චීනයේ වර්ධන අනුපාතය තවත් පහත වැටීමක් අත්විඳියි

China’s growth rate takes another downturn

නික් බීම්ස් විසිනි, 2015 අපේ‍්‍රල් 16

ගෝලීය ආර්ථිකය පහත් වර්ධනයේ දිග්ගැස්සුනු අවධියකට මුහුන දෙනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සතිය මුලදී කල අනතුරු ඇඟවීම්, 15දා නිකුත් කල චීන සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වී ඇත. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ වර්ධනය, 2008-09 හටගත් ගෝලීය අර්බුදයේ ක්ෂනික ඉක්බිත්තේ පටන් සලකුනු කල පහතම මට්ටමට ලඟාවී ඇත.

2015 පලමු කාර්තුවේ සියයට 7 වර්ධනය පූර්ව කාර්තුවේ සලකුනු කල 7.3ට වඩා පහත වැටීම, මාධ්‍ය සිරස්තලයන්ට හේතුවක් වී නැත.

අර්බුදයට පෙර චීනයේ වර්ධනය සියයට 10ක් හෝ ඊටත් වැඩි මට්ටමක පැවති අතර එය අපනයනයන්ගේ ඉහල නැගීම මගින් ජනනය කලේය. එවක් පටන් වර්ධන අනුපාතය පවත්වාගෙන ගියේ, අභ්‍යන්තර යටිතල ව්‍යුහයේ ආයෝජන හා දේපොල උත්පාතය මගිනි. ඒ දෙකටම මූල්‍ය සම්පාදනය කලේ ආන්ඩුවේ උත්තේජක පැකේජයන් හා නය ප‍්‍රසාරනය මගිනි. එහෙත් පසුගිය වසරේදී මෙම කෘතිම උත්පාතය අවසන් වීමෙන් පසුව දැන් එය සිය ප‍්‍රකාශනය අත්කරගෙන ඇත්තේ කාර්මික ආර්ථිකය තුලය.

ඉදිකිරීම් ව්‍යාපෘති වල මන්දගාමී වීම හා නොවිකිනෙන තට්ටු නිවාස සංඛ්‍යාව ඉහල නැගීම නිසා, වාර්තාගත පලමු වැටීම සලකුනු කරමින්, අමු වානේ නිෂ්පාදනය පලමු කාර්තුවේදී සියයට 1.7න් අඩුවිය. වානේ නිෂ්පාදනයේ එක් අදියරක් වන අමු යකඩ නිෂ්පාදනය සියයට 2.3න් පහත ගියේය.

චීනයේ ජාතික සංඛ්‍යා ලේඛන බියුරෝව (එන්බීඑස්) වාර්තා කලේ, දේපොල හා යටිතල ආයෝජන වාර්තාගත පහතම මට්ටමේ පවතින බවයි. බීජිනයේ යේ කැපිටල් පරියේෂන ආයතනයේ කලමනාකරන අධ්‍යක්ෂ ටොම් මරේ ඕස්ටේ‍්‍රලියානු ෆිනෑන්ෂල් රිවිව් වෙත පැවසුවේ, “නව නිවාස ඉදිකිරීම, චීනයේ ගිරි ශිඛරයෙන් පහතට වැටී ඇති” බවය.

එන්බීඑස්ට අනුව, යටිතල හා දෙපොල ආයෝජන ඇතුලු ස්ථාවර වත්කම් සඳහා ආයෝජන වර්ධනය, දෙවසරක් තරම් මෑතකදී පැවති සියයට 20ක මට්ටමේ සිට, පලමු කාර්තුව තුල සියයට 13.5 දක්වා වැටී ගියේය. වසරකට පෙර පැවති තත්වය හා සැසඳීමේදී අලෙවිවූ බිම් කොටස්වල ප‍්‍රමානය, සියයට 32.4න් පිරිහී තිබීම, නිවාස දේපොල වෙලඳපොලේ පහත වැටීම සලකුනු කරයි.

ආර්ථිකය උත්තේජනය කිරීමට මූල්‍ය අධිකාරීන් විසින් දරන ලද උත්සාහය තිබිය දී ද චීන ආර්ථිකයේ අවශේෂ ක්ෂේත‍්‍රයන්හි ද සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කරයි. චීන මහජන බැංකුව (පීබී ඕසී) නොවැම්බරයේ සිට දෙවතාවක් පොලී අනුපාත කපාහැර, නය ගැනීමේ පිරිවැය පහත හෙලා තිබේ. එහෙත් දැනටමත් ඉහල මට්ටමක පවතින ව්‍යාපාරික නය හා පාරිභෝගික ඉල්ලුමේ දුබල වර්ධනය නිසා, ව්‍යාපාර තවමත් ආයෝජනයට මැලිකමක් දක්වයි.

අවසන් පාරිභෝගික ඉල්ලුම සලකුනු කරන සිල්ලර වෙලඳාම, වසරේ මාර්තු දක්වා වැඩිවී ඇත්තේ වසර 9ක පහතම මට්ටම වන සියයට 10.2නි.

අනෙකුත් සංඛ්‍යා ද පෙන්වන්නේ, මන්දගාමිත්වයේ වැඩිවීමකි. ජනවාරි හා පෙබරවාරි මාසවල සියයට 6.8ක මට්ටමේ පැවති කම්හල් නිමැවුමේ වර්ධනය සියයට 5.6 දක්වා වැටී ගියේය.

ඒවායේ අවසන් සැකැස්ම චීනයේ කම්හල් තුල සිදුවන, අර්ධ නිෂ්පාදන භාන්ඩ අපනයනයේ යෙදී සිටින ගිනිකොන දිග ආසියානු රටවල් කෙරෙහි, චීනයේ කාර්මික නිෂ්පාදනයේ පහත වැටීම මේවන විටත් ප‍්‍රමුඛ බලපෑමක් ඇතිකර තිබේ. වසරකට පෙර පැවති තත්වය හා සැසඳීමේදී චීනයේ පලමු කාර්තුවෙහි ආනයන සියයට 17.3න් පහත ගොස් ඇත.

ඔස්ටේ‍්‍රලියාවේ විශාලතම තනි අපනයන ඉපැයුම්කරුවා වන යපස් වල මිල දිගටම පහත වැටෙමින් තිබේ. වානේ නිෂ්පාදනයෙහි මන්දගාමී වීම ඔස්ටේ‍්‍රලියානු ආර්ථිකය කෙරේ එවැනි අමතර තෙරපීමක් ඇති කරයි.

යන්තම් වසරකට පෙර ටොන් එකකට ඩොලර් 100ක්ව තිබුනු යපස් මිල දැන් 50කටත් වඩා පහත ගොස් ඇත. එය ටොන් එකකට ඩොලර් 35 දක්වා වැටීමේ හැකියාව ගැන අනාවැකි පලව තිබේ. පහත වැටීම, චීනයේ ඉල්ලුම පහල වැටීම හා සිය වියදම් වැඩි තරගකරුවන් වෙලඳපොලෙන් අතුගා දැමීමේ අරමුනෙන්, ලෝකයේ ප‍්‍රමුඛ නිෂ්පාදකයින් දෙදෙනා වන බීඑච්පී බිලිටන් හා රියෝ ටින්ටෝ, සැපයුම ඉහල නැංවීමේ ප‍්‍රතිපල වශයෙන් සිදුව ඇත.

අමු යකඩ හා වානේ නිෂ්පාදනය පහත වැටීම ගැන සඳහන් කරන මයි ස්ටීල් උපදේශන සමූහයේ ප‍්‍රධාන තොරතුරු නිලධාරී සූ සියැන්චුං අනතුරු ඇඟවූයේ, “මෙය ඕස්ටේ‍්‍රලියාවේ යපස් පතල්කරුවන්ට හොඳ ආරංචියක් නොවනු ඇත. යපස් මිල එහි පහතම මට්ටම දෙස තවමත් එබී බලා නැත.” යනුවෙනි.

උපාංග හා අමුද්‍රව්‍ය සපයන රටවල ආර්ථිකයන් මත ඇතිකරන බලපෑමට අමතරව, චීනයේ මන්දගාමිත්වය, සැලකිය යුතු මූල්‍ය බලපෑම් ද සහිතය. පී ඕබීසී විසින් ආරම්භ කල පොලී අනුපාත කැපීම, රෙන්මිම්බි මුදලේ අගය ඉහල යාම ඇනහිටුවමින්, රට තුලින් මුදල් ජාත්‍යන්තර දේපොල වෙලඳපොලවල් කරා ඇදී යාමට තුඩු දී ඇත. ෆිනෑන්ෂල් ටයිම්ස්හි පලවූ වාර්තාවකට අනුව දේපොල තැරැව්කරුවන් ගනන් බලා ඇත්තේ, එක්සත් ජනපදයේ, බි‍්‍රතාන්‍යයේ හා ඕස්ටේ‍්‍රලියාවේ දේපොල වෙලඳපොලවල ලොකුම තනි බලවේගය බවට, චීන ගැනුම්කරුවන් පත්ව ඇති බවට ය.

දේපොල පිලිබඳ සමපේක්ෂනය පුලුල් ක‍්‍රියාවලියක කොටසකි. ආර්ථිකය මන්දගාමී වෙද්දී මූල්‍ය කටයුතු වල පුපුරන සුලු නැගීමක් එහි දැකිය හැකිය.

ඉකොනොමිස්ට් සඟරාව මෑතකදී මෙසේ සඳහන් කර තිබුනි. “ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට චීනය කයිවාරු ගැසූ 2010-14 අතර, එරට කොටස් වෙලඳපොල ලෝකයේ නරකම තැනක් ලෙස දිගටම පැවතී ඇත. පසුගිය වසරේ ජූලි මාසයේ පටන් මෙම සම්බන්ධතාවය කනපිට පෙරලී ඇත. චීනයේ වර්ධනය එක දිගට පහලට රූටද්දී කොටස් දර්ශකය, අගය අතින් දෙගුන වී තිබේ.”

අලුත්ම දත්ත වලට අනුව ෂැංහයි කොටස් වෙලඳපොල දර්ශකය, මේ මාසයේදී සියයට 20න් නැගුනු අතර වාර්ෂික අනුපාතයකට අනුව එය සියයට 30ක වර්ධනයකි. චීන වෙලඳපොලවල් ලෝක මූල්‍ය පද්ධතිය කෙරෙහි වෝල් වීදිය තරම්ම බලපෑමක් නොකල ද ඒවායේ කටයුතු සැලකිය යුතු තරම්ය. සිඞ්නි මෝනිං හෙරල්ඞ් පුවත් පතේ ලිපියක සඳහන් කෙරෙන පරිදි, පසුගිය 10දා ඩොලර් බිලියන 250ක චීන කොටස් අගයක් හුවමාරුවී ඇත. එය ඇමරිකාවේ වෙලඳපොලවල දිනපතා වෙලඳාම් කෙරෙන අගයට සමානවේ.

සැබෑ ආර්ථිකය දිවවීම අරමුනු කරගත් උත්සාහයක් බව කියන, පී ඕබීසී විසින් ආරම්භ කල පොලී අනුපාත කැපීමේ ප‍්‍රතිපලයක් ලෙස, පසුගිය මාසය තුල චීනයේ කෙටි කාලීන නය අරමුදල් පිරිවැය සියයට 2න් පහත වැටීම මගින් පාර්ශවීය ලෙස, කොටස් වෙලඳපොල රත්වී ඇති බව පෙනෙන්නට තිබේ.

අනුපාත කැපීමේ ප‍්‍රමුඛ බලපෑම සමපේක්ෂනය හා පරපුටුකම දිරිමත් කිරීම බවට පත්ව තිබීම, ලොව පුරාම දක්නට ඇති තත්වයයි. ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ක්ෂනික ඉක්බිති වසරවල නිරන්තරයෙන් හුවා දක්වන ලද, සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය සඳහා ඉදිරි මාවත සලසීම කෙසේ වෙතත් චීන ධනවාදය, එරට ජාත්‍යන්තර සහචරයින් ගැලී සිටින එම දුෂ්ඨ ගොහොරුවේම ගිලී ඇති බව මෙයින් පෙන්නුම් කෙරේ.

Share this article: