සමාජවාදය සහ ඓතිහාසික සත්‍යය
ලිප්සිග් පොත් ප‍්‍රදර්ශනයේ දී කරන ලද දේශනයකි

Socialism and historical truth
A lecture delivered at the Leipzig Book Fair

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2015 මාර්තු 17

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් 2015 මාර්තු 13 දා, ලිප්සිග් පොත් ප‍්‍රදර්ශනයේ දී අසන්නන් 450 ක් ඉදිරියේ කරන ලද මෙම දේශනය තුලදී, Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස) කෘතියේ ජර්මානු මුද්‍රනය හඳුන්වා දුන්නේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් 2015 මාර්තු 13 දා, ලිප්සිග් පොත් ප‍්‍රදර්ශනයේ දී අසන්නන් 450 ක් ඉදිරියේ කරන ලද මෙම දේශනය තුලදී, Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස) කෘතියේ ජර්මානු මුද්‍රනය හඳුන්වා දුන්නේය.

මෙම දේශනය ලිප්සිග් නගරයේ දී කරන්නට ලැබීම ඉමහත් ගෞරවයකි. ලිප්සිග් පොත් සල්පිල ආසන්නයේ මෙහ්රින්ග් වර්ලාග් ප‍්‍රකාශකයන් “රුසියනු විප්ලවය සහ නොනිමි විසිවන සියවස” නමැති මෙම කෘතියේ ජර්මානු මුද්‍රනය පලකිරීම ඉමහත් කාර්ය සිද්ධියකි. මෙම කෘතිය පරිවර්තනය කොට මුද්‍රනය කිරීමේ ලා ඉටු කල අසාමාන්‍ය වැඩ කොටස පිලිබඳව, ජර්මානු සමජවාදී සමානතා පක්ෂයේ (Partei für Soziale Gleichheit) මගේ සහෝදරවරුන්ට, විශේෂයෙන් ම පීටර් ෂ්වාර්ට්ස්ට හා ඇන්ඩි‍්‍රයා රීට්මාන්ට බෙහෙවින් කෘතඥ වෙමි. පිටු 450 ක් වූ මෙම ග‍්‍රන්ථය ඉංග‍්‍රීසියෙන් ජර්මානු බසට පරිවර්තනය කොට, තුන් මසකට අඩු කාලයක දී සංස්කරනය කරන ලද්දේ යයි සිතාගැනීම වුවද දුෂ්කර ය.

මා මේ කෘතියේ දී කියන්නට යන්නේ කුමක් ද යන්න මැනවින් දැන සිටිනවා පමනක් නොව, එය වඩාත් නිරවද්‍ය ලෙස ද, මා ඉංගී‍්‍රසි බසින් අත්කර ගැනීමට සමත් වූවාටත් වඩා සාහිත්‍යමය සංවේදී බවකින් යුතුව ද ඉදිරිපත් කිරීමට සමත් පරිවර්තකයෙකු ලැබීම මගේ වාසනාවකි. ඇන්ඩි‍්‍රයා ගේ කාර්යය යම් තරමක් පහසු වූයේ සමහරවිට මෙම කෘතියේ අන්තර්ගතය නිසා විය හැකිය. එහි සලකා බැලෙන සිදුවීම් වලින් කොතරම් ප‍්‍රමානයක් මේ රටෙහි (ජර්මනියේ ) සිදුවී ද යත් ඇන්ඩි‍්‍රයා ඉටු කර ඇත්තේ, මුලින් ජර්මන් බසින් ලියන ලද කෘතියක ඇමෙරිකානු පරිවර්තනයක් ආපසු ජර්මන් බසට පරිවර්තනය කිරීම වැන්නක් යයි කීම කවර වරද ද ?

මා මීට පෙර ලිප්සිග් පොත් සල්පිලකට පැමිනියේ 2011 මාර්තු මාසයේ දී ය. ඒ In Defense of Leon Trotsky (ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා) කෘතියේ ජර්මන් මුද්‍රනය පලකොට මඳ කලකට පසුවය. ඔබ සමහර කෙනෙකු දන්නා පරිදි එම කෘතිය, ඉයන් තැචර්, ජෙෆ්රි ස්වේන් සහ රොබට් සර්විස් ලියූ චරිතාපදාන තුනෙන්, ලියොන් ට්‍රොට්ස්කිට එරෙහිව එල්ල කර තිබුනු විකෘතීන්, අර්ධ-සත්‍යයන් සහ පූර්න - මුසාවන් ඛන්ඩනය කල ලිපි හා දේශන සංග‍්‍රහයකි.

2011 වර්ෂයේ මුලදී ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා යන කෘතිය පලවූයේ, සුහ්ර්කාම්ෆ් විසින් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානයෙහි ජර්මානු පරිවර්තනයක් පලකිරීම සැලසුම් කලාට මාස කිහිපයකට පෙරාතුවය. එහෙත් එම කීර්තිධර ප‍්‍රකාශන මන්දිරයේ නම, සර්විස් ගේ කෘතිය සමග පයුරු පාසානයෙන් කිලුටු නොකරන ලෙස ඉල්ලා සම්මානිත ඉතිහාසඥයන් දහ හතර දෙනකු අත්සන් කල විවෘත සන්දේශයක් ඉදිරිපත් වීමත් සමග සුහ්ර්කාම්ෆ් වැඩ සටහන අවුලට පත් විය. සාධිකාරී, American Historical Review [ඇමරිකන් හිස්ටොරිකල් රිවිව්- ඇමරිකානු ඉතිහාස සඟරාව] හි විචාරයක් මා සර්විස් පිලිබඳව කල විවේචනය මුලුමනින් ම අනුමත කිරීමෙන් නොනැවතී ට්‍රොට්ස්කි පිලිබඳ සර්විස්ගේ කෘතිය “කුලීකාර වැඩක්” ලෙස හෙලා දැකීම නිසා ඉතිහාසඥයන්ගේ එම විරෝධතාවේ බලපෑම වඩාත් තීව‍්‍ර විය.

මේ සාමාන්‍යයෙන් ශාස්තී‍්‍රය සඟරාවකට හුරු බස නොවේ. එසේ වුවත්, එය වනාහි, කාරනා තෝරාගැනීමේ දී ද පිලිගැන්වීමේදී ද අරුත් දැක්වීමේ දී ද අනුගමනය කල යුතුයයි පූර්ව- පස්චාත් නූතනවාදීන් විසින් පිලිගනු ලැබුවා වූ ද වත්මන්හි වැඩි වැඩියෙන් උල්ලංඝනය කරනු ලබන්නා වු ද බුද්ධිමය හා සදාචාරාත්මක ආස්ථානයේ නිරවද්‍ය බව අද ද අනුමත කරන, ප‍්‍රතිපත්ති - ගරුක ඉතිහාසඥයින් ඉදිරිපිට රොබට් සර්විස් ගේ වෘත්තීමය කීර්තියට එල්ල කරන ලද විනාශකාරී පමනක් නොව උචිත පහරකි.

අන්තිමේ දී සුහ්ර්කාම්ෆ් ප‍්‍රකාශකයින් සර්විස්ගේ ට්‍රොට්ස්කි චරිතාපදානය එලිදැක්වුයේ, අවුරුද්දක් තරම් කල් ගත වූ පසුව ය. එහෙත් එය පොත්හල්වලට පැමිනියේ, සිය පිටකවරයේ වෘත්තාන්තමය කෙවිටේ සලකුන ද සහිතවය.

“ලියොන් ට්‍රොට්ස්කි ආරක්ෂා කිරීම සඳහා” යන කෘතියේ ප‍්‍රථම මුද්‍රනයේ ලිපි සහ දේශන සකස්කරන ලද්දේ 2009 සහ 2011 අතර තුර ය. එහි දෙවන මුද්‍රනය, ප‍්‍රථම මුද්‍රනයෙන් ජනනය කෙරුනු විවාදයට ප‍්‍රතිචාර වශයෙන් ලියන ලද අමතර ලිපි ද ඇතුලත් කරගති. එහි අන්තර්ගත වූයේ ඉතිහාසය මුසාකරනයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ලියන ලද ලේඛන වලින් කොටසක් පමනි. මගේ නව කෘතිය පලකිරීමත් සමග සමාජවාදය සඳහා වත්මන් අරගලය, ඓතිහාසික සත්‍යය සඳහා අරගලය හා සමග කොතරම් සමීපව බැඳී ඇත් ද යන්න එලි දක්වයි.

The Russian Revolution and the Unfinished Twentieth Century (රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස), 1995 සහ 2014 අතරතුර ලිඛිත දේශන සහ ලිපි පහලොවක් ඇතුලත් කර ගනී. එහෙත් මෙම පොත හුදෙක් ලිපි සංග‍්‍රහයක් ලෙස නිර්වචනය කිරීමෙන් මා සෑහීමට පත් නොවන්නේ, කර්තෘත්වයේ ගර්වය නිසාම නොවේ. සාමාන්‍ය ලිපි මාලාවක් තුල පවත්නේ, එකම කර්තෘ විසින් රචනා කල බව හැරෙන්නට, හුදෙක් ලිහිල් සම්බන්ධතාවක් පමනි. “රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස” වනාහි, සුජාතවම එක් තනි, ඇතුලතින් දිවෙන අඛන්ඩ හුයපටකින් බැඳී පවත්නා, කෘතියකි. එහි ඇතුලත් ලිපි 1989 හා 1991 අතරතුර සමයේ දී නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර හා සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව විසි වසරක් පමන පුරාවට පැනනැගි ඓතිහාසික, න්‍යායික සහ දේශපාලන ප‍්‍රශ්න වලට දැක්වුනු ප‍්‍රතිචාරයකි.

මෙම රාජ්‍යයන් හදිසියේ බිඳ වැටීම, විසිවන සියවසේ ගමන්මග පිලිබඳව අති මූලික ප‍්‍රශ්න මතු කලේ ය. සියවසේ සෑම ප‍්‍රමුඛ සිද්ධියක්ම පාහේ, උග‍්‍ර මත ගැටුමක කේන්ද්‍රය බවට පත් විය. ගැටුමට තුඩු දුන්නේ සිද්ධීන් පිලිබඳ අර්ථකථනය පමනක් නොව, කරුනු ඉදිරිපත් කිරීම ද වේ. විසිවන සියවසේ සිද්ධීන් අතුරෙන් දරුනුම ගැටුමට තුඩු දුන් විෂය නම්, 1917 රුසියානු විප්ලවයයි. එයට හේතු වූයේ එය එම සියවස තුල අත්කර ගත් කේන්ද්‍රීය ස්ථානය යි. ඔබ සියලු දෙනාටම හුරු පුරුදු කියමනක් ජර්මනියේ ඇත: “ඔබගේ මිතුරන් කවුරුන්දැයි මට කියන්න, එවිට මම ඔබ කවුදැයි ඔබට කියා දෙන්නම්.” එම නිශ්චය භාවයෙන් යුතුවම අපට විසිවන සියවසේ ඉතිහාසඥයන් පිලිබඳව ද මෙසේ කිව හැකි වේ. “රුසියනු විප්ලවය ගැන ඔබ ලියා ඇති දේ කුමක්දැයි මට පෙන්වන්න. එවිට මම ඔබ අඩු ගනනේ ඉතිහාසඥයෙකු ලෙස සැලකිය හැකි දැයි යන්න පෙන්වාදෙන්නම්.”

1989 ට පෙර , සෝවියට් සංගමයේ ෆැසිස්ට් සහ නව-ෆැසිස්ට්වාදී තිත්ත ම සතුරන් හැරෙන්නට, අන් සියල්ලන්ම පිලිගත් කරුනක් නම්, 1917 ඔක්තෝබරයේ දී බෝල්ෂෙවිකයින් මෙහෙයවූ නැගිටීම විසින් ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දැමීම, විසිවන සියවසේ ද ලෝක ඉතිසයේ ද සන්ධිස්ථානයක් සලකුනු කලේ ය යන්න ය.

1917 ඔක්තෝබරයේ පෙට්‍රොග‍්‍රෑඩ් සිද්ධීන් පිලිබඳ සියැසින් දුටු දෑ විස්තර කිරීමට ජෝන් රීඩ් තෝරාගත් සිරස් තලය- Ten Days that Shook the World (ලොව සෙලවූ දස දවස)- පිලිබිඹු කලේ, ඔක්තෝබරයට පක්ෂ සහ විපක්ෂ දෙගොල්ලට ම පොදු වූ, විප්ලවයේ ඓතිහාසික අර්ථ භාරය පිලිබඳ තක්සේරුවකි. ඔක්තෝබර් විප්ලවයේ යෝධ බලපෑම - හුදෙක් සෝවියට් සංගමයේ අසාමාන්‍ය ආර්ථික අභිවර්ධනය විසින් ප‍්‍රකාශිත වූ ආකාරයෙන් පමනක් නොව, ලෝකය පුරා කෝටි සංඛ්‍යාත ජනකායන් අතර එය ජනනය කලාවූ විප්ලවීය සමාජ සහ දේශපාලන විඥානය හේතු කොට ගෙන විසිවන සියවසේ සමාජ, දේශපාලන සහ ආර්ථික වාතාවරනය තුල කේන්ද්‍රීය මුලාංගයක් වුයේ ය.

1991 දී සෝවියට් සංගමය විසුරුවාහැරීම, ඔක්තෝබර් විප්ලවය සහ සෝවියට් සංගමයේ ඉතිහාසය පිලිබඳ ශාස්ත‍්‍රාලික ප‍්‍රජාවේ තක්සේරුව අසාමාන්‍ය ලෙස වෙනස් කර දැමීය. 1991 ට පෙර, සෝවියට් සංගමයේ අවසානය පෙරදුටු එකදු ප‍්‍රමුඛ ඉතිහාසඥයෙකු හෝ නොවීය. ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ පිලිවෙත් සෝවියට් සංගමය නැතිකර දැමීමට මගපාදනු ඇතැයි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කලාවූ අනතුරු හැඟවීම “ට්‍රොට්ස්කිවාදී” කට්ටිවාදීන්ගේ දෙඩවිලි යයි කියා, එසේත් නැතහොත් සරලවම, නොතකා හරින ලදී. 1985 දි ගොර්බචෙව් බලයට පැමින සිය පෙරෙස්ත්‍රොයිකා වැඩසටහනට මුල පිරූ පසුවද, සෝවියට් සංගමය පිලිබඳ දකුනේ හෝ වමේ වෘත්තීය ඉතිහාසඥයින් පමනක් නොව, ධනේශ්වර ආන්ඩු විසින් හා ඔවුන්ගේ චර-බුද්ධි අංශ විසින් සෝවියට් සංගමයේ පදනම්ගත ස්ථාවර බව ප‍්‍රශ්න කර නැත. කම්කරු පන්තිය විසින් ගොර්බචේව්ගේ පෙරෙස්ත්‍රොයිකාව අභියෝගයට ලක් නොකරන ලද්දේ නම් සෝවියට් සංගමය විනාශ කොට ධනවාදය පුනස්ථාපනය ට මග පාදනු ඇති බව 1986 තරම් ඈතදී පෙරදුටු ජාත්‍යන්තර කමිටුවම පමනි මෙහිලා එකපැහැර නැගී සිටියේ.

1991 ඉක්බිත්තේ සෝවියට් ඉතිහාසය පිලිබඳ, ඔවුන්ගේ මති මතාන්තර අත්කර ගත් මාරුවේ ආන්තික ස්වභාවය වටහා ගැනීමට නම්, 1991 ට පෙර සෝවියට් ඉතිහාසඥන් අතර පැවතී අදූරදර්ශී කම මතක් කර ගැනීම අවශ්‍ය ය. සෝවියට් සංගමයේ ස්ථිරසාර භාවය පිලිබඳව කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන එනු ලැබූ විශ්වාසය එක රැයින් මෙන් බිඳ වැටී, ඔක්තෝබර් විප්ලවයෙන් පැනනැගී රාජ්‍යය උපතින්ම සිය විනාශය ඉරනම කොට ගත් එකක් ය යන විස්වාසයට පරිවර්තනය විය. නව වැටහීමට අනුව, මුල පටන්ම සෝවියට් විප්ලවය විනාශ වීමට නියමිත විය. ලෙනින් 1917 දී පෙට්‍රොග‍්‍රාඩ්- නුවර ෆින්ලන්ත දුම්රිය පොලට ගෙන ආ ඉතිහාසයේ දුම්රිය, සිය දෛවෝපගත ගමන නිම කලේ, 1991 දෙසැම්බරයේ දී බොරිස් යෙල්ට්සින් ද, ලියොනිඞ් කව්චුක් ද ස්ටැනිස්ලව් සස්ටකෙවිච් ද සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ගිවිසුම අත්සන්කල මින්ස්ක් නුවර අසබඩ ගමෙනි.

1991 න් ඉක්බිතිව දේශපාලන වාතාවරනය අධිකාරවත් කල ධනේශ්වර විජයග‍්‍රහන වාදයත්, සුලු ධනේශ්වර අසුභවාදයත්, පරිපූර්න අපේක්ෂාභංගයත් සෝවියට් ඉතිහාසය සහ ඊට අනුකූලව නුතන ඉතිහාසයේ සමස්ත ගමන් මගත්, යලි මුලූමනින්ම අර්ථකථනය කිරීමට බෙහෙවින්ම බලපෑවේ ය. 1991 ට පෙර සිය ප‍්‍රතිගාමී සහජාසයන් අලූත්කර ගැනීමට හෝ සඟවාගැනීමට සිදුව තිබුනු ශාස්ත‍්‍රාලිකයන් අතර සැලකිය යුතු කන්ඩායමක් දැන්, ප‍්‍රති-මාක්ස්වාදී, ප‍්‍රති-කොමියුනිස්ට්වාදී ප‍්‍රහාරයක්, අනාදී ගංවතුරක් සේ මුදා හලහ. තවත්, සහ සමහර විට ඊටත් වඩා විශාල කන්ඩායමක්, හිටි අඩියේ යල්පැන ගිය තම පැරනි වාම නැඹුරුව ගැන පසුතැවෙන්නට පටන් ගත්තෝය. පස්චාත් නූතනවාදයේ කටුක සහ දැඩි ලෙස ආත්මීය වූ අහේතුවාදය එහි අතිශයින්ම කැපවූ එහෙයියන් සොයාගත්තේ මෙම බුද්ධිමය වශයෙන් බියගුලූ හිටපු-වාම සහ ව්‍යාජ වාම මධ්‍යම පන්තික සනුහරය තුලිනි.

Ten Days that Shook the World “රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස” කෘතියේ එන ලිපි නියෝජනය කරන්නේ, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිත්තේ පැන නැගි තීරක ඓතිහාසික, දේශපාලන සහ දාර්ශනික ප‍්‍රයුක්තින්ට දෙන ලද මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පිලිතුරයි. ජාත්‍යන්තර කමිටුව මෙම කර්තව්‍යය සඳහා කල්තබාම මනාව සූදානම්වී සිටියේය. ඔක්තෝබර් විප්ලවයෙන් පැනනැගී රාජ්‍යයේ ස්වභාවය පිලිබඳ ව ජාත්‍යන්තර කමිටුවට තිබුනු නිරවද්‍ය වැටහීම විසින්, ධනේශ්වර ශාස්ත‍්‍රාලිකයන්ට නොමැති වූ, නොමිනියහැකි වාසියක් ජාත්‍යන්තර කමිටුවට අත්පත් කර දී තිබුනි.

අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, “රුසියානු ප‍්‍රශ්නය” පිලිබඳව විවාද කරමින් සිට ඇත. 1936 තරම් ඈතදී පලකෙරුනු ට්‍රොට්ස්කි ගේ Revolution Betrayed (විප්ලවය පාවාදීම) නැමති කෘතිය, සෝවියට් සංගමය පිලිබඳ නිශ්චිත විශ්ලේෂනය ලෙස අද දක්වාම පවතියි. සෝවියට් සංගමය එහි විවිධ ඓතිහාසික අවධීන් තුලින් විකාශනය වන සැටි වටහා ගැනීමට හතරවන ජාත්‍යන්තරය සමත් වුයේ සෝවියට් සංගමය පිරිහුනු කම්කරු රාජ්‍යයක් යයි ට්‍රොට්ස්කි කල විශ්ලේෂනයේ පදනම මතය. එය සෝවියට් සංගමය “රාජ්‍ය ධනවාදී” ය යන්න පමනක් නොව, සෝවියට් සංගමය සමාජවාදය දිනාගෙන තිබුනේය -නැතහොත් දිනාගැනීමට ආසන්නය- යන නානා ප‍්‍රකාර න්‍යායන් ඛන්ඩනය කලේ ය

බ්රුනෝ රිස්සි ගේ The Bureaucratization of the World (ලෝකය නිලධාරි කරනය වීම) ජේම්ස් බර්න්හැම් ගේ Managerial Revolution (කලමනාකාර විප්ලවය) සහ මිලෝවන් ඩිජිලස් කී පරිදි නව පන්තියක් ද ඇතුලූ - ස්ටලින්වාදය වනාහි කිසියම් නව සුරාකෑමේ සමාජ ක‍්‍රමයක් ය යන - දක්ෂිනාංශික න්‍යායයන් හතරවන ජාත්‍යන්තරය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. මයිකල් පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දුන් ප‍්‍රවනතාවක්, ස්ටැලින්වාදී නිලධරය වනාහි සෝවියට් සංගමය තුල පරපුටු, ප‍්‍රතිවිප්ලවාදී බලවේගයක් ය යන ට්‍රොට්ස්කි ගේ විශ්ලේෂනය ප‍්‍රතික්ෂේප කොට, ක්‍රෙම්ලින් නිලධරය සහ එහි අනුබද්ධ පක්ෂ ලෝකය පුරා සමාජවාදය පිහිටුවාලීමේ කේන්ද්‍රීය බලවේග බවට මවා පෙන්වීමට දරන ලද ප‍්‍රයත්නයට එරෙහිවය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1953 දී පිහිටුවන ලද්දේ.

සෝවියට් සංගමය පිලිබඳ ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනයේ කේන්ද්‍රීය අංග වන්නේ: 1) ස්ටලින්වාදී නිලධරයේ සමාජ -ආර්ථික සහ දේශපාලන මූලාශ‍්‍ර හෙලි කිරීම; 2) නිලධරයේ සමාජ භූමිකාව හා සෝවියට් රාජ්‍යයේ අභ්‍යන්තර ප‍්‍රතිඝතිතා පිලිබඳ න්‍යායික අභිනිවේශය; 3) ස්ටැලින් විසින් “තනිරටක සමාජවාදයේ” ධජය යටතේ 1924දී ඉදිරිපත් කරන ලද ජාතික ආර්ථික ස්වතන්ත‍්‍ර ක‍්‍රියාමාර්ගයේ අශක්‍යතාව; 4) ලෝක පරිමානව ධනපති ක‍්‍රමය පෙරලා දැමීම මත සෝවියට් සංගමයේ පැවැත්ම අනිවාරනීයවම රැඳී පවත්නා බව.

සෝවිටේ සංගමය විසුරුවා හැරීම, ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ පදනම පිලිබඳ ඓතිහාසිකව මුල්බැසගත් ජාත්‍යන්තර විශ්ලේශනයක් මත පදනම්ව වටහා ගත් ජාත්‍යන්තර කමිටුව, සෝවියට් සංගමයේ වැටීම වනාහි ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයේ ඓතිහාසික අර්බුදය තුලින් පැනනැගී දේශපාලන නායකත්වයේ සහ ඓතිහාසික ඉදිරිදර්ශනයේ අර්බුදයක ආන්තික ප‍්‍රකාශනය බව වටහා ගත්තේය. සෝවියට් සංගමය විසුරුවා හැරීම, ලෝක සිද්ධීන්ගෙන් හුදෙකලාව සිදුවූවක් නොවේ. “සෝවියට් සංගමයේ බිඳවැටීම සලකුනු කලේ, මාක්ස්වාදයේ බිඳවැටීම ය” යන ධනේශ්වර විජයග‍්‍රහනවාදී අභ්‍යර්ථනය විචාරාත්මක පරීක්ෂනයේ ලා අසමත් වූයේ අති මූලික කාරනා දෙකක් උඩ ය.

ප‍්‍රථමයෙන් ම, “මාක්ස්වාදයේ අසාර්ථකත්වය පිලිබඳ න්‍යායට” පක්ෂවූවෝ, සෝවියට් සංගමය විසුරුවාලීමට පූර්ව අඩ-සියවස පුරා සෝවියට් පාලන තන්ත‍්‍රයේ පිලිවෙත් කවර ආකාරයකින් හෝ මාක්ස්වාදී න්‍යාය මත පදනම්ව තිබුනේය යන්න සනාථ කිරීමට මුලූමනින්ම අසමත් වූහ. ස්ටැලින්වාදය වනාහි න්‍යායේ දී ද භාවිතයේ දී ද මාක්ස්වාදයේ නිෂේධය යයි විදහා දැක්වූ ට්‍රොට්ස්කි ගේ කෘතීන්හි පටන්, මේ පිලිබඳව ඇති සුවිසල් මාක්ස්වාදී සාහිත්‍ය සම්භාරය, මේ “මාක්ස්වාදී න්‍යායේ අසාර්ථකත්වය” පිලිබඳ න්‍යායඥයන් විසින් සරලවම නොතකා හැරිනි.

දෙවනුව, අප සෝවියට් තන්ත‍්‍රයේ පිලිවෙත්වල මාක්ස්වාදී, මාක්ස්වාදී නොවන හෝ ප‍්‍රති-මාක්ස්වාදී ස්වභාවය පිලිබඳ ප‍්‍රශ්නය මොහොතකට පසෙකින් තැබුව ද සෝවියට් සංගමය විසුරුවා හැරීම සිදුවූයේ ලෝක පරිමානව සිදු වූ, 1980 ගනන් වල අග දක්වා දශක ගනනාවක් තිස්සේ මිලියන ගනන් සාමාජිකයන් සිටියාවූ සාම්ප‍්‍රදායික කම්කරු පන්ති සංවිධාන වල බිඳවැටීමක් සමගය යන්න ඉස්මතු වෙයි. සෝවියට් සංගමයේ අසාර්ථකත්වය, එහි මාක්ස්වාදී යයි කියනලද ක‍්‍රියාමාර්ගයේ විපාකයක් වී නම්, ලෝකය පුරාම උග‍්‍ර ප‍්‍රති -මාක්ස්වාදී ධනේශ්වර ගැති සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ සහ වෘත්තීය සමිති යන දෙවර්ගය ම එකවර බිඳවැටීම කෙසේ අර්ථ දක්වන්න ද?

කම්කරු පන්තිය මුහුන දෙන්නාවූ ලෝක අර්බුදයේ සන්දර්භයෙහි තබා, 1991 සිද්ධීන් ගේ ඉක්බිත්තේ දී සලකා බැලූ ජාත්‍යන්තර කමිටුව, සෝවියට් සංගමයේ සමස්ත ඉතිහාසය ද එය විසුරුවාහැරීමේ හේතු ද පිලිබඳ සමාලෝචනය වනාහි අත්‍යවශ්‍ය වූ ද අනිවාරනීය වූ ද දේශපාලන කර්තව්‍යයක් යයි වටහා ගත්තේ ය. ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික අර්ථ භාරය සලකා බලන කල්හි සෝවියට් සංගමය අවසානවශයෙන් බිඳ වැටීම විසින් කම්කරු පන්තියේ පුලුල් කොටස් තුල ව්‍යාකූලය සහ අවමංගතය ඇති කිරීම පුදුමයක් නොවේ. පාලක පන්තිය, මාධ්‍යයන් තුලද බුද්ධිමය වශයෙන් වඩාත් දුෂිත ශාස්ත‍්‍රාලිකයන් අතර ද තම සම්පත් සියල්ල ම ඒකරාශී කොට මේ සඳහා මෙහෙයවා ගැනීම අපේක්ෂා කලයුතු විය. පාලක පන්තිය, මහා මුසාකරනයේ සහ මුසාප‍්‍රචාරයේ සකල ආයුධ කම්කරු පන්තිය විසින් සිය ඉතිහාසය වටහා ගනු ලැබීම වැලැක්වීමට ප‍්‍රයෝජනයට ගනු ඇත.

එක්සත් ජනපදයේ ප‍්‍රධාන වෘත්තීය සමිති සම්මේලනය වන ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානය, සීඅයිඒ සංවිධානය සමග සමීප සහයෝගිතාවයකින් කටයුතු කරමින්, සෝවියට් සංගමයට සහ ලෝකය පුරා කම්කරු සංවිධාන ඇතුලත සකල ආකාර වාම බලපෑම් වලට විරුද්ධ වැඩසටහනක නිරත විය. එහෙත් වෘත්තීය සමිති ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් ගත් කල්හි, 1990 ගනන් වලදී ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානයේ බිඳවැටීම, සෝවියට් සංගමයේ බිඳවැටීම තරම්ම නාටකාකාරව සිදු වුවකි. එවක් පටන් එම සංවිධානය සිය දේශපාලන බලය සහ අනුහස මුලුමනින්ම පාහේ නැති කරගෙන තිබේ. සෝවියට් සංගමය විසුරුවීමේ පටන් ගතව ඇති විසිපස් වසර ඇතුලත, ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධානය තම සාමාජිකයන්ගෙන් විශාල පංගුවක් නැති කරගෙන තිබේ. මෙය වනාහි ඒ හෝ මේ ආකාරයෙන්, ලෝකය පුරාම පැරනි කම්කරු සංවිධාන මුහුනදෙන තත්වයයි.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඒ වන විටත්, ඓතිහාසික මුසාකරනයට එරෙහි අරගලයේ සැලකිය යුතු අත්දැකීම් අත් කර ගෙන තිබුනි. ස්ටැලින්වාදය විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීමට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ ගෙනයන ලද අරගලයේ මුඛ්‍ය ස්වරූපය, මුසාවාද එලිදරව් කිරීම ද, ඛන්ඩනය කිරීම ද වූ බව කිව හැකිය. ස්ටැලින්වාදී නිලධරය සිදුකල බලකොල්ලයේ දී ඉතිහාසය පිලිබඳ බොරුව සැලකියයුතු භූමිකාවක් ඉටු කලේ ය. ඔක්තෝබර් විප්ලවයේ සම නයකයා ලෙස ද රතු හමුදවේ නිර්මපකයා ලෙස ද සෝවියට් සංගමය තුල මෙන්ම ජාත්‍යන්තරව ද ට්‍රොට්ස්කි දරා සිටි ඉමහත් කීර්තිය ට වල කැපීම සඳහා ස්ටැලින් ද ඔහුගේ හෙංචයියන් ද මුසා මෙහෙයුමක් දියත් කලහ. ඔවුහු ට්‍රොට්ස්කි ලෙනින්ගේ අශමනීය ප‍්‍රතිවාදියා ලෙස පින්තාරු කිරීම සඳහා රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ 1917ට පෙර ඉතිහාසය මුසාකරනය කලෝ ය. ඔහු ගොවි ජනයාගේ සතුරා ලෙස මවාපෙන්වීම සඳහා රුසියානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වය තුල ට්‍රොට්ස්කි ඉදිරිපත් කල පිලිවෙත් විකෘති කර දැක්වූහ.

1930 ගනන් වනවිට මුසාව මුර්ග පරිමාවක් ගෙන තිබුනි. ට්‍රොට්ස්කි සහ ඔහුගේ සහකරුවන් සෝවියට් විරෝධී කඩාකප්පල් කරුවන් සහ ත‍්‍රස්තවාදීන් ලෙස ද සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමට කැපවූ අධිරාජ්‍යවාදයේ ඒජන්තයන් ලෙස ද පින්තාරු කරන ලදී. සෝවියට් සංගමය තුල මොස්කව් අවනඩු වල දී, කම්කරු පන්තියේ සහ මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ ඉතාම දැනුවත් කොටස් වූ විප්ලවවාදී සමාජවාදීන් ලක්ෂ ගනනක් ශාරීරිකව විනාශ කරමින්, 1936 ස්ටැලින් දියත් කල මහා භීෂනයේ පදනම වූයේ මෙම බොරු ය. 1936 -39 අතරතුර මහා ඝාතන වනාහි, දශකයකට පෙර ආරම්භ කරන ලද ඓතිහාසික මුසාකරන සන්තතියේ අග‍්‍ර විපාකය වූයේය. 1937 දී ට්‍රොට්ස්කි මෙසේ ලිවීය. “අනභියෝගී ඓතිහාසික කාරනයක් නම්, ලේවැකි අධිකරන අවනඩු සැකසීම සිදු කෙරුනේ, 'සුලු සුලු' ඓතිහාසික මුසාකරන සහ උද්ධෘත ‘අහිංසක’ ලෙස විකෘති කිරීම තුල බව ය.”

ඉතිහාසය පිලිබඳ දේශපාලනිකව මෙහෙයුනු මුසාවට දෙන ලද පිලිතුර, මෙම ඛේදජනක අතීතය පිලිබඳව ජාත්‍යන්තර කමිටුවට පැවති ඥානයෙන් පෝෂිත වූවකි. රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස ලියන ලද්දේ, සෝවියට් ඉතිහාසය ද විසිවන සියවසේ ඉතිහාසය ම ද පිලිබඳ සැලකිය යුතු අංශ, ඍජු ලෙස මුසාකරනය කලාවූ ද මාක්ස්වාදී න්‍යාය සහ භාවිතයේ තීරක අංග විකෘත කලා වූ ද ධනේශ්වර ශාස්ත‍්‍රාලිකයන්ට ප‍්‍රතිකි‍්‍රයා වශයෙනි. මා විශ්වාස කරන පරිදි මගේ කෘතිය ඉටු කරන එක දෙයක් නම්, වත්මන්හි ධනේශ්වර ශාස්ත‍්‍රාලිකයේ පුලුල් කොටස් තුල දක්නට ලැබෙන, විද්වත්භාවයේ ද බුද්ධිමය විශ්වසනීය භාවයේ ද ප‍්‍රමිතීන් භයංකර ලෙස ඛාදනය වී යාම ලේඛන ගත කිරීමයි.

ඓතිහාසික මුසාකරනය හෙලිදරව් කිරීම නොවැලැක්විය හැකි දේශපාලන වගකීමක් වන අතර, මා උත්සාහ කර ඇති තවත් දෙයක් නම් මුසා ඛන්ඩනයට සාධනීය අන්තර්ගතයක් ලබා දීමයි: එනම් විසිවන ශත වර්ෂයේ ඛේදජනක අනුභූතීන් විසින් සුජාතව ඉස්මතු කරන ලද ප‍්‍රශ්න වලට පිලිතුරු සැපයීම සහ ප‍්‍රයුක්තින් පැහැදිලි කිරීම ය. මෙම ප‍්‍රශ්න වලට ධනේශ්වර ශාස්ත‍්‍රාලිකයන් දී ඇති උත්තර නොමග යවන සුලු ඒවා පමනක් නොව, බොහෝවිට සාවද්‍ය ද වීමෙන් කිසිසේත්ම ඒ ප‍්‍රශ්න සහ ප‍්‍රයුක්තීන් අවජාත යයි ඇඟවෙන්නේ නැත.

ප‍්‍රථම පරිච්ඡේදය විසිවන සියවසේ තීරක ප‍්‍රශ්නයන්ගෙන් එකකට මුහුන දෙයි. 1917 ඔක්තෝබරයේ බෝල්ෂෙවිකයන් බලය අත්පත් කර ගැනීම වනාහි, සැලකිය යුතු සමාජ හෝ දේශපාලන පදනමකින් තොරවූ කුඩා කුමන්ත‍්‍රන කල්ලියක් විසින් කරන ලද ආකස්මික බල කොල්ලයක් හෝ කුමන්ත‍්‍රනයක් ද? එසේ නැතිනම් එය බෝල්ෂෙවික් පක්ෂය විසින් කි‍්‍රයාමාර්ගයක් සහ මගපෙන්වීමක් සැපයුන, කම්කරු පන්තියේ සැබෑ, මහා විප්ලවවාදී ව්‍යාපාරයක ප‍්‍රතිඵලයක් ද? අව්‍යාජ විද්වතුන් - තවමත් එබන්දන් ද ඉන්නා බව කෘතගුන පූර්වකව සඳහන් කල යුතු ය - විසින් කරනලද බැරෑරුම් පර්යේෂන මත පදනම් ව මා මෙහිදී කියා සිටින්නේ, 1917 දී ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දැමීම මහා විප්ලවවාදී නැගිටීමක ප‍්‍රතිඵලය වූ බවය. 1917 දී බෝල්ෂෙවික් පක්ෂය වේගයෙන් වර්ධනය වූයේ දේශපාලන තත්වය පිලිබඳ එහි විශ්ලේෂනය, සිද්ධීන් විසින් සනාත කරනු ලැබූ හෙයිනි. එහි කි‍්‍රයාමාර්ගය කම්කරු පන්තියේ පුලුල් කොටස්වල හැඟීම් හා උවමනාකම් වලට ප‍්‍රකාශනයක් දුන් හෙයිනි.

ස්ටැලින්වාදී තන්ත්‍රය අව්‍යාජ විප්ලවවාදී ව්‍යාපාරයක නිමැවුමක් ලෙස යමෙක් පිලිගනු ලැබුවත්, ප්‍රශ්නය තවමත් ඇසිය යුතුව තිබේ: සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානිය නොවැලැක්විය හැකි වී ද? අවසානයේදී සෝවියට් සංගමය විසුරුවා හැරීමට තුඩු දුන් නිලධාරිවාදී ආඥදායකත්වයට විකල්පයක් නොතිබුනි ද? නැතහොත් එය, ධනේශ්වර පදනමක හැරෙන්නට ආර්ථික වශයෙන් ශක්‍යව සමාජයක් ලෙස පැවතීමට නොහැකි වීම නිසා අවසානයේදී සමාජවාදය ගොඩනැගීමේ කුමන හෝ ව්‍යායාමයක් අසාර්ථකත්වයෙන් අවසන් වීම පිලිබඳ කාරනයක් නොවන්නේ ද? 21වන සියවසේ විප්ලව 20වන සියවසේ විප්ලව වලට වඩා හොඳ වනු ඇතැයි යන බලාපොරොත්තු දල්වන සහතිකයක් පිරි නොනමාම මම මේ ප්රනශ්න වලට පිලිතුරු දීමට උත්සාහ දරමි. දේශීය හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිලිබඳ තීරනාත්මක ප්‍රශ්න අරභයා 1920 ගනන්වල රුසියානු කොමියුනිස්ට් පක්ෂය තුල ගෙන ගිය තියුනු අරගලයේ වාර්තාගත ලේඛන ඒ වෙනුවට මම උපුටා දක්වන්නෙමි. ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ 1923දී පිහිටුවනු ලැබූ වාම විපාර්ශවය, ස්ටැලින්ගේ නායකත්වයෙන් සිදුවුනා ට වඩා, මුලුමනින්ම වෙනස් පරිනාමයක හැකියාවෙන් යුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සටන් කලේය.

ඔක්තෝබර් විප්ලවයට හා ඉන් ඉක්බිති කාලයට සම්බන්ධ මතභේද නිරාකරනය කර ගැනීමට නම්, විවිධ කරුනු මත පදනම්වූ ඓතිහාසික යථාර්තය ප්‍රතිනිර්මානය කිරීමටත් මුසාවාද ප්‍රතික්ෂේප කිරීමටත් අවශ්‍ය වන අතර සෑම සිසුවෙක්ම විසිවන සියවසේ හා සෝවියට් සංගමයේ ඉතිහාසය අවබෝධ කර ගැනීම පිනිස ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන හැදෑරීම අවශ්‍ය කෙරේ. කෙසේ වුව ද මෙයට බැඳී තිබෙන දැවැන්ත දේශපාලන මතභේද ඉල්ලා සිටින්නේ, කරුනු පිලිබඳව පමනක් නොව, ද්‍රව්‍යමය අවශ්‍යතා පිලිබඳව ද අරගලයකි. ප්‍රකට කියමනක් තිබේ: “ජ්‍යාමිතික සිද්ධාන්ත ද්‍රව්‍යමය අවශ්‍යතා සමග ගැටෙන්නේ නම්, ඒවා ප්‍රතික්ෂේප කිරීම සඳහා උත්සාහයක් දැරිය යුතුය. ” දේශපාලන ප්‍රතිගාමිත්වයේ බලවේග එම සත්‍ය තමන්ගේ අවශ්‍යතා මත ගැටෙන බව අවබෝධකර ගනිමින්, ඒවා අපකීර්තියට පත්කිරීම පිනිස තම සියලු බලය උපයෝගී කර ගත්තේය. ට්‍රොට්ස්කි වරෙක ලිවූ ආකාරයට බොරුව, ධනපති සමාජය සකස් කරන දෘෂ්ටිමය බදාමය වන අතර නිදහස හා සමානාත්මතාවය යන ප්‍රසිද්ධියේ වැලඳගෙන සිටින දෘෂ්ටීන් හා මර්දනයේ ද අසමානතාවයේ ද සමාජ යථාර්තය අතර හිඩැස පුරවන බදාමය ද වන්නේය. ප්‍රතිවිරෝධතා තියුනු වත්ම බොරුව ද විශාල වන්නේය.

ආන්තික සමාජ ප‍්‍රතිඝතිතාවෙන් යුක්ත වූ වත්මන් සමයේ, පරාගාමී සහ සාතිශය ව භයානක ප‍්‍රවනතාවන් ධනේශ්වර බුද්ධිමය ජීවිතය තුලින් පැන නැගීම මගින්, ඓතිහාසික සත්‍යය නීර්නය කර ගැනීම ඉමහත්සේ සංකීර්න කරනු ලැබ ඇත. ඉතිහාසය සහ දේශපාලනය පිලිබඳව බොරු කීම ඇරඹුනේ, විසිවන සියවස තුල නොවේ. එහෙත් මෑත වර්ෂවල, ලොව පුරා විශ්වවිද්‍යාලයන්හි බුද්ධිමය ජීවිතයේ සාධිකාර ප‍්‍රවනතාවය ලෙස, පශ්චාත් නූතනවාදය පැනනගීමත් සමග, බුද්ධිමය වශයෙන් දර්ශනවාදී තලයේ, ඇත්ත සහ නැත්ත අතර භේදය අකා මකාදැමීමට සහ එමගින් ඉතිහාස මුසාකරනය සුජාතනය ට බෙහෙවින් අධිෂ්ඨාන සහගත ප‍්‍රයත්නයක් දැරී ඇත. ආත්මීය විඥානවාදී අහේතුවාදය මත න්‍යායිකව පදනම් ව, දේශපාලනිකව සමාජවාදයට සතුරුව, සාමාජික වශයෙන් පාලක පන්තියේ සහ වරප‍්‍රසාදිත මධ්‍යම පන්තියේ මුල්බැසගත්, පශ්චාත් නුතනවාදී න්‍යාය පිලිබඳ විසර්ජනයක, රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස නැමති මෙම කෘතිය සැලකිය යුතු දිර්ඝ ව්‍යායමයක යෙදෙන්නේ ඒ නිසාය.

රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස නම් කෘතියේ පශ්චාත් නූතනවාදය ගැන කෙරෙන විවේචනය ප‍්‍රන්ස දාර්ශනික ෆ‍්‍රැන්කෝ ලියෝටාඩ් සහ ඇමරිකානු දාර්ශනික රිචඩ් රෝර්ටි ගේ ලේඛනයන්ට අවධානය යොමු කරයි. දැන් මහාචාර්ය ජෝර්ග් බාබරෝව්ස්කි ගේ ලිපි වලට අවධානය යොමු කල යුතු බව ලිප්සිග්හි දී කතා කරන විට මට වැටහේ: ජර්මන් අහේතුවාදීන් පිලිබඳව මෙතෙක් අප කර ඇති නොතැකීම ඉක්මවිය යුතුය. මහාචාර්ය බාබරොව්ස්කි බර්ලිනයේ හුම්බෝල්ට් සරසවියේ නැගෙනහිර යුරෝපිය අධ්‍යයන අංශයේ සභාපති වේ. ඔහුගේ කෘතීන් කෙරේ යම් අවධානයක් දිය යුතු නම්, ඒ ඒවා පශ්චාත් නූතනවාදය සහ දේශපාලන ප‍්‍රතිගාමීත්වය ද, තථා සාක්ෂි සේවනය ඇතුලු විද්වත් අවංකත්වයේ අති මූලික ප‍්‍රමිතීන් කෙරේ දක්වන නරුම පිලිකුල ද අතර සම්බන්ධතාවය මැනවින් නිරූපනය කරන නිසාම පමනි. රුසියානු විප්ලවය සහ නොනිමි විසිවන සියවස ප‍්‍රස්ථාවනාවේ දී බාබරොව්ස්කි පිලිබඳ කොටින් සඳහන් කරමින් ඔහුගේ, ස්වසන්තානමාත‍්‍රවාදී ආස්ථානය දක්වන මෙම වාක්‍ය උපුටා දැක්වීමි, “නියෝජනය රහිත යථාර්ථයක් නැත.” බාබරොව්ස්කි ගේ ඉතිහාසය පිලිබඳ සංකල්පය තරමක් සවිස්තරව සමාලෝචනය කිරීම සාධාරනයි මම සිතමි.

බාබරොව්ස්කි 2001 වර්ෂයේ දී Histroy is Always the Present “ඉතිහාසය වනාහි සැමවිටම වත්මනය” යි යන විරෝධාභාසි මාතෘකාවක් සහිත පොතකට රචනයක් ලිවී ය. මෙය සත්‍යයක් නම් ඉතිහාසය හැදෑරීමට කුමන හෝ අවශ්‍යතාවක් නො පවතිනු ඇත. මන්දයත්, ඒ අනුව වර්තමානය සම්භවය වීම පිලිබඳව ඉන් අපට දැනගත හැකි දෙයක් නැති හෙයිනි. ඇත්ත වශයෙන්ම බාබරෝව්ස්කි දැඩිව තර්ක කරන්නේ අතීතය පිලිබඳ අධ්‍යයනයකින් ගතයුත්තක් තිබේ ය යන අදහසට එරෙහිව ය. “කෙනෙකුට අතීතයෙන් උගත හැක්කේ එහි කීර්තිය නැතිව ගොස් ඇති යටගිය දවස පිලිබඳ මිත්‍යාවක් පමනි.” [ 10වන පිටුව ]

අතීතය සහ වර්තමානය අතර වෙනස අකාමකා දැමීම මගින් උද්ගත කරනු ඇති විපාකය නම්, සිද්ධීන් ඒවායේ පෘථුල සන්දර්භයෙන් උගුල්ලා, ඒවාට සම්බන්ධවූ පුද්ගලයන් ඔවුන්ගේ පෞරුෂයන් හා ජීවිත හැඩගස්වාලූ සැබෑ පරිසරයෙන් ඉවත්කොට, අවසාන විග‍්‍රහයේ දී ඔවුන්ගේ ජීවිත මාර්ගය නිර්නය කල කොන්දේසි වසන් කිරීම ය.

බැරෑරුම් ඉතිහාසඥයෙකු - අතීතය අධ්‍යයනය කරන කල්හි - සිය කටයුතු කරගෙන යන්නේ තමන්ගේ කාලයේ දේශපාලන, දෘෂ්ටිවාදාත්මක, සමාජ සහ සංස්කෘතික බලපෑම්වල ආභාසය යටතේය යන්න ගැන ප‍්‍රශ්නයක් තිබිය නොහැකිය. ප‍්‍රගාඪ ඓතිහාසික කෘතියක් වනාහි අතීතය සහ වර්තමානය අතර සංවාදයකි. එහෙත් විද්වතා ඔහුගේ ඓතිහාසික පර්යේෂනයේ පාත‍්‍ර වර්ගයා තම සමකාලීනයන් යයි ගත හොත්, ඔහු කරන්නේ ඉතිහාස අධ්‍යයනය කිරීම නොවේ. ජුලියස් සීසර්, ජෝන් ඔෆ් ආර්ක් සහ මාටින් ලූතර් ජීවත් වූයේ අති මූලික ආකාරවලින් අපගේ යුගයට බෙහෙවින්ම වෙනස් වූ යුග වල ය. වැඩවසම් සමාජ පිලිබඳ විශිෂ්ඨ ප‍්‍රන්ස ඉතිහාසඥයෙක් වූ මාර්ක් බ්ලොච් The Historian's Craft ඉතිහාසඥයාගේ නිපුනත්වය නම් සිය කෘතිය තුල මෙසේ ලියා ඇත.

වචනයකින් කිව හොත්, ඓතිහාසික සංසිද්ධියක් එහි කාල වකවානුවෙන් තොරව වටහාගත නොහැකිය. අපගේ ද අන් සියල්ලන්ගේ ද පරිනාමයේ සෑම අවධියක් සම්බන්ධයෙන්ම මෙය සත්‍ය වේ. අරාබි ප‍්‍රස්ථා පිරුලක එය මෙසේ දැක්වේ: මිනිසුන් තම පියවරුන්ට වඩා තමා ජීවත්වන කාලයට සමානකම් දක්වයි.

අතීතය ප‍්‍රතිනිර්මානය කිරීමට නම් සහානුභූතිය මෙන්ම පරිකල්පන ශක්තියද බුද්ධිමය දෘඪභාවය ද ඉවසිලි සහගත බව ද අත්‍යවශ්‍ය වේ. ජීව විද්‍යාඥයින් සහ රසායන විද්‍යාඥයන් රසායනාගාරයන්හි වැඩ කරන්නේ යම් සේ ද වෘත්තීය ඉතිහාසඥයන් ද ලේඛනාගාර සහ පුස්තකාලවල එම කැපවීමෙන් හා ප‍්‍රවේසමින් යුතුව වැඩ කල යුතුය. රුසියානු විප්ලවයේ ශ්‍රේෂ්ඨ ඇමරිකානු ඉතිහාසඥයෙකු වන අභාවයට පත් ලියෝපෝල්ඞ් හයිම්සන් (1927-2010), Russia’s Revolutionary Experience, 1905–1917, (රුසියාවේ විප්ලවවාදී අත් දැකීම, 1905-1017) නම් සිය අවසාන කෘතියේ මෙසේ ලියා තැබීය:

... සැබවින්ම සියත් සහ වැදගත් ඉතිහාස කෘතියක අර්ථ භාරයේ ප‍්‍රභවය සොයාගත හැක්කේ - සියල්ලට ප‍්‍රථමයෙන් හා ප‍්‍රමුඛව - කර්තෘ සිය පර්යේෂනයේ දී අවධානය යොමු කරන්නට අපේක්ෂා කරන්නාවූ ප‍්‍රාථමික මූලාශ‍්‍රයන් මුලදීම තෝරාගෙන ඇති ආකාරයෙනි. මා මෙයට එකතු කරන්නේ, මෙහි සාරභූත අගය අන්තිමේදී රැඳී පවත්නේ, මෙම මුලාශ‍්‍රයන් විනිවිද දැක්මේ සහ විශ්ලේෂනයේ යෙදුනාවූ නිශ්චිත භාවයත් අභිනිවේශයත් මත ය යන්නයි.

එහෙත් ප‍්‍රාථමික මූලාශ‍්‍රයන් සාවධානව පරීක්ෂා කිරීම මගින් ද ඒවා පරිශ‍්‍රමයෙන් අර්ථකතනය කොට හැකි තරම් නිවැරදිව අතීතය ප‍්‍රතිනිර්මානය කිරීමට ප‍්‍රයත්න දරන ඉතිහාසඥයන් කෙරේ බාබරෝව්ස්කි දක්වන්නේ පිලිකුලක් මය. ඔහු ලියයි:

අතීතය, එය පැවති සැටියෙන්ම දැක්වීම මිත්‍යාවක් බව එලිදරව් වී තිබේ. ලේඛනාගාරය තුල ඉතිහාසඥයා දැකගන්නේ අතීතය නොව අතීතයෙන් ඉතුරුව වර්තමානය තුල පවත්නා දෙය පමනකි. ඉතිහාසඥයාගේ විෂයවූ ලේඛන සහ මූලාශ‍්‍රයන් ලවා කතා කරවිය යුතු ය. ඒවා ඉබේටම දොඩමලු වන්නේ නැත. අතීතය වනාහි නිර්මිතයකි. එය කොතරම් දුරට යථාර්තවත් ද යන්න තීන්දු වන්නේ ඉතිහාසඥයාගේ ආසක්තතාවන් ද ප‍්‍රශ්නයන් ද මගිනි.

සත්තකින්ම ජීවමාන ඉතිහාසඥයින් විසින් ලේඛනාගාරයකින් ගන්නා ලේඛන, අධ්‍යයනය කර අර්ථ කථනය කල යුතුය. එහෙත් ඉතිහාසඥයා ලියවිල්ලක් අර්ථකථනය කරන කල්හි ඔහුට ඔහුගේ පෞද්ගලික කැමැත්ත, අකමැත්ත තබා පරිකල්පනයට වුව වල්මත් වන්නට ඉඩ දිය නොහැකිය. එවන් බුද්ධිමය ආත්ම සංයමයකට අසමත් වන බාබරෝව්ස්කි ක‍්‍රමාන්විත පර්යේෂනය හැරපියා, රුසියානු විප්ලවය පිලිබඳ ආඛ්‍යානයක් ආත්මීයව තනාගනී. එය වනාහි ඔහුගේම පුද්ගලික ප‍්‍රති-කොමියුනිස්ට්වාදී දේශපාලන ආස්තානයන් මිස අන් කිසිවක් නොවේ.

Histroy is Always the Present (ඉතිහාසය වනාහි සෑමවිටම වර්තමානය ය) යන කෘතිය ට බාබරෝව්ස්කි සැපයු රචනය තුල රුසියානු විප්ලවය පිලිබඳ පහත සඳහන් ප‍්‍රකාශය දක්නට ලැබේ.

”පර්යාය, නිෂේධනයේ පටන් ජීවන ක‍්‍රමය සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රකරනය දක්වා නිෂේධනය කිරීම දක්වා ගෙන ඒමට මග පෑදුවා වූ, කැරැල්ලේ සිට වැඩවර්ජනය දක්වා සමාජ ප‍්‍රතිවර්තනය රුසියානු ඉතිහාසය තුල කවර කලෙක වත් අහඹු ප‍්‍රපංචයක ට වඩා වැඩි තැනක් ගත්තේ නැත. සමූහ සංහාරය, රුසියාව විප්ලවය කරා ගිය ගමනේ සාරය සංකේතවත් කලේ ය.”

මෙවන් වාක්‍යයක් ලිවිය හැකි වන්නේ ඓතිහාසික වාර්තාව මුලුමනින්ම නොතකා හරින පුද්ගලයෙකුට පමනි. 1905 යෝධ වැඩවර්ජන සිදු විය. 1912 ලිනා රන් ආකාරවල පතල් කම්කරුවන් ඝාතනය කිරීමට එරෙහිව මහා වැඩ වර්ජන පැනනැගුනි. 1914 ලෝක යුද්ධය පුපුරා යන තෙක් මෙම තත්වය දිගටම පැවතුනි. එපමනක් නොව ”ජන සංහාරය” රුසියානු විප්ලවයේ සාරය විය, යන විකාරය වනාහි යතාර්ථය ඔලුවෙන් සිටුවීමකි. රුසියාව තුල යුදෙව් සංහාරයන් පිලිබඳ සවිස්තර අධ්‍යයනයන් ගනනාවක් කරනු ලැබ ඇත. මේවායින් නින්දිතම ඒවා සිදුවුයේ 1881-84, 1903-06, සහ 1917-22 කාලපරිච්චේද වලදී ය. මෙම භයංකර - දහස්ගනන් යුදෙව් ජනයා මරාදැමුනු - සිද්ධීන් සහ සාර් පාලනය තමන්ට එරෙහි ජනතා විරෝධය යටපත් කිරීමට ගත් දුෂ්ට උත්සාහය අතර සම්බන්දතාව නොයෙකුත් වියත් අධ්‍යයනයන් මගින් තහවුරු කරනු ලැබ තිබේ.

1905 ඔක්තෝබරයේ දී ඔඩෙස්සා සංහාරය සිදු කරන ලද්දේ සාර් ආන්ඩුවේ නිලධාරීන්ගේ සහ පොලිසියේ අධාරයෙන් ය. එය සිදු කරන ලද්දේ විප්ලවවාදී වර්ජන ද සෙන්ට් පීටර්ස්බර්ග් සෝවියට් සභාවේ ද බලපෑම යටතේ සැලකිය යුතු සහන දීමට සාර් ආන්ඩුවට සිදු වී දින ගනනකට පසුවය. සාර්ගේ ආන්ඩුවේ ලියවිලි ගෙනහැර දක්වමින්, ජන සංහාරය සහ සමාජවාද විරෝධී ප‍්‍රතිවිප්ලවය අතර සම්බන්ධතාවය පෙන්නුම් කරන විද්වත් අධ්‍යයනයන් ගනනාවක් උපුටා දැක්වීමට මට මෙහි ලැබී තිබෙන කාලය සෑහෙන්නේ නැත. බාබරෝව්ස්කි මෙම ලියවිලි ද ඒවා යොදාගත් පර්යේෂන අධ්‍යයනයන් ද ගැන දන්නේ නැති බවක් කොහොමටවත් සිතිය නොහැකිය. එහෙත් එම ලේඛන සිය ආත්මීය කතිකාව ට ප‍්‍රතිවිරුද්ධ වන හෙයින් ඒවා නොතකා හැරීමට ය ඔහු තීන්දු කර ඇත්තේ. මෙහිදී සිදුව ඇත්තේ, වෛෂයික සත්‍යය තහවුරු කිරීම කල නොහැක්කක් ලෙස ප‍්‍රතික්ෂේප කිරීමේ පස්චාත් නුතනවාදී දැනුවත් ඓතිහාසික මුසාකරනයට දෘෂ්ටිමය ආවරනයක් සපයාදීම ය.

බාබරෝව්ස්කි විසින් මෙසේ කරනු ලබන වෛෂයික යථාර්ථයේ විසංරචනය, විශේෂයෙන්ම ප‍්‍රකාශිත වන්නේ රුසියානු විප්ලවය කම්කරු පන්තියේ නැගිටීමක් ලෙස අනන්‍ය කරගත් ඉතිහාසඥයන් හෙලාදැකීම තුලින් ය. ඔහු මෙසේ ලියයි:

”කම්කරු පන්තිය භංගවේවා.” වැටුප් උපයන්නන් වර්ධනය වීමෙන් නිර්මිත කම්කරු පන්තියක අත්දැකීම් සහ අනන්‍යතා නොතකමින්, ඔවුන්ගේ වර්ධනයම තුලින්, සංරචනය කරගන්නා ඉතිහාසඥයන්ට එරෙහිව හඬ තැලීමට ඔහු කැමති ඒ අන්දමිනි. ඔහුට අනුව, විප්ලවයේ විරෝධතා ව්‍යාපාරය තුලින් පිබිදී ආවේ කම්කරු පන්තියක් නොවේ. 1991 තරම්, මෑතදී බර්නාර්ඞ් බොන්ටෙෂ් සිය නොදත් පාඨකයන් ඒත්තු ගැන්වීමට උත්සාහ කල පරිදි, කවර කලකවත් කම්කරු පන්තිය සහ වාමාංශික බුද්ධිමතුන් අතර පෑහීමක් ද සිදු වූයේ නැත.

සකල අඥානයෙන් සහ අසංගතියෙන් යුක්ත වූ මෙම පුපුරා හැලීම ප‍්‍රකාශිත කරන්නේ, බාබරෝව්ස්කි ගේ කෘතිය යටින් පවත්නා ප‍්‍රතිගාමී දේශපාලන න්‍යායපත‍්‍රය යි. වචනයේ යුක්තිසහගත අර්ථ යෙන් ගත් කල්හි, බාබරෝව්ස්කි ඉතිහාසඥයෙකු නොවේ. ඉතිහාසය සහ ප‍්‍රචාරය අතර වෙනස අකාමකා දමන ඔහු, තමාගේ දක්ෂිනාංශික දේශපාලන න්‍යායපත‍්‍රයේ ආසක්තයන් උදෙසා ඓතිහාසික වාර්තාව මුසාකරනය කරයි. බාබරෝව්ස්කි යොදාගන්නා වචන සමුදායෙන් වහනය වන සුවිශේෂ දුර්ගන්ධය පාඨකයාට ඔහුගේ කෘතීන්ගේ දේශපාලන අනුප‍්‍රානය හඳුනාගැනීමට ඉඩ සලසයි:

බෝල්ෂෙවික් පක්ෂයට මහජන සහායක් තිබුනේ නැත; එය නියෝජනය කලේ කම්කරුවන්ගේ හෝ ගොවීන්ගේ ආසක්තතාවන් නොවේ; එයට සාර් අධිරාජ්‍යයේ ප‍්‍රත්‍යන්තයේ සහයක් තිබුනේ ද නැත. එය වනාහි රුසියන් සහ යුදෙව් වෘත්තික විප්ලවවාදීන්ගේ පක්ෂයක් විය. නිදහස් කලයුතුයි ඔවුන් කියාසිටි ජනයා හා ඔවුන්ට තිබුනු සම්බන්ධයක් ද නැත. අධිරාජ්‍යයේ ප‍්‍රත්‍යන්තයෙහි ඔවුන් මුල්බැස සිටියේ ද නැත.

බොල්ශේවික්වාදය පිලිබඳ ඉහත නිර්වචනයේ දේශපාලන අන්තර්ගතය කුමක් ද යන්න ගැන ජර්මනියේ දී පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ. එහෙත් එකක් කිව යුතුව ඇත. එනම්, ඓතිහාසික සත්‍යයට මෙතරම් අවමානයක් දක්වන්නාවූ කෘතීන් උත්පාද කල මේ වචන වල කතුවරයා, බර්ලිනයේ හුම්බෝල්ඞ් සරසවියේ ශාස්ත‍්‍රාලික තනතුරක් දරන්නේය යන කාරනයෙන් පෙන්නුම් කරන්නේ අත්‍යන්තයෙන්ම උග‍්‍ර වූ බුද්ධිමය අර්බුදයකි.

මහජනතාව නොමග යවා, ඔවුන්ගේ විචාර බුද්ධිය දුබල කොට, ඔවුන්ගේ ප‍්‍රතිරෝධක ශක්තිය හීන කිරීම සඳහා පෘථුල දේශපාලනයේ ප‍්‍රසිද්ධ උපකරනයක් හැටියට ”මහා මුසාව” දේශපාලන ප‍්‍රතිගාමීත්වය විසින් යොදාගැනීම ඉස්මත්තට ආවේ විසිවන සියවසේ දී ය. අද දින විසිවන සියවසේ ඉතිහාසය ක‍්‍රමානුකූල ලෙස මුසාකරනය කිරීම ලෙසින් වෙස් ගන්නා ”මහා මුසාවට” එරෙහි අරගලය, දේශපාලන සහ ආර්ථික වශයෙන් ද ඒ තරමට ම බුද්ධිමය වශයෙන් ද අර්බුද-ග‍්‍රස්ත ධනේශ්වර පර්යායට එරෙහිව මානව වර්ගයා ගේ වැඩෙන්නා වූ ප‍්‍රගතිශීලී අරගලයේ සාරභූත අංගයක් වන්නේ ය. පන රැුකගැනීමට බොරුව මත රැුඳීමට සිදුව ඇති පර්යායක් විනාශයට නියමිත වූ එකකි. ඓතිහාසික සත්‍යය උදෙසා කරන්නාවූ අරගලය සිය අනුප‍්‍රානය දිනාගත යුත්තේ ට්‍රොට්ස්කි ගේ පහත සඳහන් වචන වලිනි ”සත්‍යයම දිනනු ඇත! අපි ඊට මාවතක් හෙලි කරන්නෙමු! එය ජයග‍්‍රහනය කරනු ඇත!”

Share this article: