ධනවාදී බිඳවැටීම හා යුද්ධය කරා තල්ලුව

Capitalist breakdown and the drive to war

2014 සැප්තැම්බර් 6

කොතරම් වැදගත් වුවත්, මේ සතියේ පැවති යුරෝපීය මහ බැංකුවේ පාලක මන්ඩල රැස්වීමේ වඩාත්ම කැපී පෙනෙන අංගය, නිල පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීම හා වත්කම් පිටුබලය සහිත සුරැකුම් මිලට ගැනීම ආරම්භ කිරීම නොවේ.

2008දී ඇරඹුනු ගෝලීය මූල්‍ය පද්ධතියේ බිඳවැටීමෙන් පසුව ගතවූ සය වසර තුල ආර්ථික “ප‍්‍රකෘතියක්” ගෙන ආ හැකි ප‍්‍රතිපත්ති මාලාවක් වෙත ඔවුන් ලඟාවී නැතුවා පමනක් නොව, තත්වය තවත් නරක අතට හැරීම පිලිබඳ කාරනයට මුහුන දීමේදී මූල්‍ය බලවතුන්ගේ රැස්වීම අරා පැවතුනේ, ව්‍යාධියක ගැඹුරු මනෝගතියකි.

යුරෝ කලාපයේ නිමැවුම තවමත් 2007 පැවති මට්ටම කරාවත් පැමින නොතිබීම හමුවේ, යුමබැ අධිපති මාරියෝ ඩ‍්‍රැගිගේ ප‍්‍රකාශ තුල පිලිබිඹු වූයේ, අඳුරු දැක්මකි. “පහතට නැඹුරු අවදානම්, චක‍්‍රීය වර්ධන ගතිකය අවසන්ව තිබීම, අනාගතය පිලිබඳ විශ්වාසයේ මඳකම” ගැන ඔහු සඳහන් කලේය. මෙම ප‍්‍රකාශ අවධාරනය කිරීමට මෙන් ඊලඟ දිනයේ පලකල වාර්තාවකින්, දෙවන කාර්තුව තුල යුරෝ කලාපයේ ආයෝජන පහත වැටී ඇති බව අනාවරනය කලේය.

යුරෝපීය ආර්ථිකයේ නරක අතට හැරෙන ප‍්‍රවනතා, ගෝලීය වර්ධනය පිලිබඳ වඩාත්ම කැපී පෙනෙන ප‍්‍රකාශනය පමනි. ලෝකයේ තෙවන විශාලතම තනි ජාතික ආර්ථිකය වන ජපානයට, මුදල්මය හා මූල්‍යමය උත්තේජක සැලැස්මක් ඉදිරිපත් කරමින් තල්ලුවක් දෙනු ඇතැයි සැලකූ, “අබේආර්ථික වැඩසටහනේ සැර බාලවෙමින් ඇතැයි” පුලූල් ලෙස පිලිගනු ලබයි.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ, 2008 වසරෙන් පසුව ආර්ථික ප‍්‍රසාරනයෙන් වැඩි කොටසකට වග කියන ලද දේපොල වෙලඳපොල හා දේපොල ආයෝජනයේ පහත වැටීම හමුවේ, මූල්‍ය පද්ධතියේ අස්ථාවරත්වය පිලිබඳ කනස්සල්ල පලවෙමින් තිබේ.

“දීප්තිමත් තිතක්” ලෙස සලකන එක්සත් ජනපද ආර්ථිකයෙහි මේ වසරේ මුල් භාගයෙහි වර්ධනය, සමස්ත වශයෙන් සියයට 1.0ක් ලෙස පැවතීම, නරක අතට හැරෙන ගෝලීය ආර්ථික දැක්ම පිලිබඳව ඇඟවුම් සහිතය.

මෙම සාධක හා සංඛ්‍යා පැහැදිලි කරන්නේ, 2008 සැප්තැම්බර්-ඔක්තෝබර් මූල්‍ය බිඳවැටීම වාරික සිදුවීමක් නොව, සිදුවෙමින් ඇති ව්‍යසනයක ආරම්භය සලකුනු කිරීමක් බවයි.

බිඳ වැටීමේ පරිමාව, අගෝස්තු 22දා එක්සත් ජනපද අධිකරන පරීක්ෂනයකට ඉදිරිපත් කල සාක්ෂි මගින් හෙලිදරව් කෙරින. එජ ෆෙඩරල් අධිකරනයට ඉදිරිපත්වූ ලිපි ලේඛන සහිත ගොනුවක, අර්බුදයේ උච්ඡ අවස්ථාවෙහි මහ බැංකුවේ සභාපතිව සිටි බෙන් බර්නාන්කේ කියා ඇත්තේ, “මහා අවපාතය ද ඇතුලු ගෝලීය ඉතිහාසයේ නරකම මූල්‍ය අර්බුදය, 2008 ඔක්තෝබරය හා නොවැම්බරය තුල, පැන නැගුන බවයි. එජ අතිශය වැදගත් මූල්‍ය ආයතන 13න් 12ක්ම සතියක හෝ දෙසතියක කාලය තුල අසාර්ථක වීමේ අවදානමට මුහුනපා තිබුනි.”

බිඳවැටීමේ දුර දිග යන ප‍්‍රතිවිපාක, ආර්ථික, සමාජ හා දේශපාලන ජීවිතයේ සෑම අංශයක් තුලම දැකගත හැකි ය.

ලාභ පද්ධතියේ අර්බුදයට ආර්ථික විසඳුමක් නොමැති තත්වය තුල ලෝකය පුරා පාලක පැලැන්තීන්, මිසෝරි ප‍්‍රාන්තයේ ෆර්ගියුසන් සිදුවීම් වලදී දැකගත හැකිවූ ආකාරයට, කුමන හෝ ප‍්‍රතිරෝධයක් මිලිටරි බලය යොදා තලා දැමීමට අදිටන් කරගත් අතර කම්කරු පන්තියට එරෙහි සිය ප‍්‍රහාර උත්සන්න කලේය.

සමාජ අසමානතාව පුලුල් වෙමින් තිබේ. ඊනියා “ප‍්‍රකෘතියේ” අවධිය ලෙස සලකන 2010 සිට13 අතර කාලයේ ඇමරිකාවේ මධ්‍යම මට්ටමේ සමාජ ස්ථරයෙහි ආදායම සියයට 5න් පිරිහුනු බව මහ බැංකු දත්ත මගින් පෙන්නුම් කලේය.

පෙර නොවූ විරූ මිලිටරිවාදයෙන් අංගලක්ෂිත භූ-දේශපාලන තත්වය, තවත් ලෝක යුද්ධයක කොන්දේසි, 1939න් පසු කවර කලෙකවත් නොදුටු තරම් සමීපකර තිබේ.

1914 පලමු ලෝක යුද්ධය පුපුරා යාමට යටින් පැවති හේතු විමසා බලමින් ලියොන් ට්‍රොට්ස්කි, ලෝක ආර්ථික අර්බුදය හා මිලිටරිවාදය කරා නැඹුරුවීම අතර සම්බන්ධය ගෙනහැර දැක්වීය. ඔහු සඳහන් කල කිසිවක් අදට ඇති අදාලත්වය අහිමිකරගෙන නැත.

2008ට පෙර අවධිය මෙන් පලමු ලෝක යුද්ධයට තුඩු දුන් පූර්ව වසර කිහිපය, කුනාටු සහගත ආර්ථික වර්ධනයකින් සලකුනු විය. එහෙත් 1913-14 වන විට එම වර්ධනයේ සීමාවන් කරා එලඹී තිබුන අතර ලෝක ආර්ථිකය අති මූලික මාරුවකට මුහුන දුන්නේය.

1890 ගනන් මැද හරියේ පටන් ධනේශ්වර වර්ධනයේ පාදක වක‍්‍රය තියුනු ලෙස ඉහල නැගුනු බව ට්‍රොට්ස්කි පැහැදිලි කලේය. එහෙත් මෙම උඩු ගමනම බිඳවැටීමකට කොන්දේසි ද නිර්මානය කලේය.

“හුදෙක් වාරික උච්ඡාවචනයක් පමනක් නොව, දිග්ගැස්සුන ආර්ථික පල්වීමේ යුගයක ආරම්භය සලකුනු කල අර්බුදයක් 1914දී කඩාපාත්විය. අධිරාජ්‍යවාදී යුද්ධය මෙම ආවෘත අන්තරය බිඳ දැමීමට දරන ලද උත්සාහයකි.” ට්‍රොට්ස්කි එසේ ලිවීය.

ධනේශ්වරය, “වෙලඳපොලේ සීමාවන් හමුවේ හැකිලී ගිය” තතු හමුවේ, පූර්ව අවධියේ පවත්වාගත් ආර්ථික වර්ධනයේ වේගය තවදුරටත් තබාගැනීම “අතිශය දුෂ්කර” විය.

“මෙයින් නිර්මානය කල පන්ති ආතතීන්, දේශපාලනය මගින් තවත් නරක අතට හැරවූ අතර එය, 1914 අගෝස්තුවේ යුද්ධයට තුඩු දුන්නේය.”

සත්තකින්ම ඉතිහාසය එයම පුනර්කරනය නොකරයි. එහෙත් 1914ට තුඩුදුන් අවධිය හා අපගේම කාලය අතර සමාන්තරයන් කැපී පෙනෙයි. මූල්‍ය පද්ධතිය උග‍්‍ර වන කලබැගෑනියකට මුහුන දීමට පටන්ගැනීමට වසරකට පෙරාතුව 2006 වසරේදී, ලෝක ආර්ථිකය දශක තුනකට වැඩි කාලයක් තුල වර්ධනයේ ඉහලම මට්ටම අත්විඳීය.

සිදුවීම් පිලිබඳ නිල සංස්කරනයට අනුව ඇමරිකානු ආර්ථිකය, 1970 හා 80 ගනන්වල එයට මුහුනපෑමට සිදුවූ ගැටලු අවසානයේදී ජය ගනිමින් “දැවැන්ත නවීකරනයක්” මගින් සංලක්ෂිතව තිබුනි. චීනය හා ඊනියා “නැගී එන වෙලඳපොලවල්” ලෝක ආර්ථිකය සඳහා නව පදනමක් සම්පාදනය කරමින් තිබුනි. අප‍්‍රිකාව පවා දැකගනු ලැබුවේ ගෝලීය ධනවාදයේ ප‍්‍රසාරනය සඳහා නව පදනමක් ලෙසය.

කෙසේ හෝ, මූල්‍ය සමපේක්ෂනයේ හා පරපුටුවාදයේ බෙලි කැඩෙන වර්ධනය සටහන් කල ප‍්‍රසාරනයේ පදනම දැමුනේ පාවෙන වැලි මතය. ක්ෂය රෝගියෙකු මෙන් ධනවාදය, ව්‍යසනයකට ඇද වැටීමට මත්තෙන් රෝස පැහැති කම්මුල් සහිත විය.

කපාහැරීමක ප‍්‍රතිවිපාක පිලිබඳව භීතියට පත් මූල්‍ය වෙලඳපොලවලට, නිමක් නැතිව මුදල් සැපයෙන ප‍්‍රතිපාදන සැලසීම සමග එක්ව, සෑම ධනපති මහ බලවතෙකුම සිය ප‍්‍රතිවාදීන්ගේ වියදමෙන් විසඳුම් සෙවීමට උත්සාහ දරද්දී මිලිටරිවාදය උත්සන්න කිරීම හැරෙන්නට, පාලක පන්තීන්ට ගැලවීමේ අන් මගක් ඇත්තේ නැත.

නරක අතට හැරෙන සමාජ කොන්දේසි හා ඉහල යන අසමානතාව මගින් නිර්මිත එලඹෙන සමාජ පිපිරීමකට එරෙහිව, ධනේශ්වර පර්යාය රැකගැනීමට පොලිස්-මිලිටරි යාන්ත‍්‍රනයක් නිර්මානය කරන අතර තුර ආන්ඩු, ආතතීන් පිටතට හරවා යැවීමට උත්සාහ දරද්දී, යුද්ධය කරා තල්ලුව, දේශීයව නැගී එන පන්ති ගැටුම මගින් ද ගිනි ගන්වයි.

සියල්ලන්ටම යහපත් අනාගතයක් සැපයිය හැකි ආර්ථික ධන සම්පත්වල නිර්මාපකයින් වන ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා ඇති එකම මාවත, ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත ජනතා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. කම්කරු පන්තිය දේශපාලන බලයේ සුක්කානම සියතට ගත යුතු අතර එය, ලාභයේ අන පරිදි නොව, මානව අවශ්‍යතාවන්ගේ පදනම මත ලෝක ආර්ථිකය ප‍්‍රතිනිර්මානය කිරීම දෙසට හැරවිය යුතුය. ගෝලීය ධනවාදය මානව වර්ගයා විනාශයට ඇද දැමීම නතර කල හැකි අන් මගක් ඇත්තේ නැත.

නික් බීම්ස්

Share this article: