ඌව මැතිවරන ව්‍යාපාරය තුල ආන්ඩුව ප‍්‍රචන්ඩත්වය උත්සන්න කරයි

සමන් ගුනදාස විසිනි , 2014 සැප්තැම්බර් 16

තම පාලනය විසින් කම්කරු‐පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසිවලට සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර හමුවේ වැඩෙන මහජන අතෘප්තිය හේතුවෙන් තම ඡන්ද පදනම් ඛාදනයවෙතැයි බියට පත්ව සිටින මහින්ද රාජපක්ෂ ආන්ඩුව, ඌව පලාත් සභා මැතිවරන ව්‍යාපාරය තුල ප‍්‍රචන්ඩත්වය උත්සන්න කරමින් සිටියි. විරුද්ධ පාක්ෂිකයන්ට කායිකව පහර දෙමින්, ඔවුනගේ මැතිවරන කාර්යාල ගිනිබත්කරමින් හා මහජනතාව බියවද්දමින් ගෙනයන මෙම ප‍්‍රචන්ඩ මැතිවරන ව්‍යාපාරයේදී මැතිවරන නීති ප‍්‍රසිද්ධියේම උල්ලංඝනය කරමින් රජයේ මාධ්‍ය, වාහන ඇතුලු මහජන දේපොල සුවිසල් ලෙස යොදා ගනිමින් පවතී.

ඌව වැනි අතිශයින්ම දරිද්‍ර ජීවන කොන්දේසි සහිත පලාතක් තුලින් තම පාලනයට එරෙහිව වැඩෙන මහජන වෛරය ප‍්‍රකාශයට පත්වුවහොත්, නියමිත දිනට කලින් ජනාධිපතිවරනය පවත්වා යලි බලය අල්ලා ගැනීමේ තම සැලැස්මට එය බාධකයක් වන බව දන්නා රාජපක්ෂගේ අරමුන කෙසේ හෝ ඌව මැතිවරනය තම එක්සත් ජනතා නිදහස් සන්ධානයට (එජනිස) දිනා ගැනීමයි.

කෙසේ නමුදු, බලරහිත නාමික නිලධාරියෙකු බවට තමා පත් කෙරී ඇතිබව ප‍්‍රසිද්ධියේ පවසන මැතිවරන කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පසුගිය සතියේ ප‍්‍රකාශ කලේ, ප‍්‍රචන්ඩත්වයෙන් මිදෙන ලෙස ප‍්‍රධාන පක්ෂ නායකයන් විසින් ඔවුන්ගේ ක‍්‍රියාධරයන්හට උපෙදස් නොදුනහොත් සැප්තැම්බර් 20 දිනට යොදා ඇති ඌව පලාත් සභා මැතිවරනය කල් දැමීමට සිදුවන බවයි. දේශපි‍්‍රය විසින්ම බදුල්ල සහ මොනරාගල ප‍්‍රදේශයන්හි කරන ලද නිරීක්ෂන වලින් පසු වැඩිම ප‍්‍රචන්ඩත්වයක් වාර්තාවන මොනරාගල දිස්ති‍්‍රක්කයට විශේෂ නිරීක්ෂන කන්ඩායම් දහයක් යෙදවීමට තීරනය කර ඇතැයි නිවේදනය විය. එවැනි නිරීක්ෂන කන්ඩායම් ආන්ඩුව තුට්ටුවකට මායිම් නො කරන බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ වන විට ප‍්‍රධාන විරුද්ධ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ජනතා විමුක්ති පෙරමුනෙහි (ජවිපෙ) මැතිවරන කාර්යාල 25ට ආසන්න ගනනකට ආන්ඩුවේ මැර කල්ලි විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයන් වාර්තා වී තිබේ. ඉන් සමහරක් බුත්තල, මොනරාගල හා සෙවනගල ප‍්‍රදේශවලින් ද තවත් සමහරක් බදුල්ල, වැල්ලවාය සහ ඔක්කම්පිටිය ප‍්‍රදේශවලින් ද වාර්තාවේ. මෙම පහර දීම් සිදු කර ඇත්තේ තමන්ට තර්ජන ඇති බවට මැතිවරන කොමසාරිස් ට හා පොලිසියට දැනුම් දී තිබියදීමය.

මානව හිමිකම් පිලිබඳ විද්වත් සංසදයේ මැතිවරන නිරීක්ෂන ජාලය (NEM IHR) නිකුත් කල නිවේදනයකට අනුව මොනරාගල දිස්ති‍්‍රක්කයෙන් මැතිවරන පැමිනිලි 216ක්ද බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් පැමිනිලි 129ක්ද වශයෙන් වාර්තා වී ඇත. එම නිවේදනයට අනුව; “නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු 144ක්, මැතිවරන ප‍්‍රචන්ඩ කි‍්‍රයා 56ක්, රාජ්‍ය සම්පත් අයුතු ලෙස පරිහරනය කිරීම් 38ක්, රාජ්‍ය බලය යොදා ගැනීම් 43ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම 22ක්, පොලීසියේ පක්ෂපාතී කි‍්‍රයා කලාප 5ක්, නීත්‍යානුකූල ප‍්‍රචාරක කටයුතු වලට බාධා කිරීම් 34ක්, වෙනත් 02ක් ඇතුලුව සම්පූර්න 345ක්” මෙම පැමිනිලිවලට අන්තර්ගතවේ.

මැතිවරනය එල්ල කරගනිමින් රජයේ වියදමින් සිසුන්ට පාසැල් උපකරන බෙදාදීම වැනි ව්‍යාජ ව්‍යාපෘති හතු පිපෙමින් පවතී. බහුතරයක් දුගී ගොවීන් ජීවත්වන මොනරාගල ඇතුලූ දිවයින පුරා ලක්ෂ සංඛ්‍යාත මහජනතාවක් පසුගිය දැඩි නියඟයෙන් දරුනු ලෙස බැට කද්දී පිටුපස හරවා සිටි ආන්ඩුව, මැතිවරනය ආසන්නවත්ම මොනරාගල දිස්ත‍්‍රික්කයේ එක් පවුලකට රුපියල් 2500 ක් බැගින් වටිනා “නියං සහනාධාර” ක් ලබා දීමට සැලසුම් කර ඇත. නියඟයෙන් බැට කෑ අනෙකුත් දිස්ති‍්‍රක්ක තිබිය දී මොනරාගලට පමනක් මෙම සහනාධාර ලබා දීම මැතිවරන අල්ලසක් බව වටහා ගැනීම අපහසු නොවේ.

පොලීසිය විසින් “දැඩි” ආරක්ෂක පියවර ගෙන ඇතැයි පවසන තතු යටතේ ඊයේ දිනයේදී ධ මහියංගනය ඌරනිය ප‍්‍රදේශයේදී එජනිස මැරයන් ජවිපෙ ප‍්‍රචාරක රැස්වීමක් සඳහා පෝස්ටර් අලවමින් සිටි කන්ඩායමකට එල්ල කල ප‍්‍රහාරයකින් එහි සාමාජිකයන් සහ ආධාරකරුවන් කීප දෙනෙකු රෝහල් ගත කෙරී ඇත. පහරකෑමට ලක්වූවන් මාධ්‍යයට ප‍්‍රකාශ කලේ දහයක පමන කන්ඩායමක් ඔවුන් පැහැර ගෙන ගොස් පොලු මුගුරු වලින් දරුනු ලෙස පහරදුන් බවයි.

සැප්තැම්බර් 8 දා මොනරාගලදී ජවිපෙ ප‍්‍රචාරක කටයුතු වල නිරතව සිටි සරසවි සිසුන් සිව් දෙනෙකුට වෑන් රියකින් පැමින පහරදුන් ආන්ඩුවේ මැරයන් ඉන් එක් සිසුවෙකු පැහැර ගෙනගොස් මහමග අතැර ගොස් ඇත්තේ ජවිපෙ මැතිවරන කටයුතුවලින් ඉවත් වන ලෙස තර්ජනය කරමිනි.

මේ අතර මොනරාගල බඩල්කුඹුර පොලිස් ස්ථානයට මීටර් 50ක දුරින් පැවැති ජවිපෙ ප‍්‍රචාරක රැස්වීමකට එල්ල කල ප‍්‍රහාරයක් වලක්වන්නට පොලිසිය සමත් වී නැති බව නිදහස් හා සාධාරන මැතිවරනයක් සදහා වූ ජනතා ක‍්‍රියාකාරිත්වය (පැෆරල් සංවිධානය) වාර්තා කලේය.

“ආන්ඩු පක්ෂයේ අපේක්ෂකයින් විවෘතව මැතිවරන නීති උල්ලංඝනය කලද පොලිසිය ඒවා නැවැත්වීමට ක‍්‍රියා නොකරයි. ඊට විපරීතව ඌව ප‍්‍රදේශයේ රාත‍්‍රි කාලයේදී ආන්ඩු පක්ෂයේ ආධාර කරුවන්ට පෝස්ටර් ඇලවීම සදහා පොලිස් නිලධාරීන් සහය දෙන්නේයැ”යි ඉහත සඳහන් මැතිවරන නිරීක්ෂන ජාලයේ ප‍්‍රධාන විධායක නිලධාරි උදිත ගුනසේකර මාධ්‍යයට පැවසීය.

ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, දේශීය වෛද්‍ය අමාත්‍යංශ්‍ය, සුගතදාස කී‍්‍රඩාංගන සංකීර්නය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ජාතික ලොතැරැයි මන්ඩලය, වන සංරක්ෂන දෙපාර්තමේන්තුව, ඌව පලාත් සභාව සහ ඌව පලාතේ ප‍්‍රාදේශීය සභා, නගර සභා යන ආයතන වල සේවකයින් අඩුවැඩි වශයෙන් විවිධ මට්ටමෙන් මැතිවරන නීති විරෝධි ප‍්‍රචාරක කටයුතු වලට දායක වූ බවට පැමිනිලි ලැබී ඇති බව මානව හිමිකම් පිලිබඳ විද්වත් සංසදයේ මැතිවරන නිරීක්ෂන ජාලය පවසයි.

නිදහස් හා සාධාරන මැතිවරන සඳහා වූ ව්‍යාපාරය (කැෆේ) බුත්තල හා මොනරාගල නගරවල ආන්ඩුවේ මැතිවරන ව්‍යාපාරයට අදාල පෝස්ටර් ඇලවීමේ නිරතව සිටින අංක තහඩු නැති වාහන වල ඡුායාරූපමය සාක්ෂි මැතිවරන කොමසාරිස් වෙත ඉදිරිපත් කර ඇත. මෙවන් වාහන බිබිලේ, මැදගම, බුත්තල, සෙවනගල හා වැල්ලවාය වැනි නගර වලදී දක්නට ලැබී තිබේ.

තත්වය එසේ වුවද ජනාධිපති රාජපක්ෂ සතියකට පමන පෙර ප‍්‍රකාශ කලේ තමා විසින් කරන ලද සොයා බැලීම්වලට අනුව ඌවේ බරපතල ප‍්‍රචන්ඩ කි‍්‍රයා සිදුවන බවට පොලීසියට වාර්තාවී නොමැති බවයි. කෙසේනමුදු, මේ පිලිබඳව “සොයාබලා වහාම පියවර ගන්නා ලෙස” පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ට ජනාධිපති විසින් නියෝග කලබවට මාධ්‍ය වාර්තා පලවිය.

මේ අතර, මැතිවරන නීති ඇතුලු සමස්ත නීතිය සහ පර්යාය පිලිබඳ මහජන විශ්වාසය බිඳවැටීම සම්බන්ධයෙන් පාලක කවයන්හි වර්ධනය වන උත්සුකය පිලිබිඹු කෙරෙන කතුවැකි මාධ්‍යයන්හි පලවිය. “ප‍්‍රචන්ඩ කි‍්‍රයා සූදානම් කරන්නවුනට එරෙහිව කි‍්‍රයාත්මකවීමට රාජ්‍ය ප‍්‍රධානියාගෙන් උපදෙසක් ලැබෙනතුරු පොලිස්පති සති ගනනාවක් බලා සිටියේද? දැන් ඔහු ප‍්‍රචන්ඩ කි‍්‍රයාවන්හි යෙදෙන්නන්ට එරෙහිව කවර හෝ බියකින් හෝ අනුග‍්‍රහයකින් තොරව පූර්න ආධ්‍යාසයෙන් වැඩට බසීද?” යනුවෙන් පසුගිය 7 දා ද අයිලන්ඞ් කතුවැකිය ප‍්‍රශ්න කරයි.

පලාත් සභා මැතිවරනයට පෙර ඌව පලාත තුල නීතිය හා සාමය කඩා බිඳ දැමීම මීලග මැතිවරනය එනම් ජනාධිපතිවරනය වඩාත් බිය ජනක ස්වරූපයක් ගනු ඇති බවට අනතුරු ඇගවීමකැයි සන්ඬේ ටයිම්ස් පුවත් පත ප‍්‍රකාශ කලේය.

රටෙහි අතිශයින්ම ඉහල දරිද්‍රතාවක් සහිත දිස්ත‍්‍රික්ක දෙකක් වන බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්ක වලින් සමන්විත ඌව පලාතේ බහුතර මහජනතාව මෙම ප‍්‍රහාරයන්ගේ දැනටමත් දරුනු ලෙස බැට කමින් සිටිති. මෙම දිස්ත‍්‍රික්ක වල වැඩ කරන ජනයාගෙන් පහෙන් පංගුවක් පමන දෙමල බස කතා කරන වතු කම්කරුවන් වන අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව ඌවේ වෙසෙන ලක්ෂ 12 කට අධික ජනගහනයෙන් ලක්ෂ දෙකකට ආසන්න ජන කොටසක් දැනටමත් අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙයි.

ගැඹුරු වන ලෝක ධනවාදයේ අර්බුදයත් විනාශකාරී ලෝක යුද්ධයක් දිශාවට ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන් වර්ධනය කරන මිලිටරි සූදානමත් මධ්‍යයේ සෑම රටකම කම්කරු පන්තියේ ද දුගී ජනයාගේ ද සමාජ අයිතීන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට බරපතල පහර එල්ල කෙරෙමින් පවතී. රාජපක්ෂ තම විරුද්ධවාදීන්ට ද පහර දෙමින් පොලිස් රාජ්‍යයක සැලසුම් වේගවත්ව ඉදිරියට යන්නේ කම්කරු පන්තියේ සමාජ පිපිරීමක් තලා දැමීමට සූදානම් වෙමිනි.

ඌවේ මැතිවරන ප‍්‍රචන්ඩ කි‍්‍රයාවන් කම්කරු පන්තියට බැරෑරුම් අනතුරු ඇඟවීම් ගෙනඑයි. සමාන පිලිවෙත් දරන එජාප හා ජවිපෙ පන්ති සගයන්ට රාජපක්ෂ විසින් සලකනු ලබන්නේ මෙසේනම් ඔහුගේ ඉදිරි ප‍්‍රහාරයන්ට එරෙහිවන කම්කරුවන්ට, තරුනයන්ට සහ අවශේෂ පීඩිතයන්ට කෙසේනම් සලකනු ඇද්ද යන්නත් එහිදී ඔහු විසින් කිනම් ක‍්‍රමවේදයන් අනුගමනය කරනු ඇද්ද යන්නත් ඉන් ඉතා පැහැදිලිව ඇඟවෙයි.

Share this article: