වෝල් වීදිය බිඳ වැටීමේ තැන් පටන් සය වසරක්

Six years since the Wall Street crash

2014 සැප්තැම්බර් 15

2008 සැප්තැම්බරයේ මේ දවසේදී එක්සත් ජනපදයේ ලේමන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳ වැටීමත් සමග, 1930 ගනන් වල මහා අවපාතයෙන් පසුව හටගත් විශාලතම මූල්‍ය අර්බුදය ඇවිල ගියේ ය. බංකොලොත්වීමෙන් දින ගනනක් ඇතුලත, සමස්ත ඇමරිකානු හා ගෝලීය මූල්‍ය පද්ධතියම කඩාකප්පල් වීමේ තැනට ඇද වැටුනි.

ලේමන් ව්‍යසනය ගැන වාර්තා කරමින් 2008 සැප්තැම්බර් 16දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය එය, “ඇමරිකානු ධනවාදය පුපුරා යාමේ නව අවධියක් සලකුනු කල” බව සඳහන් කලේය.

එය මෙසේ ද පැවසීය. “එක්සත් ජනපදය හා ලෝක ආර්ථිකය තුල දිග හැරෙන අර්බුදය, 1930 ගනන්වල මහා අවපාතයෙන් මෙපිට නොදුටු පරිමානයේ ව්‍යසනයක් පිලිබඳ පෙර නිමිති සලකුනු කරයි.” කම්කරු පන්තිය සඳහා මූල්‍ය උනුවී යාමෙහි අර්ථය, “විරැකියාවේ වේගවත් වර්ධනය, දුප්පත්කම, නිවාස හිඟය හා සමාජ කාලකන්නිකම” වන අතර ”මෙම ආර්ථික ව්‍යසනය නිර්මානය කල බොහෝ දෙනෙක්, එය ඉතිරිකර තිබෙන සුන්බුන් වලින් ඉමහත් ලාභ ලබනු ඇතැයි”එය අනතුරු ඇඟවිය.

එම විශ්ලේෂනය මුලුමනින්ම සනාථ කෙරී ඇත. සය වසක් ගත වෙද්දී ලෝක ආර්ථිකය යලි ගොඩ ඒමට අසමත්ව ඇතුවා පමනක් නොව, නව මූල්‍ය අර්බුදයක නැගී එන තර්ජනය සමග එය දිගටම එකතැන පල්වීමේ තත්වයට මුහුනපා සිටියි. යුරෝ කලාපයේදී, ආර්ථික නිමැවුම තවමත් ඇත්තේ 2007 පැවති මට්ටමට වඩා පහලිනි. ජපානය යලි වතාවක් පසුබෑමක අද්දරට පැමින ඇත. චීනයේ ආර්ථික ප‍්‍රසාරනය අවිනිශ්චිත තත්වයක පවතී. එක්සත් ජනපද ආර්ථිකයේ වර්ධන වේගය දැන් 2005-07 කාලයේ පැවති මට්ටමෙන් සියයට 16කට පහතින් පවතින අතර නිමැවුම පහත වැටීමේ ඒකාබද්ධ අගය දදේනි සියයට 80ක් පමන වේ.

සමස්ත ආර්ථිකයේ පල්වීම තිබියදීම කොටස් වෙලඳපොලවල් වාර්තාගත මට්ටම් කරා නැග ඇත්තේ, අර්බුදයට වගකිවයුතු බැංකු හා මූල්‍යායතන වලට, ෆෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකු විසින් සපයන ලද අතිශය ලාභ අරමුදල් නිසාය. මෙම ප‍්‍රතිපත්තිය ආරම්භ කලේ ලේමන් බැංකුව බිඳ වැටීමෙන් අනතුරුවය.

ලොව පුරා වැඩකරන ජනතාවට පසුගිය සය වසර පුරා අත්කරදී ඇත්තේ පහත් වැටුප්, ඉහල යන සමාජ අසමානතාව හා දුප්පත්කමය. එක්සත් ජනපදයේ මධ්‍ය ආදායම්ලාභී පවුලක ආදායම, 2010 හා 2013 අතර ඊනියා “ආර්ථික ප‍්‍රකෘතියේ” කාලය තුල සැබෑ වටිනාකම් අනුව සියයට 5න් පිරිහී ගියේය.

ප‍්‍රමුඛ බැංකු හා මූල්‍යායතන, අසාර්ථක වීමට නියමිතව ඇති බව දන්නා සංකීර්න මූල්‍ය වත්කම් විකුනා දමමින් ඒවායින් ලාභ උපයද්දී, මූල්‍ය අර්බුදය නිරාවරනය කර ඇත්තේ, පෙර නොවූ විරූ මට්ටමක අනීතික භාවයකි. 2011 එක්සත් ජනපද සෙනේට් වාර්තාවකින් ඉදිරිපත් කල සාධක හා සංඛ්‍යා හෙලි කලේ, මෙය සාපරාධී මෙහෙයුම් වලට නොඅඩු දෙයක් බවය.

එහෙත් එක්සත් ජනපදයේ හෝ ජාත්‍යන්තර බැංකුවල එකදු ප‍්‍රමුඛ විධායකයෙකුවත්, සිරගත කිරීම කෙසේ වෙතත් චෝදනා කිරීමටවත් ලක්වී නැත. එජ හා සමහරවිට ගෝලීය බැංකු ක‍්‍රමයම කඩාකප්පල් විය හැකිය යන පදනම මත ඔබාමා පාලනයේ නීතිපති එරික් හෝල්ඩර්, ඔවුන්ට විරුද්ධව කිසිදු නඩු පැවරීමක් ප‍්‍රතික්ෂේප කලේය.

වෙනත් වචන වලින් කිවහොත්, මූල්‍ය ප‍්‍රාග්ධනය හා එහි පරපුටු ක‍්‍රියා, ඒවායේම නීතිය බවට පත්ව ඇති බවයි. මූල්‍ය ක්ෂේත‍්‍රයේ සාපරාධිත්වය හා අවනීතියේ සංස්කෘතිය, දේශපාලනය තුල සිය ප‍්‍රකාශනය අත්කරගෙන ඇත. එනම්, ඇමරිකානු පුරවැසියන් ද ඇතුලු මිනිසුන්ට එරෙහි නීති විරෝධී ඩ්‍රෝන් ප‍්‍රහාර හා ඝාතන, ජතික ආරක්ෂක ඒජන්සියේ හා වෙනත් රටවල ඇති එවැනි සංවිධානයන්හි මහා පරිමාන ඔත්තු බැලීම්, පොලිස් රාජ්‍ය යාන්ත‍්‍රනය සවිමත් කිරීම ය.

සිදුවෙමින් ඇති ගෝලීය ආර්ථිකයේ බිඳ වැටීම, නව ලෝක යුද්ධයක් පුපුරා යමේ කොන්දේසි සකසන මිලිටරිවාදයේ වැඞී යාම සලකුනු කරයි. මෙහි මුල් තැන දරන්නේ එක්සත් ජනපදය ය.

2008 බිඳවැටීමෙන් අතිශය තියුනු ලෙස ප ‍්‍රකාශයට පත්වූ ඇමරිකානු ධනවාදයේ ආර්ථික ගැටලු හා පරස්පර විරෝධයන් එතැන් සිට උග‍්‍රවී ඇතුවා පමනි. යුද්ධය කරා තල්ලුවේ ආර්ථික ගාමකය වන්නේ, සිය ආර්ථික පරිහානිය ජයගැනීමේදී හා තම ගෝලීය අධිකාරය යලි තහවුරු කර ගැනීමේදී එජ අධිරාජ්‍යවාදය වඩ වඩාත් මිලිටරි බලය යොදාගැනීමට නැඹුරු වීම යි.

ආර්ථික ප‍්‍රවනතා හා දේශපාලන වර්ධනයන් නිරන්තරයෙන්ම සංකීර්න වනවා මිස සෘජුව හා ක්ෂනිකව බැඳී නැති නමුත් මේ වසරේදී ජර්මනිය හා ජපානය, පශ්චාත් දෙවන ලෝක යුද්ධ දේශාපලන ආකෘතියෙන් බිඳී වෙන්වීම, ගැඹුරුවන ආර්ථික අර්බුදය හමුවේ අතිශය වැදගත් සාධකයක් වන්නේය.

ජර්මනියේ පාලක පැලැන්තිය, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ බලවත් කොටස් හා විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතය, 1930 ගනන්වල හිට්ලර්ගේ න්‍යායපත‍්‍රය කරා යලි පැමිනෙමින්, යුරෝපයේ පමනක් නොව ලෝක කරලියේ ද ප‍්‍රමුඛ බලවතෙක් වීමේ ව්‍යාපාරයක් මෙහෙයවති.

ඒ සමානවම ජපානයේ ෂින්සෝ අබේගේ දක්ෂිනාංශික ජාතිකවාදී ආන්ඩුව, ජාත්‍යන්තර කරලියේ මිලිටරි ක‍්‍රියාකලාපයකට ඉඩ සලසන පරිදි රටේ ව්‍යවස්ථාව “යලි අර්ථදක්වා” තිබේ.

දෙවන ලෝක යුද්ධයේදී ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී යුදවාදීන් තිදෙනෙකු, තම ගෝලීය භූමිකාව පෙරට ගැනීමේ මෙම ක‍්‍රියාකලාපයෙහි වැදගත්කම හා එල්ලය නොවරදින සුලුය. ගෝලීය ආර්ථික බිඳ වැටීමේ සය වසරක ඇවෑමෙන් ප‍්‍රමුඛ බලවතුන් මුහුනපා සිටින්නේ, හැකිලෙන වෙලඳපොලවල් හා පල්වෙන හෝ රිනාත්මක වර්ධනයකටය. තම අවශ්‍යතා වෙනුවෙන් මිලිටරි බලය යොදාගැනීම මගින් සටන් වැදීමට මේ මගින් කොන්දේසි සකසා ඇත.

යුද්ධය කරා යොමුව, රට තුල මිලිටරිවාදය සමග බැඳී ඇත. ලාභ පද්ධතිය සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදයට තමන් අත කිසිදු ආර්ථික විසඳුමක් නොමැති බව සෑම තැනකම පාලක පන්තීන් දැන සිටියි.

ඉදිරියේ එන ජී-20 සමුලුව සඳහා ඕඊසීඞී, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ලෝක බැංකුව විසින් සකස් කල වාර්තාව සඳහන් කරන ආකාරයට, “පලදායී හා යහපත් රැකියා නිර්මානය කිරීම සඳහා සාර්වත‍්‍රික සූත‍්‍රයක් නැති” අතර “පෙනෙනතෙක් මානයේ ඇත්තේ පහතට නැඹුරුවූ සැලකිය යුතු අවදානම් ය”.

එලඹෙන සමාජ පිපිරීම් ගැන බියෙන් ජීවත් වන සෑම තැනකම පාලක පන්ති, තම මර්දනකාරී මෙවලම් සූදානම් කරති. මිසෝරි ප‍්‍රාන්තයේ ෆර්ගියුසන්හි පොලිස්-මිලිටරි මෙහෙයුම් තනිකරම ඇමරිකානු සිද්ධියක් නොවේ. බෙහෙවින්ම කොන්දේසි සැකසී ඇති තවත් මූල්‍ය අර්බුදයක සමාජ ප‍්‍රතිවිපාකයන්ට මුහුන දිමේදී සෑම රටක් තුලම සුදානම් කෙරමින් ඇති තත්වය මෙ මගින් පිලිබිඹු කෙරේ.

සමහර විට මහ බැංකුකරුවන්ගේ මහ බැංකුව ලෙස හඳුන්වන ජාත්‍යන්තර සමත බැංකුව 14දා, සිය කාර්තුගත විමර්ශනය තුලින්, දැනට ගෝලීය මූල්‍ය වෙලඳපොලවල පවතින තැන්පත්කම, ශක්තිය පිලිබඳ සලකුනක් නොව නව අන්තරායන් පිලිබඳ සලකුනක් බවට අනතුරු ඇඟවීම් කර ඇත.

එම බැංකුවේ ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ ක්ලෝඩියෝ බොරියෝ විමර්ශනය ගැන සමාලෝචනයක් කරමින් වාර්තාකරුවන්ට පැවසුවේ, “සියල්ල තරමක් හුරු පුරුදු බව පෙනීයයි. සංගතය අවසන් වන තෙක් නැටුම කෙරීගෙන යනු ඇත. සංගතය දිගු වන තරමට එහි ශබ්දය ද වැඩිවනු ඇත. කන් බිහිරි කරවන තරම් නැගීමෙන් පසුව නිහඬතාවය පැමිනේ. ද්‍රවශීලතාවය අවශ්‍යම මොහොතේ” වෙලඳපොලවල ද්‍රවශීලතාවය සිඳී යයි.

ලේමන් බිඳ වැටීමෙන් දිනකට පසුව ලොසවෙඅ, නිශ්චිත දේශපාලන මූලෝපායක් ගෙනහැර දැක්වීය. “සමස්ත මූල්‍ය පද්ධතියම පෞද්ගලික ග‍්‍රහනයෙන් ඉවත් කල යුතු අතර එය ජනතාවගේ සමාජ අවශ්‍යතාවන්ට යටත් කරමින්, සමස්ත ජනතාවගේම ජීවන තත්වයන් හා සංස්කෘතික මට්ටම් ප‍්‍රවර්ධනය කිරීමටත් විරැකියාව හා දුප්පත්කම තුරන් කිරීමටත්, නිෂ්පාදන බලවේග පුලුල් කර වර්ධනය කල යුතුය.

සය වසර ගතවී යද්දී, එක්සත් ජනපදයේ ද ලොව පුරා ද කම්කරු පන්තියේ, තරුනයින්ගේ වඩ වඩ වඩාත් පුලුල් කොටස් එක්කෝ දුගී බවට නැත්නම් ජීවන කොන්දේසි වනසා දැමීමට මුහුනපා සිටියදී හා සිය අනාගතය ධනවාදය යටතේ යුද්ධයේ ද දුගී භාවයේ ද ඉරනමට අතහැර දැමෙන තත්වය හමුවේ මෙම ඉදිරිදර්ශනය සඳහා සටන වඩාත් හදිසි භාවයක් අත්කර ගනියි.

නික් බීම්ස්

Share this article: