වොෂින්ටනයේ “මානව හිමිකම්” අධිරාජ්‍යවාදය හෙලිදරව් වේ

Washington’s “human rights” imperialism exposed

2015 අප්‍රේල් 02

යුදටැංකි 125ක් තැනීමට අවශ්‍ය කොටස්, 12එෆ් - 16 ප්‍රහාරක ජෙට් යානා,මිසයිල අලෙවියත් සමග ඊජිප්තුවේ මිලිටරි ආඥාදායකත්වය වෙත ආයුධ සැපයීමට පටන්ගන්නා බව මාර්තු 31දා ඔබාමා පාලනාධිකාරය නිවේදනය කලේය. ඊජිප්තු පාලක, ජනරාල් අබ්දෙල් ෆටා අල්-සිසී සමග පුද්ගලික දුරකතන සාකච්ඡාවක දී වාර්ෂිකව ඩොලර් බිලියන 1.3ක මිලිටරි ආධාර හුවමාරුව නැවත ඇරඹීමට ඔබාමා පොරොන්දු විය.

2013 ඔක්තෝබරයේ දී පැන වූ මිලිටරි ආධාර තහනම ඉවත් කිරීම සඳහා වූ නෛතික කොන්දේසිය ලෙස, “සියල්ලෙන් සම්පූර්න, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගැනුනු සිවිල් ආන්ඩුවක් කරා සැලකිය යුතු ප්‍රගතියක්” ඊජිප්තුව විසින් අත්කර ගෙන ඇතැ යි කීමට පවා ධවල මන්දිරය පැකිලුනේ නැත. ඒ වෙනුවට, (ප්‍රජාතන්ත්‍රවාදය) එකී අවශ්‍යතාව ඉක්මවා යාමට පසු ගිය වසරේ දී කොන්ග්‍රසය සම්මත කල මුක්තියක පිහිට පැතුවේ ය.

ඊස්රායලයට පසු, එවැනි ආධාරයක් ලැබීමේ වාසනාව ලත් දෙවැනි විශාල ම රට වන ඊජිප්තුවට මිලිටරි ආධාර යලි සැපයීම ආරම්භ කිරීම “ඇමරිකානු ජාතික ආරක්ෂාවේ අවශ්‍යතාවට ඇතුලත්” වේ යැයි ධවල මන්දිර ප්‍රකාශනයක් පැවසී ය. ඇමරිකාවට හා ඊජිප්තුවට “ඇමරිකාවේ මෙන්ම ඊජිප්තු උත්සුකයන්ට එරෙහි අභියෝග විසඳාගැනීම සඳහා උපකාරී වන අපගේ මිලිටරි සහයෝගිතා සම්බන්ධතාව පිරිසිදු කර ගැනීම මඟින් එය වඩා යහපත් තත්වයකට ගෙන ඒම” අවශ්‍ය බව ඔබාමා අල් - සිසීට පැවසී ය.

ඊජිප්තුව ප්‍රජාතන්ත්‍රවාදය දෙසට හැරී ඇතැ යි මවාපෑමට හෝ ඔබාමා පාලනයට නො හැකි විය. ලේ වලින් නැහැවුනු අල් සිසී තන්ත්‍රය, දශමයකින් වත් එහි මිනීමරු මර්දනය බුරුල් කර නැත. බලයට පැමිනි දා සිට එය ම්ලේච්ඡ ලෙස විරෝධතා මර්දනය කලේ ය. දේශපාලන විරුද්ධවාදීන්ට පහර දුන්නේ ය, ඔවුන් ඝාතනය කලේ ය, තොග ගනනේ අත්අඩංගුවට ගත්තේ ය. එක් වාර්තාවකට අනුව, 2013දී මුස්ලිම් සහෝදරත්වයේ ජනාධිපති මොහමඩ් මුර්සි පලවා හැරීමෙන් පසු පුද්ගලයන් 41,000ක් සිර කරනු ලැබ ඇත. දේශපාලන විරුද්ධවාදීන් 1,000කට වැඩි සංඛ්‍යාවකට මරන දඬුවම පනවා ඇත.

ඊජිප්තුවට ආයුධ නැව් ගත කිරීම යලි ඇරඹීම සිදු වුනේ, කියෙව් තන්ත්‍රය සංවිධානය කල ෆැසිස්ට්වාදී අසෝව් භටකාය ඇතුළුව දක්ෂිනාංශික ජාතික ආරක්ෂක මිලීෂියා හමුදා පුහුනු කිරීමට ඇමරිකානු මිලිටරිය ඍජුවම මැදිහත් වනු ඇතැ යි යුක්‍රේනියානු අභ්‍යන්තර ඇමති ආසන් ඇවකොව් කල නිවේදනයෙන් යන්තම් දින දෙකකට පසු ය. නව නාසීන් විසින් ආරම්භ කරන ලද හා අරමුදල් සැපයෙන අසෝව් භටකාය රුසියාවට හිතැති බෙදුම්වාදීන්ට එරෙහිව නැගෙනහිර යුක්‍රේනය තුල සිදුවන යුද්ධයේදී පෙරමුනේම සිටියි.

මේවා ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ “මානව හිමිකම්” මවාපෑම් පිලිබඳ අතිශය විනාසකාරී හෙදරව්වීම්වලින් දෙකක් පමනි. වැඩිවන්නා වූ නිර්ලජ්ජිත කම පෙන්වමින් එක්සත් ජනපදය ක්‍රියා කරන්නේ ලෝකය පුරා මිලිටරිවාදයේ හා ප්‍රතිගාමිත්වයේ හීතුඩ ලෙස ය. මිලිටරි බලය හරහා එහි ලෝක ආධිපත්‍යයේ ක්‍රියාමාර්ගය හඹායාමේ දී ඇමරිකාව යොමුව සිටින්නේ අන්ත ම්ලේච්ඡ තන්ත්‍රයන්ට සහාය දීම කරාය.

ඊජිප්තුවට ආයුධ නැව් ගත කිරීම යලි ඇරඹීම සඳහා ක්ෂනික පෙලඹවීම වන්නේ, සෞදි අරාබිය නායකත්වය දෙන හා ඔබාමා පාලනාධිකාරය අනුග්‍රහය දක්වන යේමනයට එරෙහි ගුවන් ප‍්‍රහාර යි. ඉරානයේ සහාය ලබන හවුති සටන්කරුවන් පලවා හැරීමේ අරමුනු ඇතිව, තීව්‍රවන බෝම්බ දැමීමේ මෙහෙයුම් පසෙකින් ගොඩබිම් ආක්‍රමනයක් සඳහා ඇති සැලැසුම් ගැන ඊජිප්තුව හා සෞදි අරාබිය නිවේදනය කර ඇත. වොෂින්ටනය ඊජිප්තුවට යවනු ලබන අතිරේක මිලිටරි උපකරන විවාදයකින් තොරවම එවැනි ගොඩබිම් ප්‍රහාරයක් සඳහා යොදවනු ඇත.

මෙම ව්‍යාපාරය මෙහෙයවන ඇමරිකානු සහචරයන් දෙදෙනා එහි ස්වභාවය කැටි කොට දක්වති. ඊජිප්තු තන්ත්‍රයේ ම්ලේච්ඡත්වය හා කරට කර සිටිමින් සෞදි රාජාන්ඩුව, යකඩ හස්තයකින් පාලනය ගෙන යන, හිස ගසා දැමීම් වැනි නිරන්තරව සිදු කෙරෙන බිහිසුනු ක්‍රියා සහ සිරියාව තුල ඇමරිකාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම්වල කොටසක් ලෙස අල් කයිඩාවට හා අනෙකුත් ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායම්වලට මුදල් පොම්ප කරනු ලබයි.

යුක්‍රේනය සම්බන්ධයෙන් ගත් විට, විවෘතව ෆැසිස්ට්වාදීන්ට සහාය දැක්වීම සංකේතවත් කරන්නේ, ඡන්දයෙන් තෝරා ගැනුනු රුසියානු පක්ෂපාතී ජනාධිපති පෙරලා දැමීම සමග ඇරඹුනු ඇමරිකාව නායකත්වය දුන් මෙහෙයුමේ ස්වභාවයයි. එම කුමන්ත්‍රනයේ පෙරමුන ගන්නා ලද්දේ නව නාසි ස්වබෝදා පක්ෂය හා දක්ෂින නිකාය විසිනි. නැගෙනහිර යුරෝපය පුරා පිහිටි, රුසියාව හුදකලා කිරීම, යටපත් කිරීම හා අවාසානයේ දී විසුරුවා හැරීම අරමුනු කරගත් ඇමරිකානු මිලිටරි - ආර්ථික - රාජ්‍යතාන්ත්‍රික තල්ලුවේ කොටසක් ලෙස, දක්ෂිනාංශිකයින්, ජාතිකවාදීන්, වර්ගවාදීන් සහ යුදෙව් විරෝධී ව්‍යාපාර හා ආන්ඩු මත ඇමරිකාව වාරුවී සිටියි.

ලෝකයේ අනෙක් පැත්තේ, ඇමරිකාවේ අනුග්‍රහය ලබන ජුවාන් ඕලැන්ඩෝ එර්නාන්දෙස් ගේ ආන්ඩුවට සම්බන්ධ ඝාතක කල්ලි, අඩු වසයෙන් තරුනයන් හතරදෙනෙකු පැහර ගැනීම, වධ දීම හා ඝාතනය කිරීම ඇතුළු අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව විරෝධතා දක්වන ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රචන්ඩ ප්‍රහාරයක නියුතු හොන්ඩ්‍යුරාස් රාජ්‍යයයි. එර්නාන්දෙස් යනු, 2009 ඇමරිකානු කුමන්ත්‍රනයකින් පසු බලයට පැමිනි ජනාධිපති පොර්ෆිරියෝ ලොබෝගේ අනුප්‍රාප්තිකයා ය.

“ඉහලම මට්ටමේ ආන්ඩු සම්බන්ධවන දූෂන හා අපරාධවල කසල වල” ලෙස ෆොරීන් පොලිසි නම් සඟරාව මෑත දී විස්තර කල තන්ත්‍රයක් විසින් නායකත්වය දෙනු ලබන හොන්ඩ්‍යුරාස් පොලීසියට හා මිලිටරියට ඇමරිකාව වාර්ෂිකව ඩොලර් මිලියන ගනන් සපය යි. මත්ද්‍රව්‍ය කල්ලිවලට කිට්ටුවෙන් සම්බන්ධ හා රට තුල ගෙන යන මර්දනයේ දී මිලිටරියේ ඍජු මැදිහත්වීම සඳහා තල්ලුව දුන් පොලිස් මිලීෂියාවන්ගේ පාලනාධිකාරයක නියෝජිතයින් ලෙස එර්නාන්දෙස් හා ලොබෝ සිය පාලනය පවත්වාගෙන ගොස් ඇත.

බොහෝකොටම මෙක්සිකෝවේ යලි යලිත් සිදුවන පරිදි ඇමරිකාවේ මුදල් අනුග්‍රහ ලබන ලතින් ඇමරිකාවේ අනෙකුත් රටවල පොලීසිය හා මිලිටරිය, දක්ෂිනාංශික ඝාතක කල්ලි සමග එකට එක්වීම දැකගත හැකිය. ගිය වසරේ ශිෂ්‍යයින් 43දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මැක්සිකානු ආන්ඩුව ම උදාසීන ප්‍රතිචාරයක් දක්වන අතර වධ හිංසා පිලිබඳ ඇමරිකාවේ විශේෂ නියෝජිතයා මෙම මස මුල දී ප්‍රකාශ කලේ, වධ හිංසා පැමිනවීම රට තුල “සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන” බව යි. විදේශීය ප්‍රාග්ධනයට බලශක්ති අංශය විවෘත කිරීම ඉලක්ක කරගත් ආර්ථික “ප්‍රතිසංස්කරන” අනුමත කරන ජනාධිපති පෙන්‍යා නියෙතො, මෙක්සිකානු ආන්ඩුවට ඔබාමා පාලනාධිකාරය පිරිනමන පූර්න සහාය කෙරෙහි මේ කිසිවකින් කිසිදු බලපෑමක් සිදුව නැත.

යමෙකුට මේ පිලිබඳ උදාහරන දුසිම් ගනනාවක් දැක්විය හැක. සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට හා පාලනය අත්පත්කර ගැනීමට උත්සාහ ගන්නා කොහේ නමුත් ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරය, රුධිරය සහ එහි සමාජ පැවත්ම තුල කාවැදුනු කැලි කසල හා අපරාධකාරිත්වය අපනයනය කරති. මෙම තල්ලුවට හසු නොවන කොටසක් ලෝකයේ කොහේවත් ඇත්තේ නැත.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආරම්භයේ පටන් ම පාලක පන්තිය උත්සාහ කර ඇත්තේ, “නිදහස”, “මානව හිමිකම්” හා “ඇමරිකානු වටිනාකම්” හුවාදැක්වීම තුල සිය කොල්ලකාරී විජිගීෂාවන් සැඟවීමට ය. 1924දී ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි “ඇමරිකාව නිතරම යමෙකු නිදහස් කරමින් සිටී. එය යි එහි වෘත්තිය.” කෙසේ නමුත් වෙන මොනම කාලයකදීවත්, ආක්‍රමනය සඳහා සාංකල්පික යුක්ති සහගත කිරීම් මෙතරම් පට්ටා ගසා තිබුනේ නැත.

එක් අවසාන කරුනක් නම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධකාරිත්වය පිලිබඳ කවර දා වත් නො වූ නිරුවත් හෙලිදරව් කිරීම්, ඔබාමා පාලනාධිකාරයේ ලිබරල් හා ව්‍යාජ - වාම හවුල්කරුවන්ගේ වරප්‍රසාදිත මධ්‍යම පන්තික සංවිධාන තව තවත් දකුනට මාරු වීමත් සමග සම්පාත වන්නේ ය.

වරෙක “යුද විරෝධී” යයි පෙනී සිටි අය, ඇමරිකානු අධිරාජ්‍යාවදය පිටිපස පෙලගැසීම සඳහා ඔබාමා බලයට පත්වීම අවස්ථාව කරගනිමින්, ලිබියාව, ඊජිප්තුව, සිරියාව, යුක්‍රේනය හා තවත් තැන්වලඇමරිකාව මුලිකත්වය ගත් මෙහෙයුම් වලට සහාය දුන්හ. ඔවුන් “මානව හිමිකම් අධිරාජ්‍යවාදයේ” ඉදිරි පෙලට පැනගෙන ඇත්තේ, නිශ්චිතව ම ඇමරිකාව රට තුලත් ලොව පුරාත් මහජනයා ඉදිරියේ තීරනාත්මක ලෙස හෙලිදරව් වෙමින් පවතින අවස්ථාවේ දී ය.

ජොසෆ් කිෂෝර්

Share this article: