පරිපූරක වෛද්‍ය සේවක වර්ජනය අත්හිටුවයි

අපගේ වාර්තාකරුවන් විසිනි , 2014 සැප්තැම්බර් 1

රජයේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ගෙනගිය අඛන්ඩ වැඩ වර්ජනය නතර කර දැමීමට වර්ජනය කැඳවූ පරිපූරක වෛද්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ බලමන්ඩලය 30 දා සවස තීන්දු කලේය. වර්ජනය තහනම් කරමින් කොලඹ දිසා අධිකරනය නිකුත් කල වාරන නියෝගයට “ගරු කරමින්” 31 දා සිට සේවයට වාර්තා කරන ලෙස තම සාමාජිකයන්ට දැනුම් දුන් බව ඒකාබද්ධ බල මන්ඩලය මාධ්‍යයට පැවසීය. කෙසේනමුදු, වර්ජනය නිමා කිරීමේ තීන්දුව ගැනුනේ වැඩබලන සෞඛ්‍ය ඇමති ලලිත් දිසානායක සමග සමිති නිලධරය කල සාකච්ඡාවකින් අනතුරුවයි.

ඉල්ලීම් පහක් මුල් කරගනිමින් 26 දා සිට ගෙනගිය වර්ජනයට ඖෂධ වේදීන්, විකීරන ශිල්පීන් ඇතුළු 5,000 කට අධික සේවකයෝ සහභාගිවූහ. ආරම්භයේ සිටම සමිතිවල එල්ලය වූයේ හුදෙක් ආන්ඩුවට බලපෑම් දැමීමේ දීර්ග අරගල මගින් ඉල්ලීම් ජය ගත හැකිය යන මාරක මිථ්‍යාවකට කම්කරුවන් කොටු කිරීමෙන් හා හුදකලා කිරීමෙන් වර්ජනය දිය කර දැමීමය.

යන්තම් සතියකට පෙර එබඳුම අත්දැකීමකට රසායනාගාර සහායකයන්, දුරකථන කි‍්‍රයාකරුවන්, ඕවර්සියර්වරු, මුළුතැන් ගෙයි සේවකයන් ඇතුළු දල වසයෙන් 50,000 පමන වූ කම්කරුවන් සහභාගිත්වයෙන් අගෝස්තු 20 ඇරැඹූ දෙදින වැඩ වර්ජනය, එහි සමිති නායකයන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡාවකට යටත් කොට එක්දිනකින් නතර කල හ. හුදෙක් කම්කරුවන් රැවැටීමේ පොරොන්දු හැර ජනාධිපති සමග සාකච්ඡාවෙන් අරගලයේ යෙදී සිටි කම්කරුවන්ට ලැබුන දෙයක් නැත.

පලමු පන්තියේ උසස්වීම් 2010 සිට බලපවත්වන ලෙස ලබා දීම, දැනට හෙදියන්ට කි‍්‍රයාත්මක අධිශ්‍රේනි ක‍්‍රමය පරිපූරක වෛද්‍ය සේවයටත් ලබා දීම, උපාධිධාරීන් නියමිත වැටුප් තලවල පිහිටුවීම, ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බඳවා ගැනීම හා ඇමතුම් දීමනා ලබාදීම පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඉල්ලීම් වේ. මෙම ඉල්ලීම් සම්බන්ධ ව සමිති හා සෞඛ්‍ය බලධාරීන් අතර 28 වෙනිදා පැවති සාකච්ඡාද බිඳ වැටුනි.

ලමා රෝහල්, මාතෘ රෝහල්, මහරගම පිලිකා රෝහල සහ හදිසි අනතුරු අංශ වල වර්ජනය කි‍්‍රයාත්මක නොවීය. උතුර, නැගෙනහිර හා උඩරට ඇතුළු ප‍්‍රදේශයන්හි දෙමල භාෂාව කතාකරන සේවකයන් ඇතුළුව සමස්තයක් ලෙස පරිපූරක වෛද්‍ය සේවකයෝ වර්ජනයට සම්බන්ධ වූහ. වර්ජනය නිසා රෝහල් තුල කෙරෙන එක්ස්රේ ගැනීම්, රසායනාගාර පර්යේෂන සහ සීටී ස්කෑනින් වැනි පර්යේෂන මුළුමනින් ම වාගේ ඇනහිටියේය.

රෝගීන් අපහසුතාවයට පත්වීම ගැන ගෙන ගිය ප‍්‍රචාර හරහා මහ ජනයා වර්ජකයන්ට එරෙහිව පිහිටුවමින් වර්ජනය බිඳීමට ආන්ඩුව හා ධනපති මාධ්‍ය තැත් කලහ. “අසරන රෝගීන්ගේ ජීවිත ගැන අනුකම්පා කර” වැඩ වර්ජනය අවසන් කරන ලෙස සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

රෝගීන් අපහසුතාවයට පත් කිරීමේ සැබෑ වගකිව යුත්තා සිය අයිතිවාසිකම් ඉල්ලන සේවකයා නොව, සෞඛ්‍ය සේවය සඳහා වෙන් කෙරෙන ප‍්‍රතිපාදන කප්පාදු කරන ආන්ඩුවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රමානවත් තරම් ඖෂධ, වෛද්‍ය උපකරන පමනක් නොව අවශ්‍ය තරම් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මන්ඩල ද නැත. වැටුප් සහ දීමනා එක තැන පල්වෙයි. පෞද්ගලික රෝහල්වලින් අධික වියදමක් දරා ප‍්‍රතිකාර ගැනීමට මහජනතාවට සිදු වී ඇත්තේ එම තතු තුලය.

කැබිනට් මන්ඩල අනුමැතිය සඳහා ඉල්ලීම් මාලාව ඉදිරිපත් කර ඇති බවත් තවත් මසකින් පමන “සුබවාදී” තීරනයක් ලබා දිය හැකි බවත් ඇමති සිරිසේන සමිති නිලධරයට පැවසීය. වෘත්තීය සමිති සමග සම්මුතියක් මගින් වර්ජනය නතර කිරීම ඇමතිගේ අපේක්ෂාව විය. වසර ගනනාවක් පුරා ඉල්ලීම්වලට විසඳුමක් නොලැබීම සහ ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර මගින් කම්කරු පන්තියේ සෙසු කොටස් අතර මෙන් ම පරිපුරක වෛද්‍ය සේවකයන් අතර කෝපය සහ අතෘප්තිය වර්ධනය වී ඇති තතු තුල සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා වර්ජකයන් මුලා කිරීමේ පොරොන්දුවක් සමිති නායකයන් ට අවශ්‍යව තිබුනි.

කෙසේ නමුදු, සමිති නිලධරය විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අතිශය සීමිතය. එම ඉල්ලීම් පරිපූරක වෛද්‍ය වෘත්තියට කොටුකොට තබා ඇත්තේ, නිදහස් සෞඛ්‍ය සේවයට ද සමස්තයක් ලෙස කම්කරු පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසිවලට ද ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට ද එල්ල කෙරෙමින් පවත්නා ප‍්‍රහාරයෙන් කම්කරුවන්ගේ දෑස් ඉවතට හැරවීම සඳහාය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන්ට කතා කල ශී‍්‍ර ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවි කුමුදේශ් වර්ජකයන් තුල දේශපාලන “සවිඤ්ඤානකභාවයක්” නැතැයි චෝදනා කලේය. කම්කරුවන්ගේ දේශපාලන සවිඤ්ඤානකභාවය වැඩෙන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කෙරෙන අරගලය තුලය. කුමුදේශ්ගේ සමිතිය වැනි “දේශපාලනයෙන් තොර” ඊනියා ස්වාධීන වෘත්තීය සමිතිද ඇතුලත් සමස්ත වෘත්තීය සමිති නිලධරය කම්කරු පන්තියේ එවන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක වර්ධනයට පරම සතුරුය.

තීව‍්‍ර වන ලෝක ධනවාදී අර්බුදයේ වාසුලියට අසුවී සිටින රාජපක්ෂ ආන්ඩුව හැරී ගෙන සිටින්නේ වැටුප් වැඩි කිරීම, රැකියා සම්පාදනය ඇතුළු වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් වැඩි දියුනු කිරීමට නොව, සෙසු රටවල ධනපති පාලක පන්තීන් මෙන් ම අතිශය රුදුරු ආකාරයකට රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට පහර දීමටය. රාජ්‍ය වියදම් කැපීම මගින් 2015 අවසන් වනවිට අයවැය පරතරය දල ජාතික නිශ්පාදනයෙන් සියයට 3.8 දක්වා අඩු කිරීම ආන්ඩුවේ ඉලක්කයයි. එහෙයින් කප්පාදු පිලිවෙත් වලට එරෙහිව එන කවර හෝ විරුද්ධත්වයක් රාජපක්ෂ ආන්ඩුව ඉවසනු නැති බව කම්කරු පන්තියේ, ශිෂ්‍යයන්ගේ සෙසු ජන කන්ඩායම් වල මෑත විරෝධතා සම්බන්ධයෙන් ආන්ඩුව දැක්වූ ප‍්‍රතිචාර මගින් පෙන්නුම් කරයි.

තම ජීවන කොන්දේසිවලට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහි කම්කරු පන්තියේ අරගලය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකි. එය ධනවාදයට එරෙහි අරගලයකි. එනම් ධනපති රාජපක්ෂ පාලනය සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කරන අරගලයකි.

සෞඛ්‍ය සේවකයන්ගේ මෑත අරගල දෙකේදීම සමිති නිලධරය දැනුවත්ව කි‍්‍රයාකලේ එවන් දේශපාලන අරගලයකින් කම්කරුවන් ඉවතට හරවා තවදුරටත් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට රාජපක්ෂ තන්ත‍්‍රයට ඉඩ සලසා දී දහස් සංඛ්‍යාත සේවකයන්ගේ මූලික අයිතීන් විනාශ කිරීමට කොන්දේසි සකසා දීමයි.

Share this article: