වතු සමිති හා හාම්පුතුන් අතර නව "සාමූහික ගිවිසුමක්" සඳහා කෙරෙන කුමන්ත්‍රනයට එරෙහිවනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2015 අප්‍රේල් 7

කම්කරු වැටුප් දරිද්‍රතා මට්ටමේ රඳවමින් ශ්‍රී ලංකාවේ වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර 2013 දී ඇති කරගත් ද්‍රෝහී "සාමූහික ගිවිසුමේ" කාලය මාර්තු 31දාට අවසන් වන බැවින්, නව ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වය අතර හොර රහසේ සාකච්ඡා සිදු කෙරෙමින් පවතී. වැඩි වැටුප් ඉල්ලා දසදහස් සංඛ්‍යාත වතු කම්කරුවන් අතරින් පැන නැගිය හැකි කවර හෝ අරගලයක් පූර්ව භංග කිරීමේ අරමුනෙන් වෘත්තීය සමිති, හාම්පුතුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආන්ඩුව එක්ව නව ගිවිසුමක් සඳහා කෙරෙන මෙම කුමන්ත්‍රනයට වතු කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතියම එරෙහි විය යුතු ය.

කම්කරුවන් සමග කවර හෝ සාකච්ඡාවක් සිදු නොකොට අත්සන් කෙරුනු 2013 ගිවිසුමට අනුව මිල ඉහලයාම වෙනුවෙන් දිනකට ලබා දුන් රුපියල් 30 ක දීමනාව සතයකිනුදු වැඩි නොකෙරිනි. සමස්ත දෛනික වැටුප රුපියල් 620ක් කෙරුනු නමුදු දින 25 න් සියයට 75 ක් සම්පූර්න කිරීමට අසමත් වන කම්කරුවන්ට සියලු දීමනා අහිමි කෙරුනු මෙම ගිවිසුමෙන් "නිෂ්පාදන ප්‍රවර්ධනය", එනම් වැඩ වේගවත් කිරීම සඳහා ද සමිති නායකයෝ එකඟ වූහ.

වේගයෙන් ඉහල යන ජීවන වියදම සමග කවර ලෙසින් හෝ නොගැලපුන මෙම ඊනියා වැටුප් වැඩි කිරීම සහ වැඩ වේගවත් කිරීම සඳහාවූ එකඟතාව සම්බන්ධයෙන් සමිති නායකයන් කෙරෙහි කම්කරුවන් අතරින් මතුවූයේ බලගතු විරෝධයකි. පසුගිය දෙවසර තුල වතු කීපයකම කම්කරුවෝ, සමිති නිලධරයේ බාධාවන් නොතකා, වැඩ වේගවත් කිරීම්වලට එරෙහිව අරගලයට පිලිපන්හ.

මෑතම අරගලය පැන නැගුනේ මස්කෙලිය ග්ලෙනුගී වතු යායේ ය. දිනකට කැඩිය යුතු තේ දලු ප්‍රමානය කි.ග්‍රෑ. 18 සිට කි.ග්‍රෑ. 20 දක්වා වැඩි කිරීමට පාලකයන් ගත් තීන්දුවට එරෙහිව එම වතු යායට අයන් ඩීසයිඩ් කොටසේ කම්කරුවන් පසුගිය මාසයේ තෙදින වැඩ වර්ජනයකට පිවිසුනේ, සමිතිවලින් ස්වාධීනව යි. ජනාධිපති සිරිසේනගේ ආන්ඩුවේ වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති සහ එක්සත් ජාතික පක්ෂයට අයත් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ (එල්ජේඊඩබ්ලිව්යූ) නායක කේ.වේලායුධම් වර්ජිත කම්කරුවන් නැවත වැඩට දැක්කුවේ හාම්පුතුන් සමග කල සාකච්ඡාවකදී, දිනකට කැඩියයුතු දලු ප්‍රමානය කි.ග්‍රෑ. 18 දක්වා අඩු කිරීමට පාලකයන් වාචිකව එකඟ වූ බව පවසමිනි.

නැවත වැඩට ගිය ඩීසයිඩ් කම්කරුවන්ට මුහුන දීමට සිදුව ඇත්තේ රුදුරු මර්දනයකට සහ වඩාත් ගැඹුරු කෙරුනු වැඩ වේගවත් කිරීමකට ය. වර්ජනයට නායකත්වය දුන් කම්කරුවන්ට එරෙහිව පාලකයන් හා සමිති නායකයන් එක්ව කරන ලද ව්‍යාජ පැමිනිලි මත පොලිස් අත් අඩංගුවට ගැනුනු කම්කරුවන් අට දෙනෙකු ඇප මත මුදා හැරුනද ඔවුනට එල්ල කෙරී ඇති චෝදනා පිලිබඳ නඩු විභාගය තව දුරටත් පැවැත්වෙනු ඇත. මීට අමතරව වතු කලමනාකාරිත්වයෙන්ද චූදිත කම්කරුවන්ට එරෙහි පරීක්ෂනයක් පවත්වන බවත් එහිදී ඔවුන් වැරදිකරුවන් වුවහොත් රැකියාවෙන් නෙරපන බවටත් ඉඟි කොට ඇත. චූදිත කම්කරුවන්ට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වෙන ලෙස උපදෙස් දී අධිකරනයට දක්කා ඇත්තේ සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වන පී.දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) යි.

මෙම පසුබිම තුල අත්සන් කිරීමට යන නව ගිවිසුම කම්කරුවන්ට එරෙහි වඩාත් රුදුරු ප්‍රහාරයක් සඳහා වන පිඹුරුපතක් බව මාධ්‍ය හරහා කාන්දු වන වාර්තා වලින් තහවුරු වේ. කවර හෝ වැටුප් වැඩි කිරීමක් කල නොහැකි බවද වඩාත් පුලුල් වැඩ වේගවත් කිරීමකට යායුතු බවද වතු සමාගම් විසින් විවිධ අන්දමින් ප්‍රකාශයට පත් කෙරෙමින් පවතී. මාර්තු 15 දා දි අයිලන්ඩ් පුවත්පතේ පලවූ වාර්තාවකට අනුව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි පවසා ඇත්තේ ලෝක වෙලඳපොලේ ඇති තරගකාරිත්වය හමුවේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ දිවි රැක ගැනීම, කම්කරුවන් දෙන “සහයෝගය” මත බලගතු ලෙස රඳා පවත්නා බව යි. රාජදුරෙයි මෙසේ පවසයි: “ඔවුන්ට (කම්කරුවන්ට) පහසුවෙන්ම දෛනික නිෂ්පාදනය වැඩි කොට නිෂ්පාදන පිරිවැය අඩු කල හැක. එවිට අපට ලෝක වෙලඳපොලේ තරගකාරී විය හැක.” ලොව “අවම ශ්‍රම ඵලදායිත්වය” ඇති රට ලෙස ශ්‍රී ලංකාව නම් කරන ඔහු, “කම්කරු වැටුප රුපියලකින් වැඩි කලහොත් තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය ස්වයංක්‍රීයව ශත .52 කින් ඉහල යන බව” කියා සිටියි. “තේ කර්මාන්තය බේරා ගැනීම” සඳහා සියලු දෙනා “එකාවන්ව” වැඩ කලයුතු බව අවධාරනය කරන රාජදුරෙයි සෘජුව කියා සිටින්නේ ලෝක වෙලඳපොල තරගකාරිත්වයේ සියලු බර කම්කරුවන් විසින් කරට ගතයුතු බව යි.

හාම්පුතුන්ගේ මෙම කම්කරු විරෝධී තර්ක මුලුමනින්ම පිලිගෙන සිටින එල්ජ්ඊඩබ්ලිව්යු නායක වේලායුධම් ප්‍රමුඛ වෘත්තීය සමිති නිලධරයෝ කම්කරුවන්ගේ ප්‍රධාන හා දිගු කාලීන ඉල්ලීමක් වන මාසික වැටුපක් සඳහා වන ඉල්ලීමට එරෙහිව සිටිති. වීරකේසරී පුවත්පත සමග කල සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙසේ පවසයි: “මෙවර අපි මාසික වැටුපක් ගැන කතා කරන්නේ නෑ. අපි කතා කරන්නෙ දෛනික වැටුප ගැන සහ සේවා කොන්දේසි ගැන පමනයි.“

ලඟදී පැවැත්වීමට නියමිත මැතිවරනය පිලිබඳව ගනන් බලමින් ආන්ඩුව ඉදිරිපත් කල අයවැයෙන් සිදු කෙරුනු අල්ප මිල අඩු කිරීම් කීපයක් පෙන්වමින් එය අගය කරන වේලායුධම් මෙසේ ද කියයි: “අයවැයෙන් පුද්ගලික අංශයට යෝජනා කල රුපියල් 2500 ක වැටුප් වැඩිකිරීම වතු කම්කරුවන්ටද ලැබෙයි.“ අයවැය ඉදිරිපත් කොට මාස දෙකක් ගෙවී ඇතත් පුද්ගලික අංශයේ කවර හෝ ආයතනයක් එම දීමනාව නොගෙවීමෙන් සනාථ වී ඇත්තේ ආන්ඩුවේ යෝජනාවේ ප්‍රෝඩාකාරී ස්වභාවය යි.

මේ අතර පසුගිය ගිවිසුම සම්බන්ධයෙන් ව්‍යාජ විරෝධතාවක් පෙන්වමින් සිටි, දැන් සිරිසේන ආන්ඩුවේ ලැග සිටින දිගම්බරම්ගේ එන්යූඩබ්ලිව් සමිතිය සහ මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) මෙවර එම රැඩිකල් සලුපිලි ගලවා දමා වේලායුධම් සමග එක පෙලට සිටිමින් රුපියල් 2500 ව්‍යාජයම ඔජ වඩවති. සිරිසේන ආන්ඩුවේ තවත් රාජ්‍ය ඇමතිවරයෙකු වන කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) වී. රාධාක්‍රිෂ්නන් ද තොරොම්බල් කරන්නේ මෙම රු 2500 යේ පචයම යි.

ආන්ඩුවේ සංගනන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව වතු කම්කරු ගෘහස්ථයක අවම ආදායම රුපියල් 29,779 ක් විය යුතු ය. නමුදු වතු කම්කරුවෙකුගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 12,000ක් තරම් සොච්චමකි. මෙම තතු තුල රුපියල් 2500 ක මාසික වැටුප් වැඩිවීම, එනම් රුපියල් 100 ක දෛනික වැටුප් වැඩිවීමක් ගිල්ලවීමේ උත්සහාය සම්බන්ධයෙන් කම්කරුවන් දක්වන්නේ බරපතල විරෝධයකි.

සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සමස්ත ලංකා වැවිලි වෘත්තීය සමිතිය තම ව්‍යාජ මාසික වැටුප් ඉල්ලීම ඉවතලා අනෙකුත් සමිති සමග පෙල ගැසෙමින් රුපියල් 800 ක දෛනික වැටුප් ඉල්ලීමක් කරා පල්ලම් බැස ඇත. ඊනියා ජාතික විධායක සභාව තුල සහභාගී වෙමින් සිරිසේන ආන්ඩුව සමග එකට වැඩ කරන ජවිපෙ, තමන් පාර්ලිමේන්තුව තුල විපක්ෂය නියෝජනය කරන බව මවා පෙන්වමින්, කම්කරු පීඩිත ජනයාට එරෙහි රුදුරු ප්‍රහාරයක් සඳහා සියලු ධනපති පක්ෂ ඒකාබද්ධ කර ගැනීමේ ප්‍රයත්නයක යෙදී සිටී.

දශක ගනනක් තිස්සේ වතු කම්කරුවන් රවටන ලංකා කම්කරු සංගමයේ (සීඩබ්ල්ව්සී) ආරුමුගම් තොන්ඩමන් සිරිසේන ආන්ඩුවට සම්බන්ධ වීමේ කේවලයක් ලෙස, වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 ක දෛනික වැටුප් ඉල්ලීමක් පෙරට දමා ඇත. එල්ජේඊඩබ්ලිව්යු සහ සීඩබ්ලිව්සී සමග එක්ව 2013 ගිවිසුමට අත්සන් තැබූ, ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය ද සීඩබ්ලිව්සීයේ ඉල්ලීම සමග පෙල ගැසී සිටී. ද්‍රෝහි ලංකා සම සමාජ පක්ෂයේ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ වෘත්තීය සමිති ඇතුලු තවත් සමිති කීපයකින් වෘත්තීය සමිති මධ්‍යස්ථානය සමන්විත වෙයි.

මෙම සමිති සහ ඒවායේ නායකයන්ගේ ක්‍රියාකලාපයෙන් නැවත වරක් පෙන්නුම් කරන්නේ ඔවුන් සියල්ලන්ම ආන්ඩුවේ සහ වතු සමාගම්වල සෘජු ඒජන්තයන් බව යි. ඔවුන් දේපොල හිමියන්, ව්‍යාපාරිකයන් හෝ ධනපති පක්ෂවලට බැඳුනු දේශපාලනඥයන් ය. රාජපක්ෂ තන්ත්‍රය විසින් තම ජීවන කොන්දේසි වලට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාරයන්ට එරෙහිව වතු කම්කරුවන් අතර වැඩෙමින් පැවති බලගතු විරෝධය, සිරිසේන‐වික්‍රමසිංහ කඳවුර පිටුපස ගාල් කොට එම ප්‍රතිගාමී තන්ත්‍රය බලයට ගෙනඒම සඳහා පසුගිය ජනාධිපතිවරනයේදී මෙම සමිති සියල්ලම එකාවන්ව වැඩ කලහ.

එක්සත් ජනපදයේ අනුග්‍රහය සහිතව සිදු කෙරුනු තන්ත්‍ර මාරුවකින් බලයට පැමිනි සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුව පසුගිය දා විපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්කොටගත් “ජාතික ආන්ඩුවක්“ පිහිටුවා ගත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනවන දැවැන්ත කප්පාදු පියවරයන්ට එරෙහිව පැන නැගීමට නියමිත කම්කරු පංතික අරගල රැල්ලට එරෙහිව සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයක් දියත් කිරීම සඳහා සමස්ත ධනපති පංතිය ඒකාග්‍ර කර ගැනීමේ අරමුනෙනි. එලැඹීමට නියමිත පංති නැගිටීම සම්බන්ධයෙන් තැති ගෙන සිටින සමිති නිලධරය ආන්ඩුව සහ හාම්පුතුන් සමග පෙල ගැසී සිටින්නේ මෙම ප්‍රහාරයේ පොලිස්කාරයන් ලෙසිනි.

ජාමූඅ යෝජනා කරනු ඇත්තේ වැඩ කරන ජනයාගේ ජීවන කොන්දේසි තලා දැමෙන වැඩපිලිවෙලකි. මෙය ලොව පුරාම යුද වැඩපිලිවෙලකට හැරී සිටින ජාත්‍යන්තර බැංකුකරුවන් ගෙන යන කොල්ලකාරී වැඩපිලිවෙල යි. රාජපක්ෂ ආන්ඩුවෙන් පටන්ගෙන, මහජනයා මත බරපතල ප්‍රහාර පටවන අයවැය හිඟය කපා හැරීම දැනටමත් ක්‍රියාත්මක වේ. ගිය අවුරුද්දේ අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.2 දක්වා කප්පාදු වූ අතර එය මේ අවුරුද්දේ සියයට 4.4ට පහත දමන බව මුදල් ඇමති රවි කරුනානායක පවසයි. 2016 වසරේ ඉලක්කය වන්නේ සියයට 3.8 කි.

මෙම තතු තුල වත්මන් ආන්ඩුව ජාමූ අරමුදලෙන් ඉල්ලූ ඩොලර් බිලියන 4 ක නය මුදල ප්‍රතික්ෂේප කෙරුනේ මැතිවරනය දෙස බලාගෙන අන්තර්වාර අයවැයෙන් ලබාදුන් “සහන“ වලට ඇඟිල්ල දිගු කරමිනි. විශේෂයෙන්ම, රජයේ සේවකයන්ගේ “වැටුප් වැඩි කිරීම“ සහ පුද්ගලික අංශයේ සේවකයන් සඳහා යෝජිත රුපියල් 2500 වැටුප් වැඩි කිරීම මූල්‍ය අරමුදලේ බලගතු විරෝධයට ලක්විය. මෙහි ඇඟවුම වන්නේ කවර හෝ ඉදිරි වැටුප් වැඩි කිරීමකට මූල්‍ය අරමුදලෙන් ඉඩක් නොලැබෙන බව යි. ‍

වතු කම්කරුවන් මුහුන දී සිටින පීඩාකාරී ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන නිමක් නැති ප්‍රහාර පරාජය කල හැකි වන්නේ ධනේශ්වර ලාභ පද්ධතිය අහෝසි කිරීම එල්ල කරගත් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් වටා කෙන්යාව, ඉන්දියාව හා මැලේසියාව වැනි සෙසු රටවල සහෝදර වතු කම්කරුවන් ද ලොවපුරා විසිරී සිටින අනෙකුත් කම්කරුවන් ද සමග ඒකාග්‍ර වීමෙන් පමනි. කම්කරුවන් අතර එවන් එකමුතුවක් නිර්මානය කිරීමට නම් කම්කරු පංතිය බෙදීම සඳහා පාලකයන් විසින් යොදාගනු ලබන සියලුම වර්ගයේ ජාතිකවාදයන් සහ ස්වෝත්තමවාදයන්ට එරෙහිව දේශපාලන අරගලයක් දියත් කල යුතු ය.

මේ සඳහා, සිරිසේන‐වික්‍රමසිංහ ආන්ඩුවෙන් ද සියලුම ධනපති ගැති පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ද කම්කරු පංතිය දේශපාලනිකව ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සමාජවාදී පිලිවෙත මත අරගලයකට පිවිසීම අත්‍යවශ්‍ය වේ.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ එවැනි ක්‍රියාකාරී කමිටු ගොඩ නගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට කැඳවුම් කරයි. සමිති මැරයන්ට ද ප්‍රචන්ඩ පොලිස් සහ මිලිටරි මැදිහත්වීම්වලට ද එරෙහිව කම්කරුවන්ගේ ආරක්ෂක භටකායන් ගොඩනැගීමට මෙම ක්‍රියාකාරී කමිටු පියවර ගතයුතු ය.

වතු කම්කරුවන්ගේ දේශපාලන අරගලයක් සඳහා පදනම ලෙස පහත ඉල්ලීම් සසප යෝජනා කරයි.

*සියලු වතු කම්කරුවන් සඳහා පුරවැසි අයිතිය

*ජීවන වියදමට සරිලන ලෙස සැකසෙන රුපියල් 40,000 ක මාසික වැටුපක්

*වැඩ ප්‍රමානය වැඩි නොකරනු! සමාන වැටුපකට රැකියා විරහිත තරුනයන්ට රැකියා ලබා දෙනු!

*මනා නිවාස, සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම් සියල්ලන්ටම ලබා දෙනු!

ධනේශ්වර අයිතිය යටතේ පුද්ගලික ලාභය සඳහා ධාවනය කෙරෙන වතුකරයක් තුල මෙම මූලික ඉල්ලීම් මුලුමනින්ම සාක්ෂාත් කරගත නොහේ. කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රීය පාලනයක් යටතේ සමස්ත වතුකරයම ජනසතු කල යුතු යැයි සසප කියා සිටී.

සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නගන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා කෙරෙන සටනේදී, තම ජීවන කොන්දේසිවලට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට මුහුන දී සිටින කම්කරු පංතියේ අනෙකුත් කොටස් සහ ගම්බද පීඩිතයන් දෙසට වතු කම්කරුවන් හැරී ගත යුතු ය. ධනපතියන් අතලොස්සකගේ ලාභය සඳහා නොව, වැඩකරන ජනයාගේ මූලික සමාජ අවශ්‍යතා සැපීරීම සඳහා ඉහල සිට පහලට සමස්ත ආර්ථිකය ප්‍රතිසංවිධානය කල යුතු ය. දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා සහ ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීම සඳහා සසප ගෙනයන සටනට එක්වන ලෙස සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: