදුලි හා ජල ගාස්තුවලට අමතරවයි.

වනාතමුල්ලේ නිවැසියන් ඉවත් කිරීම රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික පිලිවෙත සමග බැඳී පවතී. ජාතික හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් මත කොලඹ නගරය ආර්ථික කේන්ද්‍රයක් බවට පරිවර්තනය කිරීම ආන්ඩුවේ අරමුනයි. දුගී සහ අඩු ආදායම්ලාභී පවුල් තම නිවෙස්වලින් පලවා හැර මුදා ගන්නා කොලඹ නගරයේ ඉඩම් මහා පරිමාන ආයෝජකයන්ට දීර්ඝ කාලීන බදු සහන යටතේ දැනටමත් ලබා දෙමින් පවතී. මෙලෙස කොලඹ නගරයෙන් පමනක් පවුල් 100,000 ක් පලවා හැරීමට නියමිතය. මේ අතර, ශ්‍රී ලංකාව සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩපිලිවෙල යටතේ දිවයිනේ වෙනත් ප්‍රධාන නගර කීපයක ද දුගීන් පලවා හැරීම ක්‍රියාත්මක වෙමින් පවතී.

තමා බලහත්කාරයෙන් ඉවත් කිරීමට එරෙහිව 34 වත්තේ නිවැසියන් අතර වැඩුනු විරෝධය මැඩලීම සඳහා ආන්ඩුව විවිධ ක්‍රමෝපායන් යොදා ගත්තේය. අල්ලස් හා බිය වැද්දීම් වලට අමතරව පැහැරගෙනයාම් ද ඒ අතර විය. විරෝධතාවන් අතර මූලිකත්වයක් ගෙන සිටි හා වරෙක නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග තම නිවාස අයිතිය වෙනුවෙන් ප්‍රසිද්ධියේ වාද කල සුනිල් සමරධීර පසුගිය පෙබරවාරියේදී පැහැර ගැනීමට ලක්විය. ප්‍රදේශවාසීන්ගේ බලගතු විරෝධතා උද්ඝෝෂන මධ්‍යයේ සමරධීර නිදහස් කෙරුනු නමුදු ප්‍රදේශය පුරා පොලිස් සහ මිලිටරි සෝදිසි තර කෙරුනි. මේ අතර සමහර නිවැසියන්ට වැඩි පහසුකම් ඇති නිවාස ලබා දෙමින් නිවැසියන් අතර ගැටුම් නිර්මානය කිරීමට ද ආන්ඩුව කටයුතු කලේය.

වනාතමුල්ල ප්‍රදේශයෙන් පවුල් 5000 ක් ඉවත් කොට අක්කර 72 ක සුවිසල් භූමි ප්‍රදේශයක් නිදහස් කර ගැනීමට ආන්ඩුව බලාපොරොත්තු වෙයි. වැඩෙමින් පවතින දැවැන්ත මහජන විරෝධය හමුවේ මෙය සාක්ෂාත් කිරීම පහසු කටයුත්තක් නොවේ. එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජවිපෙ ඇතුලු කොලඹ සංස්ථාපිතයේ සියලුම දේශපාලන පක්ෂ මහජන විරෝධය ගසාකෑම සඳහා විවිධ පූච්චානම් දෙඩවූවද රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික පිලිවෙතට සහාය දෙමින් එයම අනුයයි.

නිසුස හි කැඳවුම්කරු හා ජවිපෙ නායකයකු වන සුනිල් වටගල මෙම බලහත්කාරී ඉවත් කිරීම් “කොලඹ සංවර්ධනයේ” කොටසක් ලෙස හැඳින්වීය. ප්‍රමානවත් තරම් ඉඩකඩ නොමැති ප්‍රමිතියෙන් තොර අන්තරායකාරී මහල් නිවාස වල මහජනයා ගාල් කිරීම අනුමත කරමින් සහ ඔවුන් ඒ සඳහා වක්‍රව දිරි ගන්වමින් වටගල පවසන්නේ තම නිවාසවලින් ඉවත් වී මහල් නිවාසයන්හි පදිංචිවන්නන්ට තමාගේ අහිමිවන දේපොල වෙනුවෙන් වන්දියක් ලබා දිය යුතු බවයි.

මේ අතර නිසුස ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු වූ සමරධීරට මහල් නිවාස සංකීර්නයේ පහත මාලයේ නිවාස හතරක්ම ලබා දී ඇත්තේ සංවිධානයෙන් ඉවත්ව අනෙකුත් ප්‍රදේශවාසීන් ද තම නිවෙස්වලින් ඉවත් කිරීමට ඉඩ සලසා දෙන බවට පොරොන්දු ලබා ගනිමිනි. සමරධීරගේ මෙම පියවරට ජවිපෙ වක්‍ර ව සහාය දුනි. 18 දා මිලිටරිය 34 වත්තට පැමින නිවාස තලා දමද්දී නිසුස හා ජවිපෙ මුලුමනින්ම අක්‍රීයව සිටි බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

වනාතමුල්ල නිවැසියන් ඉවත් කිරීමට එරෙහිව වටගල විසින් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කල පෙත්සමක් පසුගිය මාර්තු 6 දා විභාග කල අවස්ථාවේ දී “නිවැසියන්ගේ කැමැත්තෙන් තොරව ඉවත් කිරීම් සිදු නොකරන” බවට නාසඅයෙන් දුන් වංචා සහගත පොරොන්දුව වටගල විසින් උත්කර්ෂයට නැංවූයේ එය “සැලකියයුතු ජයග්‍රහනයක්” ලෙස හුවා දක්වමිනි.

මෙම පොරොන්දුවේ වංචනිකභාවයත් ජවිපෙ පතුරන මිථ්‍යාවන්ගේ පන්ති අර්ථයත් පැහැදිලි කරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාර්තු 21 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා මෙසේ අනතුරු ඇඟවීය: “සසප අපි, ආන්ඩුවේ පොරොන්දුව ප්‍රෝඩාවකැයිද ජවිපෙ හා වටගලගේ ප්‍රකාශ ආන්ඩුව කල්යල් බලා ප්‍රහාරය එල්ල කරනවිට මහජනයා නොසුදානම් තත්වයේ තැබීමට ද තුඩු දෙනු ඇතැයිද අනතුරු අඟවමු. වනාත නිවැසියන්ගෙන් ද කොලඹ නගරයේ කඩා දැමීමට නියමිත 77,000 පැල්පත්, කුඩා නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවල ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ගෙන් හා සෙසු දුගීන් ගෙන්ද අපි ඉල්ලා සිටින්නේ ආන්ඩුවේ පොරොන්දුවලින් මෙන්ම ජවිපෙ ප්‍රකාශවලින් ද මුලා නොවන ලෙසයි.” අද දින තහවුරු කෙරී ඇත්තේ සසප විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ සටන් වැදීමේ දැවෙන අවශ්‍යතාවයි.

34 වත්තෙන් මෙතෙක් ඉවත්ව නොමැති පවුල් හතර අභියාචනාධිකරනයට යොමු කොට ඇති රිට් ආඥා අයැදුම්පත වෙනුවෙන් ද අධිකරනයේ පෙනී සිටින්නේ නීතිඥයෙකු වන වටගලයි. මාධ්යට වාර්තාවන්ට අනුව, 18 දා ඉහත නිවැසියන් හමු වීමට ගිය බ්‍රිගේඩියර් සමරසිංහ පවසා ඇත්තේ ඔවුනගේ නිවාස කඩා දැමීමට “අධිකරනයෙන් අවසර ලැබී ඇති බව” හා “අධිකරනයට හෝ මානව හිමිකම් කොමිසමට යාමෙන් පලක් නොවන” බවය. පසුගිය සැප්තැම්බර් 22 දා අයැදුම්පත විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරන විනිසුරු උපාලි අබේරත්න නාසඅ ට උපදෙස් දුන්නේ “පෙත්සම්කරුවන් සහ ඔවුනගේ නීතිඥයන් සමග සාකච්ඡා කොට ප්‍රශ්නය සාමකාමී ලෙස විසඳා ගන්නා” ලෙසයි.

පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පියමනින රාජපක්ෂ, අධිකරනය මත තම ආධිපත්‍ය ය වඩවඩාත් තීව‍්‍ර කරමින් සිටී. හිටපු අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක තනතුරෙන් පහකල රාජපක්ෂ තම සගයෙකු වන මොහාන් පීරිස් එම තනතුරට පත් කර ගත්තේ එහි කොටසක් ලෙසිනි. රාජපක්ෂ අපේක්ෂිත භූමිකාව පීරිස් විසින් රඟ දක්වමින් සිටී. කොම්පඤ්ඤවීදියේ ප්‍රදේශවාසීන් පිරිසක් තම නිවාස කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් නාසඅට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව දෙමින් පසුගිය වසරේ සැප්තැම්බර් මස පීරිස් ප්‍රකාශ කලේ “කොලඹ තුල සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් වලට කවරෙකු හෝ බාධා නොකල යුතු” බවයි. 34 වත්තේ නිවැසියන්ගේ රිට් අයැදුම්පත සම්බන්ධයෙන් ලැබෙන අධිකරන තීන්දුව මීට වෙනස් විය නොහැක.

ආන්ඩුවට පීඩනය යෙදීමේ විරෝධතාවන්හි සහ අධිකරන වටවංගු තුල තමා සිර කොට ආන්ඩුවේ ප‍්‍රහාරයට ගොදුරු කිරීම සම්බන්ධයෙන් ජවිපෙ කෙරෙහි නිවැසියන් අතර වැඩෙන කෝපය සහ අතෘප්තිය ඔවුන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කල ප්‍රකාශයන්ගෙන් පැහැදිලි විය.

රැකියා විරහිත තරුනයෙකු තම කෝපය පල කලේ මෙසේය: “මගේ ගෙය, කඩපු ගෙවල් වලට යාබදව තිබෙන්නේ. ඒක ඊ ලඟට කඩාදාන්න නියමිතයි. අපේ නායකයෝ විදිහට පෙනී සිටිය අයට ආන්ඩුව පගාව දීලා උන්ව අල්ලගත්තා. නිවාස සුරැකීමේ සංවිධානය තවත් ඇත්තේ නැහැ. මිනිස්සු යූඩීඒ එකෙන් පත්කරලා ඉන්න බ්‍රිගේඩියර්ල පස්සේ යනව. ජනතා විමුක්ති පෙරමුනේ සුරැකීමේ සංවිධානයෙ අය තමයි ඉස්සෙල්ලම පාවල දීලා ගෙවල් ගත්තේ. අපි කියන්නේ කාටද? ආයුධ, හමුදාව මේවත් එක්ක අපි හැප්පෙන්නේ කොහොමද?”

මිලිටරිකරනය කොට ඇති නාසඅ හි රුදුරු ස්වභාවය විස්තර කරමින් මැදිවියේ කම්කරුවෙකු මෙසේ පැවසීය: “බ්‍රිගේඩියර් සමරසිංහ වත්තට ඇවිත් මිනිස්සුන්ට තර්ජනය කරනවා. ඔහු එක්ක කතාකරන්න අමාරුයි. උඹ දැනගනින්, කනට ගහනවා වැනි කතා තමයි එයා කියන්නේ. ගැහැනුන්ට කුනුහරුපෙන් පවා බනිනවා. අපේ කැමැත්ත ගන්න හදන්නේ බලහත්කාරයෙන්. නිවාස සුරැකීමේ සංවිධානයේ පාවාදීම ආයුධයක් විදිහට අරගෙන තියෙන්නේ.”

නිවාස වලින් ඉවත් වන්නේ බියට මිස කැමැත්තෙන් නොවන බව පැවසූ ඔහු ජවිපෙ දෙබිඩි පිලිවෙන විවේචනය කලේය: “වටගල මහත්තයල කලින් කිව්වෙ මෙතනින් යන්න ඕන නෑ කියල. ඒත් දැන් එයා අපිට කියන්නේ වර්ග අඩි 500ක 600ක ගෙයක් ලැබුනොත් යන්න පොඩි ගෙවල් වලට යන්නෙපා කියල. එයා අපේ සංවිධානයේ උපදේශක. එත් මේ ගෙවල් වලට අපි අවුරුදු 50ක් විතර නය ගෙවල දැන් ආයිත් ගෙදරකට කුලී ගෙවන්න අමාරුයි.”

1960 ගනන් වල දී සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ඇරඹි ජවිපෙ දැන් කොලඹ දේශපාලන සංස්ථාපිතයේ පක්ෂයක් බවට මුලුමනින්ම පරිවර්තනය වී ඇති අතර එය පෙනී සිටින්නේ ජාත්‍යන්තර හා ජාතික ප්‍රාග්ධනයේ අවශ්‍යතාවන් සඳහා මිස කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් නොවන බව වනාතමුල්ලේ සිද්ධි දාමයෙන් වුව පැහැදිලි වෙයි.

Share this article: